වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




‘“සුදු මල් පොකුරක් අතේ දරා ඔබේ සොහොන ළඟ තනිවී”

‘සුදු මල් පොකුරක් අතේ දරා ඔබේ සොහොන ළඟ තනිවී”

ප්‍රින්ස් උදය ප්‍රියන්ත

ඔහු යන්නට ගොස්ය. නැවත නොඑන්නටම. දිගු කලක් රෝග පීඩාවන් තුළම ජීවිතය සතපවා ගෙන යළි නැඟී සිටින්නට බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සිටිය ද, ස්ථිර නොවූ මේ කය හැරදා ඔහු යන්නට ගියේය. එහෙත් යන්නට ගිය මිනිසෙකු පිළිබඳ යළි යළිත් සමරන්නට හැකි බොහෝ දේ ඔහු ඉතිර කර ගියේය. මේ සටහන් ලියවෙන්නේ ඒ වෙනුවෙනි.

සමස්ත ශ්‍රී ලංකාවාසී ගීත ශ්‍රාවකයන්ගේ හද ගැබේ නිදන් වූ ගී හඬ ප්‍රින්ස් උදය ප්‍රියන්ත යන නාමය නොමියෙන්නට ඔහු අපට නිර්මාණ ඉතිරිකර ගියේය. ජීවත් වූ කිසි කලෙක කිිසිකෙªටවත් කරදරයක්, හිරිහැරයක් වන්නට ඉඩනොදී ඔහු රැකගත් මනුෂ්‍යත්වය ඉතිරිකර ගියේය.

ප්‍රින්ස් උදය ප්‍රියන්ත මෙරට ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ජාතික තරුණ සේවා සභාව හරහාය. එක්දාස් නමසිය අසූව දශකයේ අග භාගයේදී බෙල්වුඩ් රූපවාහිනි ගම්මානයේ සංගීතය හැදෑරූ ඔහු සිය අවුරුදු තුනක ඩිප්ලෝමා පාඨමාලාව හදාරා නික්ම යන්නේ හිස් අතින් නොවේ. බෙල්වුඩ් හි සිය ආදරණීය සංගීත ආචාර්යවරයා වූ විශාරද නිහාල් ගම්හේවා ලවා නිර්මාණය කරගත් ගීත 04 ක් ද අතැතිවය.

ප්‍රින්ස්ගේ සංගීත දිවිය පිරික්සීමේදී ඔහු සතු වූ මේ සංගීත හැකියාව එක්තරා ආකාරයකට ජන්මයෙන්, පරම්පරාවෙන් ලද හැකියාවකැයි සිතේ. දකුණේ ඇල්පිටිය හා ඌරගස්මංහන්දිය අතර සිරිපුර නවදගල ගම් කොටගත් ඔහුගේ පියා ඊටින් ප්‍රනාන්දුය. ඔහු සංගීත ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක් සේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වයලීන් වාදකයෙක් වශයෙන් ද කටයුතු කළේය.

ප්‍රින්ස්ගේ මව වැසලින් පල්ලියගුරුගේය. ඇය ද විදුහල්පතිනියකි. 1970 ජූනි 13 වැනි දින මෙම මවුපිය යුවළට දාව උපන් කුලුඳුල් දරුවා වූයේ ප්‍රින්ස්ය. ඔහුට බාල එකම නැගණියක විය. ඇය ශිරෝනි ප්‍රියංගිකාය. ප්‍රින්ස් අසනීප තත්ත්වයෙන් පසු වූ පසුගිය කාල වකවානුව පුරාම ඔහුට සොයුරියක, යෙහෙළියක සේම මවක වූයේ ද මේ නැගණියමය.

ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාල ප්‍රින්ස් කුඩා කළ පටන්ම සංගීතයට දක්ෂයෙකු විය. පියාගේ ඌරුවට යමින්දෝ ඔහුත් වැඩි කැමැත්තක් දැක්වූයේ වයලීන් වාදනයටය.

ප්‍රින්ස්ගේ සංගීත ගුරුවරයා වූ විශාරද නිහාල් ගම්හේවා පැවසූ ආකාරයට ඔහුට ප්‍රින්ස්ව මුලින්ම මුණ ගැසෙන්නේ ඇල්පිටිය ප්‍රදේශයේ සංගීත පංතියකිනි. එවකට එම සංගීත පංතිය පාලනය වනුයේ ජාතික තරුණ සේවා සභාවෙනි. එහි අධීක්ෂකවරයා වශයෙන් ඇල්පිටියට යන නිහාල් ගම්හේවා හට වයලීන් වාදනය කරන ප්‍රින්ස් නම් වූ තරුණ කොලු ගැටයා මුණ ගැසෙන්නේය.

මෙම කාල සීමාව 1989 කාල වකවානුව වූ බැවින් රටේ ඇති වූ භීෂණකාරී වටපිටාව හේතුවෙන් ප්‍රින්ස්ගේ සංගීත පංතිය ද අතරමඟ නැවතිණ. මේ කාලය වන විටත් සිය පියාගේ සෙනෙහස අහිමිව සිටි ප්‍රින්ස් සංගීතයට දක්වන ආසක්ත බව හේතුවෙන් ඔහුගේ මව විසින් විශාරද නිහාල් ගම්හේවා සොයාගෙන ඔහු ළඟට ප්‍රින්ස්ව රැගෙන එන්නේය.

ඒ වන විටත් ප්‍රින්ස් වයලීන් වාදනයට දැක් වූ දක්ෂතාතව හඳුනාගෙන සිටි නිහාල් ගම්හේවා ඔහුව බෙල්වුඩ් රූපවාහිනි ගම්මානයට බඳවා ගත්තේය. එහිදී ද ප්‍රින්ස් හැදෑරුවේ වයලීන් වාදනයය. එහෙත් විශාරද ගම්හේවා මේ තරුණ කොලු ගැටයාගේ ගායන හැකියාව පිළිබඳව ද විමසිල්ලෙන් පසු විය.

බෙල්වුඩ්හිදී ප්‍රින්ස්ගේ සංගීත උපදේශකවරුන් ලෙස ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහ සෝමසිරි මැදගෙදර කටයුතු කළේය. චන්දන ලියනාරච්චි, මාධව ඉඳිකැටිය, ජයසිරි අමරසේකර වැනි වත්මනේ ජනප්‍රිය ගායකයන් හා සංගීත අධ්‍යක්ෂවරුන් එකල බෙල්වුඩ්හි ප්‍රින්ස්ගේ සමකාලීනයෝ වූහ.

වසර තුනකින් බෙල්වුඩ් පාඨමාලාව නිම කළ ප්‍රින්ස් ඉන් පිටවත්දී සිය අදරණීය ගුරුවරයාට කිවේ තමන්ට ගායනා කරන්නට ගීත කිහිපයක් නිර්මාණය කරදෙන ලෙසටය.

ඒ අනුව විශාරද ගම්හේවා ඔහුට ගීත 04 ක් පද රචනය කොට සංගීත නිර්මාණය කර දුන්නේය. ඉන් පළමුවැන්න වූයේ 'පෙම්වතුන් සිනාසේය'. දෙවැන්න 'වෙරළ කොනක හිඳ බලා සිටින්නෙමි'ය. තුන්වැන්න 'ආදරේ නම් ඇයි මෙතරම්', සිවුවැන්න 'සඳ කුමරියක් දීගෙක යනවා'ය.

ප්‍රින්ස් මෙම ගීත 04 ද රැගෙන පසු කලෙක ඔහුට ගීත රචනයෙන් ද එක් වූ ගී පද රචක ලලිත් වසන්ත සොයාගෙන ඔහුගේ නිවෙසට පැමිණෙන්නේය.

දෙදෙනා එකතුව කැසට් නිෂ්පාදකවරයකු සොයමින් ඉන්න අතරතුර යොවුන් ගායන ශිල්පීන් රැසකට මතු වෙන්නට අත දුන් ජාතික තරුණ සේවා සභාවේ උපදේශකවරයකු වන සෝමසිරි මැදගෙදර විසින් ප්‍රින්ස්ගේ මෙම ගීත හතර එවකට කැසට් නිෂ්පාදන ආයතනයක් වූ 'සාගර ෆැන්සි පැලස්' වෙතට ඉදිරිපත් කළේය.

ඔවුන් මෙම ගීත අසා ප්‍රින්ස්ගේ කැසට් එකක් එළි දක්වන්නට කැමැත්ත පළ කළේය. ප්‍රින්ස් ඒ සඳහා තවත් ගීත කිහිපයක් නිර්මාණය කර ගන්නේය. 'විජිතයේ ආදරයේ' නම් ගීතය ඔහු රූකාන්ත ගුණතිලක ලවා නිර්මාණය කර ගත් අතර 'පිණි කැට වැටෙනා' ගීතය හේමලාල් ගීතදේව ලවා නිර්මාණය කර ගන්නේය.

ජාතික තරුණ සේවා සභාවේ ප්‍රින්ස්ගේ සමකාලිනයකු වූ 'ශාන්' ලවා ඔහු තවත් ගීයක් නිර්මාණය කර ගත්තේය. 'ඔබ හමු වූ දිනේ - මා ගොලු වී ගියේ' නම් ජනප්‍රිය ගීතය එම ගීතයයි. 'සුදු වැලි විසිරුණු මාවත අද්දර - ඔබ යයි අවසන් ගමනේ' ගීතය රචනා කරනුයේ ලලිත් වසන්ත විසිනි. එය සංගීතවත් කරනුයේ විජය බණ්ඩාර වැලිතුඩුව විසිනි.

එකල බෙල්වුඩ් හි ප්‍රින්ස්ලාට වඩා ප්‍රවිණයකු වූ විජය බණ්ඩාර වැලිතුඩුවගේ පළමු ගී තනු නිර්මාණය වූයේ ද ප්‍රින්ස් ගායනා කළ මෙම ගීතයයි. 'සංගීත සාගරේ - පෙම් සිහින මාවතේ' ගීතය නැවත වරක් විශරද නිහාල් ගම්හේවා විසින් ඔහුට නිර්මාණය කර දුණි. ගීත කිහිපයක් සඳහා එදා ප්‍රින්ස්ට යුග ගායනයෙන් එක් වූයේ චන්ද්‍රලේඛා පෙරේරාය. දයානන්ද පෙරේරාගේ පටිගත කිරීමෙන් දෙහිවල 'ඉලෙක්ට්' ශබ්දාගාරයේදී එදා ප්‍රින්ස්ගේ මේ ගීත පටිගත විණ.

තිලක් ඩයස්, මහින්ද බණ්ඩාර, ඉරේෂ්, ජගත් වික්‍රමසිංහ, ජයන්ත දිසානායක, හේමලාල් ගීතදේව වැන්මෝ වාදන ශිල්පින් ලෙස එක් විය. මේ ගීත සියල්ල ඇතුළත් ප්‍රින්ස්ගේ පළමු කැසට්පටය 'සඳ කුමාරියක්' ලෙසින් එළි දැක්විණ. විශාරද ගම්හේවාට අනුව ඔහු ප්‍රින්ස්ට නිර්මාණය කළ මුල් ගීත 04 මෙරට සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂ සිද්ධියක් සනිටුහන් කරන්නකි. එතෙක් මෙරට සංගීත නිර්මාණයේදී 'ඔක්ටපැඩ්' නම් වාදන භාණ්ඩය භාවිතයට ගෙන නොතිබුණේය. ලංකාවේ පළමුවරට මෙම ගීත 04 සඳහා විශාරද නිහාල් ගම්හේවා 'ඔක්ටපෑඩ්' භාවිතා කළේය. ඒ අනුව එම සංගීත භාණ්ඩය ඇතුළත් ගීයක් ප්‍රථමයෙන් ලංකාවේ ගැයූ ගායකයා වන්නේ ද ප්‍රින්ස් උදය ප්‍රියන්තය.

ඉන් පසු ඔහුගේ දෙවෙනි කැසට්පටය 'ඔබ පෑ පෙම් සිනා' නමින් ද තෙවැන්න 'මහද ප්‍රේමාදරේ' නමින් ද ජයනන්ද රෙකෝඩ් බාර් විසින් නිෂ්පාදනය කළේය. ඉන් පසු 'සෙනෙහස ඔබේ, කඳුළු ගංගා, සුළඟට හාදු තියන්න, සීගිරියේ කුරුටු ගීත, කඳුළු කතන්දරේ, ප්‍රින්ස් ගී සන්ෆලවර්ස් සමඟ 1 - 2, සඳකඩ පහණ නමින් යුත් සියලු කැසට් සහ සංයුක්ත තැටි නිල්වලා ආයතනය විසින් නිකුත් කෙරිණි.

මෙම සියළු කැසට් සහ සංයුක්ත තැටිවල වූ ප්‍රින්ස්ගේ බොහෝ ගීත එකල අතිශයින් ජනප්‍රිය විය.

සුදු මල් පොකුරක් දෝත දරා මා

ඔබේ සෙහොන ළඟ තනි වී

රහසේ සැලෙනා කඳුලැලි සඟවා

සිහිකරමි මා පියාණෙනි . . .'

එකල ප්‍රින්ස්ගේ ගීත අතුරින් මුල් යුගයේම ජනප්‍රිය වූ මේ ගීතය ප්‍රින්ස්ගේ පෞද්ගලික ජීවිතය හා බෙහෙවින් සමීප විය. පියාගේ අඩි පාරේ යමින් සංගීත දිවිය ඇරැඹූ ඔහුට ඔහුගේ දක්ෂතා නොදැකම මුල් කාලයේදීම හැර ගිය පියා වෙනුවෙන් සුවිශාල වේදනාවක් විය. එකල ඔහු මේ ගීතය සිය පියාට කරන උපහාරයක් ලෙසින් සලකමින් අතිශය හැඟුම්බරව ගායනා කළේය.

ප්‍රේමය පිළිබඳ ඔහු ගැයූ බොහෝ ගීත ද අතිශයින් හැඟුම්බර විය.

"වෙරළ කොනක හිඳ - බලා සිටින්නෙමි

ඔබ එන මඟ මා පවන් සැලී

පෙර දිනයක අප හමු වූ තැන් හිඳ

සමුගන්නට මුණ ගැසෙමු යළි . . ."

වැනි ගීත ද එකල බොහෝ යොවුන් සිත් හැඬ වූ ගීත බවට පත් විය.

ප්‍රින්ස් වයලීන් වාදකයකු වශයෙන් වැඩි අධ්‍යාපනයක් ලැබුව ද ඔහු දුර ගමනක් ගියේ ගායකයෙකු වශයෙනි. ගී තනු නිර්මාණ ශිල්පියෙකු හා ගී පද රචකයකු වශයෙන් ද ප්‍රින්ස් නොයෙක් වර දක්ෂතා පළ කලේය. ඔහුගේ කැසට්පට සඳහා නොයෙක්වර ඔහු විසින්ම පද රචනය කර ගී තනු නිර්මාණය කර ගත් ගීත ඇතුළත් කළ අවස්්ථා විය. මේ සියල්ල අතර ගායකයෙකු වශයෙන් ඔහුගේ කටහඬ තුළ වූ සංවේදී හැඟීම්බර බව මෙරට සංගීත ශ්‍රාවකයන් අතර ඔහු කැපී පෙනෙන්නට හේතුවක් විය.

ප්‍රින්ස් අසනීප තත්ත්වයට පත්වන තුරුම ගීත ගායනය කළේය. ගෙවුණු ඔහුගේ කෙටි ජීවිත කාලය තුළ අති විශාල ශ්‍රාවකයින් පිරිසක් තුටු පහටු කළේය. ජීවිතේ ඔහු රැගෙන ආ ආයුෂ නිම කරමින් ඔහු යන්නට ගිය ද කිසිදා අමතක කළ නොහැකි සංවේදී හඬක් ඔහු අපට ඉතිරි කර ගියේය.

"පෙර දිනයක අප හමු වූ තැන් හිඳ

සමු ගන්නට මුණ ගැසෙමු යළි . . ."

ප්‍රින්ස් ඔබට සුබ ගමන්!