වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




සුනිල් වෙනුවෙන් ස්තූතිය

සුනිල් වෙනුවෙන් ස්තූතිය

සරසවිය හිටපු කර්තෘ සුනිල් මිහිඳුකුල මහතාගේ අවමංගල්‍ය කටයුතුවලදී නන් අයුරින් සහයෝගය දුන් ගරුතර මහා සංඝරත්නයට, සිරිල් ගාමිණී පියතුමාට, රෝගාතුර වූ අවස්්ථාවේ සිට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍ය රවීන්ද්‍ර ලාල් සතරසිංහ මහතා ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩලයට, මෙම ශෝකී අවස්ථාවට සහභාගී වූ පවුලේ ඥාතීන්ට, අසල්වාසීන්ට, හිත මිතුරන්ට, ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදන ඩිප්ලෝමාවේ 28 කණ්ඩායමේ ගුරුවරුන් ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, මිල්කෝ පෞද්ගලික සමාගමේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, මහරගම ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා දරුවන්ට, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට, ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයට මෙන්ම අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, කේ. ඩී. ලාල්කාන්ත හා සුනිල් හඳුන්නෙත්ති ඇතුලු මැති ඇමතිවරුන්ට කලා ක්ෂේත්‍රයේ හා විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයන්හි හිතවතුන්ට ද අවසන් ගෞරවය දැක්වීමට පැමිණි ඥාති හිත මිත්‍රාදීන්ට ද මිහිඳුකුල පවුලේ ස්තූතිය පිරිනමන බව සරසවියට දන්වා එවා තිබුණි.

එමෙන්ම මල් වඩම්, ශෝක ප්‍රකාශ හා බැනර් එවීමෙන් එක් වූ අතිගරු ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍යතුමාට, කථානායකතුමාට, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමාට, ජාතික චිත්‍රපට සංස්ථාවේ හා රයිගම් ආයතන සභාපතිවරුන්ට ඇතුළු සියලුම දෙනාට ද සුනිල්ගේ භාර්යාව සුරාජි කරුණාතිලක හා සචින්ද්‍ර, ෂෙහාන්, ශානක, සංජුල පුතුන් හා ලේළිය රසිකා ඇතුළු පවුලේ ඥාතීන් අවමංගල්‍ය ස්තූතිය පුද කර සිටියි.

සුභාවිත 17 දා

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලීය 2003 ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන 'සුභාවිත' සංගීතමය සැඳෑව මෙම මස 17 වැනිදා සවස නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වේ. සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න සහ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මෙදින ගායනයෙන් දායකවීමට නියමිතය. ප්‍රසංගයෙහි සංගීත අධ්‍යක්ෂණය ජයන්ත රත්නායකගෙනි. කථනය හේමනලින් කරුණාරත්නගෙනි.

පැරැණි හින්දි ගීත ප්‍රසංගයක් කොළඹදී

පැරැණි හින්දි චිත්‍රපට ගීත රසික සමාජය ඉදිරිපත් කරන ගීත් මාධූරී සංගීත ප්‍රසංගය මෙම මස 18 වැනිදා එනම් එන ඉරිදා උදෑසන කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී නොමිලේ පැවැත්වේ.