වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවට අඳුරු විශ්වයක්

සිනමාවට අඳුරු විශ්වයක්

නික් මෝර්ටන් පෞරාණික වටිනාකම් ඇති දේ සොයා ගොස් ඒවා ඉහළම මිලකට අලෙවි කරන්නෙකි. එවන් ගමනක් අතරතුර නික් සහ ඔහුගේ සහායක මැද පෙරදිග දී ප්‍රහාරයකට ලක් වේ. එම ප්‍රහාරය අතරතුර වසර දහස් ගණනකට පෙර මිහිදන් කර තිබූ අහ්මනෙට් නම් ඊජිප්තු කුමරියගේ මමිය මතු වේ. ඇය සතුව ඇති නපුරු බලවේග ක්‍රම ක්‍රමයෙන් වැඩි වර්ධනය වන අතර ලන්ඩනයේ ආරක්ෂාව පිණිස නික් විසින් එය මැඩපැවැත්විය යුතුව ඇත.

වසර දහස් ගණනකට පසු ඊජිප්තු කුමරියකගේ වෛරය බලාත්මක වන අයුරු කියවෙන The Mummy දැන් රිදී තිරයේ දිග හැරී ඇති නවතම සිනමා සිත්තමයි. ඇලෙක්ස් කර්ට්ස්මාන් විසින් අධ්‍යක්ෂණය කළ මෙය යුනිවර්සල් පික්චර්ස් බෙදැහැරීමකි.

Mission: Impossible III, Transformers, Cowboys & Aliens, The Amazing Spider-Man 2, Star Trek Into Darkness  වැනි ජනප්‍රිය සාර්ථක චිත්‍රපට රැසකට සම තිරරචනයෙන් මෙන්ම ඇතැම් චිත්‍රපට සඳහා නිෂ්පාදනයෙන්ද දායක වූ ඇලෙක්ස් කර්ට්ස්මාන්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය මෙය යි. අමෙරිකානු ඩොලර් මිලියන 125ක වියදමෙන් නිර්මාණය කළ The Mummy මිනිත්තු 107ක් පුරා දිවෙයි.

The Mummy යනු ලෝක සිනමා ඉතිහාසයේ චිත්‍රපට මාලා රැසක් නිර්මාණය කරන්නට මුල් වී ඇත. එහි ආරම්භය දිව යන්නේ 1932 වසර දක්වා යි. 1932 වසරේදී කෙරල් ෆ්‍රෙවුන්ඩ් විසින් අධ්‍යක්ෂණය කළ The Mummy චිත්‍රපටයෙන් පසුව The Mummy's Hand (1940), The Mummy's Tomb (1942), The Mummy's Ghost(1942), The Mummy's Curse (1944), Abbott and Costello Meet the Mummy (1955) ලෙසින් එක් චිත්‍රපට මාලාවක් තිරගත කෙරිණි. එයින් පසුව බ්‍රිතාන්‍යයේ හැමර් චිත්‍රපට ආයතනය විසින් ද 1959 සිට 1971 දක්වා තවත් චිත්‍රපට මාලාවක් නිෂ්පාදනය කරන ලදී. Stephen Sommers  චිත්‍රපට මාලාව මෙන්ම The Scorpion King චිත්‍රපට මාලාවද The Mummy චිත්‍රපට මාලාවට අයත් චිත්‍රපට මාලාවන් වේ.

නවතම Mummy චිත්‍රපටයේ ප්‍රධන චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් කෲස් විසිනි. ඇල්ජීරියානු නිළියක වන සොෆියා බෞටෙලා විසින් නපුරු ඊජිප්තු කුමරිය හෙවත් අහ්මනෙට්ගේ චරිතයට පණ පොවන අතර ඇනබෙල් වලීස්, ජේක් ජොන්සන්, රසෙල් ක්‍රෝව් විසින් සෙසු චරිත සඳහා දායක වී ඇත. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ඇතුළුව සූරි සහ නැම්බියාවේදී රූගැන්වූ එය පසුගිය මැයි 22 වැනිදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි පිහිටි ස්ටේට් තියටර්හිදි තිරගත කෙරිණි.

නික් මෝර්ටන් පෞරාණික වටිනාකම් ඇති දේ සොයා ගොස් ඒවා ඉහළම මිලකට අලෙවි කරන්නෙකි. එවන් ගමනක් අතරතුර නික් සහ ඔහුගේ සහායක මැද පෙරදිග දී ප්‍රහාරයකට ලක් වේ. එම ප්‍රහාරය අතරතුර වසර දහස් ගණනකට පෙර මිහිදන් කර තිබූ අහ්මනෙට් නම් ඊජිප්තු කුමරියගේ මමිය මතු වේ. ඇය සතුව ඇති නපුරු බලවේග ක්‍රම ක්‍රමයෙන් වැඩි වර්ධනය වන අතර ලන්ඩනයේ ආරක්ෂාව පිණිස නික් විසින් එය මැඩපැවැත්විය යුතුව ඇත.

The Mummy IMDB දර්ශකයේ දැනට ලබා ඇති ලකුණු සංඛ්‍යාව 6.7/10කි. විචාරක අදහස් සමඟින් රොටෙන් ටොමැටෝස්හි සියයට 25ක් ලබා ඇති එයට විචාරක ප්‍රසාදය නම් හිමි වී නොමැති බව පෙනේ. එය විශ්වයේ ඇති දරුණු රහස් කඩිනමින් දිග හැරුණු අවස්ථාවක් බව රොටෙන් ටොමැටෝස් පොදු පිළිගැනීමයි. පෙර Mummy චිත්‍රපටවල තරම් ත්‍රාසයේ මෙන්ම රසවින්දනයේ ද අඩුවක් මෙහි තිබෙන බව ඔවුන්ගේ අදහසයි. නමුත් සුපිරි නළු ටොම් කෲස්ගේ රංගනය ඔවුන්ගේ ඇගයීමට ලක් වී ඇති බව පෙනේ. ඒ. ඒ ඩුවඩ් නම් විචාරකයා පවසන්නේ, ටොම් කෲස් විසින් මෙම චිත්‍රපටය ඉහළට ඇද ගනිමින් ඉදිරියට ගෙන යාමට විශාල උත්සායක යෙදෙන බවයි. විශේෂ දෘශ්‍ය ප්‍රයෝග ඔස්සේ එහි ත්‍රාසජනක බව ඉහළ දැමීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බව ඔහු පෙන්වා දෙයි. ට්‍රිබියුන් නිව්ස් සර්විස්හි විචාරක කැතී වෝල්ෂ් ගේ අදහස නම්, මෙහි පුරාතන බලවත් දෙවඟනක් ගැන ඇති කතාවක් නමුත් මනුෂ්‍ය ලොව ආදරය හමුවේ ඇය ද ගොදුරක් වී ඇති බවයි. ඔස්ට්‍රේලියාවේදි මෙය නැරඹූ ඇතැම් විචාරකයක් පවසා තිබුණේ The Mummy මමියක් ලෙසම තැබුවා නම් වඩාත් හොඳය යන්නයි.

The Mummy චිත්‍රපටය සමඟින් නවතම සිනමා විශ්වයක් පිළිබඳ තොරුතුරු හෙළි වේ. DC විශ්වය, මාර්වල් සිනමා විශ්වය සිනමා ලොව පවතින්නාක් මෙන් The Mummy ඔස්සේ යුනිවර්සල් පික්චර්ස් විසින් අඳුරු විශ්වයක් නිර්මාණය කෙරෙනු ඇති. ඒ ඔස්සේ ඉදිරියේදී Frankenstein, Bride of Frankenstein, Dracula, Creature from the Black Lagoon, Phantom of the Opera, Hunchback of Notre Dame, Invisible Man  වැනි චිත්‍රපට බිහි කිරීමට නියමිතය. මේ අනුව ටොම් කෲස්, ජේවියර් බාර්ඩෙම්, ජොනි ඩෙප්, ජෙනිෆර් ලොරන්ස්, ඇන්ජලීනා ජොලි, චාර්ලිස් තෙරෝන්, රුසෙල් ක්‍රෝව් ආදීන් මෙම අඳුරු විශ්වයේදී ඔබ හමු වේවි.