වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




අලි කතාවේ දඟපැටවු කෞශල්‍ය හා හංසිකා

අලි කතාවේ දඟපැටවු කෞශල්‍ය හා හංසිකා

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිනමා නිර්මාණයක් වු අලි කතාව චිත්‍රපටයේ දඟ පැටව් දෙන්නා කෞශල්‍ය නිර්මාණ තමා භානුගේ චරිතයට එක් වන්නේ. එතකොට සුමංගලීගේ චරිතය රඟන්නේ යොහානි හංසිකා. කෞශල්‍ය කඳාන මැසිනෝද් විදුහලේ දස වැනි ශ්‍රේණියේ. යොහානි බම්බලපිටිය ලින්ඩ්සේ විදුහලේ අට වැනි ශ්‍රේණියේ. තායිලන්තයේ රාජු නම් ඇත් පැටවා සමඟ ඔවුන් කළ අපූරු රංගනය දැන් සිනමාහල්වල. අපි ඒ දරුවන් හමු වුණා.

* දෙන්නගෙන් වැඩියෙන්ම අලි පැටියා ආදරේ වුණේ කාටද?

රාජුට වැඩියෙන්ම ආදරය කළේ මම. එහෙම කිව්වේ යොහානි. ඒ වුණාට ඔයාව අලිය පිටේ තියන් ගියේ නෑනෙ. එහෙම කිව්වේ කෞශල්‍ය.

* ඒ කතාව මොකක්ද?

මුලින්ම මගේ පැනයට උත්තර දුන්නේ යොහානි. අලි පැටියා හරිම ෂෝක්. මම එයාට වැඩියෙන්ම පලතුරුත් දුන්නා. ඒ වෙලාවට රාජු හරිම යාළුයි. ඒත් එයා රඟපාන්න ගියහම අඩුවෙන්ම ආදරය කළේ මට. දවසක් මම අලි පැටියගේ පිටේ යන දර්ශනයක් රූප ගතකරන්න තිබුණා. කොහොම හරි මාව අලි පැටියාගේ පිටේ නන්වලා තිබ්බම කළේ පිට හොල්ලලා මාව බිම දාපු එක. හොඳ වෙලාවට එදා මාව ඇදගෙන වැටුණේ මඩවලකට. මම එදා හොඳටම බය වුණා. මම බය වෙච්ච පාර කලන්තෙත් දැම්මා.

අලියා පිට හොල්ලල මාව බිමට දැම්මට පස්සේ සුනිල් මාමත් (සුනිල් ආරියරත්න) හොඳටම බය වුණා. ඊට පස්සේ ඒ දර්ශනය ආයෙත් කරන්නේ නැතුව සුනිල් මාමා නිකන් හිටියා. අලි පැටියා මාව බිම දැම්මාට මම එයා එක්ක තරහ වුණේ නෑ.

* කෞශල්‍යටත් අලි පැටියා එහෙම කළා ද?

මට නම් නෑ. මම නම් අලි පැටියාගේ පිටේ ගියා. හැබැයි එක වෙලාවකදී අලි පැටියා මාව පිට උඩ තියාගෙන දුවන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ නම් මට බයක් ඇති වුණා. රාජු එහෙම දුවල තිබුණේ මම එයාගේ පිටේ නැගල ඉන්න කොට. රාජුව බලාගන්න එයාගේ ඇත්ගොව්වා අපි ළඟින් ඈතට ගිහින් තිබුණා. රාජු එයාට හරිම ආදරෙයි. රාජු කළේ ඇත්ගොව්වා හොයාගෙන හිටිය තැනට දුවපු එක. අලි පැටියා දුවන කොට මාව වැටෙන්න ගියා. මම අලි පැටියගේ කරේ තිබුණ පටිය අල්ලගෙන ඒකෙ එල්ලිලා හිටිය නිසා බිමට වැටුණේ නෑ.

කෞශල්‍යත් යොහානිත් හරි හරියට අලි පැටිය නිසා ඒ දෙන්නට වෙච්ච අකරතැබ්බ ඔය විදියට කියන අතරේ මම ඇහුවේ දෙන්නගෙන් කොහොමද අලි කතාවට සම්බන්ධ වුණේ කියලා. මුලින්ම ඒ කතාවට මුලපිරුවෙ යොහානි. මම ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ රඟපානකොට චත්‍ර වීරමන් හඳුනගෙන තිබුණා. ඒ අංකල් තමයි අලි කතාව චිත්‍රපටයේ පරිගණකාශ්‍රිත දෘෂ්‍ය ප්‍රයෝග කළේ. සුනිල් අංකල් එයාගෙන් අහලා තිබුණා මගේ චිත්‍රපටයට ගැහැනු ළමයෙක් නැද්ද හොයා ගන්න කියලා. ඒ පාර චත්‍ර අංකල් මම ගැන සුනිල් අංකල්ට කියලා තිබුණා. මට තෝරා ගැනීමේ පරීක්ෂණයකට එන්න කිව්වා. චිත්‍රපටයේ නිෂ්පාදන කලමනාකාරිනිය වූ මනෝහාරි හේවාවසම් නැන්දා කලා අධ්‍යක්ෂක වූ බිමල් දුෂ්මන්ත සහාය අධ්‍යක්ෂ විමල් දේශප්‍රිය අංකල් ඇතුළු ගොඩක් උදවිය මට ගොඩක් සහයෝගය ලබා දුන්න මේ චරිතය කරන්න.

මම නම් අලි කතාවට එක් වුණේ මෙන්න මෙහෙයි කෞශල්‍ය එහෙම කියමින් කතාවට මුල පිරුවා. 2013 වසරේ ලිට්ල් ස්ටාර් සීසන් ඍ එකේ 12 පහළ නර්ථන අංශයෙන් ජනප්‍රිය තරුව වෙමින් කිරුළ දිනුවේ මම. ඔය අතරෙ මට මීට කලින් සෝමරත්න දිසානායක අංකල්ගේ සරිගම චිත්‍රපටයේ රඟපාන්න ලැබිලා තිබුණා. කොහෙම හරි සුනිල් අංකල් අලි කතාව චිත්‍රපටයට පිරිමි ළමයෙක් ඕනෑ වෙලා සෝමරත්න අංකල්ගෙන් අහලා තිබුණා දන්න පිරිමි දරුවෙක් ඉන්නවද කියලා. ඒ පාර සෝමේ අංකල් මම ගැන සුනිල් අංකල්ට කියලා මට දවසක් තෝරා ගැනීමේ පරික්ෂණයකට එන්න කිව්වා. ඒ පරීක්ෂණයට තව ගොඩක් ළමයි ඇවිත් හිටියා. ඒ අතරින් භානු චරිතයට මාව තෝරා ගත්තා.

* මීට කලිනුත් රංගනයේ අත්දැකීම් කෞශල්‍ය පුතා ලබලයි තිබිල තියෙන්නේ?

මම මුලින්ම රඟපෑවේ දුවන මුවන් චිත්‍රපටයේ. ඊට පස්සේ සරිගම චිත්‍රපටයේ. අලි කතාව මගේ තුන්වෙනි චිත්‍රපටය.

* යොහානි දුවටත් ඒ වගේ ලොකු අත්දැකීමක් රංගනය පැත්තෙන් තියෙනවාද?

ඔව්, ඔව්. අලි කතාව චිත්‍රපටය මගේ අට වෙනි චිත්‍රපටය. මුලින්ම මම රඟපෑවේ ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ. ඊට පස්සේ සිංහයා, පුංචි අන්දරේ, බාදුරා, සුජාත පුත්‍ර, ආලෝකෝ උදපාදි, ටවුමේ ස්කෝලේ, අන්තිමට රඟපෑවේ අලි කතාව.

මුලින් ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ රඟපාන කොට මගේ වයස අවුරුදු නමයයි. අම්මා නම් කියන්නේ මම අවුරුදු තුනේ ඉඳලා රඟපානවා කියලා. මේ වෙන කොට මම වෙළෙඳ දැන්වීම් හැට දෙකක රඟපාලා තියෙනවා.

* කෞශල්‍ය පුතාගේ ඉදිරි බලාපොරොත්තුව කලාව පැත්තෙන් ඉදිරියට යන්නද?

ඔව්, මට හොදට චිත්‍ර අදින්න පුළුවන්, නර්ථනයත් හොඳට පුළුවන්. මාෂල් ආට්ස් එහෙමත් මම හදාරනවා. කතෝලික පාසල් අතරින් හොඳම ළමයි දහ දෙනා අතරට මමත් තේරුණා. කොහොමත් කලාව පැත්තෙන් ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව. මේ දවස්වල නම් මම කලා නිර්මාණවලට දායක වෙනවා අඩුයි. මුලිකත්වය දීලා තියෙන්නේ අධ්‍යාපනයට. සාමාන්‍ය පෙල විභාගයත් අත ළඟ නිසා මම ඒ සඳහා තමයි කැප වෙලා ඉන්නේ.

මගේ තාත්තාත් චිත්‍රපට කීපයකම රඟපාලා තියෙන නළුවෙක්. සටන් අධ්‍යක්ෂවරයෙක්. තාත්තිට මං ආදරෙයි, හිත හොඳ සූරයෝ, බ්ලඩ් සපෝට් ධ්ධ්ධ් චිත්‍රපටවල වගේම අද අද එයි මරු ටෙලි නාට්‍යයෙත් තාත්තාත් රඟපාලා තියෙනවා. රෙනිල් ප්‍රනාන්දු තමයි මගේ තාත්තා. තාත්තා තමයි මාත් එක්ක රඟපාන්න යන කොට යන්නේ.

අලි කතාව රූපගත කරන්න තායිලන්තයට යන්න තාත්තත් මාත් සමඟ ආවා. තාත්තා ගොඩක් මගේ භය නැති කරන්න මගේ ලඟින්ම හිටියා . චිත්‍රපටයේ රූපගත කිරිම්වලදීත් තාත්තා සටන් අධ්‍යක්ෂණය පැත්තෙන් ක්‍රියාකාරකම්වලදී චිත්‍රපටය වෙනුවෙනුත් දායකත්වයක් සුනිල් අංකල්ට ලබා දුන්නා. තාත්තා තමයි මගේ සටන් ශිල්පයේ ගුරුවරයා.

* යොහානිගේ බලාපොරොත්තුව නිළියක් වෙන්නද?

මම වැඩිය කැමැති දේශපාලනය කරන්න. මගේ අම්මා ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. මංගලිකා. ඇය තමයි මාව අද මේ තත්ත්වයට රැගෙන ආවේ. මගේ තනි නොතනියට ළඟින්ම ඉඳන් මාව මේ නිර්මාණවලට එක්කගෙන යන්නේ අම්මා. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. මම රඟපෑ ටවුමේ ඉස්කෝලේ, පුංචි අන්දරේ චිත්‍රපට දෙක එන්න තියෙනවා. හිස් අහස් යට, රෑන, හිත ළඟ අත්තටු, මානාවාරිය ටෙලි නාට්‍යවලත් මම රඟපෑවා. වේදිකා නාට්‍යයකටත් රංගනයෙන් එක් වුණා.

* දෙන්නටම මේ දවස්වල අලි කතාව නිසා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හුඟක් හොඳයි. චිත්‍රපටය බලපු අය අපිව අගය කළා. අපි දෙන්නම හරිම ආශාවෙන් චිත්‍රපටයේ රඟපෑවේ. අලියා එක්ක සෙල්ලම් කළා. අලියා නෑව්වා. අලියත් අපේම යාළුවෙක් වගේ තමයි හිටියේ. මම භානුට ආදරෙයි. භානු නිසා මට තායිලන්තයට ගිහින් අපූරු අත්දැකීමක් විඳගන්න ලැබුණා. එහෙම කිව්වේ කෞශල්‍ය. හැබැයි ඉතිං යාළුවෙක් වගේ කන්න දෙනකන් මාත් එක්ක ඉඳලා හැම වෙලාවෙම මට හොඩෙන් ගැහුව රාජු අලි පැටියා එක්ක මම තරහ නෑ. රාජු අලි පැටියා උණ බට අස්සෙන් හොඬ දාලා මගෙන් කෑම ඉල්ලන්නේ හොඳ හැටි බඩපුරවගෙන. අන්තිමට මාව බිම දැම්ම එක ගැන නම් මටත් දුකයි. හැබැයි ඉතිං තායිලන්තයේ සාප්පු සවාරි ගිය හැටි අලියත් එක්ක අපි සෙල්ලම් කළ හැටි මතක් වෙන කොට නම් ආයෙත් තායිලන්තයට යන්න හිතෙන තරම්. සුමංගලී නිසා මට මේ වගේ විරල අවස්ථාවක් ලැබුණා. සුමංගලීට මම කැමැතියි. එහෙම කිව්වේ යොහානි.

නැන්දිලා, මාමිලා, නංගිලා, අක්කිලා, අයියලා මල්ලිලා අලි කතාව බලලා අපේ රඟපෑම හොඳ ද නරක ද කියලා අපිට කියන්නකෝ මෙන්න මේ ලිපිනයන්ට. 51/63, අතුරුගිරිය පාර, රුක්මල්ගම යොහානි හංසිකා නමටත්, 19/60, ආනියාකන්ද පාර, පේරලන්ද, රාගම ලිපිනයට කෞශල්‍ය නිර්මාණ නමටත්.