වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

ප්‍රශ්නයකට ශ්‍රීදේවි ගෙන් ප්‍රශ්නයක්

එස්. එස් රාජාමෞලි අධ්‍යක්ෂණය කළ Baahubali චිත්‍රපට ද්විත්වයම ආදායම් වාර්තා තබමින් අති සාර්ථක ලෙස තිරගත වූණා. 2015 වසරේදී Baahubali: The Beginning තිරගත වූ අතර දෙවැන්න Baahubali 2: The Conclusion පසුගිය අප්‍රේල් මාසයේදී තිරගත කෙරුණා. පුරාවෘත කතාවක් ගෙන එන මෙම චිත්‍රපටයේ සිවගාමී හෙවත් රාජාමාතා චරිතයට අධ්‍යක්ෂ රාජාමෞලි ප්‍රථමයෙන්ම ආරාධනා කර තිබුණේ සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවිට යි. ඇයගේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එම චරිතය රම්‍යා ක්‍රිෂ්ණන් වෙත භාර කළා.

බාහුබලී ප්‍රතික්ෂේප කළ ශ්‍රී දේවි චිම්බු දේවන් අධ්‍යක්ෂණය කළ Puli චිත්‍රපටයේ යාවනරාණි රැජනගේ චරිතය නිරූපණය කළා. එයට සාර්ථක චිත්‍රපටයක් වීමට නොහැකි වූයේ වියදමටත් වඩා අඩු ආදායමක් වාර්තා කළ නිසා. පසුගියදා බාහුබලී දෙවැන්නත් සාර්ථක වූ පසු මාධ්‍ය ශ්‍රී දේවිගෙන් මේ ගැන ප්‍රශ්න කරන්න පටන් ගත්තා. නමුත් ඇය නිසි පිළිතුරක් දුන්නේ නැහැ.

පසුගියදා Mom චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීමේ උත්සවයේදී මේ ප්‍රශ්නය යළිත් ශ්‍රී දේවිහට යොමු කළා. "වෙන කෙනෙක් ඒ චරිතය කළා. ඒ චිත්‍රපට දෙකම සාර්ථක වුණා. ඇයි ඒ ගැන ප්‍රශ්න අහන්නේ?" ශ්‍රී දේවි කීවේ එපමණයි.


සල්මන්ගේ හින්දි ටියුෂන්

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නවතම සිනමා නිර්මාණය Tubelight ලබන 23 වැනිදා ලොවපුරා තිරගත කරන්න සූදානම්. එහි සල්මන් සමඟින් සොහෙල් ඛාන් සහ චීන නිළියක සහ ගායිකාවක වන සු සූ රංගනයෙන් දායක වෙනවා. Tubelight සු සූගේ ප්‍රථම බොලිවුඩ් රංගනය යි.

මේ චිත්‍රපටයේ රංගනයේදී දෙබස් උච්ඡාරණය පහසු වෙන්න ඇය හින්දි ඉගෙන ගන්න පටන් අරන්. පංති යන අතරතුර ලොකු කාලයක් හින්දි ඉගෙන ගන්න වෙන් කරලා. කබීර් ඛාන් කියන්නෙත් කරන දේ හරියටම කරන අධ්‍යක්ෂවරයෙක්. ඒ නිසාම සු සූ මේ වැඩේට ගොඩක් උනන්දු වෙලා.

සූ සූ හින්දි ඉගෙන ගන්න අතරේ ඇයට උදව් කළ තවත් කෙනෙක් ඉන්නවා. වෙනත් කවුරුවත් නෙවෙයි ඔහු සල්මන් ඛාන්. සූ සූ හින්දි දෙබස් කියනවිට සල්මන් ඒ වාක්‍යවල තේරුම පවා කියා දෙනවාලු. සූ සූ කියන්නේ දෙබස් මතක තියාගන්න ඒක ලොකු උපකාරයක් වූ බවයි.


විද්‍යාගේ ෆෝන් ඕෆ්

විද්‍යා බාලන් මේ දවස්වල කාලය ගත කරන්නේ සුරේෂ් ත්‍රිවේනිගේ Tumhari Sulu දර්ශන තලයේ. ඒ නිසාම ඇයගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරලා තියෙන්නේ. විද්‍යා කියන්නේ තමන්ගේ රාජකාරිය වගකීමෙන් ඉටු කරන බොලිවුඩ් නිළියක්. චිත්‍රපටයක තමන්ගේ චරිතය වෙනුවෙන් කොපමණ කැප වෙනවාද යන්න කිව්වොත් අදාල චරිතය නිරූපණයේදී බාහිරින් වන බලපෑම් වළකා ගන්න උපරිමයෙන් උත්සාහ ගන්නවා.

විද්‍යා ‍ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරන්නේ මේ නිසා. නිරන්තරයෙන් එය නාද වීම වගේම කෙටි පණිවුඩ ලැබීම මහත් හිසරදයක් බව ඇය පවසනවා. මේ නිසා ඇය දර්ශන තලයට පිවිසි විගසම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරනවා. Tumhari Sulu චිත්‍රපටයේ විද්‍යා ගුවන්විදුලි නිවේදිකාවකගේ චරිතයකට පණ පොවනවා.


ලොකු නිවාඩුවක්

අභිෂේක් බච්චන්, ‍ඓෂ්වර්යා රායි සිය ආදරණීය දියණිය ආරාධ්‍යා බච්චන් සමඟින් ලොකු නිවාඩුවක් ගත කරන්න සූදානම්. නිවාඩුවක් ගැනීම මේ දෙදෙනාටම ලොකු අවශ්‍යතාවක් බවට පත් වෙලා. පසුගිය අවුරුද්දේ ‍අභිෂේක් - ‍ඓෂ් දෙදෙනාම කාර්යබහුල වෙලා හිටියේ. මේ අවුරුද්ද ආරම්භයේදී ඓෂ්ගේ පියාගේ අසනීප තත්ත්වය නිසා ඔවුන් සිය 10 වැනි විවාහ සංවත්සරය පවා ඉහළින් සැමරුවේ නැහැ. ඓෂ්ගේ පියාගේ අභාවයත් කාන් සිනමා උලෙළත් නිසා මැයි මාසයේදී විවේකයක් ගන්නත් ඓෂ්ට හැකි වුණේ නැහැ.

නැවතත් දෙන්නාම වැඩ පටන් ගන්න කලින් විවේකයක් ගන්න තීරණය කරලා. ඒ අනුව පසුගිය ජූනි 13 වැනිදා අභිෂේක්, ඓෂ් සහ ආරාධ්‍යා අමෙරිකාවට ගියා. එහි සති දෙක තුනක් ගත කරලා ඔවුන් එංගලන්තයට යන්න නියමිතයි. ජූලි මාසයේ මැද ඔවුන් බොලිවුඩයට පැමිණේවි.


සැඟ වුණු මම්තා සොයා පොලිස් පරීක්ෂණ

මම්තා කුල්කර්ණි 90 දශකයේ බොලිවුඩයේ ජනප්‍රිය වූ නිළියක් වගේම මොස්තර නිරූපණ ශිල්පිණියක්. Aashiq Awara (1993), Waqt Hamara Hai (1993), Krantiveer (1994), Karan Arjun (1995), Sabse Bada Khiladi (1995), Baazi (1996) වැනි සාර්ථක සිනමා නිර්මාණ රැසකට දායක වුණු ඇය 2002 වසරේදී Kabhie Tum Kabhie Hum චිත්‍රපටයෙන් පසුව සිනමාවෙන් ඉවත් වුණා.

ළඟකදී නම් ඇය ගැන අහන්න ලැබුණේ තරමක් අසුබ ආරංචියක්. ඉන්දීය රුපියල් කෝටි 2000ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මුම්බායි වෙත ගෙන ඒම සම්බන්ධයෙන් මම්තා සහ ඇයගේ සැමියා විකී ගෝස්වාමි වරදකරුවන් බවට ඔප්පු වෙලා.

මේ දෙදෙනා වරදකරුවන් වෙලා තියෙන්නේ පසුගිය වසරේදී ඔවුන් මෙතෆෙටමයින් නම් නීතිවිරෝධි මත්ද්‍රවය නිෂ්පාදනයට එෆඩ්‍රයින් නම් ඖෂධය ගෙන්වීම සම්බන්ධවයි. මේ ඖෂධය ගෙන්වා තියෙන්නේ විකී ගෝස්වාමිගේ ආයතනයක් හරහායි. කොහොම වුණත් දැන් පොලිසිය සැඟවී සිටින මම්තා සහ විකී සෙවීමේ පරීක්ෂණ දැනටමත් ආරම්භ කරලා.