වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




මීට වසර 30 කට පෙර අපෙන් සමුගත් ගී රචක නළුවා: හර්බට්
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

මීට වසර 30 කට පෙර අපෙන් සමුගත් ගී රචක නළුවා: හර්බට්

"හඳපහනින් ඔහුගේ මුහුණ වඩාත් හොඳට පෙනෙයි. ඔහුගේ හිසකෙස් අවුල් වුවත්, මුහුණ කොට කෙඳි බුරුසුවක් මෙන් වුවත් ඔහු දැකුම්කලුය. දෙනෙත් ඉතාම පැහැදිලිය. පියකරුය. ඔහු සිනාසෙන විට දක්වන දත් ද දීප්තිමත්ය. කය මනා කොට වැඩුණු මස් පිඬුවලින් හැසුණු - ගැවසුණාවු හෙයින් ශක්තිමත්ය. පෙනුමෙන් හැඩි දැඩි විනා ඔහු කෙරේ බියවීමට සුදුසු ලකුණු කිසිවක් අපට නොපෙනේ. ඔහුගේ නම චාලිය."

එදා 'හඳපාන' චිත්‍රපටය නැරැඹූ කවුරුත් චාලි හඳුනති. සේන ගලපාතත් හඳුනති. ඩබ්ලිව්. ඒ. සිල්වා සූරින්ගේ 'හඳපාන' චිත්‍රපටයේ මේ චරිත දෙකම රඟපෑ හර්බට් එම්. සෙනෙවිරත්න එම චිත්‍රපටයේ ජනප්‍රිය ගීත කිහිපයක්ම රචනා කළේය. 'ආලෝකේ පතුරා - මුළු ලෝකේ ඔපලා චන්ද්‍රා හිමින් එයි නැඟී', 'පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ?, 'ඔබ නැති මේ බිම පාලුයි අඳුරුයි', 'ඈත අහසේ නැඟේ දිනිඳු පායා', 'අහසේ වළාවෝ' මේ ගීතයි. 'හඳපාන' චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූයේ ද හර්බට්ය.

චිත්‍රපට නළුවකු, ගීත රචකයකු, නිෂ්පාදකයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ හර්බට් එම්. සෙනෙවිරත්න 1987 ජුනි 07 වෙනිදා සදහටම වෙන් වී වසර 30 ක් ගත වී ඇත. මට හර්බට් අයියා (මා ආදරයට ඇමතුවේ ඒ නමිනි) හා සමීප ඇසුරක් ඇති කර ගැනීමට අවස්්ථාව සැලසෙන්නේ 1970 වසරේ මාර්තු මාසයේදීය. ඒ හර්බට්ගේ නළු ජීවිතයේ උත්කර්ෂවත් මතක සටහන් තැබූ වසරකි. 1951 වසරින් ඇරැඹි ඔහුගේ සීමිත චිත්‍රපට නළු ජිවිතයේ වසර 20 තුළ රඟපෑ චිත්‍රපටයක් සඳහා සරසවිය සම්මානයක් හිමිවීමයි. 1970 සරසවිය සම්මාන උලෙළේ හොඳම නළුවා වූයේ 'සෙනෙහස' චිත්‍රපට හමුදා කපිතාන්වරයකු ලෙස රඟපෑ හර්බට්ය. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක හා නිෂ්පාදක වූයේ ද ඔහුය.

'මහජන අත්පොළසන් මැද විනාඩියක ජීවත්වීම ධනවතෙකු වීමට වඩා මට වැදගත්' යයි හර්බට් අයියා සරසවිය සම්මානය ඇතිව මට පැවසුවේය. මේ ප්‍රකාශය ශීර්ෂ පාඨය කොට පසුව මම සරසවියට ලිපියක් ලිව්වෙමි.

මම රඟපාලා තිබුණේ චිත්‍රපට 7 ක පමණයි. අවුරුදු 20 තුළ ලැබුණු එකම සම්මානය මේකයි. ඒකෙ තවත් විශේෂයක් තියෙනවා. තමාව තමාම මෙහෙය වූ චිත්‍රපටයකට මේ සම්මානය ලැබුණේ. මට රඟපෑම උගන්වන්න ගුරුවරයෙක් හිටියේ නෑ. මට මඟ පෙන්වන්න කිසිවෙක් හිටියේ නෑ. මගේ ගුරුවරයා මම බව මට වැටහුණා. පස්සෙයි මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ. සරසවිය සම්මානයක් ලැබීම නළුවකුට ජීවිතයේ උපරිම අවස්ථාව. මේ පිරිසිදු චේතනාව අධිෂ්ඨානයක ප්‍රතිඵල මා ළඟ දැන් තියෙනවා කියලා සම්මානය ලබන විට මට හිතුණා.

චිත්‍රපට නළුවෙකු වශයෙන් මා කවුරුවත් අනුගමනය කරන්නේ නෑ. දිලිප් කුමාර් ලෙස රඟපාන්න මම කැමති නෑ. මම රඟපාන්නේ හර්බට් විදිහට. දිලිප් කුමාර්ලා දෙන්නෙක් අවශ්‍ය නැහැනේ' කී හර්බට් 'කෝටියක් සල්ලි තියෙන මිනිසෙකු වශයෙන් වසර 10 ක් ජීවත් වෙනවාට වඩා මහජන අත්පොළසන් මැද එක විනාඩියක් ජීවත්වීම වැදගත් කියලා සම්මානය ලබන කොට මට හිතුණා' සතුටින් සරසවිය සම්මානය සිප ගත්තේය. ඔහුගේ දෑසේ සතුටු කඳුළු පිරී තිබුණා.

හර්බට් මුදල් පසුපස හෝ චිත්‍රපට පසුපස හඹා නොගිය නළුවෙකි. ප්‍රචාරය පසුපස නොගියේය. ඔහුටම සුවිශේෂ ප්‍රතිපත්ති මාලාවක් තිබුණි. කාටවත් හිස පාත් නොකළේය. ආත්ම ගෞරවය, මනුෂ්‍යකම තම ආගම ලෙස සැලකීය. ඔහු අයුක්තියට විරුද්ධව නැඟී සිටි මිනිසෙකි. ඔහුගේ විනෝදාංශය හඳහන් බැලීමය. එහෙත් එය ජීවන වෘත්තිය කොට නොගත් ඔහු නැකත් විශ්වාස කලේය. මේ නිසා තමාගේ හොඳ කටයුත්තකදී නැකත් හැදුවේ ද තමාමය.

කප්පිනිදේගිරි හර්බට් මෙන්ඩිස් සෙනෙවිරත්න 1924 අප්‍රෙල් 24 වෙනිදා දකුණු පළාතේ කහවේදී උපත ලැබීය. බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලයේ මූලික ඉගෙනුම ලැබූ කුඩා හර්බට්ගේ ළමා කාලය ප්‍රියජනක නොවීය. ඔහුගේ වැඩිමල් අයියා හර්බට්ට නිරතුරුව සතුරුකම් කළේය. මේවාට කුඩා හර්බට්ගේ දඟකාරකම් හේතුවක් විය. ඔහු ගෙදරින් පැන ගොස් පුංචි අම්මා (එමලින් ගුණතිලක) සෙවණේ වැඩුණේය. බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට යන කාලයේ ක්‍රිකට් තරඟවලින් මුල්තැන ගත් නිස සිද්ධාර්ථ ඉංග්‍රීසි පාසලෙන් නොමිලයේ ඉගෙනීමට ශිෂ්‍යත්වය ලැබිණි. ඉන්පසු කොළඹ නැන්දා කෙනෙකු සෙවණේ වැඩුණ හර්බට් කොළඹ මහාබෝධි විද්‍යාලයට ඇතුළත්ව ඇත.

'මහාබෝධියේ ඉගෙන ගන්නා කාලයේ මාත් සිසුන් කිහිප දෙනෙක් රඟපෑ 'යම්තම් බේරුන' නාට්‍යයේ මම පීරිස් මුදලාලිගේ චරිතය රඟපෑවා. එතකොට මගේ වයස අවුරුදු අටයි. රඟපෑම කුමක්දැයි කියා නොදැන කළ මේ රඟපෑම දැකලා එදා ප්‍රධාන අමුත්තා වූ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති පී. ද ඇස්. කුලරත්න මහත්තයා මට කතා කරලා 'ඔබට හොඳ අනාගතයක් තියෙනවා. තව උනන්දු වෙන්න. ඒ මාර්ගයේම ඉදිරියට යන්න.' ආශිර්වාද කළා. ඔහුගේ අනාවැකිය මට ආශිර්වාදයක්ම වුණා.'

කුලරත්න මහතාගේ ආශිර්වාදයෙන් පසු කුඩා හර්බට් ගමේදී රජ කතන්දරයක් පුරුදු වී ගේ අසල කුඩා වේදිකාවක් තනාගෙන 'චිංචෝරි' නාට්‍යය ලියා තම හිතවත් සම වයසේ මිතුරු මිතුරින්ට ඒ නාට්‍යය පෙන්නුවේය. ඒ අතරේ සිංහල ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ විභාගයෙන් සමත් විය. කුඩා කළ සිට ඔහු සාහිත්‍යයට ඇලුම් කළේය. කවියට ආදරය කළේය. හුදකලාවට හුරු විය. කුරුල්ලන්ගේ හඬට, ඇල දොල ගංගාවල හඬට කන් දුන්නේය. කවි සිතුවිලි ගලා ආයේය. ගීත රචනා ලීවේය. බොහෝ විට ඔහුගේ ගීතවලට 'හඳ' තේමා විය.

'ඒ කාලෙ මහාබෝධියේ ඉගෙන ගන්න කොට මට කලාවට ලැදි මිතුරෙකු හඳුනාගන්න ලැබුණා. ඔහුගේ නම මාකස් පෙරේරා. ගායිකා චිත්‍රා පෙරේරා (සෝමපාලගේ) සහෝදරයා. පසු කාලෙක මගේ 'හඳපාන' චිත්‍රපටයේ පීටර් අයියා ලෙස රඟපෑවේ ඔහුය. ඔහු මාර්ගයෙන් චිත්‍රාට ගීත ලියන්න පටන් ගත්තා. මම ලිව්ව පළමුවැනි ගීතය 'ලලිත කලා ඔප කරනා සිීගිරි ළඳුනේ ඇයි ඔබ තනි වී' චිත්‍රා හා පී. එල්. ඒ. සෝමපාල ගැයුවේය.

ඒ කාලයේ චිත්‍රපටවල රඟපෑමට සිහින මැවූ හැම තරුණයකුගේ සිහිනය තිබුණේ රුක්මණී දේවිය සමග රඟපෑම බව හර්බට් කීවේය. එහෙත් හර්බට් තිබුණේ ඇය සමඟ රඟපෑමට වඩා රුක්මණීට ගීයක් ලීවීමේ දොළ දුකය. මේ කාලයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ චිත්‍රපටල නිත්‍ය ගීත රචකයාව සිටි නන්දන කීර්ති අකාලයේ මිය ගියේය. මේ නිසා බී. ඒ. ඩබ්ලිව්. අලුත් ගීත රචකයකු ගැන විපරමින් සිටියේය. එවකට ග්‍රැමෆෝන් තැටිවලට ගීත ලියමින් සිටි හර්බට් ගැන එඩී ජයමාන්න විමසිල්ලෙන් සිටියේය. එඩී, ඔහු, බී. ඒ. ඩබ්ලිව්. ඉදිරියට රැගෙන ආවේය. හර්බට් දුටු බී. ඒ. ඩබ්ලිව්. විශ්මයෙන් බලා සිටියේය. එකල ඔහු කඩවසම් තරුණයෙකි. ප්‍රංශු දේහධාරියෙකි.

'මොන ගිත ප්‍රබන්ධයක්ද? ෂා! මේ හාදයා හොඳ පික්චර් එකේ පාට් එකක් ඇට් කරන්නනේ, එනවා රඟපාන්න මගේ 'උමතු විශ්වාසයේ. ගීතත් ලියමු' බී. ඒ. ඩබ්ලිව්. කීවේය.

හර්බට් හාපුරා කියා 1951 දකුණු ඉන්දියාවේ සිටඩල් චිත්‍රාගාරයට ගොස් ගීත 10 ක් රචනා කලේය. 'සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ', 'සිරියාවි මගේ තී මිහිරේ' (රුක්මණී හා බෙග්), 'ස්ථිර ආලේ හර්දේ පිනා ඒ ', 'මගේ ප්‍රේම රජා ගියා මා හැර දා' (රුක්මණී) 'දුකින් පිරෙන මේ ලෝකේ' (බෙග්), 'කොළොම්පුරේ ශ්‍රියා' මම මනනමාලි ඔබේ' (එඩී ජයමාන්න) මේ ගීත ඉතා ජනප්‍රිය විය. මෙහි සංගීත අධ්‍යක්ෂණය එස්. එස්. වේදාගෙනි.

ගීත රචනයට ගිය හර්බට්ට 'උමතු විශ්වාසය' චිත්‍රපටයේ පියසේන නම් රුක්මණී දේවිගේ පෙම්වතා ලෙස රඟපෑමට ද අවස්ථාවක් ලැබුණි. ඔහුට රඟපෑමට ලැබුණේ පෙම්වතෙකුගේ චරිතයකි.

'මේ කාලේ මගේ හිතවත් මිත්‍රයෙක් හිටියා උපාලි වනසිංහ කියලා. ඔහු 'කලා මන්දිරය' කියා නාට්‍ය සංගමය පිහිටුවා ගෙන 'දස්කොන්' කියලා නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ නාට්‍යයේ මම නරේන්ද්‍රසිංහ රජු හැටියට රඟපෑවා. මගේ බිසව විදියට රඟපෑවේ පසුව ගායිකාවක් ලෙස ප්‍රකට වූ ජී. එස්. බී. රාණි. මේ නාට්‍යය බලන්න එඩීත්, බී. ඒ. ඩබ්ලිව්ත් ආවා. උමතු විශ්වාසයට පාර කැපුණේ එහෙමයි. මේ නාට්‍යයේ ගීතත් ප්‍රබන්ධය කළා.' හර්බට් එදා අපට විස්තර කළේය.

හර්බට් රුක්මණීට ග්‍රැමෆෝන් ගීත හා වෙළඳ තැටි සඳහා ගීත රැසක් රචනා කළේය. මේ ගීත අතර 'ආදරය නිසා හර්දේ බැඳෙනා', 'සැප නෑ අහෝ මේ ලෝකයේ', 'ආනන්ද ජවනිකා ආවෙ වහා' (වල්පොල සමඟ), ' සෝකා දහරා එක් වී එයි ගිනිජාලා', මේ ගංගා ජලයේ ගිලිලි නැසීලා', 'පෙම් සිහින මවන රෑ යාමේ', 'ගියේ ඇයිද මාව තනි කර හදේ දුකක් මවා', 'මේ රාත්‍රියේ ආවෙමි රොන් සොයා' (එස්. එස්. වේදා සමඟ), 'මා ඔබේ සුදු - අර රමණී පෙම් හඳ (වල්පොල සමඟ), 'දුස්මන්ත අහෝ කිමදෝ' කැපී පෙනෙයි. ඔහු ලියූ චිත්‍රපට ගීත අතර 'කැලෑ හඳ' ලියූ සියලුම ගීත අතිශයින් ජනප්‍රිය විය. 'මැවිලා පෙනේවී රූපෙ - අන්න සුදෝ අර පාට වලා - මගේය ප්‍රේම මාලිනී - දෙවාගිනි මවා - මායා - කෝ සැපතා මේ සංසාරේ මේ ගීත අතර විශේෂය.

හර්බට්, ඉන් පසු දොස්තර (1956), සිරියලතා (1957) දස්කොන් (1962) චිත්‍රපටවල රුක්මණී දේවි සමඟ ප්‍රධාන චරිත ඔහු රඟපෑවේය. ඔහුගේ සිනමා ජීවිතයේ සුවිශේෂී කඩඉම වූයේ 1963 වසරේ තිරගත වූ 'හඳපාන' චිත්‍රපටයයි. ප්‍රධාන චරිතය රඟපාමින්, ගීත රචනා කරමින්, නිෂ්පාදනය කළ මේ චිත්‍රපටයේ මංගල දර්ශනය නැරැඹූ දිවංගත නවකතා කතුවර ඩබ්ලිව්. ඒ. සිල්වා සූරින්ගේ බෑණනුවන් වූ සිවිල් නිලධාරි සෙනරත් නන්දදේව මහතා චිත්‍රපට ගැන පැහැදී ඇත. 'ඔහු කොතරම් චිත්‍රපයට පැහැදුණා ද කිවහොත් චිත්‍රපටය බලා මා වැලඳගෙන මගේ අත තදින් මිරිකුවා. 'හර්බට් මගේ බාප්පා අද ජීවතුන් අතර සිටියා නම් මීට වඩා ඔබගේ තදින් අත මිරිකාවි යි කිව්වා.

'දොස්තර' (1955) චිත්‍රපටයේ රුක්මණී සමඟ ප්‍රධන චරිතය රඟගපාමින් හර්බට් එහි එන 'හෝ පෙම් රාජයා', 'පෙම් සාගරේ ගිලිලා', 'වාසනාවන්ත කළ ලබා', 'ජීවිතේ මා පාළු වී යයි', 'බලාපල්ලා මේ මූණේ හැටි' ගීත රචනා කළ අතර 1957 තිරගත වූ 'සිරියලතා' චිත්‍රපටයේ රිටිගල සිරිමාන්න නම් පෙම්වතාගේ චරිතය රුක්මණී දේවිය සමඟ රඟපාමින් චිත්‍රපටයේ සියලු ගී රචනා කළේය. 'මේ කෲර ලෝකේ තනිවයි උපන්නේ', 'ඇසේ ගීතේ මධුර ගීතේ', 'හඬාලා වැලපීලා', 'රූපය සාපය වේ මගේ', 'සැමදාම ඔබ මගේ කියා', 'ආලේ කළා නම් සැපත සොයාලා', 'අලංකාරේනී සෑදු' ගීත ජනප්‍රිය විය. අසෝකා හා රදළ පිළිරුව චිත්‍රපටවලද ඔහු ගීත ලිව්වා. 1968 තිරගත වූ 'සේපාලී' චිත්‍රපටයට ඔහු ලියූ 'මේ සෞම්‍ය රාත්‍රී ගෙවිලා යති' ගීතයත් 1965 තිරගත වූ 'හිතට හිත' චිත්‍රපටයට ලියූ 'චන්ද්‍රයා පායා එනවා ප්‍රියේ', 'වනමලට ආසාවේ' ගීත දෙකත් 1965 තිරගත වූ 'සත පණහ' චිත්‍රපටයට ලියූ එච්. ආර්. ජෝතිපාල හා සුජාතා පෙරේරා ගැයූ 'චන්ද්‍රා මේ පායා ආවා' හා මිනොන් රත්නම් ගැයූ 'අද අපි ඉන්නේ විනෝදයෙන් මත් වී' අතිශයින් ජනප්‍රිය විය.

හර්බට් පසු කලෙක චිත්‍රපට තිර නාටක ද ලිවීය. ඒ තමා විසින්ම අධ්‍යක්ෂණය කළ රන් එතනා (1981) හා 'සිටු දියණිය' (1982) චිත්‍රපට සඳහාය. මේ චිත්‍රපට දෙකේ ද ඔහු රඟපාමින් ගීත රචනා කළේය.

හර්බට් එම්. සෙනෙවිරත්න වයස අවුරුදු 63 ක් ආයු වළඳා මීට හරියටම වසර 30 කට ප්‍රථම 1987 ජූනි 7 වෙනිදා අප අතරින් සමු ගත්තේය. ඉහ වහා ගිය මානව දයාවෙන් යුතු මේ මිනිසා ප්‍රතිපත්ති ගරුක, අයුක්තියට හිස නොනැමූ සරල සුන්දර චරිතයකි. මා සහෝදරත්වයෙන් සැලකූ ඔහු පදිංචිව සිටි ගල්කිස්සේ වටරප්පල පාරේ නිවස හා ඇරැව්වල (පන්නිපිටිය) නිවස මට මගේම නිවසක් විය. මට මෙන්ම ඔහු මතකය සිනමා රසිකයන්ට ද සදා ඇඳී තිබෙනු ඇත.

හර්බට්ගේ දයාබර බිරිඳ ස්වර්ණ ලක්ෂ්මිත්, පුතු චින්තනත්, කෝට්ටේ ඇතුල් කෝට්ටේ 9 වන පටුමගේ පදිංචිව සිටී.