වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




අඹ යහළුවන්ගේ ‘සුනිල්’ මව්බිමට ඇවිත්

අඹ යහළුවන්ගේ ‘සුනිල්’ මව්බිමට ඇවිත්

මම ජීවිතේ සිදුවෙන හැම සිදුවීමක් දෙසම බලන්නේ සුබවාදීව. පසුගිය දේ ගැන හිතලා පසුතැවෙන්නේ නැහැ. මම තදින්ම විශ්වාස කරන්නේ ජීවිතේ හැම දෙයක්ම සිදුවෙන්නේ අපේ හොඳටයි කියන එක. අපි ඉන්න ඕන තැනට අපේ ජීවිතේ අපිව ගෙනෙනවා. කාලයත් සමඟ අපිට හැමදේම තේරුම් ගන්න පුළුවන්.
- මගේ ජීවිතේ වෙනසක් වුණා රසික පෙරේරා

හැමදාමත් මතකය අලුත් වෙන කලා නිර්මාණ රැසක් අතර‘අඹ යාළුවෝ ‘ටෙලි නාට්‍යය අමතක කරන්න බැහැ. එදත් අදත් හෙටත් හැම දෙනා අතරම මේ නාට්‍ය යේ චරිත කතාබහට ලක්වෙන බව සත්‍යයක්. මෙහි ‘සුනිල්‘ලෙස රඟ පෑ දඟකාර කොලු ගැටයා ඔබට මතකද? රසික පෙරේරා ලෙස කවුරුත් හඳුනන ඔහු කාලයකට පසුව ඔහුගේ ප්‍රිය බිරිය දුලංගි සමඟ අපට මුණගැසුණා. ඒ කෙටි නිවාඩුවකට ලංකාවට පැමැණ සිටියදීයි. රසික-දුලංගි කැදැල්ලේ නවතම තොරතුරු අපි බෙදාහදා ගත්තේ ඔබ වෙනුවෙන්.

ඔබ දෙදෙනා හදිස්සියේම ලංකාවට ආවේ ඇයි?

මම රැකියාව කරන්නේ සෞදියේ. මේ දවස්වල සෞදි ජාතිකයන්ට රාමසාන්. සුමාන දෙකක් විතර අපිට ඒ වෙනුවෙන් නිවාඩු ලැබෙනවා. එනිසා සුමාන දෙකක් විතර ලංකාවේ ඉන්න බලාගෙන තමයි මෙවර ආවේ. සාමාන්‍යෙයන් සෞදිආරබියේ නිවාඩු ලැබෙනවා අඩුයි. තරමක් හෝ ලැබෙන්නේ රාමසාන්වලට විතරයි.

ඔබේ රැකියාවේ තොරතුරුත් දැනගන්න කැමැතියි?

මම තේ රසපරීක්ෂකවරයෙක් විදිහට වැඩ කරනවා. මොකද මම සේවය කරන ආයතනයට විවිධරටවල විවිධ තේවතුවලින් විවිධ වර්ගයේ තේ ලැබෙනවා. මේ වායේ තත්ත්වයන් මත එම තේවර්ග මිශ්‍ර කරමින් තේ රෙසිපි නිර්මාණය කිරීමත් මගේ කාර්යයෙන් කොටසක්.

ඔබගේ ආදරණීය බිරිය ගැනත් දැන ගන්න කැමැතියි?

ඇය දුලංගි. අපි දෙන්නම ජීවත්වන්නේ සෞදියේ. ඇය තවමත් උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා. ඇය ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ උපාධිධාරිනියක්. මේ වන විට ඒ විෂයෙන් පශ්චාත් උපාධිය හදාරලා එහි අවසන් නිබන්ධනය ලියමිනුයි ඉන්නේ.

පිටරටක ගෙවන ජීවිතේ දැනෙන්නේ කොහොමද?

පිටරටක ජීවත් වෙනකොට ලංකාවෙ ඉන්නව වගේ කොහෙත්ම නැහැ. ලංකාවෙ නම් අපිට හැමදෙනාම ඉන්නවා. කොතන දැක්කත් කවුරුත් හොඳීන් අඳුනනවා. මඟතොටේ දී කතාබහ කරනවා. ඒත් පිටරටක දී එහෙම නැහැ. අපි දෙන්නට ඉන්නේ අපි දෙන්නා විතරයි. හැමදේම අපි දෙන්නා වසින්ම එකිනෙකාට උදව් කර ගනිමින් ඉටු කර ගත යුතුයි.

දුලංගි ගෙන් ඔබට ලැබෙන සහයෝගය මොනවගේද?

ඇයගෙන් මගේ හැමදෙයකටම ලොකු සහයෝගයක් ලැබෙනවා. ගෙදර දොරේ කටයුතු නිසිලෙස කළමනාකරණය කර ගනිමින් ඇය හැමදේම සොයාබලනවා. විශේෂයෙන් මගේ රැකියාව අනුව මම තරමක් කාර්යබහුලයි. එනිසා ගෙදර රැදෙන්න, ඒ කටයුතු සොයා බලන්න විවේකය හරිම අඩුයි.උදේ පාන්දර රැකියාවට ගියාම මම ගෙදර එන විට සවස් වෙනවා. කිලෝමීටර් 40ක් 45ක් විතර ගෙදර ඉදන් සේවා ස්ථානයට ගිහින් එන විට දවස ගෙවිල ඉවරයි. ඒ සියල්ල ඇය අවබෝධ කරගෙන මගෙත් එක්ක හරිම සෙනෙහසින් ජීවත් වෙනවා.

සෞදිය වගේ රටක රැකියාව කරන්න ලැබීම ගැන සතුටුද?

සෞදිය කියන්නේ සාමකාමී රටක්. ඒ රටේ නීතිය හරිම තදයි. නීතියට කිසිම විටෙක තරාතිරම බලන්නේ නැහැ. නීතිය හැමදෙනාටම පොදුයි. නීතිය කැඩුවොත් දඩුවම් ලැබෙනවා. මරණීය දණ්ඩනයට පවා ලක්වෙනවා. ඒ සමාජය ගත්තාම අපරාධ සෑහෙන්න අඩුයි. උදාහරණයක් මම කියන්නම්.ඒ රටේ හැම තැනම වගේ අවන්හල් තිබෙනවා. ඒ ඕනම අවන්හලකට ගිහින් කෑම ගන්න පුළුවන්. කෑම කලා කැෂියර් එකට මුදල් ගෙවන්න කවුරුත් කොච්චර කෑම ගත්ත ද කියල හොයන්නෙ නැහැ. අපිට අඩුවෙන් වුණත් ගෙවන්න පුළුවන්. නමුත් එහෙම කවුරුත් කරන්නෙ නැහැ. ඒතරමටම කවුරුත් විශ්වාසය කියන දේ එරටේ රකිනවා. ඒ විදිහට සෞදියේ සමාජය හැදිල තිබෙනවා. නීත්‍යානුකූලව කටයුතු කරනවා.

ඔබ දෙදෙනා ලංකාවේ පදිංචියට එන්න අදහසක් නැද්ද?

ගොඩක් දුරට ලංකාවට එන්න බලාපොරොත්තුව තමයි ඉන්නේ. නමුත් තවමත් මගෙ කන්ට්‍රැක්ට් එක ඉවර නැහැ. කොහොමත් තව කාලයක් පිටරට ඉදල පසුව ලංකාවට එන්නයි හිතාගෙන ඉන්නේ.

ඔබට දුලංගි ගැනත් කියන්න දේවල් ගොඩක් ඇති?

දුලංගි සහ මගේ අදහස් ගොඩක් දුරට සමානයි. පවුලු ජීවිතයේ දී දෙදෙනාම සාමුහිකව එක් මතයකට වැඩ කළ යුතුයි. අපි දෙන්නා ජීවිතයට එන හැම දෙයක් ගැනම සාකච්ජාකරලා හොවයිදිහට තමයි තීරණ ගන්නේ.

දුලංගි මොන වගේ කෙනෙක්ද?

ඇයට හොඳීන් කෙනෙක්ව තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. එ6් ශක්තියෙන් ඇය ඉදිරියෙන්ම ඉන්නවා. ඒ වගේම මම ඇගෙන් දැක්ක තව දෙයක් තමයි සතුන්ට තිබෙන ආදරය කරුණාව. අපි ජීවත් වෙන නිවෙස අවට පූස් පැටවුන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඇය උදේ සවස උන්ට කන්න බොන්න දෙන හැටි දකින්නේ මමයි. ඇය ගැන මට ගොඩක් සතුටුයි.

ඔබේ රපෑම්වලට බිරිගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇය පුංචිකාලෙ ඉඳලම මගේ රසිකාවක්. ‘අඹ යාළුවෝ‘ටෙලි නාට්‍යය ඇය නරඹා තිබුණා. අදටත් ඒ ගැන මතක් කරනවා. ඒ වගේම කලා කටයුතුවලට ඇය මව දිරිමත් කරනවා. ඒ රංගනයන් අගය කරනවා.

දුලංගි වැනි බිරියක් ලැබීම ගැන සතුටුද?

මං හිතන්නේ මගේ ජීවිතයේ වෙනසක් සිදු වුණා ඇය නිසා. මම ගොඩක්ම කාර්යබහුල කෙනෙක්. ඒ කාර්යබහුලත්වයත් සම මාව තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. දුලංගි මාව හොඳීන් තේරුම් ගෙන තිබෙනවා. මගේ වැඩකටයුතු වලට ඇය නිතර සහාය වුණා. එහෙම බලන විට මගේ ජීවිතය දියුණු වුණා.

විවේකයක් ලැබුණම ඔබ දෙදෙනා මොකද කරන්නේ?

සෞදියේ ගොඩක් ලස්සන තැන් තියෙනවා බලන්න යන්න. ඒවගේම විශාල ෂොපින්ග් මෝල්ස් තිබෙනවා. ඒවායේ අපි දෙන්නත් එක්ක ෂොපින් කරන්න යනවා. එහෙම නැතිනම් විවිධ රටවල මිතුරු මිතුරුයන් රැසක් අපිට ඉන්නවා. ඒ අයත් එක්ක එකතුවෙලා විනෝද වෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් නම් ගහනවා.

කෑම බීම සැකසෙන්නේ දුලංගි අතින් වෙන්න ඇති? මම ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ රසිකගේ ආදරණීය බිරිය දුලංගියි.

සාමාන්‍යයෙන් ලංකාවෙ විදිහටම කෑම බීම මගේ අතින් තමයි සැකසෙන්නේ. උදේ පාන්දර නැගිටලා රසිකට මගේ අතින්ම මම කෑම හදලා දෙනවා. රසික නම් හුඟක් කැමැති පරිප්පු කන්න තමයි. ඒ හින්දා අපේ ගෙදර පරිප්පු කරිය නම් වරදින්නේ නැහැ.

දුලංගි කලාවට නැඹුරු නැත්ද?

ඇයටත් ඉතාම හොඳින් කලාව පිහිටලා තිබෙනවා. දුලංගිට ලස්සනට සිංදු කියන්න පුළුවන්. නර්තනයත් හොඳීන් පුළුවන්. ඇය ඒ අංශවලින් ඉදිරියට යන්න කැමැති නම් මම මගේ සහාය ඇයට නිබඳවම ලබා දෙනවා.

යළිත් ඔබ රංගනයට එක් වෙන්න අදහසක් නැත්ද?

රංගනයට නම් හැමදාමත් වගේ ආරාධනා ලැබෙනවා. ඒත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කිරීම අවශ්‍යයි. එයට කාලයක් සොයා ගන්න මට අපහසුයි. නමුත් මගේ මිතුරා අශේන්ගේ ඒකාංගික ටෙලිනාට්‍ය කිහිපයකට මම ආරාධිත රංගනයෙන් දායක වුණා. ඒවාටත් ලංකාවට ඇවිත් රඟපාලා ඊළඟ මොහොතේ ෆ්ලයිට් එකේ නැගලා රැකියාවට යන තරම් කාර්යබහුලව තමයි දායක වුණේ. නමුත් අපි දෙදෙනා චිත්‍රපටයක් නිර්මාණය කරන්න අදහස් කරගෙන හිටියා. ඉදිරියේ දී ඒ කටයුතු වෙනුවෙන් යම් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ජීවිතේ ගැන ආපසු හරීබලත් දී ඔබට දැනෙන දේ?

මම ජීවිතේ සිදුවෙන හැම සිදුවීමක් දෙසම බලන්නේ සුබවාදීව. පසුගිය දේ ගැන හිතලා පසුතැවෙන්නේ නැහැ. මමහ තදින්ම විශ්වාස කරන්නේ ජීවිතේ හැම දෙයක්ම සිදුවෙන්නේ අපේ හොඳටයි කියන එක. අපි ඉන්න ඕන තැනට අපේ ජීවිතේ අපිව ගෙනෙනවා. කාලයත් සමඟ අපිට හැමදේම තේරුම් ගන්න පුළුවන්.

ඔබ දෙදෙනාගේ තුරුළට තුන්වැන්නෙක් එක් කරගන්න අදහසක් නැතිද?

ඒ හැම දේටම අපි දෙනො කාලයට ඉඩ දීලයි තිබෙන්නේ. වියයුතු නිසි කලට ඒ දේවල් ඉටුවේවි.

ඔබ දෙදෙනාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

ගොඩක් බලාපොරොත්තු නම් නැහැ. නමුත් අපේ ජීවිත අර්ථවත් ලෙස සෙනෙහසින් ගත කරලා ලංකාවට කරන්න පුළුවන් සේවයක් හදවතින්ම ඉටුකරන්නයි බලාපොරොත්තුව.

තුෂාරි නේරංජා වික්‍රමසිංහ
ජායාරූප - හිරන්ත ගුණතිලක