වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




මහාචාර්ය සේන නානායක්කාරට සම්මානයක්

මහාචාර්ය සේන නානායක්කාරට සම්මානයක්

උතුරු මැද පළාත් අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂ සේවාවක් ඉටු කළ විශිෂ්ට පුරවැසියන් සඳහා පිදෙන රජරට ස්වර්ණ සම්මාන 2017 අභිමන් හරසර ප්‍රණාම උලෙළ පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මැංගෝ මැංගෝ හෝටල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී රජරට විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර ද සම්මානයෙන් පිදුම් ලැබීය.

සන්නිවේදන සහ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රීය සහ පර්යේෂණ කෘති ගණනාවක් සම්පාදනය කළ ගත් කතුවරයකු වූ ඔහු ප්‍රකට වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියකු ද වේ. රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේ සහ රාජ්‍ය සාහිත්‍ය උලෙළේ විනිශ්චය මණ්ඩල සභාපතිවරයකු මෙන්ම සාමාජිකයකු ලෙසින් ද කටයුතු කළ හෙතෙම රජරට විශ්ව විද්‍යාලයේ වෑදිය නිල්ල සහ වරිග මංගල්‍යහි නිර්මාතෘවරයා ද වේ.


රජත පුස්තක මංජුල - ලක්ෂාන්ත දිනා ගනියි

දුස්ටකමේ සවුන්දර්ය සහ සමහර කමටහන් සඳහා මුල්වරට සම්මාන

සිංහල කෙටිකතා හා පද්‍ය කෘතීන් අගයනු වස් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් මුල් වරට පිරිනමන ලද රජත පුස්තක සම්මාන උළෙලේදී මංජුල වෙඩිවර්ධන රචනා කළ දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා කෘතිය හොඳම කෙටි කතා සංග්‍රහය වශයෙන් සම්මානිත විය.

එය සම ප්‍රකාශන කෘතියකි. ලක්ෂාන්ත අතුකෝරලගේ සමහර කමටහන් හොඳම කාව්‍ය ග්‍රන්ථය ලෙස අභිෂේක ලැබීය. එය සරසවි ප්‍රකාශනයකි. එරික් ඉලයප්ආරච්චිගේ බැග්ඩෑග්, සමරසිංහ ගුණසේකරගේ කාලිදාස කල් ඉකුත් වී නැත, ජයතිලක කම්මැල්ලවීරගේ එකොළහ, හොඳම කෙටි කතාවට හිමි සම්මානයට නිර්දේශ වු අනෙකුත් ග්‍රන්ථය.

එරික් ඉලයප්ආරච්චිගේ කපුටා සහ සිටාණෝ, අනුරාධා නිල්මිණිගේ මදහසක මැදියම හොඳම කාව්‍ය ග්‍රන්ථය සම්මානයට පාත්‍ර වු කෘතීන් සඳහා මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් සහ අනෙකුත් නිර්දේශිත නාමයන් ලද කෘතීන් සඳහා රුපියල් පනස් දහස බැඟින් ද පිරිනමන ලදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී අදාළ සම්මාන පිරිනමන ලද්දේ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අතිනි.


ප්‍රවීණ රංගධාරිනී අයිරාංගනී සෙරසිංහ උපහාර 17 දා

දේශීය සිනමා ක්ෂේත්‍රයට‍ හා ටෙලි සිනමාවට අභිමානනීය වූ මෙහෙවරක් ඉටු කළ හා ඉටු කරනු ලබන ප්‍රවීණ රංගධාරිනි අයිරාංගනී සේරසිංහගේ අනූව වැනි ජන්ම දිනය වෙනුවෙන් කෘතවේදි උපහාර උලෙළක් ලබන 17 වැනිදා කොළඹ 02, නවලෝක රෝහල් පරිශ්‍රයේ පිහිටි දේශමාන්‍ය එච්. කේ ධර්මදාස ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. මෙම උපහාර උලෙළ සංවිධානය කරනු ලබන්නේ, සිනෙස්ටාර් පදනම විසිනි.


නිනෝ ලයිව් රට පුරා යති හෙට කළුතර

නිනෝලයිව් සිනමාපටයේ පිරිවර හෙට කළුතර නිව් මිනර්වා සිනමා ශාලාවට පැමිණෙනු ඇත. ඔවුන් එදින උදෑසන දර්ශන වාරය ප්‍රේක්ෂකයන් සමඟ නැරැඹීමට නියමිතය. නිනෝලයිව් අධ්‍යක්ෂ තිසර ඉඹුලාන, නිනෝ අරලිය ජයකොඩි, යුරේනි නොෂිකා, දසුන් පතිරණ ආදී පිරිස මේ සංචාරය සඳහා සහභාගි වනු ඇත.


ඩග්ලස් උපන් දිනය සමරයි

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ඩග්ලස් රණසිංහගේ උපන් දිනයදා ගත් සේයා රුවකි මේ. ඩග්ලස්, අමිත්ත වීරසිංහ, ඊ. ඩී. ශ්‍රියාපාල, සාරංග දිසාසේකර, සාරංගගේ මව ඩග්ලස්ගේ නැගණි තිලකා රණසිංහ සහ හේමාල් රණසිංහ.


බුද්ධි - ශි‍්‍රියන්ත - අකිල - රොෂාන් එක් කොට නියාස් ශ්‍රී වික්‍රම තනයි

ලාංකීක ඉතිහාසයේ එක් පැතිකඩක් විවර කරමින් මොහාන් නියාස් අතින් අති දැවැන්ත ඓතිහාසික පුවතක් සිනමාවට තැනීමට සූදානම්ය.

මෙම චිත්‍රපටය ශ්‍රී වික්‍රම නමින් නම් කොට ඇත. එහි වැඩ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. බුද්ධදාස විතානාච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, අකිල ධනුද්ධර, රොෂාන් පිලපිටිය, ශ්‍යාමි ප්‍රනාන්දු, ප්‍රසන්නජිත් අබේසූරිය, අනුර ධර්මසිරිවර්ධන, නඩරාජා සිවම්, ගජනි ගනේෂන්, සැන්ඩො හැරිස්, චුලක්ෂි රණතුංග, ජගත් ගලප්පත්ති, අරුණ රූපසිංහ ශ්‍රී වික්‍රම හී චරිත මවති.

ධම්මික ප්‍රියන්තගේ කලා අධ්‍යක්ෂණයකි. ප්‍රියාන් අනුර ශ්‍රී ඇඳුම් නිර්මාණ කරයි. ප්‍රියන්ත රත්නායක අංග රචනා ශිල්පියාය. අනුර බණ්ඩාරගේ සංස්කරණයකි. නිෂ්පාදන සම්බන්ධිකරණයෙන් අරුණ රූපසිංහ දායක වෙති. සරත් රණවීරගේ කොණ්ඩා සැකසුමකි. හැරල්ඩ් කරුණාරත්න නිෂ්පාදන කළමනාකරුය. ධනංජය මංචනායක සහාය අධ්‍යක්ෂවරයාය. සටන් අධ්‍යක්ෂණය සුනිල් ජයතිස්ස සමග අරුණ රූපසිංහ විසින් සිදු කරයි. ශ්‍රී වික්‍රම වෙන්ඩෝල් මීඩියා නෙට් වර්ක් වෙනුවෙන් වෛද්‍ය ගිහාන් ගොඩකන්දගේ නිෂ්පාදනයකි.