වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




දවල් නිදිගත් මිනිසකුගේ කතාව

දවල් නිදිගත් මිනිසකුගේ කතාව

‘ආදරණීය අමන්දා’ දර්ශන තලයේදී

මං නිර්මාණ කරන්නේ කාලාන්තරයක් ප්‍රදර්ශන පෝලිම්වල ලැඟගෙන ඉන්න බලාගෙනත් නෙවෙයි. මේ නිර්මාණ මිනිස්සු දකින්න ඕනි. ඒ මතයේ ඉඳන් ඉදිරියේදී සමහර විට මට කලින් කවුරුවත් නොගත්ත තීන්දු තිරණත් ගන්න වේවි. කලාකරුවන් දේශපාලනඥයන් හරි වෙන කවුරුවත් අතට හරි කලාවේ තීන්දු තිරණ ගන්න බාර කරලා බලන් හිටියාට වැඩක් නැහැ. ඒ අයිතිය තමන් අතට නොගෙන...'

'රවී වැඩක් බාර ගත්තාම තනිව සැලසුම් කළා. ඔහුගේ ජවය පිළිබඳ විශ්වාසයක් ඔහුට තිබුණේ. ඔහු ආදරය කළේ පිස්තෝලයට, ෆෝන් එකට, බයික් එකට. බීමට ප්‍රිය කළේ බියර්. කෑමට ප්‍රිය කළේ හරක් මස්. රවී හීනවලට විතරයි බය වුණේ. හීන දකියි කියලා නිදාගන්න පවා බය වුණා. ඒ නිසා ඔහු වැඩිපුරම නිදා ගත්තේ දවල්ට.

මේ දිනවල කොළඹ අවට රූ ගැන්වෙන 'ආදරණීය අමන්දා' චිත්‍රපටයේ තිර පිටපතේ තැනක් එහෙමයි. ඒ වටා හුඟ වෙලාවක් දැෑස් කරකැවෙන්නත් හේතු තියෙනවා. රවීට පණ පොවන සේනක විජේසිංහ ඊට එක් හේතුවක්. 'ආදරණීය අමන්දා' සේනකගේ දෙවැන්න. ඔහුගේ පළමුවැන්න 'මේඝ'.

බොරැල්ල ගෝතමී පාරේ කෙළවරක සුවිසල් නිවෙසක රූගත කිරිම් නිසා කාර්යබහුලවයි සේනක එවේලේ් අප එහි යන විටත් සිටියේ. මුලින් තිර පිටපතේ උපුටනයේ විදියට සේනකම ආදරණීය අමන්දා චිත්‍රපටයේ රවී චරිතය තමන් ළඟම තබා ගැනීමේ පුදුමයක් නැතැයි කියලා කෙනකුට හිතෙන්න පුළුවන්. ඒ එකිනෙකට ඒ සියල්ලම සේනකටත් එහෙමම වන නිසා නෙවෙයි.

ආදරණීය අමන්දා චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයවන රවීගෙන් මතුවන සමහර ඒකාධිපති තීරණ, දඩබ්බරකම්, ඉලන්දාරිකම් විතරක්ම නෙවෙයි. සේනක නිතරම ඔහුගේ ජවය පිළිබඳ විශ්වාසය තබන දෙයක් කරන්න සිතුණාම තනිවම හරි ඒ වැඩේ කරන දක්ෂයෙක් විදියට රටේ නමක් දිනා සිටින්නෙක් නිසයි.

සේනක ඉදිරි සැලසුම් පිළිබඳ මතක් කරමින්මයි අප සමඟ කතාවට බැස්සේ. ඒ මෙහෙම.

'මට අරමුණක් තියෙනවා. ආදරණීය අමන්දා ඒ අරමුණ කරා යන ගමනේ දෙවැනි චිත්‍රපටය. මගේ නැවතුම මෙතැන නෙවෙයි. චිත්‍රපට 10 ක් අධ්‍යක්ෂණය කිරීමයි. මේ වන වටත් මං ඊට විවිධාකාරයේ පසුබිම් කතා තෝරාගෙන ඉවරයි. එත් අද සිංහල සිනමාවේ තත්ත්වය නොදැන නෙවෙයි මං එහෙම කරන්නේ.

මං නිර්මාණ කරන්නේ කාලාන්තරයක් ප්‍රදර්ශන පෝලිම්වල ලැඟගෙන ඉන්න බලාගෙනත් නෙවෙයි. මේ නිර්මාණ මිනිස්සු දකින්න ඕනි. ඒ මතයේ ඉඳන් ඉදිරියේදී සමහර විට මට කලින් කවුරුවත් නොගත්ත තීන්දු තිරණත් ගන්න වේවි.

කලාකරුවන් දේශපාලනඥයන් හරි වෙන කවුරුවත් අතට හරි කලාවේ තීන්දු තිරණ ගන්න බාර කරලා බලන් හිටියාට වැඩක් නැහැ. ඒ අයිතිය තමන් අතට නොගෙන . . .'

ආදරණීය අමන්දා තිර පිටපතිනුත් අපි දැක්ක රවීගේ චරිතයේ සමහර හැඩතල අපිට නැවත මතක් කළේ සේනක විජේසිංහ දැක් වූ ඒ අදහස්. ඒ කෙහොම වුණත් ආදරණීය අමන්දා නිර්මාණ ලෝකයට එළිය දැකීමෙත් තියන්නේ එක්තරා විශේෂත්වයක්.

සිංහල නවකතාවක් ඇසුරින් චිත්‍රපටයක් හැදෙන තවත් අවස්ථාවක් තමයි 'ආදරණීය අමන්දා'. ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක්, නවකතාකරුවෙක් වගේම ගීත රචකයකු විදියටත් නමක් දිනා සිටින උපාලි බණ්ඩාර වීරසේකරගේ 'ආදරණීය අමන්දා' නවකතාව ඇසුරින් තමයි සේනක මෙදා ආදරණීය අමන්දා සිනමාවට නඟන්නේ. දිගු කාලයක් තිස්සේ පුවත්පත් කලාවේදියෙක්, නවකතාකරුවෙක්, ගීත රචකයෙක් විදියට අප හඳුනාගත්ත උපාලි බණ්ඩාර වීරසේකරගේ රංගන හැකියාවත් ආදරණීය අමන්දා චිත්‍රපටයේ වික්ටර්ගේ චරිතයෙන් දැකගන්න ලැබේවි.

සේනක විජේසිංහ උපාලි බණ්ඩාර වීරසේකරගේ මේ නවකතාවත් චිත්‍රපටයක් කරන්න සිතාගෙන කිහිප වතාවක් උපාලිව හමු වෙනවා. ඒ කතාබහේදී දෙදෙනාට දෙදෙනාම එතෙක් එකිනෙකාට නොකියා සිත්වලම තබාගෙන සිටිය එක් කාරණාවක් එළිවෙනවා.

එකම චරිතයක් වටා ගෙතුණු එකම සිතිවිල්ලක් වෙච්ච ඒ හැඟීම ගෙතී තිබුණෙත් ආදරණීය අමන්දා චිත්‍රපටයේ එන එකම එක ප්‍රබල චරිතයක් වටා. ඒ වෙනින් මොකක්වත් නෙවෙයි. ආදරණීය අමන්දා චිත්‍රපටයේ එන 'බොතේජු'.

ඩබ්ලිව්. ජයසිරිව තමයි මේ නවකතාව චිත්‍රපටයට නැඟීමේදී සේනකටත් උපාලිටත් දෙදෙනාටම 'බොතේජු' විදියට මැවී තියෙන්නේ. අන්තිමේදී බොතේජු චරිතයට ජයසිරිවම ගනිමු කියලා ඒ දෙදෙනාටම කියවෙන්නෙත් එකටම.

කෝටිපති ව්‍යාපාරිකයකු ලෙසින් පෙනී සිටින පාතාල කෙරුමෙකුටයි ආදරණීය අමන්දා චිත්‍රපටයේ එන බොතේජුගේ වෙනස්ම චරිතයට ඩබ්ලිව්. ජයසිරි පණ දෙන්නේ.

'සිඳු ටෙලි නාට්‍යයේ කරන හාමුදුරු චරිතය නිසා මං ඇත්තටම හාමුදුරු කෙනෙක් කියලා සමහරු සිතනවා. ඒ සමහරු ලොකේෂන්නෙකේදීම මට වැඳ වැටෙන වෙලාවලුත් තියෙනවා'

ඩබ්ලිව්. ජයසිරි හිනා වෙවී එහෙම කියනවා.

සේනක මේ වතාවේදීත් හඳුන්වා දෙන නවක නිළියක් සමඟයි ආදරණීය අමන්දා රිදී තිරයට ගෙනෙන්නේ. ප්‍රවිණ නිළියන් අපට බොහෝ සිටියත් කෙළිලොල්, දඟකාර, ප්‍ර‍්‍රවේගකාරී චරිතයකට යොවුන් නිළියක් සොයා ගැනීම නම් ටිකක් අමාරුයි කියලයි සේනක කියන්නේ. 'ඒෂියා දසනායක' සේනක මේ චිත්‍රපටය හරහා සිනමාවට හඳුන්වා දෙන නවක නිළියයි.

කාලෙකින් ගයත්‍රි ඩයස්ගේ වෙනස්ම රැඟුමක් ඇය ආදරණිය අමන්දා චිත්‍රපටයට මවන 'ටානියා' චරිතයෙන් දැකගන්න හැකිවෙයි කියලයි සේනකලා කියන්නේ.

බොරැල්ල, කෙට්ටාව, රුක්මල්ගම අවට දින 9 ක් පුරා රූගත කරන්නට නියමිත මේ චිත්‍රපටයේ රාත්‍රී දර්ශන කිහිපයක් රූගත කෙරුණේ. වෙඩි පිට වෙඩි පත්තු කර කර රවී කුලියට මිනීමරන සිද්ධීන් එතැන වුණා.

බොරැල්ල ගෝතමි පාරේ නිවෙසේදී පසුගිය දා රූගත කිරීම්වලදී නොබිඳී බේරුණු වීදුරුවේ සිද්ධිය ලෝකේෂන්නෙකේ කවුරුත් පුදුම වෙච්ච දෙයක්. රවී (සේනක) ලවා මිනියක් මරවගන්න බොතේජුට (ඩබ්ලිව්. ජයසිරි) ඕන වෙලා, ඩීල් එකක් දාගනිද්දී රවීගේ කතාවකට ඩෝං ගිහිල්ලයි ඒ සීන්නෙකේ විදියට ජයසිරි වතුර විදුරුවකට අතින් ගසා දාන්නේ.

සීන්නෙක තක්කෙටම ආව. වතුර වීදුරුව බිඳිලා කෑලි වීසි වෙන සද්දේ නම් කට්ටියට එච්චර ඇල්ලුවේ නෑ. බැලින්නම් ලොකු උඩකින් බිමට වැටිලත් වීදුරුව කැඩිලා නෑ. ඒක දැක්කාමයි සේනකටයි ජයසිරිටයි මාර වීදුරුවක්නේ කියවුණේ.

සමාජයේ වැරැදි නිසාම මිනීමරන්නට පෙළඹුණු ඝාතකයෙක් අන්තිමේදී අනපේක්ෂිත සිද්ධි දාමයක් හරහා ඒ පාපතර ලෝකයෙන් මිදෙන අන්දම කියාපාන ආදරණිය අමන්දා චිත්‍රපටයට සේනක තේමා පාඨ ගන්වා තියෙන්නේ 'ජීවිතය කියාදුන් සමනලිය' කියලායි. මේ චිත්‍රපටයේ බොසාගේ චරිතය රඟන උපුල් ගුණවර්ධන ඔහුගේ වේදිකා නාට්‍යයත් රැගෙන ලබන මසදී විදේශ ගතවන්නට නියමිත බවයි අපට කීවේ.

ටෙලි නාට්‍ය රැසකම වේශ නිරුපණ ශිල්පියා වූ වේශ නිරූපණය සබැඳිව බොලිවුඩ් සිනමාවේත් අත්දැකීම් ඇත්තකුවන ඉන්දික විජේරත්න චිත්‍රපටයකින් තනිව වේශ නිරූපණ ශිල්පියා විදියට අප හමුවන්නේ 'ආදරණීය අමන්දා' හරහායි.

සිංගප්පූරුවේදී ගීත දෙකකට අදාළ ජවනිකා රූගත කිරීමටත් නියමිතව පවතින ආදරණීය අමන්දා චිත්‍රපටයේ සේනක විජේසිංහ, ඒෂියා දසනායක, ඩබ්ලිව්. ජයසිරි, ගයත්‍රි ඩයස්, නිමල් පල්ලෙවත්ත, සරත් දික්කුඹුර, නිරෝෂන් ඉලේපෙරුම, උපුල් ගුණවර්ධන, රජිත රොද්‍රිගු, මහේෂ් රන්දෙනිය, ජගත් සුසන්ත, පුලින්ද කැකුලාවල, කසුන් චාමර ආදීහු චරිත මවති.

සහාය අධ්‍යක්ෂණයෙන් තරිඳු ඉලංකෝන් ද, කැමරාවෙන් බුද්ධික ඉන්ද්‍රජිත් ද, වේශ නිරූපණයෙන් ඉන්දික විජේරත්න ද, කලා අධ්‍යක්ෂණයෙන් ජනක බණ්ඩාර ද, නිෂ්පාදන කළමනාකරණයෙන් සමන් අතපත්තු ද එක්වන ආදරණීය අමන්දා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන සේනක විජේසිංහම සටන් අධ්‍යක්ෂවරයා ද වෙයි. 'ආදරණීය අමන්දා' නිෂ්පාදකවරු වන්නේ මිල්රෝයි ප්‍රනාන්දු සහ උපුල් ලාල් වික්‍රමසිංහ.