වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ පෙම්වතිය මේ දවස්වල ස්වීඩනයේ

මගේ පෙම්වතිය මේ දවස්වල ස්වීඩනයේ

කැරලිකාර යෞවනයා දසුන් පතිරණ

උමාලිත් එක්ක මං වැඩ කරන්නේ පළමු වතාවටයි. එහෙම වුණත් රංගනයෙදී ඇගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා. නිනෝ ඇතුළු අනෙක් පිරිස එතෙක් අපත් එක්ක එකට වැඩ කළ පිරිසයි. ඒ නිසා අපට මේ නිර්මාණයේ වැඩ කිරීම අපහසු වුණේ නැහැ. කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය පවා කලින් අපට මුණ ගැසුණු අයෙක්. මේ නිසා අප සියලුදෙනා අතරේම හොඳ කණ්ඩායම් හැඟීමක් තිබුණා.

‘නිනෝ ලයිව්’ චිත්‍රපටයේ නිශාන්ත ඔහු ය. දරිද්‍රතාවයෙන් දුක් විඳීමින් සිය සොහොයුරා සමඟ බෝඩිං කාමරයක වාසය කරන නිශාන්තට බලාපොරොත්තු රැසක් නොමැත. ඒ නිසා ම ඔහු ජීවත් වන්නේ අද දවසේ ය. ඒ අද දවසේ ජීවත් වන තරුණයාට පණ පොවන්නේ දසුන් පතිරණ ය. මේ නිශාන්ත පිළිබඳ හා ‘නිනෝ ලයිව්’ චිත්‍රපටය පිළිබඳ ඔහු දරන අදහස් පෙළයි.

‘නිනෝ ලයිව්’ වෙනස් ම ආරක චිත්‍රපටයක් නේද?

ඔව්. වෙනදා නොපැමිණි වෙනස්ම විදියේ චිත්‍රපටයක් සිනමා ප්‍රේක්ෂකයන් නරඹනවා.

‘නිනෝ ලයිව්’ නිශාන්තගේ චරිතය ඔබට ලැබෙන්නේ කොහොමද?

තිසර ඉඹුලාන ඇතුළු චිත්‍රපටයේ ඉන්නේ බොහෝදෙනා එකම නාට්‍ය පාසලක ඉගෙන ගන්න පිරිසක්. ඒ ඉන්න අතරේ යමක් කරන්න ඕනෑ කියන අදහසින් සහභාගි වුණු වැඩක් තමයි ‘නිනෝ ලයිව්’ කියන්නේ.

‘නිනෝ ලයිව්’ හරහා ඔබට හීන ගොඩක් තිබුණද?

එදා තිබුණ හීනය වුණේ මේ චිත්‍රපටය අතරින් සිනමා ප්‍රේක්ෂකයන් අතරට යෑමයි. ඒත් ඒක එහෙම වුණේ නැහැ.

‘නිනෝ ලයිව්’ අධ්‍යක්ෂවරයාත් ඔබ වගේම තරුණයෙක්?

තිසර ඉඹුලාන කියන්නේ මගේ ළඟම යහළුවෙක්. හොඳ මනුෂ්‍යයෙක්. නිර්මාණශීලී තරුණයෙක්.

ඔබත්, තිසරත් හොඳට පෑහෙනවද?

අප රඟපෑ කෙටි චිත්‍රපට, වේදිකා නාට්‍ය සියලුම දේ කළේ එකමුතුවකින් යුතුවයි. ඔහුගේ රිදම් එකයි මගේ රිදම් එකයි හැමතිස්සේම තිබුණේ එකක් විදියටයි. අපේ යහළුකම, මතවාද එකම විදියටයි පෙළ ගැසිලා තිබුණේ.

ඒ කියන්නේ ඔහුගේ නිර්මාණවලදී ඔබ මුලින්ම සහභාගි වන්නේ වේදිකා නිර්මාණ සඳහාද?

‘කෑල්ල දෙසිය පනහයි’,‘තථාගත’ ඇතුළු ඔහුගේ සියලුම නිර්මාණවලට මා දායකත්වය ලබා දීලා තියෙනවා.

ඒ නිර්මාණවලට වගේම ඔහු ‘නිනෝ ලයිව්’ චිත්‍රපටයටත් ඔබව තෝරා ගන්නවා?

ඒ කාලයේ අපට තිබුණු එකම පිස්සුව රඟපෑමයි. හැබැයි තිසර වෙන මාර්ගයක් හොයාගෙන යනවා. ඔහු ඉන්දියාවට ගිහින් ඒ ගැන හදාරද්දි මුණ ගැසුණු නිෂ්පාදකත් සමඟයි මේ නිර්මාණය අරඹන්නේ. ඒ කාලයේ දසුන් කියන්නේ ක්ෂේත්‍රයට නවකයෙක්. ඒ නවකයාටයි ඔහු සුපුරුදු විදියට රඟපාන්න කතා කරන්නේ.

එහෙම නම් මීට වසර නවයකට පෙර දසුන් පතිරණ ජනප්‍රිය නළුවෙක් නොවෙයි?

එහෙම කෙනෙක් ඉන්නවද කියලා කිසිම කෙනෙක් දන්නෙත් නැහැ. ඒ දවස්වල අපව කිසිම කෙනෙකුගෙ වැඩවලට ගත්තෙත් නැහැ. එවැනි කාලයකයි තිසර ‘නිනෝ ලයිව්’ චිත්‍රපටයට කතා කරන්නේ.

‘නිනෝ ලයිව්’ කියන්නේ ඔබගේ පළමු නිර්මාණයද?

මා සිනමාවේ ප්‍රධාන චරිතයක් කළ පළමු නිර්මාණය වන්නේ ‘නිනෝ ලයිව්’.

අද චිත්‍රපටය නරඹන විට නිශාන්තගේ චරිතය ගැන මොකද හිතෙන්නේ?

එදා ඒ චරිතය රඟපාන විට අද මට තිබෙන අත්දැකීම් කිසිවක් තිබුණේ නැහැ. එහෙත් අද එය නරඹද්දි මගේ රංගනයේ තිබුණු නැවුම් බව නිශාන්තගේ චරිතය ඇතුළේ තිබෙන බව පෙනෙනවා.

මේ නිර්මාණය හරහා ගෙනෙන රියැලිටි කතන්දරය අපේ කතන්දරය ද?

අප මේ ජීවත්වන්නේ රියැලිටියක් ඇතුළේ නේද කියලා හිතෙනවා. අපේ ජීවිතේ වන සියලු දෙයක් ම සැලසුම් කරලා මෙහි පෙන්වන බවකුයි අපට හැඟෙන්නේ. රියැලිටි ෂෝ හා රියල් ලයිෆ් කියන දෙකම එකතු කිරීමෙනුයි මේ නිර්මාණය කරල තිබෙන්නේ.

නිශාන්ත කියන්නේ දසුන්ම ද?

දසුන් නම් නොවෙයි. ඒ චරිතයේ තිබෙන සැහැල්ලු බව හා සරල බව නම් මා ළඟ තිබෙනවා.

නිනෝ තමන්ගේ ජීවිතය සොයාගෙන එළියට යද්දි නිශාන්ත එක්තරා ජීවිතයකට කොටු වෙනවා නේද?

අපේ ජීවිතයේදී නොදැනීම එක් එක් ස්ථානවලට යන්න වෙනවා. ඕනෑම තැනකදී අප කොටුවන ප්‍රමාණයක් තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක නිශාන්තටත් පොදු කාරණයක්.

අනෙක් නළු-නිළියන්ගේ හමුවීම මොන වගේද?

උමාලිත් එක්ක මං වැඩ කරන්නේ පළමු වතාවටයි. එහෙම වුණත් රංගනයෙදී ඇගෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා. නිනෝ ඇතුළු අනෙක් පිරිස එතෙක් අපත් එක්ක එකට වැඩ කළ පිරිසයි. ඒ නිසා අපට මේ නිර්මාණයේ වැඩ කිරීම අපහසු වුණේ නැහැ. කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය පවා කලින් අපට මුණ ගැසුණු අයෙක්. මේ නිසා අප සියලුදෙනා අතරේම හොඳ කණ්ඩායම් හැඟීමක් තිබුණා.

‘නිනෝ ලයිව්’ තිරගත වෙන්නේ වසර කිහිපයකට පස්සේ. මේ තත්ත්වය නළුවෙක් විදියට ඔබට බලපෑවේ කුමන විදියට ද?

ඒ කාරණයෙන් නළුවකු විදියට මට පාඩුවක් වනවා වගේ ම වාසියකුත් වෙනවා. පාඩුව වෙන්නේ මම ඒ චිත්‍රපටයෙන් සිනමා ප්‍රේක්ෂකයා අතරට ආවා නම් මේ වනවිට ගොඩක් නිර්මාණවලට දායක වීමයි. ඒත් ‘නිනෝ ලයිව්’ ප්‍රමාද වී පැමිණීමෙන් සිදුවුණු වාසිය නම් නළුවකු විදියට මට හොඳ වටිනාකමක් තිබුණු කාලයේ එය පැමිණීමයි.

‘නිනෝ ලයිව්’ තිරගත වන්නේ හොඳම කාලයේ කියලද දසුන් හිතන්නේ?

ඇත්තෙන්ම ඔව්.

‘නිනෝ ලයිව්’ චිත්‍රපටයට පසුව නිර්මාණය කළ ‘මොටර් බයිසිකල්’, ‘ෆැංජිපානි’ වැනි නිර්මාණ රැසක් තිරගත වෙනවා. මේ විදියේ දේවල් වෙද්දී යම් අර්බුදයක් සිනමාව තුළ තිබෙනවා කියලා ඔබට සිතෙන්නේ නැද්ද?

ඒ අර්බුදය කොහොමත් තියෙනවා. එහෙම වුණත් අප තරඟ කරන්නේ හොඳ නිර්මාණයක් එළියට දෙන්නයි. ඒත් හොඳ වැඩක් කළොත් ඒකට තැන කවදාහරි ලැබෙනවා. ඒත් අපට කළ හැක්කේ හොඳ නිර්මාණ කිරීමයි.

ඒ නිසා ඔබ ඒ ගැන හිතන්නේ නැතිව හොඳ නිර්මාණවලට රංගනයෙන් දායක වෙනවා?

ඔව්. තිරගත නොවුණු නිර්මාණ ගැන නොසිතා අනෙක් නිර්මාණවලට රංගනයෙන් දායක වූ නිසයි මාව ප්‍රේක්ෂකයන් හඳුනන්නේ. සිනමා ක්ෂේත්‍රයේ තිබෙන අර්බුදයට විසඳුම් සොයන්න මට වඩා ප්‍රවීණ පිරිසක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. රජයක් තිබෙනවා. ඔවුන් ඒ පිළිබඳ සිතාවි. ඒ අර්බුදයට ඇටෑක් කරන්න මා දැන්ම ම යන්නේ නැහැ.

ඔබ වෘත්තිය විදිහට තෝරාගෙන තිබෙන්නේ රංගනයද?

කුඩා කාලයේ පටන්ම මා නියැළුණේ නර්තනය හා රඟපෑමේ. කිසිම දවසක වෙනත් රැකියාවක නිරත වෙලා නැහැ. මම වෙන රැකියාවක් කරන්න දන්නෙත් නැහැ. ඒ නිසා මම මැරෙනතුරුම රඟපාන්න කැමැතියි.

අද අපේ රටේ රංගනය වෘත්තිය විදිහට තෝරා ගැනීම ගැන ගැටලුවක් පැන නැඟෙනවා නේද?

අපේ රටේ රංගනය විතරක් නොවෙයි අද සෑම මාධ්‍යයක ම මේ ගැටලුව නිර්මාණය වීලයි තිබෙන්නේ. ඒත් මා ඒ ගැටලු ගණන් ගන්නේ නැහැ.

මේ දවස්වල ඔබගේ පෙම්වතිය කවුද?

මේ දවස්වල ඈ ඉන්නේ ස්වීඩන්වල. ඇගේ නම අනුෂි දිසානායක. කියන්න බෑ සමහරවිට ඉදිරියේදී ඈ වෙනස් වෙන්නත් පුළුවන්. මොකද කාත් එක්ක ඉඳීද කියල කියන්න බැහැ.

එහෙම වුණොත් ඔබගේ ජීවිතය දිගටම ඔහොමම ගෙවේවිද?

ඒකනම් කියන්න දන්නේ නැහැ. මගේ ජීවිතය පළමු තැන ලැබෙන්නේ රංගනයට. අනෙක් කාරණාවලට දෙවැනි තැන. ඒ නිසා ජීවිතය මොන වගේ වේවිද කියලා කියන්න බැහැ. ඒ වගේම කිසිම කෙනෙක් එක්ක බලෙන් ඉන්නත් බැහැ. මිනිස්සුන්ට පේන්න එහෙම කළ යුතු නැහැ. මට දැනෙන කෙනා හමුවුණාට පස්සේ ඒ කෙනා එක්ක මම ඉඳීවි. බැරිනම් අයින් වේවි.

අනෙක් අය වගේ නොවේ, දසුන් අවංකද?

කවුරුත් බොරුවට ජීවත් වෙන්න උවමනා නැහැ. ඇත්ත කියන එක හොඳයි. මට දැනෙන දේ මම කරනවා. මට දැනෙන දේ මම කියනවා.

ඔබගේ රංගනය දකින්නට හැකි ඉදිරි නිර්මාණ මොනවාද?

මේ දවස්වල වැඩ කරන්නේ සුපුන් රත්නායකගේ ‘ඒක දිග කතාවක්’ කියන නිර්මාණයේ. ලලිත් රත්නායකගේ හා සරත් ධර්මසිරි කියන අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ දෙකක් ඉදිරියේ දී පැමිණේවි. මා රඟපාන ‘මෝදර බඹරු’ මේ දවස්වල විකාශය වෙනවා. සඳරුවන් ජයවික්‍රමගේ චිත්‍රපටයකත් මා රඟපානවා.