වර්ෂ 2016 ක්වූ  ජූනි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර

ආදරණීය ප්‍රින්ස්

පෙර දිනයක අප

හමු වූ තැන හිඳ

වෙන්වන්නට මුණ ගැසෙමු යළි

රටක් ආදරය කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවා අද අප හැර ගොසිනි. අනූව දශකයේ සිය ඔබ අප ගායන ක්ෂේත්‍රයට දායාද කළ අගනා ගී සදා කල් රැව්දෙනු ඇත.

තිලකරත්න විල්වල

මැණිකේ විල්වල

තටාකය පාර

කෑගල්ල


කාලයක් රෝගාතුරව සිට අප අතරින් සමුගත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවාණෙනි ඔබට නිවන් සුව.

මොනිකා කුමාරි දිසානායක

නවනගරය

අනුරාධපුරය


90 දශකයේදී යොවුන් හදවත් ප්‍රේමණීය ගී හඬින් මුසපත් කළ ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද ඔබ නිහඬ වී නමුත් ඔබ ගැයූ සුදු මල් පොකුරක් අතින් දරා, මහද ප්‍රේමාදරේ, වෙරළ කොනක හිඳ, සඳරේණු වෑහෙනා, මා හඬවලා, ඔබ හා ගෙවූ අතීතේ වැනි ගීත අපට කිසිදා අමතක නොවේ.

නිමල් ජයවික්‍රම

ඉඹුල්ගොඩ


සුනිල්වන් නුවන්

කොතැන සැඟවුණි ද

සොඳුරු වසත්

ඉක්ම ගොස් ඉකි බිඳී

රුදුරු මරු පැමිණ

බිතක්කනේ තනි රකී

සාහිත කලා අඹරේ

දිලෙනා නෙක තරු

වීමංසාවෙන් රැගෙන පෙරටම

ජාතික මෙහෙවර ඉටු කළ පැනසර

සුනිල් වන් නුවන්

සැඟවුණේ කොතැනකද?

සරුව පිත්තල කලාකාමය

පත අට එකට සිඳ වළඳන කල

පැහැසර මතකය විචාර බුද්ධියෙන්

ලොවට පසක් කළ අදීන සකසුවාණෙනි

මහරු අතීතේ මියුරු ඵල ගෙන

පිළුණු වන්නට නොදී එහි ගුණ

විසල් ගිරි හිස තබා නව රස

සුවහසක් රසික දනන්ගේ

නැණ මඬල හද මඬල

ප්‍රබුද්ධ චින්තනයෙන්

පොහොසත් කළ පත්තර ගෙදර

සුහිත් මිතුරාණෙනි

නුබ ගැබේ දිදුලන සඳ මඬල

දරාගත නොහී පිරිපත

හංස ගීතය ගයනු ඇසේ

ගිරි දුර්ග - ජල දුර්ග

වන දුර්ග පසු කරන්

ඉඳුකිලක් සේ නොසැලී

තනි හයියෙන් නැඟී සිටි

උත්තම මිනිසකු විනිවිද

ඉඩෝරයට අළලී ගිය

ඔබේ වත කමල දැක

හදබතුර ගිනි ගනී

වියෝ වූ සොයුරු පෙම අස!

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ


වෙන්වීම දුකක්

සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරය දරා, මෙරට දක්ෂ සිනමා විචාරකයකු මෙන්ම ලේඛකයකු ලෙසින් සිනමා විචාරක සුනිල් මිහිඳුකුල සූන්ගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට විශාල පාඩුවකි. සුනිලුවනි ඔබට මොක් සුව.

සරත් රණසිංහ

කපුගොඩ

මාලිඳ


ඩබ්ලිව්. ඒ සිල්වා සමරමු

ජාතියේ පිනට පහළ වූ ලේකයන් අතුරින් තවමත් ප්‍රමුඛව වැජඹෙන පාඨකයන් කුළ සරල නවකතා පිළිබඳ මහත් ඇල්මක් ඇති කළ, සිරියලතා, දෛවයෝගය, හඳපාන, හිඟන‍ කොල්ලා, දෙයියන්ගේ රටේ, කැලෑහඳ වැනි අතිශයෙන් ජනප්‍රිය වූ චිත්‍රපට ගණනාවකට මඟ පෑදු වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා හෙවත් ඩබ්ලිව්. ඒ සිල්වා ලේඛකයාණන් සැමරීම එතුමන්ගේ ගුණ දත් සියල්ලන්ගේ යුතුකමකි.

ඩබ්ලිව්. චන්ද්‍රකාන්ති පියතුංග

දළුගම

කැලණිය


කමල් ඔබ අගයමි

ප්‍රවීන නළු කමල් අද්දරආරච්චි සහ ඔහුගේ පවුලේ සියලු දෙනා රත්නපුර ශිවංක හිමියන් රෝගීව සිටියදී පිහිට වී අවසන් කටයුතු ඇතුළුව ඉන් පසුවත් ඉටුවිය යුතු සෑම කටයුත්තකදීම කැප වී කළ උදාර සේවයට අනේක වාරයක් පිං සිදු වේ. ඔබේ සත්ගුණවත් ක්‍රියාව ඉහළින්ම අගය කරමි.

ඉන්ද්‍රාණි ආරියවංශ

ගල්කිස්ස


අයිරාංගනී සේරසිංහ යුගයක මහා අසිරිය

රිදී තිර පට එකලු කළ සඳ

රංග ප්‍රතිභාවයේ මහිමය

සාගරය මැද පවන රළු විය

රසික රස භාවයෙන් පොබ විය

 

පෙර මඟක මඟ සලකුණක්මය

තඹර යායක හිරු කිරණ විය

උදා කළ මැන විදා විස්කම්

තවත් යුගයක මහා අසිරිය

අනුර කුලවර්ධන

රදාවාන


සදාදර සිනමාකරු සේන සමරසිංහ

එදා 70 - 80 දශකවල සුන්දර සිනමාවක් උදෙසා කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, මල් කැකුළු, චංචල රේඛා, ඈතින් ඈතට, යළි හමුවෙමු වැනි චිත්‍රපට රැසක් අපට දායාද දරමින් සේන සමරසිංහ කළ‍ මෙහෙවර අගනේය. පකිස්ථානය සමඟින් හවුල් චිත්‍රපට නිර්මාණය කරමින් සබීතා පෙරේරා පකිස්ථානයේද ජනප්‍රිය නිළියක කළ මිල්ටන් මල්ලවආරච්චි චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ස්ථාවර කරමින් මෙරට සිනමාව තුළ ඔහු කළ සේවය අගයමි. එය අපේ හදවත් තුළ සදා රැඳී ඇත.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව


රිදී තිරයේ පුංචි තරුව

තම සහජ හැකියාවන් ළමා කාලයේදීම රටට පෙන්වූ අපේ ආදර පුංචි හපනිය බන්ධනයේ ළමා රංගන ශිල්පිනිය සහේලි සතරසිංහ ඔබේ කැපවීම නම් විශිෂ්ටයි. සහේලි ඔබ අනාගතයේ දක්ෂ රංගනවේදිනියක් වන බව දැන්ම පෙන්වා හමාරයි. චූටි දුවේ කලා ලොව දිගු ගමනකට අපේ ආසිරි.

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව


තිලක් ඔබ නිහඬ ඇයි

වේදිකාව, පුංචි තිරය තුළින් දක්ෂ රංගනයක දස්කම් පෑ තිලක් කුමාර රත්නායක එළිමහන් සංගීත ප්‍රසංගයන්හි කතා නායකයා ඔබයි. නමුත් ඔබ නිහඬව සිටින්නේ ඇයි? නැවත රංගනයෙන් දැකීමට රසික රසිකාවන් මඟබලා ගෙන සිටිනවා.

පාලක සමන් පෙරේරා

අල්විස් ටවුම

හැඳල

වත්තල


ඇන්ටන් ග්‍රෙගරි ඔබ ආඩම්බරයක්

70 දශකයේ චිත්‍රපටවල සම අධ්‍යක්ෂණයෙන් දායක වෙමින් නමක් දිනූ ඇන්ටන් ග්‍රෙගරි ඔබ අපට ආඩම්බරයකි.

සුගත් ගමගේ

උදයපුර

කල්මුණේ පාර

අම්පාර


මනෝට

ස්වාධීන රූපවාහිනියේ සබඳ එළියස් ටෙලි නාට්‍යයේ රංගනවේදී ජයලත් මනෝරත්නගේ රංගනය ඉතාමත් අපූරුයි. ඔබට සුබ පැතුම්.

ඉඹුල්ගොඩ අබේසිංහ

ශ්‍රියානි ජයසිංහ

අලව්ව


අමරණීය මර්සි

වේදිකාව, රිදී තිරය, ටෙලි තිරය තුළින් රමණීය රැඟුමෙන් අප සිත් සතන් ප්‍රබෝධමත් කළ මර්සි එදිරිසිංහ කලාකාරිණිය ඔබ සදා අමරණීය යි.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ


දයාබර සශිකා නිසංසලා

බක් මහේ කොවුල් නද අතරින් සන්දර්ශන වේදිකාවේ ගීත කෝකිලාව ඔබයි. සෑම සන්දර්ශනයකම ඔබට තිබූ ප්‍රසාදය, දයාබරත්වය ඔබේ නිහතමානීත්වය නිසා ඔබ ගැයූ ගීත අප හදවත්වලට ගැයූ ඒවා බව නොරහසකි. ඔබේ ළයාන්විත හඩට පෙම්බැඳී ගීතයට පෙම්බැඳී අපේ ආදරය දයාබරත්වය නිරන්තරයෙන්ම හිමිවෙනවා.

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල


පුංචි තිරයේ ආකර්ෂණය නයනතාරා

ප්‍රාණ ටෙලි නාට්‍යයේ තාරුකාගේ චරිතය හැඟීම් සහ භාව ප්‍රකාශනයෙන් මනා ලෙස ඉස්මතු කරමින් රසික ආකර්ෂණය ලද නව පරපුරේ රංගන ශිල්පිනී නයනතාරා වික්‍රමආරච්චි පුංචි තිරය රංගනයෙන් සොබාමත් කරන්නීය. ඔබේ රංගන කුසලතාවන් ඉදිරියටත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.


මිහිරට සුබ පැතුම්

මිහිර සිරිතිලක ඔබේ කොණ්ඩයේ පෙනුමත් සමඟ රංගනය ලස්සනයි. ඔබේ ඉදිරි කලා කටයුතු සියල්ල සාර්ථක වේවා.

සුගත් ගමගේ

ජනිත් ගමගේ

සුනීතා ගමගේ

අම්පාර


මහී පූජා ගෙනන සුවය

ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වන 'මහී පූජා' ටෙලි සිතුවමේ තේමා ගීතය විකාශය වන අතරතුර පෙන්වන සුන්දර දසුන් දිස්වීම නෙතට සිතට සුවයක් ගෙන දෙයි. එහි ලෙනී සිටින රශිපබා සංදීපනි දියණියගේ නෙතඟ බැල්ම ඉතාම දැකුම්කලුයි. දිනක්ෂි ප්‍රියසාද් ද තම රංගනය මැනවින් ඉටුකරයි. බුද්ධික ජයරත්න සිය සුපුරුදු චරිතයට කොටු වුවත් රඟපෑම් විශිෂ්ටයි.

එස්. ඒ ප්‍රේමලතා

රුක්ගහතොටුපොල

බණ්ඩාරගම


නිරෝෂා තලගල තුන්දෙනෙක්

'කළු කුරුල්ලා', 'එකගෙයි මිනිස්සු', 'හාරකෝටිය' ටෙලි නාට්‍යවල රංගනයන් දකින අපට නිරෝෂා තලගල නමින් තිදෙනෙකු සිටිනවා දැයි සිතේ.

බී. ස්ටැන්ලි ප්‍රනාන්දු

'චිත්‍රා' ජාතික නිවාස

කිරිබත්ගොඩ

කැලණිය


පරාක්‍රම නිරිඇල්ල කලාකරුවාණෙනි

නිහඬ කලාකරුවෙකි ඔබ අප රටේ
සහජ දක්ෂතා ඇත්තෙක් විය මේ රටේ
කඩඉම සම්මාන ගත්තේය පිට රටේ
යශෝරාවේ තවමත් ඇත ජනයාගේ කටේ

සෙක්කුව තවම කැරකෙනවා එදා වගේ
අයෝමා සමඟ සිරිමැදුරත් කළා අගේ
දක්ෂකම් වලට තැනකුත් නැතුව වගේ
රූප පෙට්ටියෙන් බැහැරව ආව වගේ

නාට්‍ය රචනයත් කරමින් කළ සේවේ
ගොලයෝ රැසක් ඇත අද කලාවේ
ජන කරළියෙන් ඔබ කරනා සේවේ
නිරිඇල්ලයිනි ඔබේ සේවය මිණි මුතු වේ

ආර්. ඒ සෝමා රණසිංහ