වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




බඩු මිල ඉහළයි-ටෙලි මිල පහළයි

බඩු මිල ඉහළයි-ටෙලි මිල පහළයි

අරුමවන්ති තනා සිතැත්ති තනන රන්ජන් ප්‍රසන්න

රන්ජන් ප්‍රසන්න කියලා කියන්නේ වර්තමානයේ සිටින ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. අතිශය ජනප්‍රිය වූ ටෙලි සිතුවම් වන සිහින පුරය, සුරවිමන, රෑන, සුජාතා, සේයා ආදී නාට්‍ය කළේ ඔහු. ඒ වගේම කාලයක් සහය අධ්‍යක්ෂවරයකු ලෙසට ද කටයුතු කළා. ඉන් ලද අත්දැකීම් ඔස්සේ තමයි ටෙලි නාට්‍යකරණයට පිවිසුණේ. එලෙස වැඩ කටයුතු කරගෙන යද්දී අපට ආරංචි වුණා ඔහු චිත්‍රපට රංගනයටත් එකතුවෙලා කියලා. ඒ තොරතුරුත් දැනගන්නත් එක්ක රන්ජන්ට අපි මෙලෙස කතා කළා.

* දැන් අපට ඔබෙනුත් පළමුව අහන්න වෙන්නේ කොහොමද ඔබේ රංගන කටයුතු කියලා?

බොහොම හොඳින් සිදු වුණා. සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කරන නිදහසේ පියා ඩී. එස්. චිත්‍රපටයෙත් අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරන සීතලෙන් උපන් ගින්දර චිත්‍රපටයෙත් මං රඟපෑවා. නිදහසේ පියා චිත්‍රපටයේ මං ඡායාරූප ශිල්පියෙක්. අනුරුද්ධගේ චිත්‍රපටයේ මං සී. අයි. ඩී. ඔෆිසර් කෙනෙක්. ඒ දෙකේම රූගත කිරීම් මේ දිනවල රන්මිහිතැන්නේදී සිදු වෙනවා.

* මොකද මේ හදිසියේම රඟපාන්න හිතුණේ?

විශේෂ හේතුවක් නැහැ. මං නිදහසේ පියා චිත්‍රපටයේ නිෂ්පාදක සම්බන්ධිකාරක විදිහට කටයුතු කරනවා. එහෙම ඉන්න අතරතුරදී චරිතවලට ගෙනා වස්ත්‍රාභරණ පැලැඳි ෆොටෝස් එහෙමත් ගන්නවා. එහෙම ඉන්න වෙලාවක අනෙක් අය කියනවා චිත්‍රපටයේ චරිතයක් කරන්න කියලා. මගේ විනෝදයට එහෙම කළත් අන්තිමේ ඇත්තටම රඟපාන්න වුණා. ඒ නළුවො මදිවෙලා නම් නෙවෙයි. චරිතවලට ගැලපුණ හින්දා කළා.

* ඔබ අධ්‍යක්ෂණය කළ අරුමවන්ති ටෙලි සිතුවම විකාශය වී නිම වුණා?

ඔව්. ඒ සඳහා ඉහළ ප්‍රතිචාර ලැබුණා. උමයංගනා වික්‍රමසිංහ එහි චරිත දෙකක් මැව්වා. එකක් විශේෂයි. අරුමවන්ති හරහා විරාජ් සහ හර්ෂි යන නවතම පෙම්වතුන් යුවළව පුංචි තිරයට හඳුන්වා දුන්නා. මේ කරුණු කාරණා නිසා අරුමවන්ති සඳහා ප්‍රේක්ෂක ඇහැ යොමු වුණා වැඩියි.

* නමුත් එය මෙගා නාට්‍ය ගණයට වැටෙන ටෙලි සිතුවමක්?

මං මේකේ දැඩි වෙනසක් කළා. අරුමවන්ති මෙගා ගණයට වැටෙන්න ඇති. ඒ වුණාට එහි කතාබහ කළ මාතෘකාව හරිම ධනාත්මකයි. ධනාත්මකව හිතන්න ඕන කියන පණිවුඩයයි මට දෙන්න ඕන වුණේ. අද අපි වෙසෙන්නේ ඉලෙක්ට්‍රොනික සමාජයකනෙ. මිනිස්සු ඉන්නේ ෆෝන් ටැබ් ඇතුළු විවිධ ඉලෙක්ට්‍රෝනික අයිටම් එක්ක. ඒවත් එක්ක ඉන්නකොට අද වින්දනය මොට වෙනවා. කම්මැළි වෙනවා. බිහි වන්නේ සෘනාත්මකව හිතන සමාජයක්. මම අරුමවන්ති පිටපත් රචකයාටත් කිවවේ මේක ධනාත්මක චින්තනය ඇතිවන පරිද්දෙන් ලියන්න කියලා.

* ඔබගේ ඒ අරමුණ සාර්ථක වුණාද?

සියයට සියයක් නැහැ. මධ්‍ය වශයෙන් සාර්ථකයි.

* ඇයි මධ්‍ය වශයෙන් සාර්ථක?

ප්‍රේක්ෂකයෝ අද වන විට වෙන වෙන අරමුණු සහිත නාට්‍ය බලන්න පෙලඹිලා. විශේෂයෙන් විදෙස් නාට්‍ය. ඒවායින් වැඩිපුරම කතා කරන්නේ අප රටට ගැළපෙන දේවල් නෙවෙයි. අන්න එතනයි ගැටලුව වුණේ.

* ඔබ කියන්නේ හඬකවපු විදෙස් නිර්මාණ අප රටට එපා කියලද?

නැහැ. මම ඒක නෙවෙයි කියන්නේ. බලන්න ඔය ඔෂීන්, මල් ගුඩි දවස වගේ නිර්මාණ. එවායින් රස වින්දනය මොට වුණේ නැහැනෙ. නමුත් අද පෙන්නන ඒවායින් දැන් විනාශයක් සිදු කරනවා. අනික මේ හේතුවෙන් තව දෙයක් වෙනවා.

* ඒ මොකක්ද?

අපේ නිර්මාණයි විදෙස් නිර්මාණයි සසඳලා අපේ නිර්මාණවලට දොස් පැවරීම. මේක කිහිප දෙනෙකු සංවිධානත්මකව සිදු කරනවා. ඒක හරිම වැරැදියි. ඉන්දීය ටෙලි නාට්‍යයක එක එපිසෝඩ් එකක් සඳහා ඔවුන් අති විශාල මුදලක් වැය කරනවා. අපේ රටේ එහෙම නැහැ. චැනල්වලින් තමයි තීරණය කරන්නේ එක එපිසෝඩ් එකක ගණන. ඒක හරිම විහිළුවක්.

* ඇයි මේ ටෙලි නාට්‍යවල එක කොටසකට ගෙවන මුදල එන්න එන්න අඩු වෙන්නේ?

ඒක මටත් තියෙන ලොකු ගැටලුවක්. මේ වන විට අනෙක් සෑම භාණ්ඩයකම මිල ඉහළ යනවා. ඒත් ටෙලි නාට්‍ය විතරක් පහළ යනවා. අරුම පුදුම වැඩක් ඒක. මේ ගැටලුවට විසඳුමක් මට දෙන්න බැහැනෙ. සියල්ලෝම එකතුවෙලා විසඳුමක් ගන්න ඕනෑ.

* අරුමවන්ති රූගත කිරීම් අතරතුරදී උමයංගනා ගිලෙන්න ගියා කියන්නේ ඇත්තද?

ඒක වුණේ දෙහිවල බීච් එකේදී. උමයංගනාට තිබුණා ඇගේ චරිතය මුහුදේ ගසාගෙන යන දර්ශනයක්. ඇය ඊට නොබියව මුහුණ දුන්නා. මම දැන් දර්ශනය ලබා ගැනීමට ඇක්ෂන් කියලා මොනිටරේ දිහා බලාගෙන ඉන්නවා. උමයංගනා ඇවිදගෙන මුහුද දෙසට යනවා. මට මොනිටරෙන් උමයංගනා කොච්චර දුරට යනවද නියලා දැනෙන්නේ නැහැ. නමුත් ඇය දුරටම ගිහින් ලොකු රැල්ලක් ඇවිත් ඇයව ඇත්තටම ගසාගෙන යන්න ගියා. නමුත් වාසනාවට අනතුරක් වුණේ නැහැ. හැබැහින් මං ඇය කොච්චර දුරක් ගියාද කියලා දැනගත්තම මගේ ඇඟේ හිරිගඬුත් පිපුණා.

* ඔබේ ඊළඟ ටෙලි නිර්මාණය මොකක්ද?

සිතැත්ති. එහි රූපගත කිරීම් සිදුවෙමින් පවතිනවා.

* මෙගා ටෙලි නාට්‍ය නිසා නළු නිළියන්ගේ රංගන කුසලතාවය නිසියාකාරව අධ්‍යක්ෂවරයකුට ලබාගත නොහැකි වෙනවා?

ඔව්. ඒක ඇත්ත. එත් මොනවා කරන්නද. සමහර විට ඒකකාරී රංගනයන් දකින්නට පුළුවන්. ඒත් පිළියමක් නැහැ. නමුත් මගේ අධ්‍යක්ෂණය තුළදී මං නළු නිළියන්ව දෙබස් කියන ගිරව් බවට පත් කරන්නේ නැහැ. පුංචියට හෝ රංගන හැකියාව එළියට ගෙන තමයි රඟපාවන්නේ.

* සාමාන්‍යයෙන් ඔබට දවසට ගන්න ඕන සීන් ප්‍රමාණය මෙච්චරයි කියලා ටාර්ගට් එකක් තියෙනවාද?

කොහෙත්ම නැහැ. සීන් ගණන ටාර්ගට් කරගෙන වැඩේ කරන්න ගියොත් හොඳටම අවුල් වෙනවා.

* නවක නළු නිළියන් ගැන මොනවද කියන්න තියෙන්නේ?

ඇත්තම කිව්වොත් බහුතරයක් එක රැයින් තරුවක් වෙන්නයි උත්සාහ කරන්නේ. ඒක වැරැදියි. මම නම් ඔවුන්ට කියන්නේ අධ්‍යයනය කරමින් නිර්මාණ කටයුතුවල යෙදෙන්න. එතකොට ඉබේම තරුවක් වේවි.

* රන්ජන්ගේ පවුලේ විස්තරත් සඳහන් කරමු?

මගේ බිරිය සුචරිතා නදීශනි. ඇය නාට්‍ය හා රංග කලා ගුරුවරියක්. අපිට පුංචි දුවක් ඉන්නවා. මේ පුංචි පවුලත් එක්ක අපි සතුටින් ජීවත් වෙනවා.