වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




ජාතික රූපවාහිනියට තිස් පහයි

ජාතික රූපවාහිනියට තිස් පහයි

ජාතික රූපවාහිනි සභාපති නීතිඥ රවී ජයවර්ධන සමඟ විශේෂ සාකච්ඡාවක්...

 

අත්ත බිඳෙයි පය බුරුලෙන් පරිස්සමින් ගිහින් එන්න

 

ජාතික රූපවාහිනියේ විශාල මානව සම්පතක් තිබෙනවා. විශාල නිර්මාණකරුවන් ප්‍රමාණයක් ඉන්නවා. එවැනි අනෙක් නාලිකාවලට නැති සම්පත් රාශියක් අප සතුයි. ඒ වගේ ම අනෙක් නාලිකාවලට නැති ප්‍රතිරූපයක් අප සතුයි. මේ නිසා ජාතික රූපවාහිනිය කියන්නේ සමාජයට මඟ පෙන්වීමක් කළ හැකි ආයතනයක්. මා කල්පනා කළේ එවැනි ආයතනයක වැඩකටයුතු තිරයට පමණක් සීමා නොකර සිටීමටයි. එනම් ජාතික කාර්යභාරයක් විදියට සමාජයේ තිබෙන දැවෙන ප්‍රශ්න ගැන අවබෝධයක්, හඬක් ජාතික රූපවාහිනිය ඔස්සේ නැඟිය යුතුය යන මතයෙයි මා සිටින්නේ. ඒ සඳහා ජනතාව අතරට පිවිසිය යුතු බව මගේ අදහසයි. ඒ කාරණයෙනුයි අනෙක් සභාපතිවරුන්ගෙන් මා වෙනස් වන්නේ.

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ රූපවාහිනි සේවා රැසක් ඇත. ඒ අතරින් ජාතික වගකීමක් සහිතව නරඹන්නන්ගේ හදවතට සමීව වන්නේ ජාතික රූපවාහිනියයි. ජාතියේ නාලිකාව ලෙස නම් දරා ඇති ජාතික රූපවාහිනිය පසුගියදා සැමරුවේ එහි තිස්පස් වැනි සංවත්සරයයි. වසර තිස්පහක් යනු දිගු කාලයකි. ඒ ගමන්මගේදී විවිධ කාලවකවානුවල ජාතික රූපවාහිනියේ විවිධ වෙනස්කම් සිදු වෙමින්, විවිධ කඩඉම් පසුකර මේ පැමිණ ඇත්තේ තවත් කඩඉමක් කරා ය. එහිදි ජාතික රූපවාහිනිය තමා වටා ඒකරාශි වී සිටින සිය නරඹන්නන්ගේ හදවත තමා වෙත ම රඳවා ගැනීමට නව ආරක වැඩපිළිවෙළක් දියත් කරමින් සිටියි. මේ ඒ පිළිබඳත්, ජනමාධ්‍යයක් ලෙස එහි කාර්යභාරයත්, ජන මාධ්‍යයක් ලෙස රූපවාහිනියේ තිබෙන සමාජ බලපෑම පිළිබඳත් වර්තමාන සභාපති පුටුව හොබ වන නීතිඥ රවී ජයවර්ධන සමඟ ‘සරසවිය’ කළ සාකච්ඡාවකි.

වර්තමානය වනවිට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය රැසක් ජනතාව අතරට පිවිස තිබේ. ඒ අතරින් විද්‍යුත් මාධ්‍යයක් ලෙස රූපවාහිනියට ජනතාව අතර විශේෂ අවධානයක් යොමු ව ඇත. ඒ රූපවාහිනි සේවාවන් අතරින් ජාතික රූපවාහිනිය වෙනස් වන්නේ කෙසේ ද?

අනෙක් නාලිකාවලින් ජාතික රූපවාහිනිය වෙනස් වන ප්‍රධාන කරුණා රැසක් තිබෙනවා. පළමු වැන්න නම් මේ ආයතනය ආරම්භ කරන්නේ වාණිජ පරමාර්ථයකින් නොවීමයි. එනම් එය ආරම්භ කරන්නේ අධ්‍යාපනය, ජාතින් අතර සමගිය ඇති කරන, උසස් රසවින්දනයක් ඇති කරන වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහායි. විශේෂයෙන් ම අධ්‍යාපනය කියන කොටස ජාතික රූපවාහිනියට ඇතුළත් වන්නේ පනත සම්මත කරද්දීමයි. ඒ මීට වසර තිස්පහකට පෙර තිබුණු රටේ තත්ත්වය දෙස බැලීමෙන් පසුවයි එවැනි තීන්දුවකට පිවිස තිබෙන්නේ. ඒවා අදටත් වලංගුයි. දෙවැන්න නම් සියලු ම නාලිකා වාණිජ පරමාර්ථ හඹාගෙන යන කාලයක ජාතික රූපවාහිනිය ඉන් වෙනස් වී ජාතික නාලිකාව විදියට කරන කාර්යභාරයයි. ඒ කාරණය අදත්, හෙටත් ඊට පසුවත් ජාතික රූපවාහිනියට ම පොදු වූ කාරණයක්. අනෙක් කාරණය නම් ජනතාවගේ උසස් රසවින්දනයක් ඇති කරන විනෝදාස්වාදය (ඥදබඥපබචඪදථඥදබ) හා තොරතුරු ආස්වාදය (ඪදටධබචඪදථඥදබ) කියන කාරණා දෙකම ඇතුළත් වන ආකාරයෙන් වැඩසටහන් නිර්මාණය කිරීමයි. මෙන්න මේ කියූ කාරණා නිසයි අනෙක් ජනමාධ්‍ය ආයතනවලින් ජාතික රූපවාහිනිය වෙනස් වන්නේ.

ජාතික රූපවාහිනි ආයතනයේ මුල් පුටුවට පැමිණි ඒ සභාපතිවරුන්ගෙන් ඔබ වෙනස් වන්නේ කෙලෙස ද?

ජාතික රූපවාහිනියේ විශාල මානව සම්පතක් තිබෙනවා. විශාල නිර්මාණකරුවන් ප්‍රමාණයක් ඉන්නවා. එවැනි අනෙක් නාලිකාවලට නැති සම්පත් රාශියක් අප සතුයි. ඒ වගේ ම අනෙක් නාලිකාවලට නැති ප්‍රතිරූපයක් අප සතුයි. මේ නිසා ජාතික රූපවාහිනිය කියන්නේ සමාජයට මඟ පෙන්වීමක් කළ හැකි ආයතනයක්. මා කල්පනා කළේ එවැනි ආයතනයක වැඩකටයුතු තිරයට පමණක් සීමා නොකර සිටීමටයි. එනම් ජාතික කාර්යභාරයක් විදියට සමාජයේ තිබෙන දැවෙන ප්‍රශ්න ගැන අවබෝධයක්, හඬක් ජාතික රූපවාහිනිය ඔස්සේ නැඟිය යුතුය යන මතයෙයි මා සිටින්නේ. ඒ සඳහා ජනතාව අතරට පිවිසිය යුතු බව මගේ අදහසයි. ඒ කාරණයෙනුයි අනෙක් සභාපතිවරුන්ගෙන් මා වෙනස් වන්නේ.

ඒ වෙනස් වීම ඇතුළේ දී වෙන අය නොකළ ඔබ කළ වෙනස්කම් මොනවා ද?

මා මේ තනතුරේ වැඩභාර ගත්තට පස්සේ 2015 වසරේදී කළ පළමු වෙනස් ම වැඩසටහන වන්නේ ‘දරුවන් පණ මෙන් සුරකිමු’ යන වැඩසටහනයි. ඒ වැඩසටහන ආරම්භ කළේ මේ රටේ අනාරක්ෂිත දරුවන් මූලික කරගනිමිනුයි. මේ රටේ දරුවන් අනාරක්ෂිත වී තිබෙන්නේ ඔවුන්ගේ වරදින් නොවෙයි. එසේ වී ඇත්තේ අපේ වරදින්. වසරකට දරුවන් විශාල ගණනක් මිය යනවා. මෙලෙස ඔවුන් මිය යන්නේ අපේ නොසැලකිලිමත් බව හා අපෙන් නිසි රැකවරණයක් නොලැබීමෙන්. ඒ නිසා දරුවන් වෙනුවෙන් මීට වඩා අවධානයක් දැක්විය යුතුය යන්නයි ‘දරුවන් පණ මෙන් සුරකිමු’ යන වැඩසටහනෙන් විදහා දැක්වෙන්නේ. මේ කටයුත්ත තිරයට පමණක් සීමා වෙමින් කළ හැකි වුවත් ඊට එහා ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කරමිනුයි මේ කටයුත්ත අප සිදු කළේ. ඒ ජනතාව දැනුම්වත් කිරීම හා නිවැරැදි කිරීමක් වශයෙන්. මෙලෙස රූපවාහිනි ඉතිහාසයේ පළමු වරටයි ‘දරුවන් පණ මෙන් සුරකිමු’ යනුවෙන් පැය දොළහක සජීව වැඩසටහනක් කරමින් දරුවන් වෙනුවෙන් හඬක් නැඟීමට හැකියාව ලැබුණේ. ඒ සඳහා ජනාධිපතිතුමා, සියලු ම රාජ්‍ය ආයතන, ජනාධිපති ලේකම් කාර්යාලය යනාදි ආයතනත් සහභාගි කර ගැනීමට ලැබීම විශේෂ වූ සිදුවීමක්. ඒ කටයුත්ත දිගටම ක්‍රියාත්මක වීමත් විශේෂිත සිදුවීමක්.

ජාතික රූපවාහිනියේ වරින්වර විකාශය වන මාර්ග අනතුරු පිළිබඳ ජනතාව දැනුම්වත් කරන වැඩසටහනත් ඒ ඔබ කළ තවත් වෙනස්කමක්ද?

ඒ වැඩසටහන ආරම්භ වන්නේ 2016 වසරේදී. මේ රටේ දැනට පවතින බරපතළ ම ප්‍රශ්නයක් ලෙසයි මාර්ග අනතුරු ගැනෙන්නේ. දවසකට අටදෙනෙකුත්, වසරකට තුන්දහසක ප්‍රමාණයකුත් මාර්ග අනතුරු නිසා මිය යනවා. ඒ සියලු දේ සිදු වන්නේ අපගේ අපරීක්ෂාකාරී බව හා නොසැලකිලිමත් බව නිසයි. ඒ නිසා මේ කාරණා දෙක සම්බන්ධ කරගනිමින් ජනතාව අතර මතවාදයක් ගොඩනැඟීමට අප ක්‍රියා කළා. ඒ අනුවයි ‘පරිස්සමින් ගිහින් එන්න’ නම් දැවැන්ත ව්‍යාපෘතිය ගොඩනැඟෙන්නේ. නියමිත මන්තීරුවේ යන්න, පාරේ යනවිට දුරකථන පාවිච්චි කරන්න එපා, මත්පැන් භාවිත කරලා රථය ධාවනය කරන්න එපා, පදිකයන්ට ගරු කරන්න, පරිස්සමෙන්, කල්පනාවෙන් රිය පදවන්න යන කාරණා පහක් යටතෙයි ඒ ව්‍යාපෘතිය විදහා දැක් වුණේ. ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ පොලිසිය වාර්තා කර ඇත්තේ මේ වනවිට මාර්ග අනතුරුවල යම් මට්ටමක අඩුවීමක් පවතින බවයි.

ගිය වසරවල මෙන් මේ උදා වූ නව වසරේදී ජාතික රූපවාහිනි ආයතනය ආරම්භ කිරීමට නියමිත එවැනි වූ වැඩපිළිවෙළ කුමක් ද?

මෙවර අපගේ අවධානය යොමු වී තිබෙන්නේ සොබාදහම කෙරෙහියි. එනම් පොලිතින් ප්‍රශ්නය, අලින්ගේ ප්‍රශ්නය, සතුන්ගේ ප්‍රශ්නය, වන ගහනයේ ප්‍රශ්නය, වෙනත් පරිසර ප්‍රශ්න කෙරෙහියි. සොබාදහමට අවනත වී ජීවත් වෙමු කියන මතයයි ජනතාවට අතරට රැගෙන යන මෙවර පණිවුඩය වන්නේ. තිරයෙන් පිටට ගිහින් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කතා කරමින් යම්කිසි බුද්ධිමය දැනුම්වත් භාවයක් ඇති කරන්නයි මා කල්පනා කළේ. පසුගිය 11 වැනිදා සිට 17 වැනිදා දක්වා සංවත්සර සතියක් ක්‍රියාත්මක වුණා. එහිදි විශේෂ වැඩසටහන් හතක් ඉදිරිපත් කළා. ඒ සියලු දේ විශේෂ වන්නේ රූපවාහිනි නරඹන්නන් ඇතුළු අප සියලු දෙනාටමත්, රටට, සමාජයට, පරිසරයටත් යම් බලපෑමක් කරන නිසයි.

ටෙලි නාට්‍ය කියන්නේ රූපවාහිනියට අනන්‍ය වූ දෙයක්. 2014 වසර වනවිට ජාතික රූපවාහිනියෙන් පැවැත්වුණු ක්‍රියා පිළිවෙත තමයි, කොහේ හෝ කවුරු හෝ නිර්මාණය කරන ටෙලි නාට්‍යයක් හිටපු අමාත්‍යවරයා හෝ ඔවුන්ගේ සහචරයන්ට රු. 50000ක් ගෙවීමක් කරලා දැමීම. ඒ කාරණය ගැන මා සඳහන් කරන්නේ වගකීමෙන්. එහෙත් අද එවැනි තත්ත්වයක් ජාතික රූපවාහිනියේ ඇත්තේ නැහැ. අද ජාතික රූපවාහිනියට ටෙලි නාට්‍ය ගැනීම සඳහා නිවැරැදි ක්‍රමවේදයක් නිර්මාණය කර තිබෙනවා. කවුරු නාට්‍යයක් හැදුවත් මේ සංස්ථාවේ තිබෙන නාට්‍ය බලන මණ්ඩලයට දැමිය යුතුයි. ඔවුන් පත් කරලා තිබෙන්නේ අමාත්‍යාංශය මඟින්. ඒ මණ්ඩලය සැදුම්ලත් වී තිබෙන්නේ විද්වත් මණ්ඩලයකින්. හදන සෑම නාට්‍යයක් ම ඒ මණ්ඩලය ඉදිරියේ ප්‍රදර්ශනය කළ යුතුයි. ඔවුන්ගේ අනුමැතිය හිමිවන නාට්‍යයයි ජාතික රූපවාහිනියේ විකාශය වන්නේ.

ඕනෑ ම ආයතනයකට වසර තිස්පහක් ගතවනවා කියන්නේ විශේෂයි. ඒ වෙනුවෙන් වෙන්වුණු සංවත්සර සතිය ගත වුණේ කුමන ආකාරයෙන් ද?

සංවත්සර සතිය ආරම්භ වුණේ සම්මාන උලෙළකින්. පසුගිය වසරේ අපේ සංස්ථාවේ සම්මාන උලෙළවලින් සම්මාන ගත්ත අයව නැවත වතාවක් එහිදි අප සම්මානයට පාත්‍ර කළා. ඒ විදියට සම්මාන උලෙළක් පැවත්වුණේ රූපවාහිනි ඉතිහාසයේ පළමු වතාවටයි. දෙවැනි දිනයේදී සිදු වුණේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රීඩකයන්, නළු නිළියන්, නිවේදකයන්, සාමාන්‍ය ජනතාව, පාපැදි, යතුරු පැදිකරුවන්, මෝටර් රථ ධාවකයන්ගේ සංගමයත් සහභාගි කර ගනිමින් රථ පෙරහැරක් පැවැත්වීමයි. ඒ මඟින් මාර්ගය පරිස්සමෙන් පාවිච්චි කරන්න යනුවෙන් ජනතාව දැනුම්වත් කළා. තුන්වැනි දවසේ සිදු වුණේ ජාතික රූපවාහිනිය මේ තත්ත්වය දක්වා ගෙනෙන්න කටයුතු කළ සියලු දෙනා ම ගෙන්වා සුහද හමුවක් පැවැත්වීමයි. සිව්වැනි දවස වෙන්වුණේ සම්ප්‍රදායක් ලෙස පිරිත් සජ්ඣායනයක් සිදු කිරීමටයි. පස්වැනි දිනයේ උදේ දානයක් දී ඊට පසුදින කොහොඹායක්කංකාරිය ශාන්ති කර්මය පැවැත්වූවා. සත්වන දින සරත් දසනායක නම් විශිෂ්ට සංගීතඥයා නමින් කෙරෙන සංගීත සැදෑවෙන් මේ සියලු කටයුතු අවසන් වුණා.

සංවත්සරයට සමගාමීව ජාතික රූපවාහිනියේ ගුවන් කාලයේ විකාශය වන වැඩසටහන් වෙනස් වීමට ලක් කිරීමක් සිදු වනවා ද?

ඉදිරියේදී තිස්පස් වැනි සංවත්සරයට සමගාමීව රාත්‍රි 7.00 - 8.00 යන ගුවන් කාලය වෙනස් වූ වැඩසහන් මාලාවක් නිර්මාණය වේවි. එය ක්‍රියාත්මක වන්නේ මේ මාසයේ අවසන් දිනවල සිටයි. හරසුන් ටෙලි නාට්‍ය වලින් හා ඉන්දියානු ටෙලිනාට්‍යවලින් එහාට ගිය දේශීය හා ඉන්ෆොටේන්ට්මන්ට් යන සම්මිශ්‍රණයෙන් යුතු එකිනෙකට වෙනස් වැඩසටහන් හයකින් සතියේ දිනවල නරඹන්නන්ගේ නිවෙසට පැමිණෙන්නයි අප මේ දිනවල සූදානම් වන්නේ. ඒ වෙනස රූපවාහිනි නාලිකාවල විශේෂත්වයක් ඇති කරාවි යැයි මා සිතනවා.

රේටින් වැඩිකර ගැනීමට විවිධ නාලිකා විවිධ දේ අනුගමනය කරනවා. එපමණක් නොවෙයි, නරඹන්නන් ඔවුන්ගේ නාලිකාව විශේෂයෙන් ම නැරැඹීමට තවත් විශේෂ හේතු රාශියකුත් තිබිය හැකියි. ඔබගේ ආයතනය කළ යුත්තේ ඒ හේතු වූ කාරණා මොනවාදැයි සොයා බැලිම නොවේද?

ජාතික නාලිකාව කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් දහජරාවක් විකුණන නාලිකාවක් නොවෙයි, ඒ මඟින් සමාජයට, රටට, භාෂාවට, සංස්කෘතියට වැදගම්මක් තිබෙනවාද? කියලා සොයන්නේ නැතිව ඕනෑ ම දහජරාවක් ගෙනැත් තිරය පුරවලා පෙන්වන ආයතනයක් නොවයි. එය සමාජය මෙහෙය වන ආයතනයක්. එහෙත් සමහර නාලිකාවල විකාශය වන සමහර ටෙලි නාට්‍යවල තිබෙන්නේ වෙන ම ලෝකයක්. විශේෂයෙන් ම ඉන්දියානු නාට්‍යවල ඔවුන් කුස්සියේ ඉන්නෙත්, නිදන කාමරයේ ඉන්නෙත් කෝට් එක දා ගෙනයි. ඒ ඔස්සේ නරඹන්නන්ගේ සිතේ ඔවුන් මවන්නේ වෙන ම ලෝකයක්. පවුල් ආරවුල්, අනියම් සම්බන්ධතා, වෙනත් ප්‍රශ්න ආදී නොයෙක් ජරමරයි මේ නාට්‍ය ඔස්සේ නරඹන්නන්ට ඉදිරිපත් වන්නේ. ඒ නිර්මාණවල තිබෙන්නේ කුණු රසක්. මේ නාට්‍යවල තිබෙන කුණු රසට නරඹන්නන් ඒ රූපවාහිනිය නරඹන බව සත්‍යයක්. කාලයෙන් කාලයට එවැනි රැලි එනවා. එහෙත් ජාතික රූපවාහිනිය ලෙස අප ඒ රැලිවල ගමන් කරන්නේ නැහැ. මිනිසුන් ජාතික රූපවාහිනියෙන් බලාපොරොත්තු වන්නේ ඊට වඩා වෙනස් වූ පරිසරයකුයි.

මෙහි යම් පියවරක් ලෙස ද ඔබගේ ආයතනය පැරැණි ටෙලි නාට්‍ය නැවතත් විකාශය කිරීම ආරම්භ කළේ?

මේ වනවිට ජාතික රූපවාහිනිය ඔස්සේ පැරැණි ටෙලි නාට්‍ය රැසක් රාත්‍රි 9.00 ට විකාශය වුණා. දැනටත් ඒ කාර්ය ඒ ආකාරයෙන් ම වෙනවා. ඒ සඳහා අපට ලැබෙන ප්‍රතිචාර බොහොම හොඳයි. ඒ වටා නරඹන්නන් රාශියක් ඒකරාශි වෙලා තිබෙනවා. අප කුඩා කාලයේ නැරැඹූ ඒ නිර්මාණ විකාශය වනවිට නරඹන්නන් ඒ නිර්මාණ නරඹන්නේ මහත් ආසාවෙන්. ඔවුන් ඒවා නැරැඹීමෙන් පෙනෙන්නේ එවැනි නිර්මාණ නැරැඹීමට උනන්දුවක් ඇතිවන කාලයක් නැවතත් උදා වී ඇති බවයි.

වර්තමානයේ අපේ රටේ බිහිවන ටෙලි නාට්‍යත් ඉන්දියානු ටෙලි නාට්‍යවලට දෙවැනි නැහැ?

අද අපේ ටෙලි නාට්‍යවල තිබෙන්නේ එක ම ආකෘතියක්. ඒ වගේ ම ඒ නිර්මාණ නිර්මාණය වන්නේ එදා එදායි. එතැන ඉන්න නළු නිළියන් දෙස බලමින්, ඒ වෙලාවේ දෙබස් ලියමින් කරන නාට්‍ය යයි අද තිබෙන්නේ.

කොහොම වුණත් ඉදිරියේදිවත් වහා ම ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් යම් කතිකාවක් රටේ ඇති විය යුතුයි. එසේ ඇති විය යුත්තේ සමාජයට, රටේ දරුවන්ට, භාෂාවට, ජන විඥානයට සුවිසල් බලපෑමක් පුංචි තිරය හරහා සිදු වන නිසයි. මේ නිර්මාණවල යන්නේ අපට නොගැළපෙන දේ නොවේ නම්, අපේ සංස්කෘතිය නොවේ නම්, අපේ ජන ජීවිතය නොවේ නම්, අපේ සාරධර්ම නොවේ නම් අනාගතය ගැන අපට ප්‍රශ්නයක් තිබෙනවා. මෙහෙම වුණොත් රටට ආදරය කරන, රසවින්දනයක් තිබෙන පිරිසක් අපට අපේක්ෂා කළ හැකි ද? යන්න පිළිබඳ ප්‍රශ්නය පැන නැගෙනවා. එහෙත් ජාතික රූපවාහිනිය මේ ගමන් කරන මඟෙන් වෙනස් මඟකයි ගමන් කරන්නේ. රටට ආදරය කරන, රසවින්දනයක් තිබෙන වෙනස් පිරිසකුයි ඒ හරහා නිර්මාණය කරමින් ඉන්නේ.

රූපවාහිනි සේවාවන් රැසක් තිබෙන රටක ඇති කළ යුතු මේ වෙනස ඔබ ආයතනයට පමණක් කළ නොහැකි කාර්යයක්. ඔබගේ ආයතනය හෝ මූලිකත්වයෙන් සියලු ම ජනමාධ්‍ය සඳහා යම් නියාමනයක් නොගෙනෙන්නේ ඇයි?

ඒක හොඳ ප්‍රශ්නයක්. ගිය සතියේ ජනමාධ්‍ය ඇමතිතුමා මහානායක හිමිවරුන් දෙපළ මහනුවරදී මුණ ගැසුණේ මේ කටයුත්ත සම්බන්ධයෙන්. මටත් ඒ කටයුත්තට සහභාගි වෙන්න ලැබුණා. ඒ හමුවීමේ ප්‍රධාන පරමාර්ථය නම් ජනමාධ්‍ය නියාමන අධිකාරියක් ඇති කිරීමයි. ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ජනතාවගෙන් ලබාගන්නයි. මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා තම තමන්ගේ අදහස් ලබාදෙන ලෙසයි. ඒ මඟින් පමණයි රටට ඔබින මාධ්‍ය නියාමනයක් තනා ගත හැක්කේ.

විදේශීය නිර්මාණ අපේ රටේ මුලින් ම විකාශය කරන්නේ ජාතික රූපවාහිනිය ඔස්සේයි. ඒවගේ ම විදේශීය නිර්මාණ පසුගිය කාලයේත් දිගින් දිගට ම ඔබ ආයතනයේ නාලිකාවෙත් විකාශය වුණා. යම් කෙනෙක් එහි ආරම්භකයා ලෙස ඔබ ආයතනයට ඇඟිල්ල දිගු කළ හැකියි නේද?

මෙහෙමයි අපි ලෝකය දැක්කේ, ඒ රටවල්වල තිබෙන සංස්කකෘතිය, දේශපාලනය, හැසිරීම් දැක්කේ ජාතික රූපවාහිනියෙන්. දැන් බලන්න ඔෂීන් වගේ ටෙලි නාට්‍යයක්. එවැනි ටෙලි නාට්‍යයක් විකාශය නොවුණා නම් එය වැරැද්දක් ලෙසයි මා දකින්නේ. පිටරට වැඩසටහන් විකාශය වුණාට කමක් නැහැ. ඒ තිරයෙන් පෙනෙන්නේ ලෝකයයි. ඒක ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රශ්නය තිබෙන්නේ විකාශය කරන ඒ වැඩසටහන් මොනවාද යන්න පිළිබඳයි. එහෙම බලනවිට කිසිම අදාළත්වයක් නැති හුදු ෆැන්ටසියකුයි අද පුංචි තිරයෙන් නිර්මාණය කරන්නේ. අවාසනාවට අද නාලිකා බිහි වී තිබෙන්නේ සල්ලි සොයන්නයි. ඒකට මා විරුද්ධයි. විශාල ව්‍යාපාරයක් තිබෙන කෙනෙකු නාලිකාවක් පවත්වා ගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ නාලිකාවෙන් කුණු දහජරාව පෙන්වලා කීයක් හරි හම්බ කරගන්න හදනවා නම් ඒකයි වැරැද්ද වන්නේ. මුදල් සොයන්න උවමනා නම් වෙනත් ව්‍යාපාරයක් කරන්න. ජනමාධ්‍ය ව්‍යාපාරයක් කර ගන්න එපා.

පසුගිය කාලයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් හා විකාශය කිරීමට ලබාදුන් විධික්‍රමය පිළිබඳ මාෆියාවක් ක්‍රියාත්මක වුණා. වර්තමානය වනවිට ඒ තත්ත්වය වෙනස් වෙලා ද?

ටෙලි නාට්‍ය කියන්නේ රූපවාහිනියට අනන්‍ය වූ දෙයක්. 2014 වසර වනවිට ජාතික රූපවාහිනියෙන් පැවැත්වුණු ක්‍රියා පිළිවෙත තමයි, කොහේ හෝ කවුරු හෝ නිර්මාණය කරන ටෙලි නාට්‍යයක් හිටපු අමාත්‍යවරයා හෝ ඔවුන්ගේ සහචරයන්ට රු. 50000ක් ගෙවීමක් කරලා දැමීම. ඒ කාරණය ගැන මා සඳහන් කරන්නේ වගකීමෙන්. එහෙත් අද එවැනි තත්ත්වයක් ජාතික රූපවාහිනියේ ඇත්තේ නැහැ. අද ජාතික රූපවාහිනියට ටෙලි නාට්‍ය ගැනීම සඳහා නිවැරැදි ක්‍රමවේදයක් නිර්මාණය කර තිබෙනවා. කවුරු නාට්‍යයක් හැදුවත් මේ සංස්ථාවේ තිබෙන නාට්‍ය බලන මණ්ඩලයට දැමිය යුතුයි. ඔවුන් පත් කරලා තිබෙන්නේ අමාත්‍යාංශය මඟින්. ඒ මණ්ඩලය සැදුම්ලත් වී තිබෙන්නේ විද්වත් මණ්ඩලයකින්. හදන සෑම නාට්‍යයක් ම ඒ මණ්ඩලය ඉදිරියේ ප්‍රදර්ශනය කළ යුතුයි. ඔවුන්ගේ අනුමැතිය හිමිවන නාට්‍යයයි ජාතික රූපවාහිනියේ විකාශය වන්නේ.