වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




ඔයා ඇයි මේ ගැන මට කලින් දැන්නුවේ නැත්තේ

ඔයා ඇයි මේ ගැන මට කලින් දැන්නුවේ නැත්තේ

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් සින්ඩ්‍රොම් නැමැති බුද්ධි හීන ආබාධයෙන් පෙලෙන සොහෙයුරෙකු සිටී. ඔහුගේ දඩබ්බර ක්‍රියාකාරකම් දකින සන්දේශ්ගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහයට එතරම් කැමැත්තක් නොදක්වති. එහෙත් සන්දේශ් දෙමව්පියන්ගේ කැමැත්ත නොසලකා ඇය හා විවාහවීමට තීරණය කරයි. දිනක් සන්දේශ් මිහිරි හමුවීමට ගොස් ඒ බව සැලකර සිටියි එහෙත් දෙමව්පියන්ගේ අකමැත්ත හේතුවෙන් ඇය විවාහය පිළිබඳ තීරණයකට එළඹීමකට පසුබට වෙයි.

පසුව උසස් අධ්‍යාපනය උදෙසා ඕස්ට්‍රේලියා බලා යන සන්දේශ් නතාශා නැමැති රූමත් ශ්‍රී ලාංකික තරුණියක් හඳුනාගෙන ඇය හා පෙමින් බැඳේ. මේ අතර ඔහුගේ පියාගේ මරණය සිදුවිමේ හේතුවෙන් ඔහු යළිත් ලංකාවට පැමිණේ.

(අද එතැන් සිට)

තවත් සුළු කාලයකට පසු මව, සන්දේශ් හා පියාගේ සහෝදරියන් දෙදෙනාත්, ඔවුන්ගේ සැමියනුත් පෙළ ගැසී සිටියේ නෑදෑ හිතවතුන්ගේ ශෝකය පිළිගැනීම සඳහා ය. හඳුනන නොහඳුනන බොහෝ පිරිසක්, අතට අත දෙමින් ද වැලඳගනිමින් ද තම නිර්ව්‍යාජ ශෝකය ඔවුන් වෙත පිරිනමමින් ඉවත්ව යන්නට වූහ.

"මයි ඩීපස්ට් සිම්පතිස්"

බිමට නැඹුරු කරගත් මුහුණින් යුතුව සිටි සන්දේශ්ගේ දෙසවනට වැකුණේ සුපුරුදු කටහඬකි. හිස ඔසවා බැලූ විට ඔහු දුටුවේ මිහිරිය. මෙය සන්දේශ් මේ මොහොතේ කිසිසේත් බලාපොරොත්තු නොවූවකි. ඇගේ මුහුණ ද දුකින් බර වී තිබුණි. ඇයගේ කොපුල් මත ඔහුගේ දෙකොපුල් තැවරිණි.

"මිහිරි?"10

"කොහොමද? "

"කොහොමද ඔයා දැන ගත්තෙ? "

"පත්තරෙන් දැන ගත්තා. යාළුවෙකුත් කිව්වා"

ශෝකය පළ කිරීම සඳහා තවත් පිරිසක් පෙළ ගැසී සිටි හෙයින් ඇයට වැඩි වේලාවක් සන්දේශ් අසල රැඳී සිටින්නට නොහැකි විය. මිහිරි එතැනින් ඉවත්ව ගිය පසු මව ද තමන් දෙස බලා සිටින අයුරු සන්දේශ් දුටුවේය. මෙවෙලේ ඔහු සිටියේ මිහිරිගේ අතකින් දැනුණු සුපුරුදු හීතල පහස ගැන මෙනෙහි කරමින්ය.

කනත්තේ සියලු ආදාහන කටයුතු අවසන් කර නිවසට පැමිණෙන විට හාත්පස අඳුර වැටී තිබුණි.

* * *

"තව අවුරුද්දක් විතර තියෙනව. එක දිගටම එහේ ඉන්න නං මගේ බලාපොරොත්තුවක් නෑ"

"මාස්ටර්ස් ඉවර කරන්න මටත් තව මාස හතරයි තියෙන්නෙ"

"එහෙනං මේ දවස්වල බරටම පාඩම් කරනව ඇති"

මිහිරි සිනහවත් සමඟම හිස සැලීය. සන්දේශ් ඇගේ මේ සුපුරුදු පියකරු සිනාව යළිත් දුටුවේ සෑහෙන කලකට පසුය. සිනාසෙන විට දිස්වෙන උඩු ඇන්දේ ඇති නල දත ඇගේ මුහුණේ සුන්දරත්වය තවත් වැඩි කරන්නේ යැයි සන්දේශ්ට නොයෙක් වර සිතී තිබිණ.

සන්දේශ්ට මිහිරිව මෙලෙස මුණ ගැසුණේ පියාගේ ආදාහන කටයුතුවලින් දින තුනකට පසුවය. පෙරදින සන්දේශ් ඇයට දුරකතන ඇමතුමක් ගත්තේ පරණ අංකයටම ය. අවුරුදු දෙකකටත් ආසන්න කාලයක් ගත වූ පසුවත් ඇගේ ජංගම දුරකතන අංකය වෙනස් වී නොතිබුණි. කැමති නම් පමණක් මඳක් නිදහසේ හමු වී කතා කළ හැකි දැයි සන්දේශ් විමසා සිටි විට ඇය ඊට කැමැත්ත පළ කර සිටියාය.

සන්දේශ් මෙදින මෙලෙස මිහිරි හමු වූයේ මීට පෙර මුණ ගැසුණු සුපුරුදු අවන්හලකදීය. සැහැල්ලු ආහාරයක් ඇනවුම් කළ ඔහු යළිත් ඇය දෙස බැලීය. ඇයගේ සුපුරුදු මුහුණ, සිනහව, හැසිරීම සමඟ පෙර සොඳුරු මතකයන් සන්දේශ්ගේ සිත අවදි කර තිබුණේය.

"තාත්තගෙ මෙහේ තියෙන බිස්නස්? ඒව බාර ගන්නෙ නැද්ද? "

"ඒක තමයි, අවුරුදු දෙකක්ම එහේ ඉගෙන ගත්ත හින්ද අම්මලයි, අනිත් හැමෝමයි කියන්නෙ මේ අවුරුද්දත් කොහොමහරි එහේ ඉඳල ඩිග්රි එකත් අරගෙනම එන්නෙයි කියල. තාත්තගෙ බ්‍රදර් ඉන් ලෝ කෙනෙක් කොහොමත් අපේ බිස්නස්වලට සම්බන්ධ වෙලා හිටියනෙ. එතකන් එයා ඒව බලා ගනියි, අම්මත් ඉන්නවනෙ.

"කාලෙ ගෙවිල යන ඉක්මන නේද? "

"ඒකනෙ"

අවන්හල තුළ මේස වටා තවත් කිහිපදෙනෙක් රැස් වී සිටිති. සිහින් මිහිරි සංගීත රාවයක් ද අවන්හල තුළින් ඇසෙයි. ඕස්ට්‍රේලියාවේ සිහිල් දේශගුණයට හුරු වී සිටි හෙයින් දෝ සන්දේශ්ට දැනෙන්නේ තරමක රස්නයකි.

"කොහොමද මල්ලියි අම්මයි එහෙම? "

එම පැනයෙන් මිහිරිගේ මුහුණ සෙමෙන් පහතට නැඹුරු විය. ඒ සමඟම එහි තිබූ සැහැල්ලුබව වියැකී යන අයුරු ද ඔහු දුටුවේය.

"ඇයි මිහිරි? "

"මල්ලි නැති වුණා"

ඇගේ හැඟුම්බර කටහඬ සන්දේශ්ගේ හදවත සසල කළේය.

"මල්ලි නැතිවුණා? "

සන්දේශ්ගේ කටහඬේ විමතියක් ද රැඳී තිබිණ. මිහිරි සෙමෙන් හිස සලනු ඔහුට පෙනිණ.

"කවද්ද? "

"මාස හතරකට විතර උඩදි, නිවුමෝනියාව හැදිල. අපිට බේරගන්න බැරි වුණා"

බර හුස්මක් පහළට වැටුණේ සන්දේශ් නොදැනුවත්ම ය.

ජීවිතය යනු මහා පුදුමාකාර දෙයක් බවත්, හැම දෙයක්ම දෛවයට හා ධර්මතාවයන්ට ඉඩදීම හැර අපට වෙන කරන්නට කිසිදු දෙයක් නොමැති බවත් යන සරල සිතුවිල්ලක් ද මේ මොහොතේ සන්දේශ්ගේ සිත තුළ පැන නැංගේය.

"ඔයා ඇයි මේ ගැන මට කලින් දැන්නුවෙ නැත්තෙ"

"ඔයාට කියන්න විදිහක් මං දැනගෙන හිටියෙ නෑ. ඕනකමක් තිබුණ නං ඔයාට මට කතා කරන්න තිබුණා"

මිහිරිගේ වදන් ඔස්සේ වෙනස්ම සිතුවිලි කිහිපයක් ඔහුගේ සිතට ඇතුළු විය. විදේශ ගත වූ පසුවත් ඇය තමා ගැන බලාපොරොත්තුවෙන් සිටියාද? මල්ලීගේ ප්‍රශ්නයත් සමඟ අවසාන කාලයේ ඇය තමා මග හැරිය බවත් ඔහුට තවමත් හොඳීන් මතකය. නමුත් ඒවා ගැන යළිත් මතක් කිරීමේ අදහසක් ඔහු තුළ නොවීය.

"මගේ කටහඬ අහල ඔයාගෙ හිත ආයෙත් රිදෙයි කියලයි මං ඔයත් එක්ක කතා කෙරුවෙ නැත්තෙ. සොරි, මං කෙරුවෙ වැරැද්දක් නං"

මිහිරිගේ මුහුණ යළිත් පහළට නැඹුරු වී තිබුණි. ඉන්පසු ඇය කතා කළේ වීදුරුවෙන් බීම මඳක් පානය කිරීමෙන් අනතුරුවය.

"දැන් ඉතිං පසුගිය දේවල් ගැන කතා කරල වැඩක් නෑ සන්දේශ්. ජීවිත ඔහොම තමයි"

"ඔයා නං පුදුම අක්කා කෙනෙක් තමයි"

මිහිරිගේ දෙතොල් යන්තමින් විහිදී යනු සන්දේශ්ට පෙනිණ.

"මල්ලිලාට ආදරේ නැති අක්කලා කොහෙද ඉන්නෙ. ඔයාටත් අක්කා කෙනෙක් හිටිය නං දැනෙයි"

මිහිරිගේ කතාවේ සත්‍යයක් ඇතැයි සන්දේශ්ටත් සිතෙයි. තමාට කිසිදු සහෝදර සහෝදරියක් නැති වීම පිළිබඳව තැවුණු වාර, ළමා කාලයේ දී කොතෙකුත් තිබු බවක් ද ඔහුගේ මතකයට නැගෙයි.

"කවද්ද ඔයා යන්නේ? "

මිහිරිගේ ප්‍රශ්නයත් සමඟම සන්දේශ්ගේ සිතුවිලි වෙනතකට යොමු විය.

"තාත්තාගේ හත් දවසේ දානෙන් පස්සෙ..... දානෙට ඔයත් එන්න"

" දානේ කොහොම වෙතත් බණටවත් එන්න බලන්නං"

මිහිරි යළිත් සැහැල්ලුවෙන් කතා කිරීම පිළිබඳ සන්දේශ්ට දැනුනේ සතුටකි.

"මල්ලි නැති හින්දා ඔයාගේ ජිවිතෙත් ගොඩක් වෙනස් වෙලා ඇති"

මල්ලි ගැන කතා කිරීමෙන් ඇයගේ සිත යළින් සිත වෙනස් වුයේ දැයි සන්දේශ්ට සිතුණේ එම පැනය මුවින් පිට වූ පසුය.

"කරදර නං ටිකක් අඩුයි. ඒ වුණාට මල්ලි නැතුව පාළුයි"

මල්ලි ගැන ඈ තුළ තිබු අප්‍රමාණ වූ සෙනෙහස තවමත් ඇගේ සිත වරින් වර පාරන බවක් ද සන්දේශ්ට සිතිණ.

"දවස ගෙවෙන විදියත් දැන් චුට්ටක් වෙනස් වෙලා. කොහොමද ඔයාගේ ජිවිතේ? "

සැහැල්ලුවෙන් නැගුණු ඒ පැනයත් සමඟ ඇගේ අත්ලක් නිකට මත රැදිණ.

" මගෙත් පුංචි වෙනසක් නං වෙලා"

සන්දේශ් එසේ කීවේ සුළු මොහොතක් ගෙවි ගිය පසුය.

"ඒ මොකක්ද? "

සන්දේශ් දෙතොල් මත රැදුණු සිහින් සිනහවකුත් සමඟ කලිසම් සාක්කුවේ තිබුණු ජංගම දුරකථනය අතට ගත්තේය. ඉන්පසු ඔහු ඇඟිලි තුඩුවලින් ස්පර්ශ කොට එහි මුහුණතට ඡායාරූපයක් රැගෙන එය මිහිරි වෙත සමීප කළේය‍

"කවුද මේ? "

"කවුරු කියලද හිතන්නේ? "

"ඔයාගේ අලුත් ගර්ල්ෆෙන්ඩ්ද? "

"හ්ම්"

සන්දේශ් එසේ කී විට මිහිරි තවත් විමසිල්ලෙන් ඒ දෙස බැලුවාය.

"ලස්සනයි. එහෙද ඉන්නෙ"

"ඔව්..... මටත් අහම්බෙන් හම්බ වුණේ. ලස්සනයි, හොඳයි. හැබැයි පොඩ්ඩක් දඟයි"

"ඔයත් දඟයිනේ"

මිහිරි සිනාසෙමින්ම ඔහුගේ අත අල්ලා ගත්තාය.

"මයි කන්ග්‍රැජුලේෂන්ස්"

"තෑන්ක්ස්"

"කවද්ද මැරි කරන්නෙ?"

"මගේ ඩිග්රි එක ඉවර වුණාට පස්සෙ. කොහොමත් ලබන අවුරුද්දෙ අන්තිම විතර වෙයි. එයත් ලංකාවට එන්න කැමතියි. ඒගොල්ලො නුවර පැත්තෙ"

"එහෙනං නුවර මැණිකේ කෙනෙක්"

තවත් කොටසක් ලබන සතියේ...