වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




ලන්ඩන් ස්ටාර් ලංකාවට ඇවිත්

ලන්ඩන් ස්ටාර් ලංකාවට ඇවිත්

දනුෂා සමන්මලී

මං කලා කටයුතුවලට නැඹුරු වෙන්නේ මගේ අම්මයි තාත්තයි නිසයි. ඔවුන්ගේ දිරිගැන්වීම, ප්‍රශංසාව මාව ගොඩක් ධෛර්යමත් කළා. ඒ වගේම ඩිල්ෂාන් වෛද්‍යරත්න මගේ සැමියාගෙන් කලා කටයුතු සඳහා ලැබෙන නිදහස වගේම සහයෝගය මගේ ගායන ජීවිතයට මහ මෙරක් වගෙයි. ඒ වගේම කවීෂ, මිහින් මගේ පුතුන් දෙදෙනාත් මට මහා ශක්තියක්.

'පවන් පොදක් වී
මුදු සුවඳ පතුරා
රඟමු අප පෙර සේ
ස වසා ඉන්නම්
සිහිනෙන් එනු මැන
පෙම්වතාණෙනි'

ඇගේ ලයාන්විත, නිවුණුු කටහඬ හී පහරක් සේ සිත් පතුළේම නතර වෙයි. ඇගේ කටහඬ සේම මුහුණ ද අපට හුරුපුරුදුය. ඒ ඇය කාලෙකට ඉහහදී 'දෙරණ ලන්ඩන් ස්ටාර්' හි දක්ෂතා පෙන්වා තබා ගිය මියුරු, ලයාන්විත මතකය නිසා. ඇයගේ කටහඬ නැවත එලෙස රැව් පිළිරැව් දෙන්නේ දේශභිමානය වෙනුවෙනුයි. මේ දනුෂා සමඟ සිදු කළ පිළිසඳරයි.

ඉතිං දනුෂා කාලෙකින් දැක්කේ. කොහෙද මෙච්චර කල් හිටියේ?

ඔව් මං හිටියේ එංගලන්තයේ. ටික කාලෙකට ලංකාවට ආවා. ඉතිං ඒ පොඩි කාලේ ඇතුළත සංගීත ක්ෂේත්‍රය තුළ අලුත් වෙනසක් ඇති කරන්න මං කල්පනා කළා.

ඒ වෙනස පොඩ්ඩක් මතක් කළොත්?

ඔව්. මගේ අලුත්ම නිර්මාණය 'ලක්මව්නි මගේ' දේශ අභිමානි ගීතයක්. නන්දිකා රණවීර මහත්මියගේ පද රචනයෙන් ජනනාත් වරකාගොඩ මහත්මයාගේ සංගීතයෙනුයි මෙම ගීතය හැඩ වෙන්නේ. මේ ගීතය නිකුත් කරන්නේ පෙබරවාරි 04 නිදහස් දවසේදි. ඒ වගේම මේ වෙනකොට Y-Tube, Hirufm.lk එකේ 'පවන් පොදක් වී' ගීතය ප්‍රචාරය වෙනවා වගේම ඊට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගීතයේ පද රචනය කළේ ඉසුරු සමරසිංහ. සංගීතයෙන් දායක වුණේ අරුණ ගුණවර්ධනයි.

ඒ වග්ම තවත් ටික කලකින් ඒ කියන්නේ ජූලි, අගෝස්තු වගේ කාලවලදී ගීත ප්‍රසංගයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

'ගහේ කටු උල් කරන්න ඕනෙ නෑනේ' ඒවගේම දනුෂාට කලාවට සම්බන්ධ වෙන්න පවුලේ පරිසරය අනිවාර්යයෙන්ම බලපාන්න ඇති. එහෙම නේද?

ඔව්, අනිවාර්යයෙන්ම. මගේ අම්මාගේ නම ශ්‍රියානි පෙරේරා. ඇය චිත්‍රපට ගණනාවකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. අක්කර පහ, බක්මහ දීගේ, දෑස නිසා, එයා දැන් ලොකු ළමයෙක් වගේ චිත්‍රපටි ඒ අතරින් ප්‍රධානයි. ඇයගේ කලාවට තිබුණු ළෙන්ගතුකම මටත් නිරායාසයෙන්ම හේතු වෙන්න ඇති.

කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?

මං කලා කටයුතුවලට නැඹුරු වෙන්නේ මගේ අම්මයි තාත්තයි නිසයි. ඔවුන්ගේ දිරිගැන්වීම, ප්‍රශංසාව මාව ගොඩක් ධෛර්යමත් කළා. ඒ වගේම ඩිල්ෂාන් වෛද්‍යරත්න මගේ සැමියාගෙන් කලා කටයුතු සඳහා ලැබෙන නිදහස වගේම සහයෝගය මගේ ගායන ජීවිතයට මහ මෙරක් වගෙයි. ඒ වගේම කවීෂ, මිහින් මගේ පුතුන් දෙදෙනාත් මට මහා ශක්තියක්.

අනාගතයේදී සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමට කැමති නිර්මාණවලට ගායනයෙන් දායක වෙන්න කැමැති ප්‍රවීණ ශිල්පීන් වගේම ශිල්පිනියන් කවුරුන්ද?

ඔව්. මං රෝහණ වීරසිංහ මහත්මයා එක්ක වගේම නවරත්න ගමගේ මහත්මයාත් සමඟ ගායනයෙන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

දනූෂා සංගීත ක්ෂේත්‍රය පිළිබඳ යම් හැදෑරීමක් සිදුකර තිබෙනවාද?

ඔව්. මං පාසලේදී සංගීතය විෂයක් විදිහට හැදෑරුවා. ඉන් පස්සේ සංගීත නිපුන් පී. වී. නන්දසිරි ගුරුවරයාගෙන් ඩිප්ලෝමාවත් හැදෑරුවා. 2014 දී පී. වී. නන්දසිරි මහතාගේ දියණිය මනෝ මංජරී ගුරුතුමියගෙන් අධ්‍යාපනය ලබලා විශාරද දක්වා අධ්‍යාපනය ලැබුවා.

ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන ගීත නිර්මාණ ගැන කතා කළොත්?

බුදු ගුණ ගීයයක්. මව්පිය ගුණ ගීයක් වගේම පුතාලා දෙන්නා වෙනුවෙනුත් ගීතයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඔබ මෙතෙක් ආ ගමනට බොහොමයක් දෙනා නන් අයුරින් සහය වෙන්න ඇති. ඔවුන්ව කෙටියෙන් මතක් කළෙත්?

ඔව් අනිවාර්යයෙන්ම. මට යාළුවන්ගෙන් කියාගන්න බැරි තරම් ලොකු සහයෝගයක් ලැබුණා. ඔවුන් නොසිටින්න අලුත් නිර්මාණයක් කරන්න මට උත්තේජනයක් නොලැබෙන්නත් ඉඩ තිබුණා. පවුලේ සියලු දෙනාගේ සහායත් මට වඩාත් වැදගත් වුණා.