වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




එහෙම නොවේ මෙහෙමයි

එහෙම නොවේ මෙහෙමයි

බුද්ධි කීර්තිසේන

පසුගිය සතියේ (පෙබරවාරි 16 වැනිදා) සරසවිය පුවත්පතේ 25 වැනි පිටුවේ පළ වූ 'කවුද මේවට උපදෙස් දෙන්නේ?' යන සිරසින් බුද්ධි කීර්තිසේන මහතා ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ 'සියලු බදු හා ගාස්තුවලට අමතරව ප්‍රවේශ පත්‍රයේ වටිනාකමින් 7% ක් අපි සංස්ථාවට ගෙවන්න ඕනෑ යනුවෙන් සඳහන් වූ කාරණා මෙසේ වෙනස් විය යුතුය. ඒ අනුව 1999/48 දරණ 2016 දෙසැම්බර් 30 වන දින නිකුත් වූ අති විශේෂ ගැසට් පත්‍රය අනුව අදාල ගාස්තු ලෙස සඳහාත් ප්‍රවේශ පත්‍රයකින් 7% ක ගාස්තුව සැකසෙන්නේ මීට ඉහත චිත්‍රපට සංස්ථාව අය කළ ශත 45 ක ගාස්තුව අහෝසි කරමින් වන අතර සංස්ථාවේ නව ගාස්තුව අදාල 7% ක ගාස්තුවෙන් රුපියල් 3 ශත 25 ක් පමණි. ඉතිරි සියළු මුදල් සංස්ථාව සතු අනෙකුත් භාරයන්ට අදාළ චිත්‍රපටයේ නිෂ්පාදකයන්ට සිනමා ශාලාව හා ප්‍රදර්ශක මණ්ඩලය අතරේ විෂම ලෙස බෙදී යයි.


වඩුගේ ගේ ආදරය මිහිරක් නොවේ අලුත් මුද්‍රණය එළි දැක්වේ

අර්නස්ට් වඩුගේ ගේ පළමු නවකතාව වූ ආදරය මිහිරක් නොවේ හි දෙවැනි මුද්‍රණය එළඹෙන මාර්තු මස පළමුවැනිදා ඔහුගේ නිවෙසේදී එළිදැක්වේ. වඩුගේ මෙම ග්‍රන්ථය රචනා කොට මේ වන විට වසර පණහකට ආසන්නය. ඔහු සරසවිය පුවත්පත හා එක් වූ මුල් යුගයේදී මෙහි පළමු මුද්‍රණය එළිදැක්විණ. නිළියකට පෙම් කළ පත්‍ර කලාවේදියකුගේ කතා පුවතක් ඇතුළත් අමරණීය ආදරේ කර්තෘවරයාගේ පළමු නවකතාව වේ. මෙහි දෙවැනි මුද්‍රණය එළිදක්වනදා දවස පුරා එම ග්‍රන්ථය විශේෂ වට්ටමක් සහිතව අංක 86/19, කටුවාවල පාර, මහරගම ලිපිනයෙහි ඇති වඩුගේ මහතාගේ නිවසට පැමිණීමෙන් ලබා ගත හැකි බව ඔහු සරසවියට දැන්වීය.


ටෙලිවිෂනයට වැහි බිත්තර දාන වෑයමක්

ගාමිණී කන්දෙපොළගේ වැහි බිත්තර නවකතාව ඇසුරෙන් නිර්මාණය වන වැහි බිත්තර ටෙලි සිතුවමේ මුහුරත් උලෙළ පසුගියදා බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්විණ. රවීන්ද්‍ර ගී‍්‍රන් විලේජ් වෙනුවෙන් රවින්ද්‍ර ගෝමස් නිෂ්පාදනය කරන මෙහි ඩග්ලස් රණසිංහ, කලණ ගුණසේකර, පෝෂිණී දිසානායක, නිරෝෂා මෛත්‍රී, දිනාල් අසංක ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වේ.

කැමරා අධ්‍යක්ෂණය සුනෙත් හෙට්ටිආරච්චිගෙනි. නිෂ්පාදන සම්බන්ධීකරණය කීර්ති රත්නායක විසින් සිදු කරයි. සමන් පනාපිටිය සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සුමිත් කුඩලිගම කලා අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා එක් වේ. සරත් රණවීරගේ අංග රචනයකි. නිරෝෂා විරාජිනී ගී ගැයුමෙන් එක්වේ. සුජිත් ප්‍රසංග ගීත රචනයෙන් දායක විය.
ඒ. එච්. කරුණාරත්නගේ අධ්‍යක්ෂණයකි.