වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




බන්සාලිගේ ටෙලිවිෂන ආගමනය

බන්සාලිගේ ටෙලිවිෂන ආගමනය

සරස්වතීචන්ද්‍ර කියන්නේ බොහෝ දෙනෙක් ගොඩක් ආසාවෙන් නරඹන ඉන්දීය ටෙලි නාට්‍යයක්. 2013 වසරේදී නිර්මාණය වූ මෙහි ඇති විශේෂත්වය වන්නේ සම්මානනීය සිනමාකරුවකුගේ කුලුඳුල් ටෙලි නාට්‍ය නිෂ්පාදනය වීමයි. ඔහු බොලිවුඩයට පෙම්බැඳී කවුරුත් දන්නා හඳුනන සංජේ ලීලා බන්සාලි.

ඉන්දියාවේ ප්‍රකට කතුවරයකු වූ ගෝවර්ධන්රාම් ත්‍රිපාති විසින් රචිත ‘සරස්වතීචන්ද්‍ර‘ නම් කෘතිය පාදක කරගෙන නිර්මාණ වූණු සරස්වතීචන්ද්‍ර ටෙලි නාට්‍ය මාලාව වංශවත්, උගත්, බුද්ධිමත් තරුණයකු වූ සරස්වතීචන්ද්‍ර ලක්ෂ්මිනන්දන් ව්‍යාස් හෙවත් සරස් වටා ගෙතුණු බොහොම සුන්දර ආදර කතාවක් ගෙන එනවා.

කුඩා කලදීම තම මව අහිමි වන සරස්හට තම පියා වන ලක්ෂ්මිනන්දන් වාස් සහ සුළු මව ගුමාන් සමඟින් දිවිගෙවන්නට සිදු වේ. ගුමාන් ඉතා කෘර අකාරුණික කාන්තාවක වේ. සරස්ගේ පියා තම හොඳම මිතුරාගේ දියණිය වන කුමුද් දේසායි සමඟින් සරස්ගේ විවාහය තීන්දු කරයි.

මවගේ මරණය නිසා කැලඹීමට පත්ව සිටින සරස් මේ විවාහය ප්‍රතික්ෂේප කළද කුමුද්ගේ නිවෙසට පැමිණෙන ඔහු, කුමුද් හා ප්‍රේමයෙන් බැඳේ. කෙසේ නමුත් ඔහු නැවත තම නිවෙසට යාමට සූදානම් වන විටදී ගුමාන් විසින් ඔහුගේ ගමන්මල්ලට දමන ලිපියක් නිසා තම නිවෙස හැර යාමට තීරණය කරයි.

එම ලිපියේ සඳහන් වන්නේ, ඔහුගේ මවගේ මරණය හේතු වූවා යැයි කියවෙන ව්‍යාජ තොරතුරකි. මේ අතර සරස් කුමුද් හා විවාහය ප්‍රතික්ෂේප කරන්නේ තවදුරටත් තමා ධනවතෙකුගේ පුත්‍රයකු නොවන නිසාය.

තම පවුලේ කීර්තිය වෙනුවෙන් කුමුද් දේශපාලන පවුලක පුත්‍රයකු සමඟින් විවාහ වීමට එකඟ වන්නේ ඔහුගේ අයහපත් ජීවන රටාව දැන සරස් මේ විවාහය නතර කිරීමට ගත් උත්සාහය පවා නොදැනය. සියලු දේ සිදුවූයේ තමාගේ වරදින් බව වටහා ගන්නා සරස් ප්‍රමෝද් යහමඟට ගෙන කුමුද් සමඟින් එකමුතු කිරීමට අදිටන්කර ගනී. සරස්වතීචන්ද්‍ර ලක්ෂ්මිනන්දන් ව්‍යාස්ගේ මෙම උත්සාහය සාර්ථක වේද නැතිද යන වග මෙලෙසින් සරස්වතීචන්ද්‍ර ඔස්සේ දිගහැරේ.

මෙහි සරස්වතීචන්ද්‍ර ලක්ෂ්මිනන්දන් ව්‍යාස්ගේ චරිතයට පණ පොවන්නේ ගෞතම් රෝද් ය. රූපවාහිනි නාට්‍ය රැසකට සිය දායකත්වය ලබා දී ඇති ඔහු සිනමාවට පිවිසෙන්නේ 2002 වසරේදී තිරගත වූ Annarth  චිත්‍රපටයෙනි.

රාම් ගෝපාල් වර්මා අධ්‍යක්ෂණය කළ Agyaat  චිත්‍රපටයටද දායක වූ ඔහු ප්‍රධාන චරිතයක් නිරුපණය කරන Aksar 2 චිත්‍රපටයේ වැඩකටයුතු දැන් නිමකෙරෙමින් පවතී. කුමුද්ගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය රූපවාහිනි නිළියක වන ජෙනිෆර් විංගට්ය.

බිපාෂා බාසු සමඟින් විවාහ වන්නට පෙර කරන් සිං ග්‍රෝවර් විවාහ වී සිටියේ ජෙනිෆර් සමඟිනි. ජෙනිෆර්ගේ සිනමාගමනය සිදු වූයේ අමීර් ඛාන් සහ මනීෂා කොයිරාළ ප්‍රධාන චරිත නිරූපණය කළ Akele Hum Akele Tum චිත්‍රපටයෙනි.

අනතුරුව ඇය aja Ko Rani Se Pyar Ho Gaya, Kuch Naa Kaho  වැනි චිත්‍රපට වෙනුවෙන් දායක වුණා. ඇය සරස්වතීචන්ද්‍ර ටෙලි නාට්‍ය යේ කුමුද්ගේ චරිතයට දුන් දායකත්වය වෙනුවෙන් 2013 වසරේ ඉන්දීය රූපවාහිනි සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙසින්ද පිදුම් ලැබුවා. මීට අමතරව වරුන් කපූර්, ෂයිනි දෝෂි, ආශිෂ් කපූර්, ශ්‍රිෂ්ති රෝදි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

සරස්වතීචන්ද්‍රහි සංගීත අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ සංජේ ලීලා බන්සාලි විසිනි. සිද්ධාර්ත් - ගරීමා විසින් රචනා කළ තේමා ගීය ගයනු ලබන්නේ ශ්‍රෙයා ගෝෂාල් සහ ජාවෙඩ් අලි විසිනි. හින්දි බසින් නිර්මාණය කර ඇති සරස්වතීචන්ද්‍ර ඉන්දියාවේදී මලයාලම් භාෂාවෙන්ද හඬකවා විකාශය වුණා.

ශ්‍රී ලංකාව ඇතුළුව එය බල්ගේරියාව, ස්ලොවැකියාව, වියට්නාමය සහ පැනමාව යන රටවල්වලද හඬ කවා විකාශය කෙරෙනවා. ඊඍ1 නාලිකාව ඔස්සේ සතියේ දිනවල රාත්‍රී 7.30ට ඔබේ ආදින්දයට එන සරස්වතීචන්ද්‍ර වෙනුවෙන් හඬදායකත්වය ලබා දෙන්නේ, සරත් කරුණාරත්න, උමයංගනා වික්‍රමසිංහ, මීනා කුමාරි, කැළුම් ගම්ලත්, සුරංග කුරුප්පුආරච්චි, සමන්ති චතුරාණි, ගංගා ජීවනි වැලිවත්ත ඇතුළු පිරිසකි. ඒ වෙනුවෙන් සිඩ්නි චන්ද්‍රෙස්කර ලියූ

“රහසින් වගේ” තේමා ගීත ගයනු ලබන්නේ අෂාන් ප්‍රනාන්දු සමඟින් ඕලු වසන්ති විසිනි. සංගීතයද අෂාන් ප්‍රනාන්දු ගේය. සරස්වතීචන්ද්‍ර අධ්‍යක්ෂණය කරන්නේ ආරවින්ද් බබ්බාල්, ශාද් පාන්ඩේ, මයාන්ක් ගුප්තා, හිමන්සු සිං, අර්ෂාඩ් ඛාන් යන අධ්‍යක්ෂවරුන් විසිනි.

Devdas,Black,Saawariya, Guzaarish, Goliyon Ki Raasleela Ram-Leela, Bajirao Mastani  වැනි සාර්ථක සිනමා නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළ බන්සාලි වැනි සිනමා අධ්‍යක්ෂවරයකු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණීම කාගේත් පුදුමයට ලක් වුණා.

අති සාර්ථක චිත්‍රපට නිර්මාණය කර ප්‍රසිද්ධියක් උසුලන අයෙක් ලෙසින් ඔහු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නොපැමිණියා නම් වඩා හොඳ බව විචාරකයන් පවා පවසා සිටියා. ඇතැමුන් පැවසුවේ 'මේක මහා මෝඩ වැඩක්' බවයි.

නමුත් මේ අධ්‍යක්ෂවරයා දකින්නේ වෙනත් පැත්තක්. ඔහු පවසන්නේ රිදී තිරයට වඩා ජනතාව පුංචි තිරයට වඩාත් ළෙංගතු බවයි. “ටෙලිවිෂන ප්‍රේක්ෂකාගාරය සිනමා ප්‍රේක්ෂකාගාරයට වඩා ගොඩක් විශාලයි. මට මේ මාධ්‍ය පිළිබඳවත් ගවේෂණයක් කරන්න හිතුණා. ඒ නිසා සරස්වතීචන්ද්‍ර නිෂ්පාදනයට දායක වුණා” සංජේ ලීලාබන්සාලි පවසනවා.