වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




X-men කතා මාලාව තවදුරටත්...

X-men කතා මාලාව තවදුරටත්...

සුපිරිවීර කණ්ඩායමන් වන X-Men චරිත සමූහය සුපිරිවීර චරිත පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයන්හට කිසිදා අමතක කළ නොහැකි චරිත බවට පත් වී ඇත. ස්ටැන් ලී සහ ජැක් කර්බි දෙදෙනා විසින් මාවෙල් කොමික්ස් චිත්‍රකතා මාලාවට 1963 වසරේදී මුලින්ම නිර්මාණය කළ මෙම චරිත අලළා මේ වන විට චිත්‍රපට නවයක් තිරගත වී ඇති අතර එහි පළමු චිත්‍රපටය වසර 2000දී නිර්මාණය වූ X-Men චිත්‍රපටය වේ. නවවැනි චිත්‍රපටය වන්නේ පසුගිය 2016 වසරේදී තිරගත කළ X-Men: Apocalypse චිත්‍රපටය වේ.

X2 (2003), X-Men: The Last Stand (2006), X-Men Origins: Wolverine (2009), X-Men: First Class (2011), The Wolverine (2013), X-Men: Days of Future Past (2014) සහ Deadpool (2016) ආදි වශයෙන් අනෙකුත් චිත්‍රපට තිරගත කෙරිණි. මෙම චිත්‍රපට සමූහයටම වැය වූ පිරිවැය අමෙරිකානු ඩොලර් බිලියන 1.26ක් ද ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 4.3ක්ද ලෙස වාර්තා වේ. X-Men චිත්‍රපට මාලාවේ දස වැනි චිත්‍රපටය ජේම්ස් මෑන්ගෝල්ඩ්ගේ අධ්‍යක්ෂණයෙන් හච් පාකර්. සයිමන් කිංබර්ග් සහලෝරන් ශූලර් ඩොනර්ගේ නිෂ්පාදනයෙන් Logan නමින් ලබන මාර්තු 03 වැනිදා සිට ලොවපුරා තිරගත කෙරේ. X-Men චිත්‍රපට මාලාවේ ජනප්‍රිය චරිතයක් වන වොල්වරීන්ගේ චරිතය කතා නායකයා කොට ගෙන නිර්මාණය වුණු තෙවන චිත්‍රපටය මෙය වේ. 2009 වසරේදී නිර්මාණය වුණු X-Men Origins: Wolverine චිත්‍රපටයද 2013 වසරේදී ජේම්ස් මෑන්ගෝල්ඩ් විසින් අධ්‍යක්ෂණය කෙරුණු The Wolverine චිත්‍රපටයද මෙම චරිතය කතා නායකයා කොටගෙන නිර්මණය වූ අනෙකුත් චිත්‍රපට වේ.

වසර 2024 වන විට විශේෂිත බලයක් සහිත පුද්ගලයන්ගේ (mutants) ගහණය ක්‍රමයෙන් පහළ වැටෙන අතර මේ කාලය වන විටදී X-Men  කණ්ඩායම ද විසිර ගොසිනි. මින් වොල්වරින් හෙවත් ලෝගන් මත්පැනට බෙහෙවින් ඇබ්බැහි වී ඇති අතර ඔහු සතු විශේෂිත බලයක් වන ස්වයං සුව වීමේ බලයද ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතී. අසනීප තත්ත්වයෙන් පසුවන වයස්ගත මහාචාර්ය X ලෝගන් විසින් සඟවා රැකබලා ගැනේ. එක් දිනෙක කාන්තාවක, ලෝරා නම් ගැහැනු ළමයකු කැනේඩියානු දේශ සීමාව වෙත ගෙන යන ලෙස ලෝගන් ගෙන් ඉල්ලීමක් කරයි. පළමුවර එම ඉල්ලීම ලෝගන් විසින් ප්‍රතික්ෂේප කරන නමුත් මෙවන් අවස්ථාවක් උදාවන තෙක් මහාචාර්යවරයා බලාපොරොත්තුවෙන් සිටින බවත් ලෝරා නම් දැරිය සටනේ අතිවිශිෂ්ටයකු බවත් පමණක් නොව ඇය බොහෝ දුරට තමා වැනිම අයකු බවද ඔහු වටහා ගනී.

ලෝරා පසුපස දුෂ්ට බලවේග හඹා එන අතර ඇයගේ ජාන ලෝගන්ට සබඳකමක් ද කියා පායි. මේ වනවිට සාමාන්‍ය මිනිසුන් මෙන්ම වයසට යන අසනීප වන සේම මූල්‍ය ගැටලුවලට මැදි වී සිටින මෙම X-Men චරිත තමන් සතුව ඉතිරි වී ඇති බලයද තමන් විශ්වාස කරන යහපත උදාකර ගැනීමට‍ යොදා ගන්නේද යන්න විමසා බැලෙන මෙම චිත්‍රපටය අලුත් X-Men පරම්පරාවක් ගැන ඉඟියක් ද කරයි.

මුල සිටම X-Men චිත්‍රපට සියල්ලේම වොල්වරින් චරිතයට පණ පෙවූ හියු ජැක්සන් විසින් මෙහිද ලෝගන්ගේ චරිතයට පණ පොවන අතර පැට්‍රික් ස්ටෙවාර්ට්, රිචඩ් ඊ. ග්‍රාන්ට්, ස්ටෙෆන් මර්චන්ට් ඇතුළු පිරිසක් සෙසු චරිතවලට පණ පොවති. ක්‍රියාදාම චිත්‍රපටයන්ට සංගීතය එක් කළ ප්‍රවීණ සංගීතඥ මාර්කෝ බෙල්ට්‍රමි මෙහිද සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත. Logan රචනය අධ්‍යක්ෂ ජේම්ස් මෑන්ගෝල්ඩ් විසිනි. මෙම චිත්‍රපටය බෙදාහරිනු ලබන්නේ ට්වෙටියත් සෙන්චරි ෆොක්ස් ආයතනය විසිනි. විනාඩි 135ක ධාවන කාලයකින් යුතු Logan චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 127ක පිරිවැයකින් නිර්මාණය කර ඇත. පසුගිය 17 වැනිදා ජර්මනියේ බර්ලින්හි පැවති 67 වැනි බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළේදී මෙම චිත්‍රපටයේ මංගල දර්ශන පැවැත්විණි.

Logan චිත්‍රපටය ඉතා ඉහළ විචාරක ප්‍රතිචාර ලබන්නට සමත් වූ චිත්‍රපටයකි. IMDB දර්ශකයේ මේ වන විට ලකුණු 9.6/10ක් වාර්තාකර ඇති මෙම චිත්‍රපටය රොටෙන් ටොමැටෝස්හි සියයට 97ක විශිෂ්ට ලකුණු ප්‍රමාණයක් වාර්තාකර ඇත. හියු ජැක්සන් ඔහුගේ අවසන් වොල්වරින් රඟදැක්වීම ඉතා විශිෂ්ට අන්දමින් සිදුකර ඇති බවත් ප්‍රචණ්ඩ සහ නිර්මාණාත්මක කතා පුවතකින් මෙම චිත්‍රපටය සමන්විත බවත් රොටෙන් ටොමැටෝස් ප්‍රමුඛ විචාරය පවසයි. මෙම චිත්‍රපටය තුළ අධ්‍යක්ෂ මෑන්ගෝල්ඩ් විසින් ප්‍රචණ්ඩත්වය බෙහෙවින් යොදා ගෙන ඇති නමුත් සාමාන්‍ය සුපිරිවීර චිත්‍රපට චරිත අබිබවා ගිය පුද්ගල සම්බන්ධතා හුවා දැක්වෙන චිත්‍රපටයක් ලෙසින් විශේෂ වන බවත් ඔවුන්ගේ අදහසයි.