වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




පතෙර් පංචලි’ ඇසුරෙන් මුද්‍රා නාටකයක් නිර්මාණය වුණාද?

‘පතෙර් පංචලි’ ඇසුරෙන් මුද්‍රා නාටකයක් නිර්මාණය වුණාද?

අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය -
ප්‍රවීණ නර්තන ශිල්පී මහාචර්ය ජයසේන කෝට්ටෙගොඩ චිත්‍රපටවල නැටුම් අධ්‍යක්ෂණය කර තිබෙනවාද?
පිළිතුර - ඔව්. චිත්‍රපට දෙකකට නැටුම් නිර්මාණය කර තිබෙනවා. එකක් 'වීර උදාර'. අනික ' සැබෑ මිතුරා'.

මත්තෙගොඩ අජිත් ජෝතිය කරසිංහ
ප්‍රශ්නය -
අපේ පැරණි නූර්ති නාට්‍ය ශිල්පීන් පිටරට ගිහින් නාට්‍ය සංදර්ශන පවත්වා තිබෙනවාද?
පිළිතුර - ඔව්. සී. දොන් බස්තියන් 'ඇලඩින් සහ පුදුම පහන' නාට්‍යය සිංගප්පූරුවේ රඟදක්වා තිබෙනවා. එහි නළු නිළියන් භාරව සිටි දක්ෂ නළු ඩී. බර්තොලමියුස් සිංගප්පූරුවේම නැවතී සිංගප්පූර් වැසියන්ට සංගීතය, ගායනය ඉගැන් වූ බවත් එහිම මියගිය බවත් සඳහන් වෙනවා.

මුංහේනේ එච්. ඉන්ද්‍රපාල
ප්‍රශ්නය -
චිත්‍රපට අධ්‍යක්ෂණය කළ නිළියන් කවුද?
පිළිතුර - ෆ්ලොරිඩා ජයලත්, රෝහිණී ජයකොඩි, මාලිනී ෆොන්සේකා, රූබි ද මැල්, මොරින් චාරුණී.

කෑගල්ලේ තරිඳු ලියනආරච්චි
ප්‍රශ්නය - 'දුර පේන තැනිතලා - අනුරාධපුර දිහා' ගීතය රචනය සරච්චන්ද්‍ර ආටිගලගේද? ආනන්ද සරත් විමලවීරගේද ?
(මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගාන්ධර්ව අපදානය පොතේ එය සරත් විමලවීරගේ යැයි කියා තිබෙනවා.)
එසේම ඒ ගීතය මුලින්ම ගැයුවේ කාන්ති වක්වැල්ල යැයි කියන්නේ ඇත්තද?
පිළිතුර - මෙය ආටිගල සරච්චන්ද්‍රගේ රචනයක්. මුල් ගායකයා කාන්ති වක්වැල්ල තමයි. මේ ගීතය ප්‍රථම වරට පටිගත වුණේ 1951 මාසික රැඟුම නම් වූ ගුවන් විදුලි වැඩ සටහනින්. සහාය ගායනයට සී. ටි. ප්‍රනාන්දු, සුසිල් ප්‍රේමරත්න, විවියන් ද සිල්වා බොරලැස්ස එක් වුණා. මේ ගීතය ආටිගලගේ රචනයක් යැයි සඳහන්ව 1952 ජූනි 10 පළ වූ 'මුතු මැණික' සඟරාවේ පළව තිබෙනවා.

මීගමුවේ
ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු
ප්‍රශ්නය - බෙලා කර්කස් නමින් වාද්‍ය ශිල්පියෙක් කේමදාසගේ වාද්‍ය වෘන්දයේ සිටි බව ඔබ වරක් ලියා තිබුණා. ඔහු විදේශිකයෙක්ද?
පිළිතුර - ඔහු හංගේරියනු ජාතිකයෙක්. චෙලෝව තමයි ඔහු වාදනය කළේ. කේමදාස යටතේ විතරක් නොවේ ආර්. ඒ. චන්ද්‍රසේන, වික්ටර් රත්නායක, ලයනල් අල්ගම, මර්වින් පෙරේරා සංගීත වැඩසටන්වලටත් ඔහු දායක වුණා.

මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - ත්‍රිත්ව කතා (ඕපු ත්‍රිත්වය, ගම්පෙරළිය ත්‍රිත්වය වැනි) වල ආරම්භය කුමක්ද?
පිළිතුර - මේක ග්‍රීක නාට්‍ය යුගය දක්වා දිවෙනවා. මේ අදහස මුලින්ම එන්නේ පැරණි ඇතැන්ස් නගරයේ පැවති නාට්‍ය තරගවලින්.

ගල්කිස්සේ නාමල් පුංචිහේවා
ප්‍රශ්නය - කිශෝර් කුමාර් ගයන 'සහා වහා සාරේ' (සිංහල ගීතය අහා හැඩයි රූපේ) ගීතය ඇතුළත් හින්දි චිත්‍රපටය කුමක්ද?
පිළිතුර - ආන්මිලෝ සජිනා.

බලපිටියේ අංජන පද්මලාල්
ප්‍රශ්නය - ඩී. එෆ්. කාරියකරවනගේ 'දශක සතක මතක' ස්වයං ලිඛිත චරිතාපදානයේ කිසිම තැනක ප්‍රවීණ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහගේ නම සඳහන්ව නැත්තේ ඇයි? කාරියකරවන මහතා ලේක්හවුස් විසූ යුගයේම නේද ගුණසිංහ මහතාත් සේවය කළේ?
පිළිතුර- පුතා දන්නෙ නැහැ පුතා හඳ ඇති කාලෙට තමයි වනන්තරේ හරි වැඩ කෙරෙන්නේ.

මොරටුව කටුබැද්දේ ඩඩ්ලි ගෝමස්
ප්‍රශ්නය - එඩ්වඩ් ජයකොඩි ගයන 'ඔබ නෙමෙයි කියා බයයි' ගීතය ප්‍රබන්ධ කළේ කවුද?
පිළිතුර - මහාචාර්ය සුනිල් ආරියරත්න.

මාවනල්ලේ උපාලි අමරසිංහ
ප්‍රශ්නය - ආනන්ද ජයරත්න නළුවාට සම්මානයක් නොලැබීම ගැන ඔබ සඳහන් කර තිබුණා. ඒත් ඔහු කිසිම චිත්‍රපටයක මතක හිටින චරිතයක් කළේ නැහැ නේද?
පිළිතුර - ඔබේ අදහසට මා බලවත් සේ විරුද්ධ නැති වුණත් 'සුරතලී', 'මී මැස්සෝ', 'ඉහත ආත්මය' වගේ චිත්‍රපටවල ඔහු කළ රංගනයන්ට සම්මානයක් දෙන්න තිබුණා.

ගොතටුවේ අනිල් දාබරේ
ප්‍රශ්නය
- සත්‍යජිත් රායිගේ 'පාතෙර් පංචලි' ඇසුරෙන් සිංහල මුද්‍රා නාටකයක් නිෂ්පාදනයව තිබෙනවාද?
පිළිතුර - ඔව්. සෝමා විජේසේකර එය 'මාවතේ ජීවිත' නමින් මුද්‍රා නාටකයකට නැංවූවා. (සෝමා, ප්‍රවීණ කවි, ගුවන් විදුලි ශිල්පී සේසිරි විජේසේකරගේ බිරිඳ).

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.