වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

Taree Zameen Par පුංචි නළුවා

අමීර් ඛාන් අධ්‍යක්ෂණය කර 2007 වසරේදී තිරගත වූ Taree Zameen Par චිත්‍රපටයේ අමීර් සමඟින් ඉෂාන් නන්ද්ක්‍රිෂෝර් අවස්ති නම් චරිතයට පණ පෙවූ පුංචි නළුවා ඔබට මතකද? කිසිවෙකුටත් අමතක නොවන රංගනයක් ඉදිරිපත් කළ ඔහු එම රංගනයට ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නළුවා සම්මානය වෙනුවෙන් නිර්දේශයට ඇතුළත් වූ අතර එහිදී හොඳම නළුවාට හිමි විචාරක සම්මානයෙන් පිදුම් ලැබුවා. එයින් පසුව දීපා මෙහෙතා අධ්‍යක්ෂණය කළ Midnight Children චිත්‍රපටයේ සලීම්ගේ චරිතයට පණ පෙව්වෙත් මේ පුංචි නළුවාම තමයි.

ඔහුගේ සැබෑ නම දර්ශීල් සෆාරි. එදා ළමා විය ගත කළ දර්ශීල් දැන් නව යෞවනයෙක්. ඔන්න දැන් දර්ශීල්ගේ ආදර කතාව ඔයාලාට රිදී තිරයෙන් දැක ගන්න පුළුවන්. කාලයක් රිදී තිරයෙන් දුරස් වී සිටි ඔහු ආයෙමත් රිදී තිරයට පිවිසෙන්න සූදානම්. ඒ Quickie  නම් යොවුන් ආදර කතාවක් රැගත් චිත්‍රපටය සමඟින්. පසුගියදා එහි ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම සිදු කළා.


දුරස් නොවන ආදරය

වසර 14ක විවාහ ජීවිතයට තිත තියලා රිතික් රෝෂන් සුසෑන් ඛාන්ගෙන් වෙන් වුණේ පසුගිය 2014 වසරේදීයි. මේ දෙන්නා දෙපැත්තකට වුණත් දරුවන් දෙදෙනාගේ වැඩකටයුතු නිසා නිතරම හමු වුණා. දැන් වසර කිහිපයක් ගත වෙලා මේ අවුරුද්දේ ජනවාරි 10 වැනිදාට යෙදී තිබුණු රිතික්ගේ 43 වැනි උපන්දිනයට ඇයගේ පැමිණීම විශේෂ වුණා. හැමෝම කිව්වේ පරණ ප්‍රශ්න අමතක කරලා ආයෙමත් දෙදෙනාම එක වහලක් යටට එන ලකුණු පෙනෙන බවයි.

පසුගිය දවසක සුසෑන් තම ට්විටර් අඩවියේ පළ කළ ඡායාරූපයක් නිසා ඒ ගැන කතාබහ තවත් වැඩි වෙලා. අක්ෂේ කුමාර්, ට්වින්කල් ඛන්නා සමඟින් රිතික් සහ සුසෑන් සිටින ඡායාරූපයක් තමයි ඇය පළකරලා තිබුණේ. මේ නිසා රිතික් - සුසෑන් යළිත් විවාහ වන ලකුණු පහළ වී ඇති බව බොලිවුඩයේ කතාබහට ලක් වෙලා.

“රිතික් - සුසෑන් වෙන් වුණත් තම පවුල සමඟින් කියෙන බැඳීම නිතරම දෙදෙනා ළං කරනවා“ ඔවුන්ගේ සමීපතමයන් පළ කරන්නේ එවැනි අදහසක්. හැබැයි රිතික් නම් කියන්නේ සුසෑන් සහ තමන් හොඳ යහළුවන් බවයි. “අපි දෙන්නා හොඳ යහළුවෝ. ඒ මිත්‍රත්වය සමඟින් ආදරය රැකබලා ගැනීම තියෙනවා. එච්චරයි“ රිතික් පවසනවා.


 

අමිතාබ්ට වැලන්ටයින්

අමිතාබ් බච්චන් මේ වසරේ ආදරවන්තයන්ගේ දිනය සැමරුවා. මේ විශේෂ දවස අමිතාබ් තම ආදරණීය මිනිපිරිය ආරාධ්‍යා වෙනුවෙන් වෙන් කළා. ඒ වගේම ආරාධ්‍යාත් මේ ආදරවන්තයන්ගේ දිනයේදී කාර්යබහුල බච්චන් පවුලේ සියලු දෙනා රඳවා ගන්න සමත් වුණා. සියලු වැඩ පසෙකින් තියලා අභිෂේක්, ඓශ්වර්යා වගේම ආදරණීය ආච්චි අම්මා ජයාත් මේ පුංචි සුරතලිය සමඟින් ගත කරන්න පෙබරවාරි 14 වැනිදා වෙන් කළා.

ඔවුන් එය ආරම්භ කළේ පුංචි ආරාධ්‍යාගේ මනාපය අනුවයි. ඇයට මුලින්ම අවශය වුණේ ඉතාලි අවන්හලකට ගොස් පීසා රස බලන්නයි. ඒ වගේම යළි නිවෙසට පැමිණි පසු මේ ඇය සීයාට වගේම පවුලේ සියලු දෙනාට මේ දවස තමන් සමඟින් ගත කළාට ස්තූති කරලා. ඒ නිසා ආරණිය සීයා අමිතාබ්ගේ සතුට තවත් වැඩි වෙලා.


රාණිගේ ආගමනය

රාණි මුඛර්ජි බොලිවුඩ් තිරයෙන් දුරස් වෙලා දැන් අවුරුදු තුනකුත් ගත වෙලා. විවාහයත් සමඟින් රංගනයට විරාමයක් තැබු ඇය පසුගිය කාලයම ගත කළේ දියණිය ආදිරා සමඟින්. දැන් ආදිරාගේ වයස අවුරුද්දක්. රාණි අවසන් වරට රිදී තිරයේ දකින්න ලැබුණේ Mardaani චිත්‍රපටයෙන්.

ඉතින් දැන් ආයෙමත් රිදී තිරයට පැමිණෙන්න සුදුසු කාලය කියලා රාණිට සිතුවිල්ලක් පහළ වෙලා. ඇයගේ ආගමනය සනිටුහන් කෙරෙන චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට නියමිතව තියෙන්නේ ලබන අප්‍රේල් මාසයේදීයි. යාෂ් චොප්රා චිත්‍රපට නිෂ්පාදනයක් වන එය අධ්‍යක්ෂණය කරන්නේ සිද්ධාර්ත් පී. මල්හෝත්‍රා විසින්. මේ දවස්වල රාණි මේ අලුත් චිත්‍රපටයේ පිටපත කියවන්න වැඩි කාලයක් වෙන් කරලා. ඒ විතරක් නෙවෙයි තරබාරු වි තිබෙන සිරුර ටිකක් සිහින් කරගන්නත් උනන්දු වෙනවා.


ඇමීගේ ජංගම දුරකථනයට හැකරුන් රිංගයි

ලන්ඩනයේ සිට බොලිවුඩයට පැමිණි සුරූපිණිය ඇමි ජැක්සන්ගේ පෞද්ගලික ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් වෙලා. මේ ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කර තිබෙන්නේ ඇයගේ අනුදැනුම නැතිවයි. යම් කිසි පුද්ගලයකු විසින් ඇමීගේ ජංගම දුරකථනය හැක්කිරීම සමඟින් මේ ඡායාරූප නිකුත් කරලා.

චෙන්නායි සිට ලන්ඩනයට යන ගමනේදී මුම්බායි ගුවන්තොටුපලේ රැඳී සිටියදී ඇමී මෙම සිදුවීමට මුහුණ දුන්නේ, එහි තිබූ ජංගම දුරකථන පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේදී යි. ඒ බව දැනගත් මොහෝතේදීම ඇය අන්තර්ජාල පැමිණිලි අංශයට පැමිණිලි කරලා. ඒ නිසා පැයක් ඇතුළතදී ඇයගේ ජංගම දුරකථනයට අවශ්‍ය ආරක්ෂාව ලැබිලා. මේ දිනවල ඇමී රැජිනිකාන්ත් සමඟින් 2.0 චිත්‍රපටය සඳහා දායක වෙමින් සිටිනවා.