වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ නරක දසාව ඉවර වෙලා

මගේ නරක දසාව ඉවර වෙලා

රොම්ලස් දැන් කලාභූෂණ රොම්ලස්

ඇයි නාවේ මා සොයලා...

මගේ කොයි ගීත නිර්මාණයක් වුවද තනුව දැමීමේදී මම තෝරා ගත්තේ සනත්ව. සනත්, රොම්ලස් කියන්නේ ගහට පොත්ත වගේ දෙන්නෙක්. සනත් කොතනද, රොම්ලස් එතන. අපි දෙන්නා විදෙස් සංචාරයක ගීත කියන්න ගියත් ඒ ගියේ එකට. ඒතරම් හිතවත්කමක් අපි අතර ගොඩනැඟී තිබුණා. ප්‍රසංග කලාවේදී මගේ සංගීත් දිවියේ හොඳ කල්‍යාණ මිත්‍රයෙක් සනත් නන්දසිරි.

ප්‍රේමකීර්ති ද අල්විස් අතින් ලියවුණු මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලිය ලියා... රංජිත් පීරිස් අතින් ලියැවුණු ඇයි නාවේ මා සොයලා... ගී පබැඳුම් සංගීත් නිපුන් සනත් නන්දසිරි සංගීිතවේදියාගේ තනු නිර්මාණයෙන් හැඩ වී රසික රසිකාවන්ගේ සවන්පත් අතරේ රැව් පිළිරැව් දුන්නේ ගායන ශිල්පී ජේ. ඒ. රොම්ලස් පෙරේරා ගායන ශිල්පියාගේ හඬිනි. දශක පහක් පුරා ගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ සිටින ගායන ශිල්පී ජේ. ඒ. රොම්ලස් පෙරේරා හා කතාබස් කරමු.

අවුරුදු පණහක් ගීත ක්ෂේත්‍රයේ අඛණ්ඩව රැඳී සිටීමත් සැබැවින්ම ඔබට අභියෝගයක් නොවූනේද?

කොහෙත්ම නැහැ. මම මගේ ගායන දිවිය ගැන තෘප්තිමත්. 1963 කරු අයියාගේ (කරුණාරත්න අබේසේකර) ළමා මණ්ඩපයෙන් තමයි මම කලාවට අත්පොත තැබුවේ. 1965 වෙනකන් මම සමූහ ගීත ගායනා කළා. අත්වැල් ගායනයේ නියැලියා. මේ ආකාරයෙන් පූර්ව ආගමනයන්ට මුල පිරුව මා 1965 දී ගුවන් විදුලියේ සරල ගී පරික්ෂණයෙන් සමත්වීමේ භාග්‍ය ලැබුවා. පණ්ඩිත් අමරදේවයන්, රූපසිංහ මාස්ටර්, සුනිල් ශාන්ත මහත්වරු තමයි එදා පරීක්ෂණ මණ්ඩලයේ හිටියේ. පරික්ෂණයෙන් සමත් වී ගීත ගායනයට අවසර ලැබීමත් සමඟ මම 1970 වනතුරුම ගායනා කලේ හින්දි ගී තනු අනුව ලියැවුණු සිංහල ගීත ගායනා. ඒ වෙන කොට මිල්ටන් මල්ලවාරච්චි, එච්. ආර්. ජෝතිපාල, මොහිදීන් බෙග්, ලතා වල්පොල පවා බොහෝ විට ගායනා කළේ හින්දි තනු අනුව ලියැවුණු සිංහල ගීත. මේ පසුබිම 1970 වික්ටර් රත්නායක, සනත් නන්දසිරිගේ පැමිණීමත් සමඟ ස්වතන්ත්‍ර නිර්්මාණයන් බිහිවෙන තැනට පත් වුණා.

ඔබත් නම් දැරූ ගායකයෙක් බවට වෙනසකට මුල පුරන්නේ මේ 70 දශකයේ?

ඒ වකවානුව මගේ ගායන දිවියේ විශාල පරිවර්තනයකට මුල පුරනවා. මල් පෙත්තක පන්හිඳකින් . . ., ඇයි නාවේ මා සොයලා . . . ගීත දෙක සමඟ මම ගායකයෙක් කියන ස්ථාවරභාවය ගොඩ නඟා ගන්නවා. මේ ගීත දෙකට ලැබෙන රසික ප්‍රතිචාරත් සමඟ මමත් නොසිතන ලෙසින් ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා.

ඔබ විසින් ගායනා කරන බොහොමයක් ගීතවල තනු නිර්මාපකයා සංගීත් නිපුන් සනත් නන්දසිරි. මේකට විශේෂ හේතුවක් තියෙනවාද?

මගේ කොයි ගීත නිර්මාණයක් වුවද තනුව දැමීමේදී මම තෝරා ගත්තේ සනත්ව. සනත්, රොම්ලස් කියන්නේ ගහට පොත්ත වගේ දෙන්නෙක්. සනත් කොතනද, රොම්ලස් එතන. අපි දෙන්නා විදෙස් සංචාරයක ගීත කියන්න ගියත් ඒ ගියේ එකට. ඒතරම් හිතවත්කමක් අපි අතර ගොඩ නැඟී තිබුණා. ප්‍රසංග කලාවේදී මගේ සංගීත් දිවියේ හොඳ කල්‍යාණ මිත්‍රයෙක් සනත් නන්දසිරි.

රොම්ලස් චිත්‍රපට පසුබිම් ගායනයටත් යොමු වෙනවා නොවේද?

මම චිත්‍රපට කීපයකම පසුබිම් ගීත ගායනා කරලා තියෙනවා. ප්‍රමාණය අතින් මහ ගොඩක් නම් නෑ. ඇමතිකම, කවුද හරි, මිරිඟුව වගේ චිත්‍රපට කීපයකම පසුබිම් ගීත ගායනයේ නියැලියා.

සනත් නන්දසිරි ඔබේ එකම ගී තනු නිර්මාපකයා වුණත් ඔබට බොහෝ දෙනෙක් ගීපද රචනයෙන් දායක වුණා නේද?

කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, හේම ශ්‍රී ද අල්විස්, රඹුකන සිද්ධාර්ථ හිමි, ප්‍රණීත් අබේසුන්දර, චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ, වසන්ත රෝහණ ඒ අතරින් කීප දෙනෙක්.

ගුවන් විදුලියේ සංගීත අංශයේ අද ඉන්න ජ්‍යෙෂ්ඨතම සංගීත නිෂ්පාදකවරයා ඔබ?

ඔව්. මම 1980 ගුවන් විදුලියේ සංගීත අංශයට නිෂ්පාදකවරයෙක් ලෙසින් සම්බන්ධ වුණා. සරල ගී, මාසික රැඟුම, සේවක සංග්‍රහය, බයිලා, භක්ති පූජා ආදී බොහී වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසින් කටයුතු කළා. මියගිය කලාකරුවන් පිළිබඳ මතක සැමරුම් වැඩ සටහන් නිෂ්පාදනය වුණේ මගේ අතින්. අදටත් මම ගුවන් විදුලියේ සංගීත අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසින් කටයුතු කරනවා.

ඔබ විසින් ගායනා කළ ගී අතරෙන් වඩාත් ජනප්‍රිය වුණේ?

මල් පෙත්තක පන්හිඳකින්..., ඇයි නාවේ මා සොයලා..., රුහුණු කතරගම කඳ දෙව් සාමිනේ..., පැතුම් සමුදුරේ ආදරේ නෞකා පාවේ..., ඉරිදා ඔබ හිරු සේ පෙනේ . . ., පාලු කතර මැද උපන්න ලස්සන මල ඔබයි..., හෙට ගැන නෑ ඊයේ..., නීල ජලේ යමුනා සමීරේ... ආදී ගීත බොහොමයක් අදටත් ජනප්‍රිය තලයේ රැඳිලා තියෙනවා.

ජනප්‍රිය ඔබේ ගීත ගායනයන් අතර අදටත් ඔබට පිහිටක් ගෙනෙන ගීතයක් ඔය අතරේ තියෙන බවත් වරක් ඔබ කියා තිබුණා.

ඩෝල්ටන් අල්විස් රචනා කරපු සනත් නන්දසිරි සංගීතවත් කරපු කතරගම දෙවියන් ගැන ලියවුණු මම ගායනා කරන 'රුහුණු කතරගම කඳ දෙව් සාමිනේ . . .' ගීතය අදටත් මට පිහිටක් ගෙන දෙනවා ගෙන දෙනවාම තමයි.

පරණ තැටියට වාදනය කරනවට වැඩිය අලුත් තැටියක් කරන්න හිතුවේ නැද්ද?

අලුත් ගීත කරන්න ඕනේ කියන ආශාව අද ඈත් වෙලා ගිහින්. හොඳ පද රචනයක් අද ලියවෙන්නේ නැහැ. මේ වෙන කොට අලුත් ගීත අහලා මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ. අපෙන් වුණත් කොහේ ගියත් ඉල්ලන්නේම පරණ සින්දු. අපෙන් අලුත් ගීතයක් අහන්න කවුරුවත් කැමැති නැහැ. එදා ගැයූ පරණ ගීත තමයි ආයෙත් කියන්න කියලා ඉල්ලන්නේ.

මට පේන්නේ ඔබ කලකිරීමෙන් වගෙයි පසුවන්නේ?

කලකිරීමක් තියෙනවා. මුළු ගායන ක්ෂේත්‍රයම අද නිර්මාණයන්ට වඩා මුදල පසුපස හඹා යන තත්ත්වයට පත් වෙලා. මුදල ඉස්සරහට ඇවිත් නිර්මාණය පස්සට ගිහිල්ලා. ඉතිං කලකිරෙන එක අහන්න දෙයක්ද?

ගීත ඇල්බම් කරන එකත් අද එපා වෙලාද?

ඇයි නාවෙ, මල් පෙත්තක කියලා මම කැසට් පට වෙළෙඳපොළට නිකුත් කළා. ඒවා රසිකයෝ ආදරයෙන් වැලඳ ගත්තා. ගුවන් විදුලියේ ගී තැටි අලෙවි කුටියෙන් අද වුණත් මගේ ගීත දාසයක් ඇතුළත් මල් පෙත්තක ගීත ඇල්බමය අවශ්‍ය අයකුට මිලදී ගන්නත් පුළුවන්.

ගෞරව බුහුමානයන්ට වගේම සම්මානනීය ඇගැයුම් කීපයකටත් ඔබ පසුගියදා පාත්‍ර වුණා නොවේද?

මගේ නරක දසාව ඉවර වෙලා හොඳ දශාව ලබන්න පටන් අරන් වගේ කියලා මට හැඟෙන්නේ. සංස්කෘතික අමාත්‍යාංශය මඟින් මට කලා භූෂණ සම්මානය පිරිනැමුවා. හෝමාගම ප්‍රාදේශීය සභාව මඟින් හොඳම ගායන ශිල්පියාට හිමි සම්මානයත්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනප්‍රිය ගායන ශිල්පියාට හිමි සම්මානයත්, අතුරුගිරිය සර්වෝදය මධ්‍යස්ථානය මඟින් ගීත ක්ෂේත්‍රයට පුරා වසර පනහක් කළ සේවයට හා ගුවන් විදුලි ක්ෂේත්‍රයට කළ සේවාව අගයමින් මට සම්මාන පිරිනැමුවා. ඒ වගේම මට අධිකරණ අමාත්‍යාංශය මඟින් මුළු දිවයිනටම සාම විනිසුරු පදවියක් පිරිනැමුවා.

රොම්ලස්ට අදහසක් නැද්ද ඒක පුද්ගල ප්‍රසංගයක් සඳහා යොමු වෙන්න?

අනූව දශකයේ මමත් හරුන් ලන්ත්‍රාත් එකතු වී කොළඹ ටවර් රඟහලේ ඇයි නාවේ මා සොයලා ආනන්ද මේ රෑ කියලා ප්‍රසංගයක් කළා එල්ෆින්ස්ටන් එකේ. සංගීත කියල ප්‍රසංගයක් කළා. ඒ වගේම ඇයි නාවේ කියලා මම පළාත් කීපයකම ඒක පුද්ගල ප්‍රසංග කීපයක්ම පැවැත්වූවා.

අද ප්‍රසංග කලාවේ ඔබට ඉල්ලුමක් තියෙනවාද?

තියෙනවා. මට ෂෝ ලැබෙනවා. ඒකේ අඩුවක් නැහැ. අපිට මුදල් ලැබෙනවා. අපි ගිහින් සින්දු කියනවා. අහන අය අහනවා. විඳින අය විඳිනවා. නටන අය නටනවා.

විද්්‍යුත් නාළිකා හරහා එකතු වූ රියැලැටි වැඩසටහන් ගැන ඔබේ මතය?

ඒ ගැන මත දක්වන්න මම කැමැති නැහැ. හැබැයි මම එක දෙයක් කියන්නම් රියැලැටි ආවා ගියා. ඒත් කෝ අද ඒ ස්්ටාර්ස්ලා කිව්ව අය.

ආසද ඔබත් රියලැටි වැඩසටහනක කවුරුන් හෝ නවකයෙක් ඔබේ ගීත ගායනා කරනවාට?

මම එකේ වරදක් දකින්නේ නැහැ. කවුරු හරි ජේ. ඒ. රොම්ලස් පෙරේරා වෙන්න හදනව නම් මට ප්‍රශ්නයක් නැහැ. එයා එහෙම වෙන්න මගේ හඬ අනුකරණය කරන්න මොන තරම් වෙර වීරියක් දරනවද? එහෙම කරන්නේ ඒ අය මමත් පොරක් හින්ද වෙන්න ඇති. ඒ ගැන මගේ හිතේ අහිතක් නැහැ. එයාලා එහෙම මගේ ගීතයක් ගායනා කළොත් ඒකෙන් වෙන්නේ මම තවත් ජනප්‍රිය වෙන එක.

කලා ජීවිතයට වසර පනහක් පිරිලත් ඒ ජීවිතය ගැන තෘප්තිමත්ව කතා කරන ඔබ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

මම හෙමින් ගමනක් ආපු කෙනෙක්. ළමා ගීත කියලා සමූහ ගීත කියලා, අත්වැල් ගායනයට එක් වෙලා තමයි මම ගායන ශිල්පියෙක් වුණේ. එහෙම නැතුව වැඩිහිටියෙක් වෙන්න ළමා කාලයේ හිතුවේ නැහැ. ඒක තමයි මගේ සාර්ථකත්වය. අද පුංචි දරුවා හදන්නේ ළමා ගීත පැත්තක තියලා වැඩිහිටියන්ගේ සින්දු කියන්න පෙලඹෙන එක. අන්න එතන ලොකු වරදක් කවුරු වුණත් කර ගන්නවා කියලා මට හිතෙනවා. පියවරෙන් පියවර ආපු ගමන මම අදටත් පියවරෙන් පියවර ඉදිරියට යනවා.

කොහාමද දැන් පවුලේ තොරතුරු?

බිරිය ඉන්ද්‍රානි පෙරේරා, පුතා මංජුල, දුවල දෙන්නා නිහාරා, තරංගා. පොඩි දුව තරංගා නම් ඉන්දියාවේ භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලයේ සංගීතය හැදෑරුවා. ඒත් දරුවන්ගෙන් කවුරුවත් මම ගිය පාරේ වෘත්තියට යොමුවීමක් නම් වුණේ නැහැ.

ලිපිනය මතක් කළොත්?

46134/ඒ, පස්වෙනි පටුමඟ, කැන්දකැටිය, කිරිවත්තුඩුව.