වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




රී මේක් කළාට ගීත මැරෙන්නේ නෑ

රී මේක් කළාට ගීත මැරෙන්නේ නෑ

රනිල් මල්ලවාරච්චි

සනත් ගුණතිලකගේ චිත්‍රපටයෙන් රනිල්ගේ පුතු පවන් ගායන ලෝකයට...

අප සංගීත කෂේත්‍රය තුළ අමරණීය මිල්ටන්ලා දෙදෙනෙකි. එක් අයකු මිල්ටන් මල්ලවාරච්චිය. අනෙක් කෙනා මිල්ටන් පෙරේරාය. මේ දෙදෙනා ගැයූ විරහා ගීවල රසය මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. අද ගායකයින් ඉතා ආයාසයකින් යටි ගිරියෙන් කෑගසමින් විරහ ගීත ගැයුව ද මිල්ටන් සහ මිල්ටන් ඒවා ගැයුවේ තමන්ගේ ඇඟට පතට නොදැනීය. මේ මිල්ටන් යුවළගේ පසු පරම්පරාව ද සංගීත ලොව අතික්‍රමණය කොට ඇත. අද මේ කතාවට අප එකතු කරගන්නේ ඒ මිල්ටන් කෙනෙකුගේ පුත්‍රරත්නයයකි. ඔහු රනිල් මල්ලවාරච්චිය. ඔහු ද පියාගේ අඩි පාරේ යමින් සංගීත ලොව දික් විජය කරමින් සිටියි. රනිල්ගේ පුතණුවන් ද දැන් අවුරුදු දහ අටක යෞවනයෙකි. සීයාගෙන් සහ පියගෙන් ලද උපන් හැකියාව ඔස්සේ ඔහු ද මේ වන විට ගායන ලොවට පිවිස සිටියි. සනත් ගුණතිලකගේ නවතම සිනමාපටයේ පසුබිම් ගායනයට එක් වූ මිල්ටන් මල්ලවාරච්චිගේ මුනුපුරා නමින් පවන් මල්ලවාරච්චිය. රනිල් ඇතුළු පවුලේ පිරිවරගේ ස්ථිර පදිංචිය ඕස්ට්‍රේලියාවෙහිය. ඔවුන් මේ දිනවල කෙටි නිවාඩුවකට තම මවුරටට පැමිණ සිටියි. අපි ඔවුගේ සොඳුුරු කැදැල්ලට ගොඩ වුණෙමු.

කොහොමද රනිල්? මොනවද අලුත් තොරතුරු?

විශේෂයක් නැහැ. සුපුරුදු ලෙස කාලය ගත කරනවා. දිගු කාලකෙට පසුවයි අප ලංකාවට ආවේ. මිතුරු මිතුරියන්ගෙන් ආරාධනා එමටයි ඔවුන්ේග් ගෙවල්වලට එන්න කියලා. හැකි පරිදි මිතුරු හමුවලට යනවා. එහිදී පැරැණි මිත්‍රයින් මුණ ගැහෙනවා. සතුටුයි ඉතින්.

අලුත් ගීයක් ගැයුවේ නැද්ද?

අනේ නැහැ. අලුත් කියලා කිසිම ගීතයක් නිර්මාණය කළේ නැහැ.

ඇයි ඒ?

මං හිතනවා අලුත් ගීතයක් ගයලා මේ කාලයේ තේරුමක් නැහැ කියලා. මොකද මං ගැයූ ගීත රාශියක්ම තියෙනවා. ඇතැම් ඒවා ප්‍රචාරය වෙන්නෙත් නැහැ. සන්දර්ශන වේදිකාවේ පවා තාත්තාගේ ගීතවලටයි වැඩි ඉල්ලුම.

ඔබගේ පුතු මේ වන විට ගායකයකු බවට පත් වෙලා?

ඔව්. ඔහු සනත් ගුණතිලකගේ නවතම චිත්‍රපටයට යුග ගීතයක් ගැයුවා. ඊට සහාය වුණේ කාවින්ද්‍යා අධිකාරි. ඊට අමතරව සේනක විජේසිංහගේ නවතම චිත්‍රපටය සඳහාත් පවන් ගීයක් ගැයුවා. ඒත් එක්කම ඔහු තවත් අලුත් ගීතයකට හඬ මුසු කළා. ඒකේ විශේෂත්වයක් තියෙනවා. මගේ මෝනා, නිරාෂා තමයි ඒ සින්දුව ලිව්වේ. සංගීතවත් කළේ ලෙලුම් රත්නායක. ගීතයේ නම මේ ඉඩෝරය.

පවන් වෘත්තීමය ගායකයකු කරන්නද අදහස?

ඔහු මෙරටදී වැඩි වශයෙන් සංගීතයට යොමු වුණා තමයි. නමුත් වෘත්තීය ගායකයකු වන්නට ඔහුගේ ලොකු කැමැත්තක් නැහැ. මේ වන විට පවන් ගුවන් නියමුවකු වන්නට ඉගෙන ගන්නවා. ඔහු වෘත්තීය ලෙස ඒක තෝර ගනීවි. ඒ අතරට සංගීතමය කටයුතුවලත් නියැලේවි.

මේ වන විට ලංකාවේ වැඩි වශයෙන් නිර්මාණය වන්නේ විරහ ගීත. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

අපේ තාත්තලගෙ කාලෙත් විරහ ගීත හැදුණනෙ. තාත්තත් වැඩි වශයෙන්ම ගැයුවේ විරහ ගීත. නමුත් කවදාවත් මිනිස්සුන්ට එපා වුණේ නැහැ. ඇතැම් අවස්ථාවන්වලදී තාත්තගෙ කැසට් එකේ හතරෙන් තුනක්ම තියෙන්නේ විරහ ගීත. ඒත් කැසට් සීග්‍රයෙන් අලෙවි වුණා. එයට හේතුව ඒ ගීත එකිනෙකට වෙනස්වීම. එකල තාත්තාට ගීත රචනා කළ කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ආචාර්ය අජන්තා රණසිංහ, ක්ලැරන්ස් වගේ අයගේ තිබුණේ එකිනෙකට අනන්‍ය වූ ගීත කලාවක්. අරයා ලියපු එක මෙයා ලිව්වේ නැහැ. අරය වගේ ගීත තව කෙනෙක් හැදුවේ නැහැ. ඒ හින්දා ඒ ගීත එකිනෙකට එකක් නොදෙවෙනි ලෙසට රසවත් වුණා. අද තියෙන්නේ තනිකරම ඒකාකාරී වූ ගීත කලාවක්. අරයා ලියන එකමයි මෙයත් ලියන්නේ. අරයා වගේ ගීතයක් ඕනෑ කියලා ඒ වගේම ගීත හදනවා. වෙනසක් නැහැ. මට ලංකාවේ ඉන්නකොට ගීත කිහිපයක් අහන්නට ලැබුණා. මට හිතුණෙම ඒවා සියල්ලම එක වගෙයි කියලා. ඒතරම්ම එකිනෙකට එකක් අතිශය සමානයි.

ඔය අතරේ ඇහෙනවා ඔබේ පියාගේ ගීත නව පරපුරේ ගායකයින් රීමේක් කොට ගැයූ ගීත කිහිපයකුත්?

මටත් ඒවා අහන්නන්ට ලැබුණා. නමුත් මට ඒ ගැන සඳහන් කරන්න විශේෂ දෙයක් නැහැ.

ඒ කියන්නේ පියාගේ ගීත රීමේක් කළාට ඔබ විරුද්ධ නැහැ?

මෙතෙන්දි මට විතරක් විරුද්ධ වෙන්න බැහැනෙ. මොකද ඒ ගීතවල අයිතිය තියෙනවා ඒවා ලියලා සංගීතවත් කළ අයටත්. ඔවුන්ගේ අනුදැනුම මත රීමේක් කළොත් මට මුකුත් කියන්න බැහනෙ. අනික ගීතයක් දෙකක් රීමේක් කළාට ඒවාහි මුල් කෘතිය මැරෙන්නේ නැහැ. අපි ඒ දෙස මැදිහත් සිතින් බැලිය යුතුයි. ඒවට බැන බැන ඉඳලා හරි යන්නේ නැහැ. මම නම් එම ගීත රීමේක් කළ අයව අගයන්න වුණත් කැමැතියි ඒ ගායනා හොඳට කරලා තියෙනවා නම්.

ස්ථිර පදිංචියට ලංකාව තෝර ගන්නේ කවද ද කියලා ඔබට ළැදි රසික රසිකාවෝ බලාගෙන ඉන්නවා ඇති?

ඔබ කිව්වත් වගේ මං ලංකාවට ආවා කියලා දැනගත් වෙලවේ පටන් ආව ඇමතුම්වලින් වැඩිපුරම කියවුණේ දිගටම ලංකාවේ ඉන්න කියන කතාව. ඇතැම් රසිකයින් පවා ඔය කී දේ අහනවා. නමුත් දැන්මම නම් එහෙම අදහසක් නැහැ මෙරටෙහි ස්ථිර පදිංචියට. ඉඳලා හිටලා ඇවිත් යන්න එනවා. මොකද මට ලංකාවේ සබඳතා හරිම වැදගත්. ඒවා ඒ එන වතාවක් පාසා අලුත් වෙනවා. මේ වන විට වසර නවයක් පමණ වෙනවා අපි ඕස්ට්‍රේලියාවට ගිහින්. ළමයින්ගේ අධ්‍යාපන කටයුතුත් එහෙ කරන්නේ. බොහෝ කටයුතුවලින් නිදහස් වුණ කාලෙක ලංකවෙහි දිගුකාලීනව පදිංචියට එනවා.

ඔබේ මතයට අනුව ගීතයක් ජනප්‍රිය වෙන්නට ගීතමය රූප රචනයක් අවශ්‍යද?

නැහැ.

ඒ වුණාට අද ලංකාවෙහි මියුසික් වීඩියෝ කියලා කියන්නේ වෙනමම කලාවක්?

ඔව්. ඒක ඇත්ත. මම නම් හිතන්නේ හොඳ ගීතයකට මියුසික් වීඩියෝ අනවශ්‍යයි. අපේ තාත්තලගෙ කාලේ ගීත එකකටවත් ඔය වීඩියෝ හැදුණේ නැහැනෙ. නමුත් ඒවා මිනිසුන් අතරට ගියා. ඒ හඬවල්වලටයි රසිකයින් පෙම් බැන්දේ. අද නම් නිර්මාණය වන සෑම ගීතයකටම මියුසික් වීඩියෝ හැදෙනවා. ඉන් ඇතැම් විඩියෝ බලද්දී පේනවා ඕඩියෝ එකේ අඩුපාඩු වහගන්න තමයි මේ වීඩියෝ කරලා තියෙන්නේ කියලා.