වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී හත්තොටුවේගම වීදි නාට්‍ය කලාවේ පුරෝගාමියා

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

ගාමිණී හත්තොටුවේගම වීදි නාට්‍ය කලාවේ පුරෝගාමියා

මෙරට වීදි නාට්‍ය කලාවේ සංකල්පයේ හිමිකරුවා හේමසිරි අබේවර්ධනගේ වුවත් ඊට පුරෝගාමී වෙමින් මුළු ජීවිතයම ඒ උදෙසා කැප කළ නාට්‍යකරුවා ගාමිණී හත්තොටුවේගම යැයි කිව හැකිය. මෙරට වීදි නාට්‍ය කණ්ඩායම හඳුන්වන ලද්දේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායම කියාය.

මෙරට වීදි නාට්‍ය කලාවේ ආරම්භය සිදු වූයේ මෙසේය. ප්‍රංශයෙන් ආචාර්ය උපාධිය ලත් තරුණ විද්වතෙක් ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවට දේශනයක් සඳහා පැමිණියේය. ඔහු සෝමරත්න බාලසූරියයි. ඔහුගේ මාතෘකාව වූයේ 'විකල්ප නාට්‍ය භාවිතාව' යන්නයි. ඔහුගේ දේශනය සිසුන්ගේ නොමඳ අවධානය දිනාගත් එකක් වුයේය.

හේමසිරි අබේවර්ධන එවක රංග ශිල්ප ශාලිකාවේ ශිෂ්‍යයෙක්ව සිටියේය. ඔහු විසින් පාඨමාලාව අවසානයේ 'තීසියම් වීදි නාට්‍ය කරමු' යන අදහස පාඨමාලා අධ්‍යක්ෂ ධම්ම ජාගොඩ වෙත ඉදිරිපත් කරන ලදී. ධම්ම 'මනමෙ' නව නිෂ්පාදයකට සුදානම්ව සිටි හෙයින් එකී යෝජනාව ප්‍රතික්ෂේප කළේය. ඊළඟට සිසුන් යොමු වූයේ ඒ වනවිට සිසුන් සමඟම වඩාත්ම ළැදිව සිටි ආචාර්යවරයා වූ ගාමිණී හත්තොටුවේගම වෙතය. ඔහු ඊට කැමැත්ත පළ කළේය. ඉංග්‍රීසි නාට්‍යවලට සංගීතය සපයමින් සිටි හේග් කරුණාරත්න ද මෙයට එක් වූයේය.

හත්තොටුවේගම ඒ වනවිට කැලණිය විශ්වවිද්‍යාලයේදී යම් යම් පර්යේෂණාත්මක රංග ඉදිරිපත්කර තිබිණි. 'රංග කැබිලි සමඟ සංගීත සොච්චමක්' එවැන්නකි. අද සාහිත්‍ය පරිවර්තකයකු ලෙස ප්‍රකට සේනාරත්න වීරසිංහ එදා සරසවි සිසුවකු ලෙස මෙම නිර්මාණවලට සම්බන්ධ වූවෙකි. සරසවි සිසුන් ඒකරාශි කරගෙන කළ මේ ක්‍රියාව නිසා හත්තොටුවේගමට වරක් පෑලියගොඩ පොලීසිය ඉදිරියේ පෙනී සිටින්නට ද සිදු වූයේය. 'රජ දැක්ම' නම් වූ කෙටි රංගනය ඔහු මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ විදුලකර සරසවියේදීය.

1974 පොසොන් පෝය දින (ජූනි 4) අනුරාධපුර දුම්රිය ක්‍රීඩාංගණයේ කෙටි නාට්‍ය තුනක් පෙන්වන ලදී. 'රජ දැක්මට' අමතරව 'බෝසත් දැක්ම', 'මිනිහකුට එල්ලිලා මැරෙන්න බැරිද' යන කෙටි නාට්‍ය දෙක ද මෙයට ඇතුළත් වූයේය.

පසුදින ආපසු කොළඹ බලා පිටත්ව එන්ට යන අවස්ථාවක දී අනුරාධපුර දුම්රිය පොළේදී 'මිනිහකුට එල්ලිලා මැරෙන්න බැරිද' යන නාට්‍යය වීදි නාට්‍යයක් ලෙස ඉදිරිපත් කළහ. ඒ අනුව එය ලංකාවේ ප්‍රථම ඓතිහාසික වීදි නාට්‍ය දර්ශනය බව සටහන් කළ යුතුය.

නාට්‍ය කලාව විෂයයෙහි හත්තොටුවේගම ප්‍රාමාණික පසුබිමක් තිබුණේය. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදි ඔහු ඉංග්‍රීසි අංශය නිෂ්පාදනය කළ 'ඇගචෙම්නන්' නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේය. ඔහු ඇන්ටන් චෙකෝව්ගේ 'ද ප්‍රපෝසල්' නාට්‍යය 'මඟුල් ප්‍රස්තාව' නමින් සිංහලෙන් නිෂ්පාදනය කළ අතර එහි ලව්නේරිස්ගේ චරිතය ද රඟපෑවේය. ඉංග්‍රීසි අංශයේ ශිෂ්‍යයකු මෙසේ සිංහල නාට්‍යයක් නිපදවීම එකල කිසියම් ආකාරයක රැඩිකල් ක්‍රියාවක් වූයේය.

උපාධිය හිමිකර ගැනීමෙන් අනතුරුව හත්තොටුවේගම ඉංග්‍රීසි භාෂීය නාට්‍ය හා සිනමා විචාරකයකු වශයෙන් කටයුතු කළේය. එවක (1967) චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයේ සභාපති වූයේ ද ඔහුය.

වීදි නාට්‍ය ආරම්භ කිරීමෙහිලා අභිලාෂ තුනක් තිබිණැයි සිතේ. සිංහල වේදිකාව පාන්තික ස්වරූපයක් ගැනීම විශේෂයෙන් එය මැද පාන්තික (සුළු ධනේශ්වර) ස්වරූපයක් ගැනිම, 2. රඟමඬල පිළිබඳ සංකල්පයේ තිබූ මිථ්‍යාව 3. සම්මතය නොරිස්සීම.

1970 දී පමණ හත්තොටුවේගම 'විසිතුර' පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියා ඇත.

'චිත්‍රපටය හැරෙන්නට ලෝකයේ අන් සෑම කලාවක්ම පාහේ පත්ව ඇත්තේ වැඩි වශයෙන් මධ්‍යම පන්තිකයන් අතටයි. විශේ්ෂයෙන් අපේ රටේ නාට්‍ය කලාව මෙම පිරිසට සීමා වෙලා. ප්‍රාදේශික වශයෙන් බැලුවත් ප්‍රධාන නගරබද මධ්‍යම පන්තිය ප්‍රේක්ෂකයන් අතරේ පමණයි නාට්‍ය ජනප්‍රිය කලාවක් වී තිබෙන්නේ'.

'සුබ සහ යස' වැනි නාට්‍යයක් ජනතාවාදී යැයි කියූ ඇතැම් නාට්‍යයක් රටේ අස්සක් මුල්ලක් නෑර වේදිකාගත කළේ යැයි කීවත් ඒ නාට්‍ය දුටුවේ ද එක්තරා මැද පන්තික ප්‍රේක්ෂක පිරිසක් පමණි. ඉබ්බාගමුව දේව සරණ සමූහ ගොවිපළේ වීදි නාට්‍ය දැක්මක් පැවති අවස්ථාවේ දැනගන්ට ලැබුණේ ගොවිපළේ සාමාජිකයන් දැක තිබූ එකම සම්මත වේදිකා නාට්‍ය 'රන්කඳ' පමණක් බවය. කුරුණෑගල නගරයේ කාණු හා කසල ශෝධක මිනිසුන් වෙසෙන එළුගල ගමේ ද වරක් වීදි නාට්‍ය පැවැත්වූයේය.

රඟමඬල යනු ප්‍රොසිනියම් (ආරුක්කු) වේදිකාව පමණක්ය යන මිත්‍යාව ඇතැම් නාට්‍යකරුන් අතර පවතී. ඒත් නාට්‍යයක් නගරයේ මාළු මාරකැට්ටුවක හෝ ගමේ කමතක හෝ ඉදිරිත් කළ හැක්කකි. වීදි නාට්‍ය වරක් බෝගල පතලේ ද රඟදක්වන ලදී. හත්තොටුවේගම කවදත් සම්මතය නොරිස්සූ විප්ලවීය, රැඩිකල්, අසම්මත කලාකරුවෙක් වූයේය. සැමවිටම ඔහුට අවශ්‍ය වූයේ කිසියම් වෙනසක් කරන්ටය. වීදි නාට්‍ය එයට අගනා අවස්ථාවක් විය.

දැනට ගණනය කර ඇති ආකාරයට හත්තොටුවේගම ප්‍රමුඛ වීදි නාට්‍ය කණ්ඩායම වීදි නාට්‍ය 50 ක් පමණ නිෂ්පාදනය කර ඇත. මේ වීදි නාට්‍ය කොටස් දෙකකට බෙදිය හැකිය. නිශ්චිත රංග පිටපතක් සහිත (එඡ්ඹ්ඹ්-ර්ඒච්ඡ්) නාට්‍ය හා එසැණ නිරූපණවේදී නාට්‍ය (ධ්ර්ර්‍ථඅර්‍ණඍධ්ඉඡ්ච් ර්ඡ්ඊඩ්ර්‍ණච්).

'මිනිහකුට එල්ලිලා මැරෙන්න බැරිද', 'මැරවර මෙහෙවර', 'අකීකරු පුත්‍රයා', 'බෝසත් දැක්ම', 'ඔබ දුටුවා', 'පරෙවියෙක් දැක්ක කල්', 'ලෝක ආහාර සම්මේලනය', 'ඔටුන්නක බර', 'නුරුස්සන හඬ' කිසියම් මට්ටමක තිබූ සාර්ථක වීදි නාට්‍ය කීපයකි. ඇතැම් වීදි නාට්‍යවලට වස්තුබීජ වූයේ සාහිත්‍ය මූලාශ්‍ර බව පෙනී යයි. 'මැරවර මෙහෙවර' බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ උපමා කතාවකි. 'නුරුස්සන හඬ' ඇන්ටන් චෙකෝව්ගේ 'ද ලෙමන්ට්' කෙටිකතාව ඇසුරිනි. 'ඔටුන්නක බර' බෙ‍්‍රෂ්ට්ගේ කවි පන්තියක් පාදක කරගෙන තැනුණු නාට්‍යයකි. එය ත්‍රිභාෂාමය නාට්‍යයක් වීම විශේෂත්වයක් දරයි.

'පරෙවියෝ දැක්ක කල්' ජාතිවාදී කෝලාහලය ද 'ඔබ දුටුවා' 88 - 89 භීෂණ යුගය ද පසුබිම් කරගත් කාලීන වශයෙන් වැදගත් වීදි නාට්‍ය දෙකකි.

වීදි නාට්‍යවල දෙබස් සරලය, උපහාසාත්මකය. 'වෙසක් දැක්ම' නාට්‍යයේ පිය පුතු දෙදෙනකු අතර ඇති වන සංවාදයක ඛණ්ඩයකි මේ. පුතා - 'ඈ බං තාත්තේ අර බුදුහාමුදුරුවො පාට පාට සායම් ගාලා තට්ටු තට්ටු සායම් ගාලා තොල් පාට කරලා සැපයට හිටිය වගේනේ හදලා තියෙන්නේ. හරියට කඩේ විකුණන්න තිබෙන ජපන් බෝනික්කෙක් වගේනේ'

පියා - 'පිස්සුද බං පුතේ උන්නාන්සෙත් බෙහෝම දුක් වින්දා. උන්නාන්සේටත් උඹලට අපිට වගේ හතුරෝ හිටියා. උන්නාන්සේටත් ලෙඩ දුක් හැදුණා'

වීදි නාට්‍යවලට ගීතය ඇතුළත්ව තිබිණි. ඒවායින් ද ප්‍රකට කළේ උපහාසය මුසු රසයකි. පහත වන්නේ එක් ගීයක අර්ධයකි.

බඩගිනි වෙලා මම ගිය කල රජුගේ ගෙට

පැනලා දුන්න පොලු පාරක් හරහටම

ගන්දෝ නොගන්දෝ කියලා සිතුණි මට

පොලු පාරත් වටී බඩේ ගින්දරට

බොහෝ ගීතවලට බොබ් මාලේ, බොබ් ඩිලන් වැනි ලෝක ප්‍රකට ගායකයන්ගේ ගීවල තනු යොදාගෙන ඇති ආකාරයක් දැක්ක හැකිය.

කලින්ද දැක් වූ පරිදි එසැණ නිරූපණවේදය වීදි නාට්‍යවලටම සුවිශේෂ වූවකි. කාලය, ස්ථානය හා අවස්ථාව අනුරූපීව එය සිදු කෙරේ.

1977 ට පෙර රඟ දැක්වුණු එක්තරා වීදි නාට්‍යයකින් අනාගතයේ පහළ වන පාරිභෝගික ආර්ථිකය කල් තියා දැකීම හත්තොටුුවේගමට හැකි වූයේය. ඉලෙක්ට්‍රොනික් පිටකසන යන්ත්‍ර, ප්ලාස්්ටික් ඉඳියප්ප, හිම සපත්තු මෙරටට ආනයනය විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. වැරැදි ප්‍රේක්ෂකයෙක් අපේ රටේ හිම සපත්තු දාන්න කෝ හිම යැයි ප්‍රශ්න කළේය. එවිට නළුවකු ගත්කටටම කිවේ 'අපි ඒකත් ඉම්පෝට් කරනවා' කියාය.

වීදි නාට්‍යලදී ප්‍රේක්ෂකයා අකර්මණ්‍ය පුද්ගලයෙක් නොවන්නේය. ප්‍රොසිතියම් වේදිකාවේ තත්වානුරූපී මායාව තුළ මෙන් නොව මෙහිදී ඔහු නළුවන් වෙතින් පරාරෝපණය නොවේ. ඔහු ද නාට්‍යයේ සජීවී කොටස් කාරයෙකි.

වරක් ලෝක ආහාර සම්මේලනය නමින් ඉදිරිපත් කළ වීදි නාට්‍යය ජාත්‍යන්තර අවධානයට පවා ලක්විණි. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් කොළඹදී ඉදිරිපත් කෙරුණු ලෝක ජනගහණය සමුළුවට කඩා වැදුණු වීදි නාට්‍ය කණ්ඩායම මෙම සමුළුව විවේචනය කරමින් වීදි නාට්‍යයක් රඟදැක් වූහම ඊට ඉහත රෝමයේ පැවති මෙවන් සමුළුවකදී ඉතිරිවුණු ආහාර කාණු දිගේ ගලා ගිය ආකාරය ගැන පුවතක් පත්‍රවල පළව තිබිණි. මෙම වීදි නාට්‍යය තනිකරම ගරිල්ලා ප්‍රහාරයක ස්වරූපය ගත්තේය. මෙහිදී විදේශීය නියෝජිතයන් කියා සිටියේ 'නාට්‍යයේ නම් හොඳයි, ඒත් දේශපාලනය තමයි නරක' කියාය.

වීදි නාට්‍ය කණ්ඩායමේ පැවති දෘඩ දේශපාලන මුහුණුවර නිසා ඔවුහු නිරන්තවම පොලීසියේ ප්‍රශ්න කිරීම්වලටත් ප්‍රහාරයන්ටත් ලක් වූහ.

අද චිත්‍රපටල හා ටෙලි නාට්‍යවල ජනප්‍රිය නිළු නිළියන් බොහෝ දෙනකුගේ තිඹිරි ගෙය වීදි නාට්‍ය කලාවයි. දීපානි සිල්වා, ලින්ටන් සේමගේ, ගාමිණී හෙට්ටිආරච්චි, සැනට් දික්කුඹුර ඉන් කීප දෙනෙකි. වීදි නාට්‍යයකදී නළු නිළියන් චරිත කීපයක්ම රඟදැක්වීම විශේෂත්වයකි.

හත්තොටුවේගම වීදි නාට්‍ය කණ්ඩායම අනුගමනය කරමින් තවත් කණ්ඩායම් කීපයක්ම රට පුරා බිහිවන්නට පටන් ගැනිණි. ගුණරත්න වික්‍රමගේ ප්‍රමුඛ අපේ වීදි නාට්‍ය කණ්ඩායම, වීර පුරන්අප්පු වීදි නාට්‍ය කණ්ඩායම, ඇන්ටන් මිහිඳුකුල ප්‍රමුඛ ධාරණ වීදි නාට්‍ය කණ්ඩායම ඉන් කීපයකි.

හත්තොටුවේගම සම්මත වේදිකාව තරයේ ප්‍රතික්ෂේප කළ අතර තමා යටතේ නළු නිළියන් සම්මත වේදිකාවේ රඟනු දැකීමට ද අකැමැත්ත පළ කළේය. මෙහි අගතිගාමිත්වය පසක් කරගත් පරාක්‍රම නිරිඇල්ල හා එච්. ඒ. පෙරේරා යන දෙදෙනා ඔහුගෙන් කැඩී වෙනත් කණ්ඩායමක් (විවෘත කලා කවය) පිහිටුවා ගත්හ. 'රඟමඬල' යන සංකල්පයට සම්මත වේදිකාව ද අයත් බවයි ඔවුන්ගේ මතය වූයේ. එය සපුරා නිවැරදි මතයකි.

හත්තොටුවේගම මේ යථාර්ථය තේරුම් ගත්තේ මඳක් ප්‍රමාදවය. පසු කලෙක ඔහු 'සාක්කි' වැනි සම්මත වේදිකා නාට්‍යයක රඟපෑ අතර 'ලාක්', 'හැම්ලට්' වැනි නාට්‍ය සම්මත වේදිකාව මත නිෂ්පාදනය කළේය. තමා තවමත් සාර්ථක පරිවර්තන නාට්‍යයක් සේ දකින්නේ 'හැම්ලට්' නිෂ්පාදනය පමණක් බව මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු වරක් කියා තිබිණි.

2007 දී හත්තොටුවේගම නාට්‍ය කලා ජීවිතය අගය ප්‍රණාම පිළිගැන්විණි.