වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




මගදිගට රස කතා

 

අතීතය හා වර්තමානය

කලකට ඉහතදී විකාශය වූ අතිශය සුන්දර ටෙලි සිතුවමක් වන කන්දේ ගෙදර ඕං ආයෙත් පෙන්නනවා. ඒකාකාරී නාට්‍ය නරඹලා හෙම්බත් වූ අපේ ටෙලි ප්‍රේක්ෂකයින්ට එය නරඹද්දී සිතට මල් වැස්සක් වෙනවා වගේ දැනෙනවා ඇති.

රාත්‍රී නවයට ජාතික නාළිකාවෙන් තමයි කන්දෙගෙදර දිග හැරෙන්නේ. මේ කියන්න හදන්නේ එයට සබැඳි වූ අපුරු කතාවක්. කන්දෙ ගෙදරහි මව සහ පියා හැටියට රඟපාන්නේ රම්‍යා වනිගසේකර සහ රෝහණ බැද්දගේ.

ඔවුන් දෙදෙනාම ඊට පැය භාගයකට පෙර විකාශය වන සල්සපුනා ටෙලි සිතුවමේ මව සහ පියා හැටියට රඟපානවා. නාට්‍ය දෙකේම චරිතයන් ද බෙහෙවින් සමානයි. කන්දගෙදර ටෙලි නාට්‍යයෙත් දෙන්නා රඟපාන්නේ බොහොම හැල හැප්පිලි මැද ජිවිතය ගෙවන මව්පියන් යුවළක් හැටියටයි.

සල්සපුනා ටෙලි සිතුවමෙත් එසේමයි. රම්‍යා වනිගසේකරගේ සහ රෝහණ බැද්දගේ ගේ අතීත ස්වරූපය සහ වර්තමාන ස්වරූපය බොහොම අපූරුවට මේ ටෙලි සිතුවම් දෙකෙන් දැකබලා ගන්නට පුළුවන්.


තුති මල්

පසුගියදා අප අතරින් වියෝ වූ අති දක්ෂ රංගධර විමල් කුමාර ද කොස්තා ගැන මේ කතාව කිව්වේ රවීන්ද්‍ර රන්දෙණිය නැත්නම් සිනමාවේ ලොකු අයියා හෙවත් දුක්ගන්නාරාළ. මේක කොස්තා මියගියාට පසුව වෙච්ච සිදුවීමක්. කොස්තාගේ දේහය බාරදීලා එක්තරා මල් ශාලාවකට.

එහෙත් දේහය නිවසට ගෙන ගියාට එහි තියන්නට බැහැ. කොහොම හරි ඒ පිළිබඳ රවීන්ද්‍ර රන්දෙණියට දැනගන්නට ලැබුණා. රවී අයියා ඒ බව ගාමිණී ජයරත්නට පවසලා. ඔහු තමයි ජයරත්න ආයතනයේ සභාපති. අවසනදි දේහය බාර අරගෙන තියෙන්නේ ඔහු. කාටවත් දොසක් කියන්නේ නැතුව තම වගකීම ඉටු කළාලු.

කොස්තාගේ දේහය ගෙනැවිත් තමන්ගේ ශාලාවේ තියලා අවසන් කටයුතු කළා. කලාකරුවකු හින්දා පුළුවන් උපරිමයෙන් කොස්තාගේ අවසන් කටයුතු සිදු කරන්න මඟ පාදා දීලා. කොස්තා වෙනුවෙන් රවින්ද්‍ර, ජයරත්න මහතාට තති පුදනවා කියලත් අපට සඳහන් කළා. මේ ගාමිණී ජයරත්න තමයි ජෝඩු වළලු චිත්‍රපටයේ නිෂ්පාදක.


බබ්බු නැළවීම

තව නොබෝ දිනකින් දුලානි අනුරාධා රංගනයෙන් දායක වන සිනමාපටයක් තිරගත වෙනවා. ඒකෙ නම අපේ කාලයේ පටාචාරා. එහි ගුවන් සේවිකාවක ලෙසින් සහ පටාචාරාගේ චරිතය දුලානි විසින් රංගනයේ යෙදෙනවා. පටචාරාවන්ට පණ පොවද්දී ඇය තරමක අපහසුතාවයකට පත් වුණාලු.

ඇගේ පුංචි දරුවා විදිහට රඟපාන ළමයා නිතරම අඬලා. ඉතින් දුලානිට සිදු වුණාලු රංගනයට අමතරව බබ්බු නළවන්න. කොහොම හරි බොරු සීයක් විතර කියලා බබාව ඇඬිල්ලෙන් මුදවාගෙන කැමරාව ඉදිරියට එද්දී ආයෙත් ළමයා අඬනවලු. ආයෙ ඉතින් දුලානි නළවනවලු.

ඇයට ඉමහත් වූ පළපුරුද්දක් ලැබුණලු ළමුන් නැළැවීමේ කාර්යය ගැන. කොහොමත් දුලානි පාසල් ගුරුවරියක්නෙ. වැඩිපුරම ඉන්නෙ ළමුන් එක්කනේ. ඒත් මෙච්චර කල් පාසලෙදිවත් මෙහෙම අඬපු ළමයකුව නළවලා නැතිලු.


හයසීයට සම්මානයක්

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ගැන මොනවා හරි සටහනක් ලියන්නට හද්ද්දී ඔහු පිළිබඳ නිරන්තයෙන් අපි කියන කාරණයක් තමයි 'උපදින කොටම නයිට් පදවියක් ලද එකම නිවේදකයා' යන්න. මොකද එහෙම ශ්‍රීමත් කෙනෙක් එංගලන්තයේවත් නැතුව ඇති. කෙසේ වෙතත් මේ ශ්‍රිමත්ට සම්මානයක් ලැබිලා.

ඒ ඉතාම දීර්ග කාලයක් එක දිගට සවනට ගී මධු වැඩ සටහනහි නිවේදන කටයුතු කිරීම හේතුවෙන්. වැඩසටහන් හයසීයක් පමණ ඔහු මෙහෙයවලා තියෙනවා. පසුගියදා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මධ්‍යස්ථානයේ පැවතුණ සවනට ගී මධු වැඩ සටහනහි හයසිය වැනි පියවර සමරා විශේෂ උත්සවයක්. එහිදී තමයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් ශ්‍රිමත් මෙසේ සම්මානයට පාත්‍ර වුණේ.


අම්මා තාත්තා මගේ

‘මිස් කෝල් එකක් තරමටවත් මා නොවටිනා වග දැනුණා' යන ගීතය පසුගිය දිනවල නිරන්තරයෙන් ගුවන් විදුලි නාළිකාවලින් ප්‍රචාරය වුණා. ඒ විතරක් නෙවෙයි එය වෙනුවෙන් නිර්මාණ්‍ය කළ සංවේදී වීඩියෝව යූ ටියුබ් හරහා ඉහළ ප්‍රතිචාර ලැබුණේ එය හිතට දැනෙන්නට තිබුණු නිසයි. මේ ගීතය ගැයුවේ චරුද් ගුණරත්න.

මෙයට අමතරව ඔහු තවවත් ජනප්‍රිය ගීත කිපයක්ම ගැයුවා. ඒත් චරුද් ගැන කාලෙකින් කිසි තොරතුරක් අපට දැනගන්න ලැබුණේ නැහැ. ඒ ඔහු අධ්‍යාපන කටයුතු හේතුවෙන් අමෙරිකාවේ ජීවත්වීම. ඔහුගේ උපන් දිනය දවසේ විශ්ව විද්‍යාලයෙන් එළියට බැස්සම ඔහුට ජීවිතේට හිතාගන්න බැරි සිදුවීමක් සිදු වෙලා.

ඒ ඔහුගේ අම්මයි තාත්තයි ඇවිත් චරුද්ව පිළිගන්න කියලා නෙවෙයි චරුද්ට නොකියාම ඔවුන් මේ ගමන ඇවිත් තියෙන්නේ. චරුද්ගේ පියා ආචාර්ය ජානක ගුණරත්න. ඔහු ප්‍රකට ව්‍යාපාරිකයෙක්. ජානක පොඩ්ඩකටවත් කියලා නැහැ ඔවුන් අමෙරිකාවේ එනවා කියලා.

කොහොම හරි වරුද්ට තම මව්පියො දුටුවම නිම්හිම් නැති වුණාලු. තමන්ගේම කියා කිසිම ඥාතියෙක් නැතුව කාලාන්තරයක් රට ඉඳලා එකපාරටම තමන්ගේ මව්පියෝ දුටුවම කොහොම හැඟීමක් පහළ වෙයිද හිතාගන්න පුළුවන් නේද.