වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




මම ලකී ඩයස් ගෙනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ

මම ලකී ඩයස් ගෙනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ

ලකී ඩයස් එහෙම කියන්නේ ඇයි?

වර්තමානයේ ටෙලි නා‍ට්‍ය බොහොමයක් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් වෙතින් නැඟෙන්නේ මැසිවිලි. ඇතැම් කතාන්දරවල අවසානයන් වෙනුවෙන් දුක් වෙන නරඹන්නන් තමන් බලාපොරොත්තු වූ පරිදි අවසානයක් දැක ගැනීමට නොහැකි වීමෙන් මැසිවිල නඟන්නේද නැතුවා නොවේ. ඇතැමුන් කියන්නේ ඒ වෙනුවෙන් වැය කළ කාලය පවා අපතේ ගිය බවයි. නමුත් ඒ අතරේ පසුගිය දිනෙක විකාශය නිමා කළ ටෙලි නාට්‍යයක් සම්බන්ධයෙන් ඊට වෙනස් වූ ප්‍රතිචාර රැසක් සරසවිය ප්‍රතිචාර පිටුව වෙත යොමු වී තිබුණා. ඒ හැම ප්‍රතිචාරයකින්ම එකී ටෙලි නාට්‍යයේ අවසානය ඉහළින් අගයා තිබූ අතර අධ්‍යක්ෂවරයාට ප්‍රේක්ෂක ප්‍රණාමය පුද කරන්නත් ඔවුන් අමතක කර තිබුණේ නැහැ.

මේ විදියට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද ටෙලි නාට්‍යයේ නම 'සීතල ගිනි දැල්'. අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ රංගන ශිල්පි ලකී ඩයස්. වසර හයකට පමණ පසු යළිත් අධ්‍යක්ෂණයට පිවිසෙමින් ඔහු මෙම ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කළ අතර මීට පෙර 'සහස්ගව් දුර', 'සොහොයුරෝ', 'දෙපති දහර', 'ෂෝන්' වැනි ටෙලි නිර්මාණ ප්‍රේක්ෂකයන්ට තිළිණ කළා. යොවුන් ප්‍රේමයේ සුන්දරත්වය සේම, ත්‍රාසය, භීතිය සහ කුතුහලය සමඟින් සතියේ සෑම දිනකම ජාතික රූපවාහිනියෙන් ඔබගේ ආලින්දයට පිවිසි 'සීතල ගිනි දැල්' ටෙලි නාට්‍ය විකාශය නිමා කරමින් ලද නොමඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන අපි ලකී අයියාගෙන්ම අහලා බලමු.

'සීතල ගිනි දැල්' කියන්නේ කාලයකට පසු ප්‍රේක්ෂක ප්‍රතිචාර නොමඳව ලද ටෙලි නාට්‍යයක්. අධ්‍යක්ෂවරයා ලෙසින් ඔබ ඒ ප්‍රතිචාර ලද අයුරු සඳහන් කළොත්?

අධ්‍යක්ෂවරයෙක් විදියට ආඩම්බර වෙන්න පුළුවන් විදියට 'සීතල ගිනි දැල්' ටෙලි නාට්‍යයට ප්‍රතිචාර ලැබුණා. මෙහෙමයි, සමාජයේ විවිධ තරාතිරම්වල ප්‍රේක්ෂයන්ගේ කතාබහට ලක් වෙමින් මේ වෙනුවෙන් ප්‍රතිචාර ලැබුණා. තරු පහේ හෝටල්වල, චිත්‍රපටයක් බලන්න ගිය තැන, වෙළෙඳ පොලට ගියත්, "ලකී අයියේ ඔයාගේ ටෙලි නාට්‍ය මේ කාලයේ හරිම වෙනස් ටෙලි නිර්මාණයක්. අපි නොවරදවාම නරඹනවා" කියලා තමයි කියන්නේ. ඇත්තටම මම නොහිතපු ලෙසින් ඉහළ ප්‍රතිචාර මේ වෙනුවෙන් ලැබුණා. මම කොහේ ගියත් මඟ තොටදී හමුවන ප්‍රේක්ෂකයන් 'සීතල ගිනිදැල්' ටෙලි නාට්‍යය ඇගයීම මට ලොකු සතුටක් ගෙන දුන්නා.

ජාතික රූපවාහිනියට වෙනමම ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ශනයක් එකතු කළ ටෙලි නිර්මාණයක් ලෙසත් 'සීතල ගිනිදැල්' ටෙලි නාට්‍යය හඳුන්වන්න පුළුවන්. පසුගිය කාලයේ පැවති හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උලෙළේදී රසික රසිකාවන්ට නළු නිළියන් හමු වෙන්න අවස්ථා සලසාදී තිබුණා. එතැනට මම පැමිණුන අවස්ථාවේදීත් හැමෝම මගෙන් ඇහුවේ 'සීතල ගිනිදැල්' ටෙලි නාට්‍යයේ ඉදිරිය ගැනයි. මොකද ඒ වෙනකොට එය අවසන් වෙන්න ආසන්නයේ තමයි තිබුණේ. ප්‍රේක්ෂකයන් ඉතාම කුතුහලයෙන් සිටි කාලයක්. ප්‍රේක්ෂකයන් මේ ගැන මොන තරම් උනන්දුවෙන් ඉන්නවාද කියලා මට හොඳීන්ම දැනුණේ එදා.

ප්‍රේක්ෂකයන් පැවසුවේ බලාපොරොත්තු නොවූ අවසානයක් සිදු වූ බවයි?

කොටස් සියයක් හෝ ඊට වඩා වැඩි දීර්ඝ ටෙලි නාට්‍යයක් ගත්තොත් පිටපත ලියලා ඉවර කරන අවස්ථා නම් දකින්න ඇත්තේ නැහැ. ටෙලි නාට්‍ය විකාශය කෙරෙන අතරතුර ප්‍රේක්ෂක ප්‍රතිචාර, නළු නිළියන්ගේ රඟපෑම් අතරතුර තමයි එතැනින් එහා කොටස් ගැන හිතන්න වෙන්නේ. ඒ හැරුණාම නිර්මාණයේ ගුණාත්මක බවට වැදගත් යැයි හැඟුණොත් මම නම්, මඟතොටේදී හමුවන රසික රසිකාවන් පවසන දේත් යම් යම් අවස්ථා වෙනුවෙන් උපයෝගී කර ගන්නවා. 'සීතල ගිනිදැල්' ටෙලි නිර්මාණය තුළත් එවැනි වෙනස්කම් සිදු වුණා.

මේ කතාවේ නිව්ටන්, තම අනියම් බිරිය මොරීන් සමඟීන් ජීවත් වූ කාලයේ මහමඟදී හමුවන දරුවා හදාවඩා ගැනීම සමඟින් නිව්ටන්, මොරීන් වෙත තිබූ අවධානය බිඳ වැටෙනවා. ඒ සමඟින් මොරීන්ගේ හිත තුළ නිව්ටන් කෙරෙහි පොඩි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒ නිසා ඇය කුඩා දරුවා පැහැර ගෙන ගොස් මරා දමන්නට තැත් දරනවා. එහිදී ඇතිවන ගැටුමකින් මොරීන් මරණයට පත් වෙනවා.

මේ කතාවේ නිව්ටන්ගේ ප්‍රධාන හතුරා වුණේ ධර්මවර්ධන. ඒ චරිතය නිරූපණය කළේ ශ්‍රියන්ත මෙන්ඩිස්. මේ හැම සිදුවිමක් පසුපස ධර්මවර්ධන සිටීම නිව්ටන්හට ඉසුම් නොදෙන තත්ත්වයක් ඇති වෙනවා. ඔහුගෙන් පළි ගැනීමට සිතා නිව්ටන් විසින් ධර්මවර්ධන මරා දමන අවස්ථාවෙන් 'සීතල ගිනි දැල්' අවසන් වෙන්නයි නියමිත වුණේ. නමුත් පසුව මට තේරුණා ඒ තරම් දුරට මේ කතාව අරගෙන යන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා මම මුලින් කී තැනින් කතාව අවසානයට පත් කිරීම වඩා සුදුසුයි කියන තීරණයට ආවා. සමහර විට මම මුලින් හිතාගෙන සිටි අවසානය 'සීතල ගිනි දැල්' ටෙලි නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුව සිටි අවසානය වෙන්න ඇති.

නමුත් මේ අවසානය පිළිබඳ ප්‍රේක්ෂකයන් චෝදනා නැඟුවේ නැහැ. ඒ ඇයි?

ඇතැම් අවස්ථාවල අපි බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වුණත් ඒ සිදුවන දෙය අපි බලාපොරොත්තු වූ දේට වඩා හොඳ වෙන්නත් පුළුවන්. මං හිතන්නේ 'සීතල ගිනි දැල්' ටෙලි නාට්‍යයේ අවසානයත් එවැනි දෙයක්. අපි කරන නිර්මාණය හොඳ නම් ඒකට චෝදනා මැසිවිලි නැඟෙන්නේ නැහැ. මෙතැනදී මම ‍'සීතල ගිනි දැල්' සමාප්තියට පත් කළේ හොඳම තැනදීයි. ඒක ප්‍රේක්ෂකයින්ගේ සිත් ගත්තා.

දැන් හැමෝම කියන්නේ මේ හැම ටෙලියක්ම එකම වට්ටෝරුවේ ඒවා බවයි. ඒ අතරේ 'සීතල ගිනි දැල්' ටෙලි නාට්‍යයට හිමි තැන මොකක්ද?

ප්‍රේක්ෂකයන් වර්තමානයේ බොහොමයක් ටෙලි නිර්මාණ නිසා හෙම්බත් වෙලා ඉන්නේ. එකම නළු නිළියන් රඟන බොළඳ ප්‍රේම කතා නිසා ප්‍රේක්ෂකයන්ට ටෙලි නාට්‍ය එපා වෙන තත්ත්වයක් ඇති වෙලා. ඔවුන්ට අවශ්‍ය වෙනසක්. 'සීතල ගිනි දැල්' කියන්නේ ඔවුන් බලාපොරොත්තු වූ පරිදි අනෙකුත් ටෙලි නිර්මාණ අතරින් වෙනස්ම ආකාරයේ නිර්මාණයක්. මම අපේ රටේ නාලිකා හැම එකකම වගේ විකාශය කෙරෙන ටෙලි නාට්‍ය හැම එකක්ම වාගේ නරඹනවා. චිත්‍රපටත් එකක් නෑර නරඹනවා. අප වටා සැරිසරන්නේ මොනවගේ නිර්මාණද කියන කාරණය ගැන අවබෝධයෙන් ඉන්න මම වගබලා ගන්නවා. එතැනදී මමත් මොකක් හරි නිර්මාණයක් කරනවා නම් මම, නිර්මාණය කරන්නේ, ඒ සියල්ලෙන්ම පරිබාහිරව වෙනස් නිර්මාණයක්. 'සීතල ගිනි දැල්' කියන්නේ ඒ විදියට වෙනස් විදියට කළ ටෙලි නිර්මාණයක්.

මෙහිදී ඔබේ රංගනයත් විශේෂයි?

ඇත්තටම කියනවා නම් නිර්මාණය කරන්න ‍පෙර එහි එක චරිතයකට මම මාවත් ආදේශකර ගන්නවා. මොකද ලකී ඩයස් කියන්නේ මං ළඟම ඉන්න නළුවානේ. මම ලකී ඩයස් ගෙනුත් ප්‍රයෝජනයක් ගන්න එපැයි. ඒ නිසා මම මිනිහාටත් චරිතයක් දෙනවා. හැබැයි අධ්‍යක්ෂණය කරන්න ගියාට පස්සේ හිතෙනවා, මේ මොන කරදරයක්ද? අධ්‍යක්ෂණය විතරක් කළා නම් හොඳයි කියලා හිතෙනවා. අධ්‍යක්ෂණය කරමින් ඉන්න වෙලාවට මගේ දර්ශනයකුත් ‍එනකොට මගේ මූණ බෙරි වෙනවා. සමහර වෙලාවට මා විසින්ම මා කපාදැමූ අවස්ථා තියෙනවා. ඒ අතරේ මගේ රංගනයන් ඉටු කෙරෙන්නේ නිර්මාණ කණ්ඩායමේ උනන්දු කිරීම මත තමයි.

'සීතල ගිනි දැල්' සාර්ථකත්වයේ අනෙකුත් කොටස්කරුවන් ගැනත් කියමු?

මම මේ සඳහා දායකකර ගත්තේ අතිශය කාර්යබහුල ජීවිත ගත කළ නළු නිළියන් පිරිසක්. මොනම අවස්ථාවකදීවත් කිසිම කෙනෙක් මඟ හැරියේ නැහැ. වෙලාවට වැඩ කළා. ඒ වගේම මේ වෙනුවෙන් දායක වූ මගේ කාර්මික ශිල්පීන් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය, සංස්කරණය, සහය අධ්‍යක්ෂණය, නිෂ්පාදන කලමනාකරණය, වේශ නිරූපණය, රූපවාහිනි රචනය ආදී මේ හැම කටයුත්තක්ම ඉටු කළ හැමෝම 'සීතල ගිනි දැල්' ඔවුන්ගේ නිර්මාණයක් විදියට හිතලා තමයි මේ වෙනුවෙන් දායක වුණේ. අධ්‍යක්ෂවරයෙක් ලෙසින් මට ඒක ලොකු පහසුවක් වුණා. ඒ වගේම මම නිර්මාණ ශිල්පීන් තලාපෙළා වැඩ ගන්නේ නැහැ. ඔවුන් මට නිතරම කියන්නේ මම බොහොම සුන්දරව වැඩ කරන අධ්‍යක්ෂවරයෙක් කියලායි. ඒ වගේම 'සීතල ගිනි දැල්' නිෂ්පාදනය කළේ ‍ප්‍රවීණ නළු රොබින් ප්‍රනාන්දු සමඟින් ඔහුගේ පුත් චන්න ප්‍රනාන්දු. ඔවුන්ගෙන් ලද ඒ දිරි ගැන්වීමත් මේ සාර්ථකත්වයේ ලොකුම කොටසක්. ඔවුන් වෙත මගේ කෘතඥපූර්වක ස්තූතිය පිරිනමනවා. 'සීතල ගිනි දැල්' ටෙලි නිර්මාණය ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු සතුටක්. නමුත් මම මගේ නිර්මාණයක් ගැන කවදාවත් සියයට සියයක් සෑහිමකට පත් වෙලා නැහැ.

'සීතල ගිනි දැල්' ප්‍රේක්ෂක උණුසුම් ප්‍රතිචාර මැද අවසන් වුණත් ළඟදීම දැක ගන්න ලැබෙන ඔබේ අලුත් නිර්මාණ ගැනත් කියමු?

මගේ අලුත් චිත්‍රපටය 'බ්‍රේකින් නිවුස්' ලබන වසරේ මාර්තු මාසය පමණ වනවිට ආදරණීය ප්‍රේක්ෂක ඔබට නරඹන්න අවස්ථාව උදාවේවි. එහිදී අපෙන් වියෝ වූ විජය නන්දසිරි අයියා කවදාවත් නොදුටු ආකාරයකින් දැක ගන්නත් හැකි වේවි. ඔහු මෙහි චරිත තුනක් නිරූපණය කරනවා. ඊට අමතරව තවත් අලුත් ටෙලි නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා. රිහාන් රවීන්ද්‍ර ඒ පිටපත මගේ ආකර්ශනය දිනා ගත්තා. ඒකත් 'සීතල ගිනි දැල්' වගේම සාමාන්‍ය සම්ප්‍රදායෙන් වෙනස් වූ ටෙලි නිර්මාණයක් වේවි.