වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




භාෂණය අර්ථවත් වූ දැක්ම: ‘සයපෙති කුසුම’

භාෂණය අර්ථවත් වූ දැක්ම: ‘සයපෙති කුසුම’

සමකාමීවීම හා සංක්‍රාන්ති ලිංගිකයන් අවමානයට ලක්වීම නිරතුරු සිදු වෙද්දී සිවිල් බලය ද ඔවුනට අහිමි වී තිබෙන බව නොරහසකි. ධන බලය විසින් එය යටපත්ව සැඟවෙද්දී සාමාන්‍ය ප්‍රජාවට නිරතුරු බලපෑම් බහුලය. ධනවතුන් මෙම අනන්‍යතාවන් අදටත් රහසේ පවත්වාගෙන යාම නොරහසකි. අදටත් නීතියෙන් දඬුවම් ලබන්නේ සාමාන්‍ය සමකාමී ප්‍රජාව බව ද කිව යුතුවේ.

පෙති පහක් ඇති අරලිය මල් අතරේ පෙති හයේ අරලිය මල් ද පිපෙන බව 'සය පෙති කුසුම' (ෆැන්ජි පැණි) සිනමා කෘතිය නරඹද්දී සිහිපත් වන්නේ කලකට ඉහතදී නැරඹූ චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ 'මලට නොඑන බඹරු' සිනමා කෘතියයි. එසේම මෙයටම සම සේ පසුබිම් වූ ප්‍රස්තූතයකින් නිර්මාණය වූ 'ඕතභඥ ඪඵ බඩඥ එචපථඥඵබ ඛ්ධතධභප' නැමති සම්මානයට පාත්‍ර වූ විදේශීය සිනමා කෘතිය ද එක් මානයකි. ඊට සමකාමී ස්ත්‍රී - ස්ත්‍රී මුසුවක් හා ගැටෙන අධිතාත්වික ශෘංගාරාත්මක තේමාවක් පසුබිම්ව තිබිණි.

'සය පෙති කුසුම' ශ්‍රී ලාංකික සංස්කෘතික හර පද්ධතීන් කීතුකර ඉරා දැමීමට තරම් සිනමා භාවිතාවකි. විදේශ අංගෝපාංගයන්ට වටිනාකම් ගෙන දෙන සේ දිස් වුව ද දේශීය වටිනාකම් ඔස්සේ කෙසේ තහවුරු වේද යන ප්‍රශ්නාර්ථය ජනිත කරවයි.

සයපෙති කුසුමෙහි වඩාත් කතාබහට ලක්වන ප්‍රකාශන භාෂාව තියුණුය, සංක්ෂිප්තය. ව්‍යංගාර්ථයෙන් විවිධ අර්ථකථන මුසු කරවයි. ආරම්භයේ සිට අවසානය දක්වාම සංවාදයට බඳුන් කළ හැකි අවස්ථාවන් ගණනාවකින් සමන්විත රූප සරණියකින් යුතු සිනමා කෘතියකි.

'ගවුම් අඳින්නෙ විරෝධය පාන්න' ව්‍යංග්‍යාර්ථය මුසු වූ යථාරූපී රීතියකි. එසේම භාෂිතිය හා මුසුව සිනමා කාතියේ තේමාවේ පැතිකඩක් ඉස්මතු වේ. 'අල්ලන්න එපා කුණු ගෑවෙයි' ප්‍රකාශය හා බද්ධ වන අවස්ථාව ජීවිත යථාර්ථයට අපූර්ව මුසුවක් එකතු කරවයි.

ගැමි ජීවිතය නොඉඳුල් අපූරු සමාජ වටපිටාවක සැරිසරන බස්සා (චමත්) සහ ඉස්සී (සරසි) මෙය මෙහි මුඛ්‍ය චරිත යුගලයයි. ඔවුන් විටෙක මෝටර් බයිසිකලයකින් යන ගමන තවත් අවස්ථාවකදී චමත්, නලින් සමඟින් සරසි හා කැටුව මෝටර් සයිකලයෙන් යන ගමනත් තුන් කොන් ආල මායාවක නිරූපණයක් වැන්න. අතහැර දැමීම, අත්පත් කර ගැනීමට වෑයම් කර අත්පත් කර නොගැනීම යළි අත්හැර දැමීම සිනමා කාතිය පුරාවටම ගැබ්ව තිබේ. සිනමා භාෂාවකට අවැසි අර්ථාන්විත රූපණ ධාරාවකි.

'ඇඟිලි දිගයි' භාවමය ප්‍රකාශය සිතුවිලි දෝලනය සහිත වූ කාව්‍යමය ඉඟිබිඟි සමුදායකි. සරසිගේ මුහුණු ඉරියව් මත දිස්වන රූප ස්වභාව ප්‍රායෝගිකය. එසේම සිතුවිලි අවදිවීමට සීමාවන් නැතිවා සේ 'යං ඇතුළට' සරසිගේ ප්‍රකාශය එවැන්නකි. සාමාන්‍යකරණයෙහිලා පුරුෂ කෙන්ද්‍රීය ප්‍රකාශයක් විය යුතු නමුදු ප්‍රකාශය කියැවෙන්නේ සරසිගේ අන්තයෙනි. අනුරාගයත්, රාගය අතර හැඟුම් විකසිත වීම හරහා ප්‍රතිචාර භංගත්වය තුළ අප දකින්නේ වෛරය දැල්වීමයි. දැල්වෙන වෙසක් කූඩු දවා හළු කර දමමින් සිතුවිලි ක්‍රියා කරන්නේ ක්ෂණික ආශාවෙන් දැවෙන වෛරයේ ප්‍රකාශන රූපාවලියකි.

ප්‍රේමය හා වෛරය අතර කෙස් ගසක වෙනස දෙදරා යාම හා විකසිත වීම අභියෝග හමුවේ අභියෝග මත දිග හැරෙන තුරුණු සිතුවිලි ඇවිස්සීම 'මම උඹව මරනවා' නලින්ට කියන චමත්ගේ මෙම ප්‍රකාශයෙන් තීව්ර වෙයි.

'කවලම් වෙන්න - වෙනස් වෙන්න' යැයි කරනු ලබන ආරාධනය තුළ භාෂණය මුසුවීම අර්ථාන්විතව 'සය පෙති කුසුම' සිනමා කෘතිය තුළින් ඉස්මතු වන එක්තරා හරයකි.

තිදෙනාගේ අනාගත ප්‍රාර්ථනා 'මම ආසයි' යනුවෙන් ආත්ම භාෂණයක යෙදීමේ ක්‍රියාවලිය හා බැඳුණු සමීප රූපාවලිය තත්ත්ව නිරූපණයකි.

'මැරෙන එක ගැන කතා නොකර හොඳ ජීවිතයක් තෝරා ගනින්' චමත්ගේ මවගේ භාවාත්මක ප්‍රකාශය සංවේදී අවස්ථාවකි. එය තම පුතු මුහුණ පා සිටින අකාරුණික ව්‍යසනය හමුවේ වචනයෙන් හෝ දිරි දෙන ආදරණීය මවකගේ ආත්මීය සංලාපයකි.

පිළිකුල් අපේක්ෂාවන් විවරවීම උසාවි දොරකඩකදී සිදුවන සංවාදය තුළින් නිරූපණය වේ. එය කුටුම්බ පැවැත්ම විශදවීමක් වැනිය.

රොමෑන්ටික් ප්‍රතිරූප තුළ චමත් මනාලියක සේ සැරසී සිටීම පහළ සිට ඉහළටත් අර්ධ ලෙසත් හිස චලන භාවිතාව, මනෝභාව ප්‍රකට කරන ශාන්ති කර්මය හා සැසඳෙන සෝභිත හිමිගේ රූප ඡේදනය සාර රූපාවලියකි.

ගමෙන් අත්මිදීම ෆැන්ටසි උප සස්කෘතියකට කොටුවන ජීවන ගමන රැඟුම්, ගීත විවිධ මාන ඔස්සේ ආලේඛනය වන කතාබහ, මතකය අමතක නොවීම අතර ගැටුම තීවෘ සාකච්ඡාවට බඳුන්වීම හර කාමයකැයි සිතේ. එසේම 'තහනම් රැයක් සොයා' ගී ගැයුම් අන්තර්ගතය 'සය පෙති කසුම' සිනමා කෘතියට දී ඇත්තේ අපූර්වත්වයකි.

සංස්කරණයේදී සිදුව ඇති නොගැළපෙන තැන් තුළ යම් යම් කාරණා ඉස්්මතු වන රූප ඡේදන අවස්ථා තිබේ. එය සිනමා කෘතියේ ගලායාමට බාධාවක් දැයි සිතේ. අවසන් හෝරාවේ අවස්ථා රූපමය ගැළපීම් සබඳතා අතර යම් යම් නොගැළපීම් ඇතැයි හැඟෙන්නේ සංස්කරණය වී ඇති සමහර රූප භාවිතාවන් හි මුසුවීම් නොගැළපෙන හේතුවෙනි.

රෝහලේදී සරසි හමුවීම, ඇස් ඇරීම මුවින් නැඟෙන ඉඟි බිඟි මත දෝලනය වන සතුට පිරිපුන් ඉරියව් හොඳටම හොඳ රූප සංකලනයකි.

චමත්ගේ රූපවාහිනී දර්ශනය නැරඹීම ප්‍රතික්ෂේප කරමින් නලින් පිටව යාම හා සරසි ඒ කෙරෙහි දක්වන ආසක්ත බව අතරත් සරසිගේ මවගේ රූපමය ඉරියව් තුළින් විද්‍යාමාන වන රූපමය හැඟීම් මත රැඳෙන භාවයන් පොදු මානව ගැළපීමකැයි සිතේ.

වන්දනා ගමනකින් පසු ඔවුහු කුටුම්බයක කොටු වි සිටිති. පෙර වසර පහක අත්දැකීම දිගහැර මුල අග ඡේ්දනය කොට විසාකේස චන්ද්‍රසේකරම් කියන්නේ කුමක්ද? ප්‍රතිවිරුද්ධ ලිංගික පවුල් සංස්ථාව දෙදරා යා යුතු බවද, සමකාමී පවුල් කුටුම්බ අනාගත පරපුර හා එක් විය යුතු බව ද සාධණීය වන අවකාශය ප්‍රශ්නාර්ථ රැසකින් සමන්විත යැයි හැඟේ. කුමක් ද මින් උත්කර්ෂය කරා ගෙන යන්නේ. විවාදාත්මක මත නොනැගෙන්නේද? ඇත්තේ කුකුසකි.

බ්‍රිතාන්‍ය සම්මතයෙන් එන වර්තමානයේ ක්‍රියාත්මක නීතිමය පද්ධතිය තුළ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වෙනි වගන්තිය ඉපැරැණි වුව ද මතුවටත් යාවත්කාලීන නොවී බල පැවැත්විය යුතු යැයි සිතෙන්නේ වත්මන් සිංහල කුටුම්බ දෙස ඇස යොමු කරන විටදීය. එක් කුටුම්බයක එක් දරුවෙකු තරමට සීමා වෙද්දී දැඩි ලෙස වන්දනීය ඉස්ලාම් බැතිමතුන්ගේ කුටුම්බයක දරු පරපුර තුන හතර ලෙස වර්ධනය වීම වර්තමානයේ දෘශ්‍යමාන වන බැවිනි.

නුඹ සෙවු ආදරය මමයි. ආදරය යනු මමයි. ආදරය මමයි. යනුවෙන් සරාගී හැඟීම් දනවමින් චමත් යෞවනයන් පතද්දී සම්ප්‍රදායක දරු පවුලක් ගොඩ නැඟීමේ අපේක්ෂාවෙන් පෙරුම් පිරූ සරසි තුරුණු ජීවන මංතලාවේ අපේක්ෂා භංගත්වයට පත්ව තනිවේ. එබැවින් නගරයෙන් ආ නලින් කෙරෙහි ඇගේ ආකර්ෂණය ඇදී යන්නේ තම සතු අජීවි හිමිකම් ද පවරමිනි.

දෙදරා යන ප්‍රේම ත්‍රිකෝණය සම්මත, අසම්මත එහෙත් එකිනෙකා වෙත ඇතිකරගත් ආකර්ෂණයේ සම්භාවිතාවන් එකම දැකීමක් විඳීමක් බවට පත්වීම අරුමයක් නොවන බව විසාකේස චන්ද්‍රසේකරම් අපට දෙන පණිවිඩය තුළ ඇත්තේ අසංතෘප්තියකි.

කෙනෙකුට මෙය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තුළ පැතිකඩකැයි කිව හැකිය. මෙවන් සුළුතරයක් අප වටා ගොඩ නැඟී ඇති සංස්කෘතිය තුළ අසාධාරණයට ලක්වීම වැළැක්විය නොහැක්කකි. එහි ඇති මානුෂික බවට ඉඩක් ඇත්දැයි උපදින්නේ සැකයකි.

අභියෝගාත්මක තේමාවක දිගහැරෙන සියල්ල අභියෝගාත්මක යැයි හැඟෙන තරමට චරිත හැසිර වේ. දසුන් පතිරණ, ජෙහාන් ශ්‍රී කාන්ත් සහ යශෝධා රසඳුනි අභියෝගය භාරගත් ප්‍රධාන චරිත ත්‍රිත්වයට ප්‍රණාමය හිමි විය යුතු අතර ඊටම නොදෙවෙනි පසුබිම් සංගීත භාවිතාව සියුම්ය. සංවේදීය. විටෙක ප්‍රබලය.

සංගීත නාද රටා තුළ ගැමි නගර සංස්කෘතික ජීවන අත්දැකීම් හා ගැළපෙන සංක්ෂිප්ත භාවමය සංගීත නාද රටා වචනයෙන් අප්‍රකාශිත වන බොහෝ අර්ථකථන මත රැඳේ.

'වඩබා ගින්නේ දැවේ' දෝලනය වන චරිතයට මනා ගැළපුමක් සහිත ගීතමය ප්‍රකාශනයකි. හිනාව, නිද්‍රාව, හැඬීම, නිමාව අඳුරු අපූරු සංකලන හා බැඳි සමීප රූපමය දසුන්, සරසිගේ රැඟුම් හි ගැබ්ව තිබේ.

සමකාමීවීම හා සංක්‍රාන්ති ලිංගිකයන් අවමානයට ලක්වීම නිරතුරු සිදු වෙද්දී සිවිල් බලය ද ඔවුනට අහිමි වී තිබෙන බව නොරහසකි. ධන බලය විසින් එය යටපත්ව සැඟවෙද්දී සාමාන්‍ය ප්‍රජාවට නිරතුරු බලපෑම් බහුලය. ධනවතුන් මෙම අනන්‍යතාවන් අදටත් රහසේ පවත්වාගෙන යාම නොරහසකි. අදටත් නීතියෙන් දඬුවම් ලබන්නේ සාමාන්‍ය සමකාමී ප්‍රජාව බව ද කිව යුතුවේ.

බෞද්ධ මුලාශ්‍රවල නොකියැවෙන එහෙත් යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් දහමේ සමකාමි කුටුම්බ කෙරෙහි ඉඩක් නැති තරමටම ක්‍රියා පිළිවෙත් තියුණුය. දරුණුය. මෙම භාෂිතයෙන් ගොඩ නැඟුණු තේමාවන් දෘඪ ලෙස සාකච්ඡාවට ලක්වුණු අවස්ථා හින්දි චිත්‍රපට කිහිපයකම පසුගිය කාලයේදී අඩු වැඩි වශයෙන් දැකගත හැකි විය.

'සය පෙති කුසුම' සිනමා කෘතිය හික්මීම හික්මවා ඇති නිර්මාණයකි. එහෙත් පරපුරක අවශ්‍යතාව සමකාමී ජීවිත මඟින් ගොඩ නැඟෙන යථාර්ථය හේතුවෙන් පරපුරක අවශ්‍යතාවය ලුහුව හෝ සීමා වේ. එවිට පැවැත්මේ හෙට දවස අඳුරු වළාවකින් වැසී යනු ඇත. එය වැළැක්විය හැකි කරුණක් ද නොවේ.