වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




කාලය ඔබ මට කළ දෙය කදිමයි

කාලය ඔබ මට කළ දෙය කදිමයි

යමුනා මාලිනි

“ඔවුන්ව බලා ගන්න වෙලාවට ඔවුන්ව බලා ගන්නවා. ඔවුන් අතර කාලය ගතවන විට දවස ගත වෙනවා දැනෙන්නේ නැති තරම්. ඒ කාලයේ මටත් ළමයකු වෙන්න පුළුවන්. ළමා ලෝකයේ සුන්දරත්වය විඳීන්න පුළුවන්. බොහෝ වෙලාවට මිනිබිරිය මගේ ළඟට ඇවිත් නිතර ම වගේ විවිධ ප්‍රශ්න අහනවා. චිත්‍ර අඳීනවා. කවි කියමින් මා ඇය ව නළවනවා. ඈ ඒ දේවල් අහගෙන ඉන්නේ බොහොම කැමැත්තෙන්.”

කාලය ඔබ මට
කළ දෙය පුදුමයි
තාලයකට ගලා ගිහින්
ආලය පිළිබඳ සිත රිදවාගෙන
ඈ මා හැර වෙනඅතක ගිහින්...

අතීත ගෘහ නිර්මාණයක් සිහිපත් කරන නිවෙස ඉදිරිපසට ගිය අපට අසන්නට ලැබුණු ගීතය ගලා ආවේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ මියුරු ස්වරයෙනි. නිතර නිතර නොඇසුවත් ඒ ගීතයේ ස්වරයෙන් සිතට රැගෙන පැමිණි සෞන්දර්යත් සිතේ එක්තැන් කරගෙන ම අපි ඇගේ නිවෙසට ඇතුළු වුණෙමු. කටපුරා සිනාසී ඈ අප එනතුරු මඟබලා සිටියා ය.

‘යමුනා මාලිනි’

කලකට පසුව අප ඈ සොයාගෙන ගියේ ඇගේ සුවදුක් අසනු රිසියෙන් ම පමණක් නොවේ. ප්‍රවීණ කිවිඳීයක, ගීත රචිකාවියක වන යමුනා මාලිනීගේ නවතම කෘති එකමුතුවක් පාඨක අතට පත්කළ බව අපට දැන ගැනීමට ලැබුණු ආරංචියත් සමඟ ය.

“පොත් කිහිපය එළිදැක්විලා ටික දවසක් ගතවෙලා. ලැබෙන ප්‍රතිචාර කොහොම ද?”

“ ‘ඉස්ඉස්සෙල්ලා ම’ යොවුන් නවකතාවත්, ‘සංකල්පාන්තය’ නම් පුවත්පත් ලිපි එකතුවත්, ‘සඳ සමඟ සක්මන’ නම් කාව්‍ය සංග්‍රහයත් කියන පොත් තුනයි පසුගියදා එළිදැක්වුණේ. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර ගැන තිබෙන්නේ මගේ සිතේ බොහොම සතුටක්. විශේෂයෙන් ම මගේ යොවුන් නවකතාව ‘ඉස්ඉස්සෙල්ලා ම’ සඳහා බාල, තරුණ, වැඩිහිටි සියල්ලන්ගේ ම ලැබෙන ප්‍රතිචාර මාව දිරිමත් කරනවා. ගැහැනු ළමයින් කිහිපදෙනෙකු සිටින තාත්තා කෙනෙකු මට කතා කළා. ඔහු පැවසුවේ ඔහුට, දූවරුන්ට කියා ගන්න බැරිවුණු බොහෝ දේවල් මේ පොතේ තිබෙන නිසා ඔවුන්ට මේ පොත කියැවීම සඳහා අරගෙන දුන් බවයි.”

කිවිඳීයක, ගීත රචිකාවියක වන ඈ පසුගිය කාලයේ ලියූ යොවුන් නවකතා ද්විත්වයක් ම රාජ්‍ය සම්මාන උලෙළේ අවසන් වටය සඳහා නිර්දේශ වී තිබිණි.

“පොත් ලියන්න මුල් තැන දීම නිසා ගීත හා කවි ලියන එක අමතක කරල ද?”

“ඉදිරියේ දී ළමයින් වෙනුවෙන් ලියැවුණු කවි පොතක් එළිදැක්වීමටත් සිතාගෙන සිටිනවා. පසුගිය දවස්වල කරුණාරත්න දිවුල්ගනේට හා චන්දන ලියනාරච්චිටත් ගීත කිහිපයක් ලිව්වා.”

“ඔබගේ යොවුන් නවකතාවට පාදක වූයේ යොවුන් කල අත්දැකීම් ද?”

“යොවුන් නවකතාව වන ‘ඉස්ඉස්සෙල්ලා ම’ පොත ලියැවෙන්නේ මගේ ම අත්දැකීම් ආශ්‍රයෙන්. ඒ අත්දැකීම් ඔස්සේ මට කිවහැකි වන්නේ එදා සමාජයේ ළමයකු හා අද සමාජයේ ළමයකු අතර තිබෙන වෙනසයි. කාලවකවානු නැතිව සාමාන්‍ය ළමයකු හා මවුපියන් අතර තිබෙන සම්බන්ධතාව දුරස් වීමට හා ළං වීමට හේතු මෙහිදී විදහා දැක්වෙනවා. ළමයකු යෞවනත්වයට පත්වීමත් සමඟ මවුපියන් සිතන්නේ ළමයා වෙනස් වන බවයි. ළමයා සිතන්නේ එයාගෙන් වෙනදා නැති ආකාරයෙන් මවුපියන් ඈත් වී සිටින බවයි. තාත්තාට සමීප වී සිටින දුවට සිතෙන්න පුළුවන් තාත්තා දැන් වෙනස් වෙලා කියලා. ඒ චිත්ත අභ්‍යන්තරයේ ගැටුමයි මේ නවකතාව ඔස්සේ රැගෙන එන්න මා උත්සාහ කළේ. ඒ වගේ ම ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳත් මේ ඔස්සේ කතාබහ කරන්නටත් මා අමතක කළේ නැහැ.”

මේ අතර නිවෙසට පිවිසෙන්නේ යමුනාගේ වැඩිමහල් දියණිය ප්‍රතිභාය. යමුනාට දියණිවරුන් දෙදෙනෙකි. ඈ සමඟ නැවතී සිටින්නේ වැඩිමහල් දියණියයි. යමුනාගේ සැමියා සේනක පෙරේරා ඔවුන් අතැර ගොස් දිගු කාලයකි.

“ඔහු නැති ශෝකය ඔබ දුරුකර ගත්තේ කෙසේ ද?”

“ඔහු අප හැර යනවිට දූවරු දෙදෙනා සිටියේ කුඩා වයසේයි. ඔහුගේ අහිමි වීම මට බොහෝ දැනෙන්නට පටන් ගත්තා. ඒ නිසා මා සම්පූර්ණයෙන් ම කඩාගෙන වැටුණා. මා ඒ තත්ත්වයෙන් ඈත්වුණේ මගේ නිර්මාණ ජීවිතය නිසයි. වැඩිපුර ම නිර්මාණකරණයේ යෙදීම නිසා මගේ සිතේ තිබුණු දුක, වේදනාව සෙමෙන් සෙමෙන් ඈත් වූයේ මටත් නොදැනුවත්වමයි. ඒ ඔස්සේ දරුවන් දෙදෙනාත් හදාගෙන, අප සියල්ලන්ගේ ම ජීවිතය සාර්ථකත්වය කරා අරගෙන යන්න මට හැකියාව ලැබුණා. අද මා අසල ඔහු නොමැති වුණත් ඔහුගෙන් එදා ලැබුණු ආරක්ෂාව, ආදරය තවමත් තිබෙන බවයි මට තවමත් දැනෙන්නේ.”

යමුනා මාලිනි තවමත් සිටින්නේ සේනකගේ මතක අතර සිරවෙමිනි. මේ වනවිට දියණිවරුන් දෙදෙනා විවාහ වී අවසන් ය.

“මවක් ලෙස ඔවුන් දෙදෙනාගේ වගකීම්වලින් ඔබ නිදහස් ද?”

“චූටි දුව ප්‍රමුදි විවාහ වුණේ පසුගිය දවස්වලයි. ඈ විවාහ වුණු පුතා සාලියයි. වැඩිමහල් දියණිය ප්‍රතිභා විවාහ වී සිටින්නේ රුවන් ජයකොඩි පුතා සමඟයි. ඔවුන්ට පුතකු සහ දියණියක සිටිනවා. ඒ චත්‍ර සහ චත්‍රීෂා යි. ප්‍රතිභා ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස කටයුතු කරනවා. ඇයට හොඳ ට ගයන්න පුළුවන්. මේ වනවිට ඈ ගීත කිහිපයකුත් ගයලා තිබෙනවා. ප්‍රමුදිටත් ගයන්න පුළුවන්. ඒත් ඈ ඒ ගැන වැඩිය සැලකිල්ලක් දක්වන්නේ නැහැ. වෙන ම සංගීත කණ්ඩායමක් සාලිය පුතා සතුයි. ඔහු වෙනත් රැකියාවක් කළත් කලාවට ළැදි පුතෙක්.”

චත්‍රීෂා දුව බොහොම හුරුබුහුටි මිනිබිරියකි.

“ඔබගේ කාලය ගතවෙන්නේ මුනුපුරු, මිනිබිරියන් සමඟ ද?”

“ඔවුන්ව බලා ගන්න වෙලාවට ඔවුන්ව බලා ගන්නවා. ඔවුන් අතර කාලය ගතවන විට දවස ගත වෙනවා දැනෙන්නේ නැති තරම්. ඒ කාලයේ මටත් ළමයකු වෙන්න පුළුවන්. ළමා ලෝකයේ සුන්දරත්වය විඳීන්න පුළුවන්. බොහෝ වෙලාවට මිනිබිරිය මගේ ළඟට ඇවිත් නිතර ම වගේ විවිධ ප්‍රශ්න අහනවා. චිත්‍ර අඳීනවා. කවි කියමින් මා ඇය ව නළවනවා. ඈ ඒ දේවල් අහගෙන ඉන්නේ බොහොම කැමැත්තෙන්.”

යමුනා මාලිනි අවදි වන්නේ උදෑසන හතරට පමණ ය. ඇගේ දවස ආරම්භ වන්නේ එලෙසිනි.

“ඔබ නිර්මාණකරණයේ යෙදෙන්නේ ඒ කාලයේ ද?”

“උදේ හතරට අවදි වීම පුංචි කාලයේ පටන් ම මා කරන දෙයක්. නිර්මාණ කටයුතුවල මා යෙදෙන්නේ ඒ කාලයේදියි. ඒ වෙලාවට බොහොම පහසුවෙන් නිර්මාණ සඳහා අවශ්‍ය අදහස් සිතට ගලාගෙන එන්නේ ඉබේමයි.”

නවකතාව, කවිය මෙන්ව කෙටිකතාවට ද යමුනා පෙම් බැන්දේ කලක පටන් ම ය.

“මේ වනවිට ඔබ කෙටිකතාකරණයේ යෙදෙන්නේ නැහැ නේද?”

“බොහෝ පාඨකයන්ගෙන් එල්ල වෙන චෝදනාවක් තමයි ඔබ ඔය පවසන්නේ. පසුගිය කාලයේ අනෙක් නිර්මාණ කටයුතුවල යෙදීම නිසා කෙටිකතා ලියන්න තරම් කාලයක් මට තිබුණේ නැහැ. කෙටිකතා කලාව කියන්නේ මා අගය කරන කලාවක්. ඒ වගේ ම කෙටිකතා කලාවට පාඨකයාගේ තිබෙන කැමැත්ත සෙමෙන් ඈත්වෙනවා දෝ කියන අදහස අපේ සිතට නැඟෙන්නේ අද ඇති වී තිබෙන තත්ත්වයත් සමඟයි. මොකද නවකතාවට අද ඕනෑවටත් වඩා ලැබී තිබෙන අනවශ්‍ය උනන්දුව හා උසිගැන්වීම නිසයි මා එලෙස පවසන්නේ. ඒ තත්ත්වයයි බොහෝදෙනාව නවකතාකරණයට යොමු කරන්නේ. ඉදිරියේ දී කෙටිකතා සංග්‍රයක් මඟින් පාඨකයා හමුවට පැමිණීමටයි මා සිතාගෙන සිටින්නේ.”

යමුනා මාලිනි ගෙනහැර පෑවේ අනාගත අදහස් පෙළකි. ඇගෙන් සමුගන්නා වෙලේ ඈ ලියූ ගීතයක් මගේ සිතට පිවිසයේ ඉබේම ය.

අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් ගෙයක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ
හඬා වැටෙන හඳ මඬලට
ඔබයි මමයි සිටිනා තැන කොහෙද තනිකමක්...