වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවේ මහා කිවිවරයා

 

සිනමාවේ මහා කිවිවරයා

අන්ද්‍රේ තර්කොව්ස්කි-සිනමාකරුවා ගැන සටහනක්...

සිනමාවේ මුලික වියරණය වනාහී දේව භාෂිතයක් බදු වූ ශීල්ප සමුදායකි. රුපයෙන් රූපය එකිනෙකට බද්ධ කරමින් රූපාවලියක් තුලින් බිහිවන සිනමාව කිසියම් කතාන්දරයක් කීමට යොදා ගැනීම සිනමාවේ එකල වනස්පතියන් වූ ග්‍රිෆිත් හා සර්ජි අයින්ස්ටයින් සිනමාකරුවන් අතරින් බිහිවුවකි. එදා මෙදා තුර ජගත් සිනමා රන් දෙවොලට නේක පෙලහර පෑ නෙක සිනමා ඇදුරන් සිටියද ඔවුන් විසින් නිර්මිත සිනමා පටවල වියරණය යන්න එකම වුවක් විය. එහෙත් මෙම සිනමා සම්ප්‍රදායට අභියෝගයට ලක් කරමින් එම ශිල්ප පද්ධතිය මුඵමනින්ම බැහැර කර සිනමාව නම් රන් දෙවොලට අපුර්ව දේව භාෂිත සිනමා වියරණයක් ගොඩ නැගීමට හපන් වු සිනමාකරුවකු එක් අවධියක සෝවියට් රුසියාවෙන් බිහිවිය. .හෙතෙම අන්ද්‍රේ තර්කොවිස්කිය .

තර්කොවිස්කි යනු සැබැවින්ම සිනමා කවියෙකි . ලොව මෙතෙක් බොහෝ සිනමාකරුවන් භාවිතා කරන රූපයෙන් රූපය එකිනෙකට බද්ධ කරමින් රූප රසය මවන කතා කලාව මුඵමනින්ම පසෙක තැබු තර්කොව්ස්කි

රූප රාමුව තුල රංග ශිල්පීන් මෙහෙයවීම මත නව සංස්කරණ රීතියක් හදුන්වා දුන් නියමුවාද වෙයි. සර්ජි අයින්ස්ටයින්ගේ මොන්ටාජ් රීතිය බැහැර කල ඔහු සිනමාව වෙනුවෙන්ම නව සකස්කඩක් අපට කියා දුන් සිනමා ඇදුරු තුමන්ය. චිත්‍රපටය සදහා රුපයෙන් රුපය සමෝධනය කිරීම තුල සිනමා පටය සමග ඇතිවිය යුතු ප්‍රේක්ෂක සංවාදය ඇන සිටින බව විශ්වාස කල තර්කොව්කි ඒ නිසාම සිනමාව තුල නිසැගව පවතින හැකියාව මොටවන බවද ප්‍රකාශ කල වියැත්තෙකි.

අන්ද්‍රෙ තර්කොව්ස්කිගේ සිනමා චාරිකාව සැබැවින්ම ඛේදාන්තයකි. ලොව බොහෝ සිනමාකරුවන් සිය ජිවන සොන්දර්ය චාරිකාවේදී මුල් යුගයේ දුක් විදිමන් අභිනිෂ්ක්‍රමණය කොට දිග් විජය ලැබුවද තර්කොව්ස්කිගේ සිනමා මග සිය අවසන් හුස්ම පොද හෙලන තෙක්ම කටු කොහොලින් පිරී තිබුණි. වර්ෂ 1962 දී සෝවියට් දේශයෙන් ඇරඹි තර්කොව්සිකිගේ සිනමා දොරට වැඩුමත් වර්ෂ 1986 දී පැරිස් පුරයේදී ඔහුට අත් වු අකල් මරණයක් අතර ඇත්තේ මිනිසකුට දරාගත නොහැකි තරම් වු හද කම්පා කරවන කතා පුවතකි.

ඔහුගේ මුල්ම සිනමා නිර්මාණය වුවේ 1962 දී එළි දැක්වු “ඉවාන් ද චයිල්හුඩ් “චිත්‍රපටයයි. එහිදී තර්කොවුස්කිට වයස අවුරුදු 30 ක් වු අතර ඉවාන්ද චයිල්ඩිහුඩ් යනු එවැනි වයසක පසුවුවකු විසින් නිර්මාණය කලා යැයි සිතිය නොහැකි තරම් විස්මිත නිමැවුමකි. නාසි හමුදා විසින් සිය පවුලම ඝාතනය කිරීමෙන් පසු ජර්මානු සිර කදවුරක අතරමංවු 12 හැවිරිදි ඉවාන්ගේ ජිවිත චාරිකාව හෙලි කරන ඉවාන්ද චයිල්හුඩ් එකල සෝවියට් දේශය පුරා සිටි ප්‍රේක්ෂක රසාස්වාදය දිනු අභීත සිනමාපටයක් වු අතර ඒ නිසාම රුසියාවේදි පමණක් ඩොලර් මිලියන 17 ටිකට් පත් විකිණිනි. චිත්‍රපටය එකල ජාත්‍යයන්තර වශයෙන් සම්භාවනාවට පාත්‍රවු අතර 1963 වෙනිස් සිනමා උළෙලේ ප්‍රධාන සම්මානයද දිනාගති. සිය මංගල සිනමාපටයෙන් නොමැකෙන සිහිවටනයන් තැබු තර්කොව්ස්කිට ඉන් පසුව මුහුණ දිමට සිදුවුවේ මහත් පිඩාකාරි සමයකටයි..එයට හේතු වුවේ ඔහුගේ දෙවන සිනමා නිර්මාණය වු “අන්ද්‍රේ රුබෙලොව්” චිත්‍රපටයයි.

දේවස්ථානයක චිත්‍ර සටහන් ඇදීම සදහා ධනවතකු විසින් මිලට ගත් චිත්‍ර ශීල්පී රුබෙලොව් පුජකතුමන්ගේ ජිවිත කතාව කියාපාන මෙම සිතුවම සැබැවින්ම එකල රුසියාව තුල පැවැති අවිධිමත් පාලන ක්‍රමය තුලින් මිනිස් දහම පිළිබදව අපුර්ව හැගුම් සමුදායක් කියාපාන නිර්මාණයකි. චිත්‍රපටය එකල අති විශීෂ්ඨ නිර්මාණයක් ලෙස පිලිගැණුනද ජාත්‍යන්තර සිනමා උළෙක් සදහා සෝවියට් ගුවන් තොටුපලේ තිබියදී එරට අධ්‍යක්ෂකවරයෙකු සර්ජි බොන්ඩරචක් විසින් දේශපාලඥයකුට දුන් අසත්‍ය තොරතුරක් නිසා චිත්‍රපටය එකෙනෙහිම තහනම් කරන ලදී. එපමණක් නොව සිනමාවේ වියරණය ලොවට අලුතින් කියාදුන් තර්කොව්ස්කිට නැවත චිත්‍රපටයක් හැදීමද තහනම් කෙරිණි.

වසර 06ක්ම පැවැති මෙම තහනමට ලක්වු තර්කොව්ස්කි එකල සිය දිවි ගලවාගැනීමද හාස්කමකි.

වසර 06ක්ම දුෂ්කර ක්‍රියා කල අන්ද්‍රේ තර්කොව්ස්කි ඉන් අනතුරැව 1972 දී “සෝලාරිස් “නමින් චිත්‍රපටයක් නැවත බිහිකල අතර ඉන් ඔහුගේ ජිවන රටාවට මද සහනයක් දැණුනි. සෝලාරිස් කාන් සිනමා උළෙලේ ජුරි සම්මානයටද පාත්‍ර වු අතර ඉන් අනතුරුව තර්කොව්ස්කිට නැවත පාලකයන්ගේ ප්‍රහාරයන්ට ගොදුරු වන්නට සිදුවිය. 1976 දී ඔහු නිර්මාණය කල ද මිරර් චිත්‍රපටය පටු දේශපාලන අදහස් කරපින්නා ගත් විචාරකයන්ගේ දැඩි ප්‍රහාරයටද ලක්වු අතර ඒ නිසාම තර්කොවුස්කි මානසික ලෙසද පීඩා විදි බව පෙනේ.

වර්ෂ 1979 දී ඔහු ද ස්ටොකර් නමින් චිත්‍රපටයක් තැනු අතර එය එක්තරා අතකින් බලන විට ඉන්දීය කතා සරිත් සාගරයේ එන එක් කතාංගයක් බදුය. එක්තරා දුර පෙදෙසක පිහිටි කාමරයක් තුලට ගියහොත් එහිදි තමා සිතන දේ ලැබෙන බවට විශ්වාසයෙන් එම කාමරය සොයා ගමන් කරන මිනිසුන් තිදෙනෙකු ගැන කියැවෙන ස්ටෝකර් චිත්‍රපටය තේරුම් ගැනීම අති අපහසු වුවකි. . ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් මෙරටට ගෙනා මෙම චිත්‍රපටයේ විඩියෝ පටයක් අප එකල ශ්‍රී ලංකා රුපවාහිනි අභ්‍යාස ආයතනයේදී කීප වරක්ම නැරඹූවෙමු. ඉන් අනතුරුව එම්.ඩී. මහින්දපාල ඇතුඵ වියතුන් සමග සංවාදයන්ටද සහභාගි වුනෙමු. එහෙත් අවසන් නිගමනය වුවේ චිත්‍රපටය පවසන ලෙසට මිනිස් ජීවිතයෙන් මිනිසුන් ලෙස අප ඉල්ලා සිටින්නේ කුමක්දැයි යන්න හරිහැටි තේරුම් ගැනීමට අපවත් දන්නේදැයි යන්නයි .තර්කොවුස්කි විසින් මෙම චිත්‍රපටය පුරා අතුරා ඇති රහස් වු සියුම් අර්ථයන් තේරුම් ගැනීම ඒ තරමටම අපහසු වුවකි. අපට ඒ බව තේරුම් ගියේ පසුකලෙක තර්කොවුස්කි ගැන ස්විඩනයේ මහා සිනමාකරු වු ඉංග්මාන් බර්ග්මාන් ප්‍රංශයේ කාන් සිනමා උළෙලේදී කියු වදනකිනි.

මගේ සිනමාකෘති තුලින් මා මෙතෙක් උත්සාහ කළේ කිසියමි නිවසක පිහිටි කාමරයකට ඇතුලු වීමටයි. මම තවමත් එහි යතුර සොයා ගත නොහැකිව සිටිමි. එහෙත් තර්කොව්ස්කි කාමරයට ඇතුලුව එහි ජනෙල් කවුලු විවෘත කොට ඒ තුල ඇවිදිමින් සිටියි - බර්ග්මාන්--

ඉන් අනතුරුව තර්කොව්ස්කි නිර්මාණය කලේ නොස්ටැලිජියා නම් චිත්‍රපටයයි. එහි සිංහල අර්ථයට සුදුසු වන්නේ මතක වේදනා යන්න යැයි මම සිතමි. නොස්ටැලිජියා තුලින් කියැවෙන්නේ අපුර්ව මානව සම්බන්ධතාවන්ට මැදිවු මිනිස් වර්ගයාගේ මතක වේදනාවන්ය. ලේඛකයකු වු අන්ද්‍රේ ගෝචොව් සිය පර්වර්තකාවිය වු එව්ජිනා ද සමග සිය දිවි හානි කරගත් රුසියානු ගාන්ධර්ව පාවෙල්ගේ ජිවිතය සොයා ඉතාලියේ වට වන්දනාවක යෙදෙයි..එහෙත් ලේඛක ගෝචොව් නිරතුරුව තමා රුසියාවෙන් පිටව ඒම ගැන දුක්වෙයි. එව්ජිනාට වු පොරොන්දුවක් ඉටු කරනු පිණිස ස්වභාවික ජලාශයක් හරහා ගමන් කරන්නටද ගෝචොව් සිතුවද චිත්‍රපටයේ අවසානය තෙක්ම ඔහුට එය කරගත නොහැකි බව දැනෙයි. අවසානයේ ලේඛක ගෝචොව් ඉටි පන්දමක්ද ගෙන ජලාශයට ඇතුඵ වන විට එහි දිය සිදී පවතියි. කෙසේ හෝ ඔහු තම පොරොන්දුව සදහා ජලාශය තරණය කර ඇද වැටෙනු පෙනෙයි. ඔහු මිය ගිය බවක් අපට වැටහෙයි .

නොස්ටැලිජියා- වනාහි මිනිසා සහ සංස්කෘතිය අතර ඇති ඒකත්වය කියාපාන විස්මිත නිර්මාණයක් ලෙස අද දවසේද විචාරකයන් හදුන්වති. මෙම චිත්‍රපටය ගැන මාධ්‍යයට අදහස් දැක්වු තර්කොව්ස්කිද වරක් කියා සිටියේ කලාකරුවකු තේරුම් ගත හැක්කේ ඔහුගේ සංස්කෘතියේම අයකුට මිස අන් කෙනෙකුට නොවන බවයි.. එහිදි නිදසුන් ලෙස ඔහු හුවා දැක්වුවේ විදේශිකයකු පුෂ්කින්ගේ කවිය තේරුම් ගත්තද එය රිසි ලෙස තේරුම් ගත හැක්කේ රුසියානු පොළොවේ උපන්නෙකුට පමණක් බවයි. මේ සියල්ල තුලින් තර්කොව්ස්කි ලොවට හඩ ගා කියන්නට උත්සාහ කලේ තමා කෙතරම් තම ජන්ම භුමියට ආදරය කරන්නේද යන්නයි.. එහෙත් ඒ සියල්ල වෙනුවෙන් සෝව්යට් දේශයෙන් ඔහුට ලැබුනේ හුදෙකලා කළ පිටුවහලකුගේ හංවඩුවයි. ඒ නිසාම තර්කොව්ස්කි බොහෝ සෙයින් දුක් වින්දේය. වරෙක පිටුවහල්ව රෝමයටද ඉන් අනතුරුව ඉතාලිය හා ප්‍රංශයට ගිය හෙතෙම තම පිටුවහල් වු ජිවිතයේ දුක්ක දෝමනස්සයන් ගැන මෙසේ සදහන් කරයි..

“විදේශයක ජිවත්විම රුසියාවේ උපන් මට කළ හැක්කක් නොවේ. එය ඒ තරමටම වේදනාකාරි අත්දැකිමකි. එහෙත් මට දරා ගැනිමට සිදුවි ඇත. කොතරමි වේදනා ගෙන දුන්නද මගේ මව් රටේ ජිවත් වීම මට මහත් සැපතක් ගෙන දෙයි. නොස්ටැලිජියා චිත්‍රපටයේ ප්‍රධාන නළුවා මුහුණ දෙන දුක් කන්දරාව ඔහුගේ නොව මාගේය.

මෙම දුක් ජිවිතය අවසන් වනතුරුම මට දරා ගැනිමට සිදුවනු ඇත. “

තර්කොව්ස්කි නොස්ටැලිජියා චිත්‍රපටය නිම කරන විට සිටියේ ජිවිතයත් මරණයත් අතර සටනක යෙදෙමිනි. හෙතෙම ඒ වන විට පිළිකා රෝගයට ලක්ව සිටි අතර ඒ නිසාම බොහෝ සෙයින් අඩපණද වීය. ඒ ගැන සිය අදහස් ලියු තර්කොව්ස්කි මෙසේ සටහනක් තබා ඇත .

නොස්ටැලිජියා චිත්‍රපටයේ රගන ප්‍රධාන නළු චරිතයට යළි රුසියාවට යාමට අවශ්‍යව ඇත. එහෙත් ඔහුට යාමට නොහැකි වෙයි. ඔහු චිත්‍රපටයේ චරිතය තුලින් අවසානයේ ඉතාලියේදි මියයයි. මටද එය සිදුවිය හැක. එපමණක් නොව මගේ චිත්‍රපටවල රගපෑ ප්‍රධාන නළුවාද දැන් පිළිකා රෝගයෙන් මිය ගොස් බව මට සැලවිය. මාද තව මද කලෙකින් මියයනු ඇත. සැබැවින්ම මෙය දෛවයේ සරදමක්ද ?

සිය ජිවිතයෙන් බැට කමින් රුසියාවෙන් පිටුවහල් කරනු ලැබු තර්කොවුස්කිගේ නොස්ටැලිජියා චිත්‍රපටයට 1983 දි කාන් සිනමා උලෙලේදී ජුරි සම්මානයටද පාත්‍රවිය. මෙම චිත්‍රපටය කාන් හි පාමි දෝ සම්මානයට පාත්‍ර විමට නියමිත වුවද රුසියාව විසින් එය නැවැත්වු බවද කියවෙයි. . එපමණක් නොව තර්කොව්ස්කිට යළි රුසියාවට ඒමට නොහැකි වු අතර ඔහුගේ පුත් තරුණ තර්කොව්ස්කිටද රටින් පිටවීමද බලධාරින් විසින් තහනමි කරන ලදී.

සැක්‍රිෆයිස් අවසානයේ 1985 වර්ෂයේදි තර්කොව්ස්කි සිය අවසාන චිත්‍රපටය වු සැක්‍රිෆයිස් ස්විඩනයේදි රූ ගත කරන විට සිය රෝගි බවින් උත්සන්න ව සිටි බව සදහන්ය. .පසුව දැඩිව ගිලන් වු ඔහුව ප්‍රංශයේ රෝහලකට ඇතුලු කරන ලදී. සෝවියට් බලධාරින්ට සිය වැසුණු කඩතුරා හරින්නට මතක් වුවේ එවිටය. ඒ අනුව තරුණ පුත් තර්කොව්ස්කිට රටින් පිටව සිය පියාගේ අවසන් දැක්මට රෝහලට යාමට ඉඩ ලැබුණි.. 1985 දී කාන් සිනමා උලෙළ සැක්‍රිෆයිස් වෙනුවෙන් සිය ජුරි සම්මානය තර්කොවුස්කිට ලබා දෙන විටත් ඔහු ජිවිතයේ අවසාන මොහොතට සමීප වෙමින් සිටියේය. අවසානයේ කාන් සම්මානය ලබා ගත්තේ ඔහුගේ පුත් තරුණ තර්කොව්ස්කි විසිනි.

වර්ෂ 1986 දෙසැමිබර් 26 වන දින ප්‍රංශයට ඉරු උදාවන විට ජගත් සිනමා රන් දෙවොලට අනගි පිළිම රැසක් දායාද කල හුදෙකලා රුසියානු පිටුවහලා ලොවින් සමුගෙන තිබුණි. දේව භාෂිතයක් බදු සිනමාවේ වියරණය අලුතින් දුටු ඒ දැස් වැසී ගොසිනි. අනාගතය ගැන විනිවිද දැකීම ආශිර්වාද ලත් ශාපයක් යැයි කී මුව ගොළුව තිබුණි. අන්ද්‍රේ තර්කොව්ස්කි මිය ගොසින්ය.

ජගත් සිනමා ලොවම කදුළින් තෙත් කළ මේ අපුර්ව ඉන්ද්‍රජාලිකයාගේ සිරුර ප්‍රංශයේ පිහිටි රුසියානු සොහොන් බිමක තැන්පත් කරන ලදී. තර්කොව්ස්කිට කලාවු අපමණ හිරිහැර දුටු ලොව විවිධ වියතුන් ප්‍රකාශ කලේ ඔහුගේ මරණය ස්වභාවික හේතුවක් මත සිදු නොවු අතර එය සෝවියට් බලධාරින්ගේ ක්‍රියා කලාපය නිසා රෝගි විම තුල සිදුවුවක් බවයි. ඒ පිලිබදව කේ.ජී.බී. සේවයටද චෝදනා එල්ල වු අතර වරක් විශ්‍රාම ලත් රුසියානු ඔත්තුකරුවකු ප්‍රකාශ කලේ දේශපාලන හේතු මත කේ.ජී.බී. සේවයේ සුපිරි බලවතකු තර්කොව්ස්කි නැතිකර දැමිමට උපදෙස් දුන් බවයි. එසේම තර්කොව්ස්කිගේ වෙදදුරන් ප්‍රකාශ කලේද ඔහුට වැළදුනු පිළිකාව ස්වභාවික හේතුවකින් හටගත්තක් නොවන බවයි. එසේ නම් එහි කිසියම් රහසක්ද තිබිය යුතුය. එහෙත් ඒ වනවිටත් ජගත් සිනමා රන්දෙවොලේ සිනමා සකස්කඩය නැවත ලියූ ඉන්ද්‍රජාලකයා අපට අහිමිව ගොසිනි .