වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




එයා මට දෙවි කෙනෙක්

එයා මට දෙවි කෙනෙක්

ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාගේ බිරිය මේරි ලොරෙටා රේචර් පෙරේරා

ජනප්‍රිය විකට නළුවකු, ගායකයකු ලෙසින් සිංහල සිනමාව ඔපවත් කළ සම්මානනීය කලාකරුවකු වූ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ජීවන රඟමඬලෙන් සමුගෙන ගොස් ඉකුත් ඔක්තෝබර් මස 24 වැනිදාට වසරක් සපිරිණි. ඒ නිමිත්තෙන් ඔහුගේ ආදරණීය බිරිය මේරි ලොරෙටා රේචර් පෙරේරා හා කළ කතාබහකි මේ.

මදුරාවෙල ආරච්චිලාගේ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා එහෙම නැත්නම් අපි කවුරුත් ආදරය කරපු ක්‍රිස්ටි අයියා අපි අතරින් වියෝ වෙලා වසරකුත් ගෙවිලා ගියා?

දින සති මාස ගණන් ගෙවිල ගිහින්. අවුරුද්දක් වුණත් මට එයා නැති වෙලා හරියට අද ඊයේ වගේ.

වසරක් ගෙවිලා ගිය මොහොතේ ක්‍රිස්ටි වෙනුවෙන් මොන වගේ පිං පෙත් ද සිද්ධ කළේ?

ක්‍රිස්ටි කොහොමත් ආගමට පුදුම භක්තියක් තිබුණ කෙනෙක්. උපතින් එයා කතෝලික බැතිමතෙක්. ආගම කියන දේ එයා පුදුම භක්තියකින් අදහපු දෙයක්. දෙවියන් වහන්සේගේ කැමැත්තට එයා කවදත් වැඩ කළ කෙනෙක්. මම එයා මිය ගිහින් වසරක් පිරුණු ඉකුත් 24 වැනිදා එයා සිහිපත් කරලා දානමාන කටයුතු තමයි සිද්ධ කළේ. කොටහේනේ ශාන්ත ලුසියා දෙව් මැදුරේ එයාගේ නෑදෑ හිතවතුන් සමඟ දිව්‍ය පූජාවක් තිබ්බා. මරදාන පාතිමා දෙව් මැදුරේ එයා වෙනුවෙන් යාඥා කරලා පූජාවක් තිබ්බා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දෙව් මැදුරේ විශේෂ දිව්‍ය පූජාවක් සිද්ධ කළා. ඊට අමතරව දුගී දුප්පත් අසරණ අයට වියළි ආහාර, ඇඳුම් පැළඳුම්වලින් වගේම මුදලිනුත් ආධාර කරලා ක්‍රිස්ටිට පිංපෙත් අනුමෝදන් කළා. වැඩිහිටි නිවාසයකට දානයක් පිරිනැමුවා.

ක්‍රිස්ටි නැති වෙන කොට වයස?

අවුුරුදු 83 ක්.

1982 අගෝස්තු 07 වැනිදා තමයි මමත් ක්‍රිස්ටිත් කොටහේනේ ශාන්ත ලුසියා දෙව් මැදුරේදී විවාහ වෙන්නේ.

කාලයක දැන හැඳුනුම්කමක් මතතද ඔබට ක්‍රිස්ටි මුණ ගැහෙන්නේ?

අපෝ නෑ. ක්‍රිස්ටි කොටහේනේ. මම කෑගල්ලේ. මගේ මල්ලි කෙනෙක්ගේ යාළුවෙක් මරදානේ මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන ආයතනයක වැඩ කළා. ඔහු මාර්ගයෙන් ක්‍රිස්ටි ගැන අපේ පවුලට දැනගන්න ලැබුණා. ඒ අනුව තමයි යෝජනාවකින් ක්‍රිස්ටිත් මාත් අතර දෙමාපිය ආශිර්වාදය මධ්‍යයේ විවාහය සිද්ධ වෙන්නේ.

ඒ වෙන කෙට ඔබ වෘත්තියෙන් ගුරුවරියක්?

ඔව්. මම විවාහ වෙලත් අවුරුද්දක් විතර යනකන් කෑගල්ලේ ඉගැන්නුවා. ඊට පස්සේ කොළඹ ශ්‍රිමත් බාරොන් ජයතිලක විද්‍යාලයට මාරුවක් හදන් ආවා.

ඔබ ක්‍රිස්ටි හා යුග දිවිය අරඹන කොට ඔහු රංගනයේ නියැලෙනවාද?

නෑ, නෑ. ඒ වෙන කොටත් එයා රඟපෑමෙන් අයින් වෙලයි හිටියේ. අම්මාගේ මරණයත් සමඟ එයා රංගන ජීවිතයෙන් සමුගෙනයි හිටියේ. ඒ වෙන කොට එයා කොටහේනේ පොලිතින් ෆැක්ටරියේ වැඩ කරමින් හිටියේ.

මවට අසීමිතව ආදරය කළ ගුණ යහපත් පුද්ගලයෙක් ලෙසයි ක්‍රිස්ටි කලා ක්ෂේත්‍රය පුරා ප්‍රසිද්ධ?

ඒක සහතික ඇත්ත. එයාගේ අම්මා 1979 දී තමයි නැති වෙන්නේ. ඒ වෙනකන් අම්මාගේ හැම දෙයක්ම ක්‍රිස්ටි අතින් තමයි ඉටු කරලා තියෙන්නේ. එයා පණ වගේ අම්මව බලාගෙන තියෙන්නේ. අම්මට කවල පොවලා ලෙඩකදී දුකකදී පවා එයා අම්මා ළඟින්ම ඉඳලා තමයි බලාගෙන තියෙන්නේ. පුදුම ලෙන්ගතුකමක් ආදරයක් අම්මට දක්වපු ක්‍රිස්ටි නිසි වයසේදී විවාහ වෙන්නෙවත් නැතුව අම්මව බලාගෙන තියෙන්නේ තමන් විවාහ වුණොත් ඒ ලැබෙන බිරියගෙන් අම්මට කරදරයක් වෙයි කියලා.

තනිකඩ ජීවිතය හොඳයි කියන තරමට ක්‍රිස්ටි ජීවත් වුණත් අන්තිමේදී ඔහුගේ තිරණය වෙනස් වෙන්නේ?

එයා මට කියලා තිබුණ විධියට අම්මා නැති වුණාට පස්සේ එයාගේ ජීවිතයට පුදුම පාලුවක් තනිකමක් දැනුණලු. කොහොම හරි ක්‍රිස්ටිගේ නෑදෑයෝ වගේම එයාට ඥාති වෙන අයියා කෙනෙක් නිතරම බල කළාලු බැඳපන් බැඳපන් කියලාම. මේ අයගේ වද කිරීම් ඉවසන්න බැරි තැන තමයි ක්‍රිස්ටි විවාහ වෙන්න හිත හදන් තියෙන්නේ. මම හිතන්නේ එයා මාත් එක්ක විවාහ වෙන කොට වයස අවුරුදු හතලිස් තුනක්.

සමාජයටත් ආදර්ශයක් දෙමින් තම මව බලා ගැනීමේ උතුම් කටයුත්තට ක්‍රිස්ටි පෙළඹුණේ ඇයි කියලද ඔබට පවසා සිටියේ?

එයාගේ තාත්තා වැඩ කරලා තියෙන්නෙ වරායේ චෙකර් කෙනෙක් විදියට. එයාට තව සහෝදරියෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා. කොහොම හරි ඒ කාලේ එයාල පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ කොටහේනේ. තාත්තා හදිසියේ මිය යාමත් එක්ක අම්මාගේ කරපිට වගකීම් ගොඩක් පැටවුණාට පස්සේ අම්මා සුලෙයිමාන් හොස්පිටල් එකේ මිඩ් වයිෆ් කෙනෙක් හැටියට රැකියාව කරලා තියෙනවා. ඔය වෙන කොට ක්‍රිස්ටි පුංචි ළමයෙක්ලු. එයාගේ වැඩිමල් සහෝදරිය හදිසියේම මිය යනවලු. ඒ දුකට අනෙක් සහෝදරියත් හදිසියේම මිය පරලොව යනවලු. අම්මත් ක්‍රිස්ටිත් තනි වෙනවලු. එතන ඉඳලා අම්මා ක්‍රිස්ටිව ආදරයෙන් රැක බලා ගත්තේ හුඟක් දුක් මහන්සි වෙලාලු. මෙන්න මෙතනදි ඇතිවෙන ආත්මීය බැඳීම තමයි ක්‍රිස්ටිත් අම්මවත් වෙන් කරන්න බැරි බැඳීම.

අම්මා හිටිය කාලෙම විවාහ වෙලා තිබුණ නම් මොන වගේ තිරණයක් ද ක්‍රිස්ටි ගන්නේ කියලා ඔබට පවසා සිටියේ?

එයා කිව්වා බැරි වෙලාවත් ඒ කාලේ බැඳලා හිටිය නම් නැන්දම්මා ලේලි ප්‍රශ්නයක් ආවා නම් අනිවාර්යයෙන්ම බිරිය පැත්තක කියලා අම්මා අරන් එයා ගෙදරිනුත් යනවා කියලා.

හොඳ වෙලාවට මේරි ක්‍රිස්ටි එක්ක ඒ කාලේ විවාහ වෙලා හිටියේ නැත්තේ?

ක්‍රිස්ටි මට ආදරණීය සැමියෙක් වුණා. එයා හැම වෙලාවෙම මට සැලකුවේ, මම ගැන වර්ණා කළේ අම්මා කෙනෙකුට වගේ. එයා මට සැලකුවේ එයාගේ දෙවැනි අම්මා විධියට.

ක්‍රිස්ටිගේ මවු ගුණ සැලකුම් ක්‍රියාවෙන් විතරක් නොවෙයි ගායනයෙනුත් පෙන්වා දුන්නා?

අම්මා කියා කියත හැකි එකම ළඳකටයි . . . ගීතය ක්‍රිස්ටි කරුණාරත්න අබේසේකරට කියලා ලියවගෙන තියෙන්නේ එයාගේ අම්මා වෙනුවෙන්මයි.

ක්‍රිස්ටිගේ සිනමා ජීවිතය ගැන එහෙම ඔබට පවසලා නැද්ද?

ප්‍රේම් ජයන්ත් ක්‍රිස්ටිගේ පන්තියේම යාළුවෙක්. එයා තමයි ක්‍රිස්ටිව සිනමාවට එක්ක ඇවිත් තියෙන්නේ. මුලින්ම වරද කාගෙද චිත්‍රපටයේ තමයි ක්‍රිස්ටි රඟපාලා තියෙන්නේ.

ක්‍රිස්ටිගේ විවාහයටත් නළු නිළියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබුණා?

අවෙ නැති නළු නිළියෙක් නැති තරම්. මට මතකයි සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වෙඩින් එකට එන්න බැරි වෙලා මට දුරකතනයෙන් කතා කරලා කිව්වා ක්‍රිස්ටි කියන්නේ හොඳ මිනිහෙක්. මගේ හොඳ යාළුවෙක්. මේරි හොඳින් එයාව බලාගන්න. මට වෙඩින් එක දවසේ එන්න වුණේ නැති එකට මට සමාවෙන්න කියලා.

ආගන්තුක සත්කාර අතිනුත් ක්‍රිස්ටි හරි අවංක පුද්ගලයෙක්?

ගදරට ආපු කෙනකුට තේ එකක් නොදී අරින්නෙම නැහැ. ඒක එයාගේ පුරුද්දක්. එයාට කරන්න පුළුවන් උපරිමයෙන් සත්කාර අනෙක් අය වෙනුවෙන් කරන එක එයාගේ සතුට.

පරණ නළු නිළියන් වගේම නවක පිරිස් සමඟත් කි‍්‍රස්ටි අයියා හොඳ සබඳතාවක් ගොඩ නඟාගෙන තිබුණා?

ජීවරාණි, ක්ලැරිස්, ජෝති, විජය, ගාමිණී, ටෝනි, වීණා, සබීතා, ගීතා, මාලිනී, දිල්හානි මේ අයත් එක්ක පුදුම සම්බන්ධකමක් තිබුණා.

ක්‍රිස්ටි ළඟ අපූරු ආමන්ත්‍රණයක් තිබුණා?

එයා කාටත් කතා කළේ මල්ලි නංගි කියලා.

ක්‍රිස්ටි වෙනුවෙන් උපහාර උලෙළක් පවා සංවිධානය වුණා?

ක්‍රිිස්ටි ලෙනාඩ් පෙරේරා ප්‍රසාද ප්‍රණාම අභිනන්දන උලෙළ නමින් උපහාර උලෙළක් 2002 අගෝස්තු 17 වැනිදා පැවැත් වූවා. ලිලන්ත පෙරේරා, ජැක්සන් ඇන්තනි, ධර්මසිරි ගමගේ, රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු පිරිසක් තමයි ඒ උපහාර උලෙළ සංවිධානය කළේ. සරසවිය, රණ තිසර, කලා භූෂණ, සුමති සම්මානවලින් පවා එයා ගරු බුහුමනයට ලක් වුණා.

රඟපෑ චිත්‍රපට අතරින් ඔහු වඩාත් ආශාවක් දැක් වූයේ මොන නිර්මාණවලටද කියලද ඔබට හිතෙන්නේ?

චිත්‍රපට හැටකට වැඩිය මම හිතන්නේ රඟපාලා තියෙනවා. දශක දෙකක් පුරා ඔහු රඟපෑ චිත්‍රපට අතරින් චණ්ඩියා (පිනා), වීරවිජය, ධීවරයෝ (ලෙනී) චිත්‍රපටවල රංගනයට එයා ගොඩක් කැමැත්තක් දැක්වූවා.

ක්‍රිස්ටි රඟපෑ චිත්‍රපට අතරින් ඔබ වඩාත් කැමැති?

අල්ලපු ගෙදර, සිතක මහිම, සිරිමලී, සුකුමලී, සුන්දර බිරිඳ ඔය වගේ ගොඩක් තියෙනවා.

එක ටෙලි නාට්‍යයකත් ඔහු රඟපෑවා?

අජිත් පෙරේරාගේ ආත්ම පුජා කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. මට මතකයි ඇන්ජලා සෙනෙවිරත්නත් ඒකේ රඟපෑවා. එත් ඒ ටෙලි නාට්‍යය විකාශය වුණේ නැහැ.

ක්‍රිස්ටි වෙනුවෙන් කොයි වෙලාවෙත් ළෙන්ගතුව සොයා බැලූ අයත් නැතුවා නොවෙයිනේ?

ජයන්ත ධර්මදාස මහත්තයා, ඉතාලියේ ජීවානන්ද පෙරේරා, ගුවන් විදුලියේ ධම්මික පී. රත්නායක බොහොම ලෙන්ගතුව ක්‍රිස්ටි ගැන සොයා බැලුවා. විශේෂයෙන් ජයන්ත ධර්මදාස මහත්තයා වගේ ගුණ යහපත් මහත්වරු මේ කලා ක්ෂේත්‍රයේ අදටත් රැඳිලා ඉන්න එක අපේ කලාකරුවන්ගේ වාසනාවක් කියලයි මට හැඟෙන්නේ. එතුමා වගේ පුද්ගලයන්ගේ යෝධ ශක්තිය කලාකරුවෙකුට හැකි අවස්ථාවේදීත් වගේම බැරි අවස්ථාවේදීත් ලොකු පිහිටක්.

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන් සමඟ ක්‍රිස්ටි තුළ තිබුණේ සහෝදර බැඳීමක්?

ජෝතිපාලගේ වෙඩින් එකේදි ක්‍රිස්ටි තමයි ජෝතිගේ දෙවැනි මනමාලයා. ඒ තරමට ඒ දෙන්නා අතර මිත්‍ර බැඳීම දුරදිග ගිහින් තිබුණා. අලි නැව් එන කොළඹ නගරේ . . . ගීතය පවා ක්‍රිස්ටි ගායනා කළේ ජෝතිපාලයන් එක්ක.

ගායකයෙක් ලෙසිනුත් ක්‍රිස්ටි අයියා ජනප්‍රිය චරිතයක්?

එයාගේ ජනප්‍රිය සින්දු එකතු කරලා ශ්‍රීමාලි ආයතනයත් සමඟ කැසට් එකක් කළා අලි නැව් එන, අත මිට කාසිපනම්, කුල්ලෙන් පොලා පොලා, වැල්ල සිඹින රැල්ල ආදී ජනප්‍රිය ගීත එකතුවක් සමඟ.

ඇත්තද මේ රහස් හෙළිවෙනවා කියලා ක්‍රිස්ටි අයියා දෙමළෙන් කතා කළා කියන්නේ?

ටෝනි රණසිංහ එක්ක ක්‍රිස්ටි වරු ගණන් කතා කරනවා හැබැයි දෙමළෙන්. එයාට හොඳට දෙමළ පුළුවන්. මේ අවට පදිංචි දෙමළ උදවිය එක්ක එයා ගොඩක් සමීපව කටයුතු කළා. ජාති භේදයක් නෑ. කවුරු එක්කත් එයා හරිම සුහදශීලීයි. ටෝනි කතා කරන කොට මම විහිලුවට කියනවා ඔන්න මම දැනගනියි කියල මට නොතේරෙන දෙමළෙන් කතා කරනවා කියලා. ටෝනිගේ හදිසි අභාවයත් සමඟ ක්‍රිස්ටි පසු වුණේ සාංකාවෙන් වගේ.

එවක ඔබ අතින් පිසෙන ගම් කුකුල් මස් මාළුවට ක්‍රිස්ටි හරිම කැමැතියි කියලත් අප සමඟ ඔහු වරක් කියා තිබුණා?

එයා කකුල් මස් කෑවත් කන්නේ ගම් කුකුල් මස් විතරයි. ඉතිං කොහෙන්ද මේ කොළඹ ගම් කුකුල්ලු. පාටියකට ගියත් ගම් කුකුල් මස් නැත්නම් එයා තලපත් මාළු එක්ක තමයි කන්න කැමැති. නෑදෑ ගෙවල්වල පාටිවලට ගියහම තලපත් මිරිසට හදල තියනවා ක්‍රිස්ටි වෙනුවෙන්ම.

දශක තුනකට වැඩි කාලයක් දුක සැප බෙදා ගත් ආදරණීය ක්‍රිස්ටිගෙන් වෙන් වී ගෙවන මේ හුදකලා ජීවිතය ඔබට මොන විධියට ද දැනෙන්නේ?

එයා මට ස්වාමි පුරුෂයෙකුට වැඩිය දෙවි කෙනෙක්. කොහේ ගියත් මම නැතුව මොනව හරි කෑවත් මගේ පංගුව ගෙදරට ගෙනත් දුන්නා. මට කවදාවත් දුකක් දුන්නෙත් නැහැ. එයා නැතිදාක මට දුක් විඳින්න ඉඩ සැලැස්සුවෙත් නැහැ. හැම දෙයක්ම සැලසුම් සහගතව තමයි කටයුතු සිද්ධ කළේ. කාටවත් අත නොපා ජීවත් වෙන්න එයා මට මාර්ගය සකසලා තමයි ඇස් දෙක පියා ගත්තේ. කොටින්ම කියනවා නම් එයාගේ අවසන් කටයුතු සිද්ධ කරන්නත් මුදල් පවා වෙන් කරලයි තිබුණේ. එයා ඉන්නකන් මගේ සහෝදර සහෝදරියන්ටත් එයාගේ සහෝදර ඥාතීන්ටත් උදව් උපකාර කළා. ඒ නිසාම අද ඒ අයත් මගේ තනි නොතනියට අද මට සෙවණැල්ලක් වෙලා.

සිනමාවෙන් හම්බ කළා. හම්බ කළ දේ ඉතිරි කළා කියන දේට හොඳ ආදර්ශයක් ක්‍රිස්ටි?

මහත්තයව ආදර්ශයට ගන්න කියලා එයාට උපහාර පිදුව දවසේ ජැක්සන් ඇන්තනීත් අපූරු කතාවක් කළා. එදා ඔහු කිව්වා අපේ කලාකරුවන්ට කදිම ආදර්ශයක් ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා කියලා.

ක්‍රිස්ටි වෙනුවෙන් ඔබේ අද ප්‍රාර්ථනය?

ඔහුට මෝක්ෂ සුවය ලැබේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනය කරනවා.