වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




සිරිල් ඒ. සීලවිමල සමුගෙන සය වසරක් සපිරේ

සිරිල් ඒ. සීලවිමල සමුගෙන සය වසරක් සපිරේ

පුවත්පත් කලාවේදියකු මෙන්ම ජනකාන්ත ගීත රැසක් රචනා කළ සිරිල් ඒ. සීලවිමල මිය ගොස් ලබන 04 වැනිදාට වසර හයක් සපිරේ. ඒ වෙනුවෙන් ලබන දෙසැම්බර් 13 වැනිදා වරාගොඩ බෝධිරුක්ඛාරාමයේදී ධර්ම දේශනයක් පැවැත්වීමට එතුමාගේ බිරිය අනුලා සීලවිමල කටයුතු යොදා ඇත.

රිවිරැස සහ දවස පුවත්පත්වල කර්තෘත්වය දරමින් මාධ්‍ය මෙහෙවරක නරත වූ සිරිල් ඒ. සීලවිමල ජනප්‍රිය චිත්‍රපට හා සරල ගී රැසක් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කළේය. '‍මෝහෙන් මුළා වෙලා', 'මෙත් මල් පිබිදේවා', 'සුදෝ පොඩ්ඩක් හඬන්න', 'හොඳ සිරියාවයි ආකාසේ', 'දෝතින් දෝතයි', ' රන්වන් රුවන් හද මන්දිරයේ', 'මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්' වැනි ගීත මෙන්ම පසුගිය කාලයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත් 'හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි' සහ 'රාජ මාලිගේ පරෙවියා වගේ' ගීත ද රචනා වූයේ සිරිල් ඒ සීලවිමලයන්ගේ අතිනි.


විශාරද එඩ්වඩ් ජයකොඩි ‘මාරම්බරී’ සමඟ කෑගල්ලේ

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරී’ මියැසි ප්‍රසංගය මේ මස 04 වැනිදා පසුවරු 3.00ට සහ 6.00 ට කෑගල්ල ස්වර්ණ ජයන්ති විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

යුග ගායනයෙන් විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගෙනි. මාරම්බරී හි සංගීතය සංගීතවේදී සුසිල් අමරසිංහගෙනි. කථනයෙන් වසන්ත රෝහණ සහය වෙයි. මහීපාල හේරත් ජනසහන පදනම මෙය සංවිධානය කර ඉදිරිපත් කරයි.


චාලක රණසූරියගේ ‘මාලක ළිඳේ සවාරියක්’ නාවලපිටියේ

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම සහය නිළිය, හොඳම පසුතලය, හොඳම රචනය වෙනුවෙන් සම්මාන දිනූ චාලක රණසූරියගේ ‘මාලක ළිඳේ සවාරියක්’ අද දින නාවලපිටිය හින්දු සංස්කෘතික ශාලාවේදී වේදිකා ගතවෙයි. ශ්‍රීගානෝදය දහම් පාසල් කලා සංගමය මේ කටයුත්ත සංවිධානය කරයි.


ශ්‍රීමා ලාලනීගේ පීඩිත සිතට සහනයක්

වසර ගණනකට පෙර සටහන් කරන ලද මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක සටහන් පෙළක් එකතු කරමින් නිර්මාණාත්මක ලෙස රචිත ‘පීඩිත සිතට සහනයක්’ කෘතියේ කර්තෘ ශ්‍රීමා ලාලනී ය. මෙහි ඇති පූජා විධි, සත්‍ය සිද්ධි ආශ්‍රයෙන් කතුවරියගේ සිතැඟි පරිදී වෙනස් කර ඇති අතර කෘතියේ අන්තර්ගත ඇතැම් කරුණු සොයා ගැනීම සඳහා ශ්‍රීමාට නව ගවේෂණයක ද යෙදෙන්නට සිදු වී ඇත. ‘පීඩිත සිතට සහනයක්’ කෘතිය ඒ පරිශ්‍රමයේ ප්‍රතිඵලයකි. මේ කෘතිය සරසවි ප්‍රකාශනයකි.


පානදුර සංස්කෘතික බල මණ්ඩලයේ ප්‍රසංගය හා සුහද හමුව 4 දා

පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විසිරී සිටින සකල කලා ශිල්පීන් ඒකරාශි කිරීමේ අරමුණින් සංස්කෘතික උලෙළ හා සුහද හමුව දෙසැම්බර් මස 4 දින සවස 1.00 ට පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බල මණ්ඩලය සංවිධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට සහභාගී වන ලෙසට ප්‍රදේශයේ සියලුම කලාකරුවන්ට විවෘත ආරාධනාවක් කරමින් ඉල්ලා සිටී.


පර්සිගේ වාද බයිලා තරඟය 16 දා බටලන්දේදී

පර්සි රාජපක්ෂ වාද බයිලා සංගීත කලායතනයේ 16 වන සංවත්සරය වෙනුවෙන් සුදර්ම හෙට්ටිආරච්චි ප්‍රමුඛ බටලන්ද එක්සත් කලා කවය දෙවන වරට සංවිධානය කරන වාද බයිලා තරගය සහ උපහාර සම්මාන ප්‍රදාමෝත්සවය මෙම 03 (අනිද්දා) වැනිදා රාත්‍රී 8.00 සිට රාගම, වල්පොල බටලන්ද අනුර වෙළෙඳසැල අසල දී පැවැත්වේ.

සමස්ත ලංකා වාද බයිලා ප්‍රවිණයන්ගේ කණ්ඩායම සමඟ පර්සි රාජපක්ෂ කලායතනයේ කණ්ඩායම මෙහිදී තරග වදින අතර පර්සි රාජපක්ෂයන්ගේ අවුරුදු 7 ක් වන පෘථුවි තුෂීරා සහ අවුරුදු 8 ක් වන අසිත මධුෂාන් මිනිබිරිය හා මුනුපුරා ද තරග වැදීම විශේෂත්වයකි.

තවත් විශේෂත්වයක් වනුයේ මෙම කලායතනයේ ඉගෙන ගන්නා කිසිවෙකුගෙන් කිසිදු මුදලක් අය නොකිරීමයි. වාද බයිලා කලාවට කරන සේවයක් හැටියට එසේ මුදල් අය නොකරනු බව පර්සි රාජපක්ෂයන් පවසයි. එසේම වාද බයිලා කලාව හැදෑරීමට කැමති අය වෙතොත් නො: 91/4, අරලිය මාවත, සමගිපුර, බොරුපන, රත්මලාන ලිපිනයෙන් හෝ 0788955311 දුරකථන අංකයෙන් වැඩි විස්තර දැනගත හැකිය.