වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




තවමත් මා වඩා කැමැති සහය අධ්‍යක්ෂණයට

 

තවමත් මා වඩා කැමැති සහය අධ්‍යක්ෂණයට

මායා තැනූ ඩොනල්ඩ් ජයන්ත

ඩොනල්ඩ් ජයන්තගේ නම ඇසුණ සැනින් අප මේ දිනවලදී මතක් වෙන්නේ මායා සිනමාපටය. එහි අධ්‍යක්ෂවරයා වන්නේ ඔහු. මේ වන විට මායා සිනමාපටය දහතුන් කෝටියක් ඉක්ම වූ ආදායමක් වාර්තා කරමින් මාස තුනකට ආසන්න කාලයක් තිරගත වෙමින් තිබේ. අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළත් ඩොනල්්ඩ් තවමත් චිත්‍රපට සඳහා සහය අධ්‍යක්ෂණයෙන් දායකවීම අතහැර නැහැ. මේ වසරේදී චිත්‍රපට පහක් සහාය අධ්‍යක්ෂණය කළ ඔහු ලබන වසර සඳහා ද චිත්‍රපට පහක් සහය අධ්‍යක්ෂණය කරදීමට බාරගෙන තිබේ. ඒ කාර්යබහුලකම මැද අපි ඩොනල්ඩ්ව සරසවියට ගෙන්වූවා.

* ඩොනල්ඩ්, තව නොබෝ දිනකින් මායා තිරගත වීම ආරම්භ කොට මාස තුන සපිරෙනවා. මොකද හිතෙන්නේ? ඔබට සතටුයිද දැන්?

මොකද නැත්තේ අප්‍රමාණ සතුටක් මගේ හිතේ තිබෙනවා. බොරු කියන්න ඕන නැහැනෙ මමවත් හිතුවෙ නැහැ මෙච්චර පිරිසක් මායා නරඹාවි කියලා. ඊටත් වඩා පුදුමේ ලංකාවේ දමිළ, මුස්ලිම් සහ වෙනත් ජාතීන් මායා සිනමාපටය නරඹපු එක. සමහරක් හෝල්වලට මං ගියාම මට දකින්නට ලැබුණා පවුල් පිටන් ආව දමිළ ජාතිකයෝ. පවුල් පිටින් ආව මුස්ලිම් ජාතිකයෝ. පවුල් පිටින් ආව බර්ගර් ජාතිකයෝ. වර්තමානයේ එහෙම ප්‍රවණාතාවයක් තිබුණේ නැහැ. දමිල බහුතරයක් නැරැඹුවේ ලංකාවට එන නවතම දමිළ චිත්‍රපට. එහෙම තත්තවයක් මත මායා සමස්ත පේ‍්‍රක්ෂකයන්ව අල්ලා ගත්තා කියලා කියන්නට පුළුවන්.

* මායා කියන්නේ කාංචනා චිත්‍රපටයේ කොපියක්. ඔබ කියන්නේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඕනෑ එවැනි කොපි චිත්‍රපට කියලද?

මං නරඹපු හොඳම විකට චිත්‍රපටය තමයි අල්ලපු ගෙදර. ඒක දමිළ කොපියක්නෙ. තව කවුද රජා, ඔහොම බලන කොට මට චිත්‍රපට ගණනාවක් කියන්නට පුළුවන්. ඒවා සේරම කොපි. නමුත් අපේ ප්‍රේක්ෂකයන්ට ගෝචර වුණේ නැද්ද. සමහරු විසිල් ගගහා ඒවා නරැඹුවේ. මායාත් එහෙමනෙ.

* ඔබ ඔහොම කිව්වට මෙරට නිපද වූ ස්වකතා ඇතුළත් චිත්‍රපට රැසක්ම ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වෙලා තියෙනවා?

වෙන්න පුළුවන්. ඔය කොහොම වුණත් මගේ මතයට අනුව ලෝකයේ තිබෙන්නේ කතා වර්ග හතයි. ඒවා වටා තමයි ඔය සෑම පිටපතක්ම ලියවෙන්නේ.

* ඔබේ ඒ තියරිය තවදුරටත් විග්‍රහ කළොත්?

එක්කෝ කෙල්ල මැරෙනවා, නැත්නම් කොල්ලා මැරෙනවා. සමහර ඒවායේ දුෂ්ටයා මැරෙනවා. කොල්ලයි කෙල්ලයි එකතු වෙනවා. ඔවැනි සම්ප්‍රදායයන් මතයි ඕනෑම කතා සංකල්පයක් දිග හැරෙන්නේ.

* ඉතින් ඔබට තිබුණනේ ඒ කතා වර්ග හතෙක් එකක් තෝරාගෙන කොපියක් නොකොට අලුත් කතාවක් ලියා චිත්‍රපටයක් කරන්න?

මායා චිත්‍රපටය මට ආවේ අපගේ නිෂ්පාදකවරයෙක් වූ ආර්. සදේශ් කුමාර් හරහා. ඔහුට තමයි වුවමනාව වුණේ මේ දමිළ සිනමාටය තිරයට ගේන්න. අපි මුලින්ම සිතන්න ඕන නිෂ්පාදකවරයාගේ පැත්තෙන්. නිෂ්පාදකවරුන් රැකුණොත්නෙ සමස්ත චිත්‍රපට ක්ෂේත්‍රයම රැකෙන්නේ.

* මායා සිනමාටයේ සාර්ථකත්වය පිටුපස සිටින්නේ රන්ජන් රාමනායක කියලා මතයක් තියෙනවා?

මේ වෙලාවේ මට මතක් වෙන්නේ මායා ගැන පළමුව රන්ජන්ට මං කියපු වෙලාවේ මට දැක් වූ ප්‍රතිචාරය. එකහෙළාම ඔහු මේ චිත්‍රපටය ප්‍රතික්ෂේප කළා. නමුත් සදේෂ් ඇතුළු සියලු දෙනා එකහෙළා ප්‍රකාශ කොට සිටියා මේ චරිතයට රන්ජන්වම තමයි ඕනෑ කියලා. රන්ජන්ට ගැටලුව වුණේ ඔහු පාර්ලිමේන්තුවේ ඇමති කෙනෙක් වීම. ඇමති කෙනෙක් සාරියක් අඳින්නේ කොහොමද කියන ගැලුව ඔහුට තිබුණා. අන්න එතන තමයි අරුමය තියෙන්නේ. මේ ගෑනු කෙනා නිකම්ම නිකම් ගෑනු කෙනෙක් නෙවෙයි. අප්‍රමාණ ධෛර්යයක් ඇති තැනැත්තියක්. ඒ බව මා රන්ජන්ට පැහැදිලි කළා. අනික ලෝ ප්‍රකට නළුවන් වන කමල් හසන්, රැජිනි කාන්ත්, සල්මන් ඛාන් වැනි අයද ඔය වැනි චරිත කරලා තියෙනවා. අන්තිමේ රන්ජන් මායා රඟපාන්න එකඟ වුණා. අපේ සිනමා ලෝලීනුත් ගැස්සුණේ එතෙන්දි. ඔවුන් කීයටවත් බලාපෙරොත්තු වුණේ නැහැ රන්ජන්ගෙන් එවන් වූ චරිතයක්. මේ අරුමය බලන්න තමයි ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවට ආවේ.

* වරෙක ඔබ ප්‍රකාශ කරලා තිබුණා චිත්‍රපට ක්ෂේත්‍රයේ වෙනමම ගැටලු රැසක්. ඒවා මායාට අදාල වුණේ නැතිද?

අදාල වුණා. නමුත් අපි නිරන්තරයෙන් හෝල් ගානේ යනවනෙ. එහෙයින් ඒවා වැඩි තදේට ආවේ නැහැ. මේ වෙලාවේ මට ඔබ පොඩි ඉඩක් දෙනවා නම් ඒ ගැටලු මට කියන්න පුළුවන්.

* ඔව් කියන්න?

චිත්‍රපටයක් බෙදා හැරීම් ආයතනයකට දුන්නම ඒ ආයතනය චිත්‍රපටයේ ආදායමෙන් සියයට දහයක් ගන්නවා. ඔවුන් මොකවත්ම කරන්නේ නැහැ. අපි දෙන චිත්‍රපටයෙන් නිකම් ඉඳලා සියයට දහයක් ගන්නවා. මගේ යෝජනාව අනුව ඒ සඳහා දිය යුත්තේ සියයට දෙක හමාරක් පමණ. ඒ විතරක් නෙවෙයි අපි චිත්‍රපටයක් ප්‍රදර්ශනයට අවශ්‍ය පිටපත පවා හෝල්වලට ගෙනිහින් දෙන්න ඕනෑ. කටවුට්,පෝස්ටර්, පාප්ප ආදි සියලු දේ හෝල් එකට ගෙනියන්න ඕනෑ. බහුතරයක් වෙලාවට මේවට දුවන්නේ නිෂ්පාදක. ඒ මනුස්සයා චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා තව දුවපියකො ඕවත් බාර දෙන්න. ඉතින් එක චිත්‍රපටයක් නිෂ්පාදනය කළ කෙනට අයේ මේ පැත්තෙවත් නොඉන්න වැඩ සලස්සනවා. අපි මේ සේරම හෝල්වලට ගිහින් දුන්නයි කියමුකො. ඇතැම් හෝල් කාරයෝ හොර ටිකට් ගහලා මුදල් වංචා කරනවා. විලිලැජ්ජයි. චිත්‍රපටයක් හදලා ඒක නොමිලයේ හෝල්වල දුන්නට පස්සේ ඒ්ක නරඹන්න එන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවට බොරු ගාණක් පෙන්වන එක යුතුකමක්ද. ලංකාවේ විතරයි හෝල්වල චිත්‍රපට නිකම් දෙන්නේ. ලෝකේ මොන රටකවත් එහෙම කරන්නේ නැැ.

* ඔබ මේ ගැන අදාළ පුද්ගලයින් දැනුම්වත් කළේ නැතිද?

මං කිව්වා. ඒ අය ඒ වෙලාවට ඔළුව වනලා හා හා කියනවා. ඒත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මං කියන්නේ මෙච්චරයි හෝල්වලට ඊ ටිකට හඳුන්වා දෙන්න ඕනෑ. නැතිනම් හොර ටිකට ලබා දුන්නයි කියලා ආරංචි වුණාම හවුස් ෆුල් දඩයක් ගැසිය යුතුයි. නැතිනම් මේක ඉදිරියට කරගෙන යන්න බැහැ.

* ඔබ චිත්‍රපට සංස්ථාවේ සභාපති වුණොත් මොනවද මුලින්ම කරන්නේ?

හෝල් ටික අලුත්වැඩියා කරන එක තමයි. අපේ ගමේ ඉස්සර මැටි ගෙවල් තිබුණා. කාලයත් එක්කම ඒවා කඩා බිඳ දමලා එතැන ටයිල් කරපු අලුත් ගෙවල් හැදුණා. නමුත් අපේ ගමේ හෝල් එක එදා වගේම තමයි අදත්. කිසිදු අයුරකින් නව්‍යකරණය වෙලා නැහැ. එහෙම තියෙද්දී කාටද චිත්‍රපටයක් බලන්න ඒකට යන්න හිතෙන්නේ.

* ඔබ කලාවෙහි උන්නතිය උදෙසා විවිධ යෝජනා ගේනවා. ඇයි තවමත් ඔබ බැරි වුණේ කලා සංගමයක් හරහා හරි ඒවා ක්‍රියාත්මක කරන්න?

තනි මිනිහෙකුට ඕවා කරන්න බැහැ. ඒකට රාජ්‍ය මැදිහත්වීම තිබිය යුතුයි. ඕනෑම ක්ෂේත්‍රයකට රජයේ උදව් ඕනෑ. නැතිනම් දියුණු වෙන්න බැහැ. අපි නිරන්තරයෙන් කලාවේ රැඳී සිටින උදවිය. ඒ හින්දා අපට තමයි ෙමි අඩුපාඩු පෙනෙන්නේ. අපේ රටේ ළමා නිවාස තියෙනවා, වැඩිහිටි නිවාස තියෙනවා. රණවිරු සෙවණවල් තියෙනවා. නමුත් අසරණ වූ කලාකරුවන්ට කිසිම තැනක් නැහැ. චිත්‍රපට සංස්ථාවෙන් අසරණ කලාකරුවන්ට රුපියල් දෙදහක් ගෙවනවා. ඇයි ඒක වැඩි කරන්න බැරි. මා දන්න කලාකරුවෙක් අලව්වේ ඉඳන් කොළඹ එනවා ඒක ගන්න. ගෙදර යද්දී ඔහුට ඉතුරු රුපියල් තුන්සීයක් විතරලු. ඇයි මඟ වියදම්.

* මායා හදලා කොච්චර කල්ද?

අවුරුදු දෙකක් පමණ. අපේ නිෂ්පාදකවරයා චිත්‍රපටය හොඳ වෙලාවක තිරගත වේවි කියලා විශ්වාසයෙන් හිටියේ. ඒක එහෙම වුණා.

* මායා චිත්‍රපටය රූගත කරද්දී වෙච්ච අමතක නොවන සිදුවීම් මොනවද තියෙන්නේ. මට ඕනෑ වෙන පත්තරේකට ඔබ නොකියපු දෙයක්?

මායා රූගත කරද්දී රන්ජන්ට බැංකුවට යන්න ඕනෑ කිව්වා. එතකොට ඔහු කාන්තාවක විදිහට මේකප් දාගෙන හිටියේ. අවසානයේ ඔහු දොලහට කලින් බැංකුවට යන්න ඕනමයි කියලා කිව්වා. මං ඉතින් යන්න දුන්නා. එදා මාර වැඩක් වෙලා තියෙන්නේ. රන්ජන් බැංකුවට ඇතුළු වෙද්දී බැංකුවේ සිටි නිලධාරීන් සේරම ආසනවලින් නැගිට්ටලු. ඒ සේරමලා හිතලා තියෙන්නේ ඉන්දියානු නිළියක් එනවය කියලා. මැනේජර් පවා ටික වේලාවක් යනතුරු විශ්වාස කළේ නැහැලු මේ රන්ජන් රාමනායක කියලා.

* ඔබගේ සමකාලිනයන් බොහෝ දෙනෙකු ඩී. වී. ඩී. චිත්‍රපට හදන්න ගිහින්. ඔබට එවැනි නිර්මාණවලට ආරධනා ලැබුණේ නැද්ද?

අපෝ ලැබුණා. ඒත් මගේ ප්‍රතිපත්තයක් තියෙනවා. ඒ කවදාවත් ඩී. වී. ඩී. වලට යන්නේ නැහැ කියන එක. ඕවා මහ බාල වැඩ.

* ඔබ අධ්‍යක්ෂණයට යොමු වුණාට පස්සෙත් සහාය අධ්‍යක්ෂවරයකු විදිහට වැඩ කරනවා. ඒ ඇයි?

ඇත්තම කිව්වොත් මං හරි ආසයි සහාය අධ්‍යක්ෂවරයකු විදිහට වැඩ කරන්න. එහෙම කටයුතු කරන කෙට මං කරන්නේ ඒ ඒ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණශීලිත්වය ඉගෙන ගැනීම. ඒ ශිල්ප ක්‍රම මම මගේ නිර්මාණවලට භාවිත කරනවා.

* එහෙම බලන කොට ඩොනල්ඩ් ජයන්ත කියන්නේ පුංචි හොරකමක යෙදෙන සහාය අධ්‍යක්ෂවරයෙක්?

ඔව්. නිර්මාණකරුවන්ගෙන් ලබා ගන්නා වූ එම ශිල්පය හැදෑරීමට ලොව කිසිම පාසලක් මේ වන විට නැහැ.