වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම

ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම

කවිෂ සහ ෂිරාෂ් දෙමිතුරන්ය. වෘත්තියෙන් ඔවුන් විශ්වවිද්‍යාලයීය බාහිර කථිකාචාර්යවරුන් දෙදෙනකි. එහෙත් දෙන්නගේ වැඩි උනන්දුව චිත්‍රපට ක්ෂේත්‍රය කෙරෙහිය. කවිෂ සහ ෂිරාෂ් සිනමා සිතුවමක් නිර්මාණය කිරීමට කතා සංකල්පයක් සොයති. එහිදී ඔවුනට හසු වන්නේ සරදියෙල් නම් වූ ඓතිහාසික චරිතය හා සබැඳි කතා පුවතයි. එහෙයින් මේ දෙදෙනා සරදියෙල් සත්‍ය වශයෙන් විසූ උතුවන්කන්ද ගම්මානය බලා පිටත් වෙයි. එය සුන්දර ගම් පියසකි. දෙදෙනා චිත්කාර්ෂණයට පත් වෙති.

බර්මින් ලයිලි ප්‍රනාන්දු

‘මේ තමයි අපේ චිත්‍රපටය ෂූට් කරන්නට ගැළපෙනම පරිසරය’

කවිෂගේ මුවඟින් එවදන් පෙළ නික්මුණේ ඉබේටමය. දෙදෙනා ටික කාලයක් සිනමාපටයේ මුලික වැඩ කටයුතු ගමේ සිට කරගෙන යන්නේය. ඔය අතරතුරදී ඔවුනට කෙනකු එරෙහි වන්න පටන් ගනියි.

ඒ ගමේ සිටින පළාත් සභා ඇමති කෙනකුගෙනි. ඔහු මෙම සරදියෙල් චිත්‍රපටය තැනීම නැවැත්වීමට මහත් වූ පරිශ්‍රමයක් දරයි. එයට හේතු වන්නේ එම තැනැත්තාගේ මීමුත්තා වන ගෝන්දිවෙල ආරච්චිව සරදියෙල් විසින් ඝාතනය කොට තිබීමය.

එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් අමාත්‍යවරයා උත්සාහ කරනුයේ කවිෂ සහ ෂිරාෂ්ව ගමෙන් පිටමං කිරීමටයි.

නමුත් අමාත්‍යවරයාගේ දියණිය වූ උත්පලා සරදියෙල් චිත්‍රපටය නිර්මාණයට අපමණ සහායක් ලබා දේ. එහෙයින් උත්පලා සහ පියා අතර නිරන්තරයෙන් ගැටුම් හට ගනියි. කවිෂ සරදියෙල් චිත්‍රපටය සඳහා අනුපමා නැමති දමිළ තරුණියකව තෝරා ගනයි.

එයට කවිෂගේ පියා විරුද්ධ වේ. ඒ පළාත් සභා මන්ත්‍රීරයකු වන ඔහු අන්තවාදී සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයකු වන නිසාය. එතැන තව ගැටුමක් උත්පාදනය වෙයි. වෙනත් ජාතියක අධ්‍යක්ෂවරයකු යටතේ චිත්‍රපටයක රඟපෑම වැරැදි දෙයක් යැයි සලකා අනුපමාගේ නෑදෑ පිරිස වෙනමම කැරැල්ලක් ආරම්භ කරයි.

මෙම ගැටුම් කිහිපය ඔස්සේ බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම ටෙලි සිතුවම වූ දේදුනු පාලම නිර්මාණය වී ඇත. ඔහු මේ ඔස්සේ කතාකොට ඇත්තේ ජාතීන් අතර ඇති දුර්මත පිළිබඳවය. ඒවා ඉවත් කොට ජාතීන් අතර සංහිඳියාව ඇති කළ යුතු බව බර්මින් දේදුනු පාලම සමඟින් පෙන්වා දෙයි.

දේදුනු පාලම හැඩ කරන නළු නිළියන්:

අනුර ධර්මසිරිවර්ධන

වීණා ජයකොඩි

ශ්‍රියානි අමරසේන

ඩිනක්ෂි ප්‍රියසාද්

අනුජ් රණසිංහ

නිරන්ජනි බාලසුබ‍්‍රමනියම්

අමිල කරුණාරත්න

අචල වල්පොල

නඩරාජා සිවම්

ජයප්‍රකාශ් සෙල්වරත්නම්

මොහොමඩ් ජාරුක්

චංචලා වර්ණසූරිය

ආනන්ද පෙරේරා

රයන් වැන්රොයන්

කවිමිණි වර්ෆා

නිෂ්පාදන පිරිවර:

නිෂ්පාදනය - රණසිංහ ආරච්චිගේ සරණපාල

රචනය - කේ. බී. හේරත්

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න

සංගීතය - නවරත්න ගමගේ, ආනන්ද ගමගේ

පදරචනා - ආචාර්ය අජන්තා රණසිංහ

ගායනය - කෝලිත භානු දිසානායක, අමරසිරි පීරිස්, ඉන්දිකා උපමාලි, රශ්මි සංගීතා

අංග රචනය - ගයාන් මාපලගම

නිෂ්පාදන කළමනාකරු - මෙත්තානන්ද

 

සටහන - ප්‍රසාද් සමරතුංග