වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා

මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා

උසාවිය නිහඬයි සිනමා පටයේ චන්දන ලෙස රඟන බිබීශන කුරේරා

සම්මානනීය සිනමාවේදී ප්‍රසන්න විතානගේගේ සිනමාපටයකට රංගනයෙන් එකතුවීමට නවකයකුට අවස්ථාව ලැබීම ඔහුගේ හෝ ඇයගේ රංගන ජීවිතයට එය සුවිශේෂී වු මං සලකුනක් වෙනවා. ඔහුගේ සිනමා කෘතීන් වැඩි දෙනෙකුගේ අවධානයට පාත්‍ර වීම එයට එක් හේතුවක්. අනික ප්‍රසන්න තම සිනමාපට සඳහා ආවට ගියාට නළු නිළියන් තෝරා ගන්නේ නැහැ. ඒ ඒ චරිතවලට ගැළපෙනම කෙනාටයි ඔහු විසින් අවස්ථාව ලබා දෙන්නේ. ප්‍රසන්නගේ තවත් ආන්දෝලනාත්මක සිනමා කෘතියක් මේ දිනවලදී අති සාර්ථකව තිරගත වෙනවා. ඒ උසාවිය නිහඬයි. වැඩි දෙනෙකුගේ කතාබහට ලක් වු එම සිනමාපටයෙහි චන්දන පුෂ්පරුවන් ලෙස රඟපාන්න ප්‍රසන්න බාර දෙන්නේ නවකයකුට. ඔහු නමින් බිබීශන කුරේරා. උසාවිය නිහඬයි තුළින් තමයි ඔහු හරි හැටි කලඑළියට එන්නේ. මේ හදන්නේ බිබීශනව ඔබට හඳුන්වා දෙන්න.

බිබීශන, උසාවිය නිහඬයි තුළින් නිහඬ ඔබගේ හඬ අවදි වුණා. එහෙම නේද?

හරියටම හරි. මෙච්චර කල් මාව දැන හඳුනගෙන හිටියේ ඉතාමත් සීමිත පිරිසක්. බොහෝ කාලයක් කලාවේ හිටියට මෙහෙම කෙනෙක් ඉන්නවා කියා දැනගත්තේ උසාවිය නිහඬයි සිනමාපටයෙන්. මට එය මහ මෙරක් තරම් වටිනවා.

ප්‍රසන්න සාමාන්‍යයෙන් ඔහුගේ නිර්මාණ සඳහා නළුවෙක් නිළියක් තෝරා ගනිද්දී සෑහෙන සැලකිලිමත් වෙනවා?

ඔව්. ඒක ඇත්ත. උසාවිය නිහඬයි සිනමාපටයේ බහුතරයක් වැඩිය දන්න මුහුණු නෙවෙයි. මේක සත්‍ය කතාවක් නිසා ප්‍රසන්න මහත්මයා හිතන්න ඇති දන්න කියන මුහුණු මේකට ගත්තොත් චිත්‍රපටයේ රසය අඩුවේවි කියලා. ඒක තමයි ඔහු අප වැනි පිරිසක් මේ සඳහා යොදා ගත්තේ. ඒ වුණාට බෙහෙවින් සැලකිලිමත් වුණා ප්‍රසන්න මහත්මයා අපිව චිත්‍රපටයට ගනිද්දී අපේ රංගන පරාසයන් සොයලා බැලුවා. අවසානයේදී මගේ වාසනාවට උසාවිය නිහඬයි සඳහා එකතුවන්න පුළුවන් වුණා.

කවුද ඔබ ගැන ප්‍රසන්නට ඔත්තුව දුන්නේ?

ප්‍රසන්න මහත්තයගේ ඉර මැදියම සිනමාපටයෙහි මට සුළු චරිතයක් රඟපාන්න ලැබුණා. ඊට පසුව ආකාස කුසුම් හි එවැනිම චරිතයක් රඟපෑවා. ඒ වෙන කොට මම ප්‍රසන්න මහත්තයාව හඳුනගෙන හිටියා. ඔය අතරතුරදී අපේ සහාය අධ්‍යක්ෂවරයා වන දමින්ද ඩී. මඩවල තමයි මං ගැක ප්‍රසන්න මහත්තයට කියලා තිබුණේ.

කෙහොමද ප්‍රසන්න විතානගේ ගේ සිනමාපටයක ප්‍රධාන චරිතයක් රඟපාන්නට ලැබීම පිළිබඳ ඔබට දැනෙන්නේ?

ප්‍රසන්න මහත්තයත් එක්ක මං මිට ප්‍රථම වැඩ කරලා තිබුණත් ඔහු කෙතරම් සූර අධ්‍යක්ෂවරයකු ද යන්න මට අත් විඳින්න වෙන්නේ මේ චිත්‍රපටයෙන්. ඔහුට පුළුවන් ඕනැම නළුවකුගේ හෝ නිළියක සතු සියලු රංගන හැකියාව උපරිමයෙන් එළියට ගන්න. මම ඒ දවස්වල ඉඳලා ගරු කරන අධ්‍යක්ෂවරයකු තමයි ඔහු. ඔහුගේ චිත්‍රපටයක පැත්තකිං හිටං හිටියත් සැපයි. එහෙම හිතන මට ඔහුගේම චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබුණාම කොහොම දැනෙන්නට ඇතිද කියලා හිතාගන්න පුළුවන් නේද.

ඔබ වරෙක ප්‍රසන්නගෙන් හොඳටම බැනුම් ඇහැව්වලු?

බොරු කියන්න ඕනෑ නැහැනෙ. ප්‍රසන්න මහත්තයා මට ඇතැම් අවස්ථාවලදී හොදටම බැන්නා. වරෙක මට රංගන අවස්ථාවක් වැරදිලා කිව්වා 'මගෙ චිත්‍රපටවල පල් ඇක්ටිං දාන්න ලැහැස්ති වෙන්න එපා' කියලා. මට එදා හොඳටම ඇඬුණා. සේරම දමල ගහලා යන්න හිතුණා. නමුත් එදා ඔහු මට කෑගැහුවේ නැත්නම් අද මට මේ ලැබෙන ප්‍රතිචාර නැහැ. ඒ ලද පන්නරය මත ලද රංගනය නිසා උසාවිය නිහඬයි නරඹන හැමෝම මගේ රංගන හැකියාව උසස් අන්දමින් අගය කරනවා.

චිත්‍රපටයේ ඔබගේ චරිතය චන්දන පුෂ්පරුවන්. ඔහු සැබෑ චරිතයක්?

චන්දන රන් වැඩකරුවෙක්. ඔහු රත්තරං භාණ්ඩ හොරට හදලා අවසානයේදී උසාවියට යන්න වෙනවා. එම නඩුව ඔස්සේ තමයි කතාව දිග හැරෙන්නේ. එම චරිතයෙහි ස්වභාවය අනුව අතපය දිග ඇරලා ඔහු වැඩ කරනවා. එහෙම රූපගත කළ දර්ශන කිහිපයක්ම තිබුණා. අවාසනාවට ඒවා චිත්‍රපටයේ සංස්කරණයේදී ඉවත් වෙලා.

බිබිශන කොහොමද කලාවට එන්නේ?

මගේ ගම මිගමුව. මීගමු ශාන්ත ජෝශප් විදුහලෙනුයි අධ්‍යාපනය හැදෑරුවේ. පාසලේදීම නාට්‍ය රඟපාලා දස්කම් පෙන්නුවා. ඒ වගේම මීගමුව කොච්චිකඩේ පල්ලන්සේන දේවස්ථානයේ පවත්වන විවිධ කලා කටයුතු සඳහා නොපිරිහෙලා මං මගේ දායකත්වය සැපයුවා. දික් දක්නා තමයි මගේ පළමු වේදිකා නාට්‍යය. කඩදොර පළමු ටෙලි නාට්‍යය. ඉර මැදියම පළමු චිත්‍රපටය. සූරිය අරණ, සමනල තටු, වැහි දවස ආදී චිත්‍රපටයන්හි මං රඟපෑවා. දෙදහ අවුරුද්දේ විතර තමයි මං කලා ලොවට ප්‍රවිශ්ඨ වන්නේ.

ඒත් අප ඔබව දක්නට ලැබුණේ ඉතාමත් අඩුවෙන්?

එයට හේතුව තමයි මං මට ලැබෙන සෑම නිර්මාණයක්ම බාර නොගැනීම. විශේෂයෙන් මෙගා නාට්‍ය. වෘත්තීයෙන් නළුවෙක් වුණත් මං හෑල්ලු වෙන්න වැඩ කරන්නේ නැහැ. ඒ වගේම මේ ගමන මං හිමින් යන්නෙ. එහෙම වන කොට ස්පර්ෂ කරන්න පුළුවන් ප්‍රමාණයත් වැඩියිනෙ.

ඔබ වැඩිපුරම ප්‍රිය කරන මාධ්‍ය මොකක්ද?

කතා දෙකක් නැහැ සිනමාව.

මොකක්ද ඔබේ අරමුණ?

සිනමවේ වටින නළුවක් වෙන්න තමයි මට ඕනෑ.

උසාවිය නිහඬයි සිනමාපටයේ රඟපාලා ඔබට විඳින්නට ලැබුණු හොඳ රසික ප්‍රතිචාරය කුමක්ද?

ප්‍රතිචාර දෙකක් තියෙනවා. ඉන් එකක් රසික ප්‍රතිචාරයක් නෙවෙයි. කැත්ලින් ජයවර්ධන උසාවිය නිහඬයි සිනමාපටය ගැන ලිපියක් පත්තරේකට ලියලා තියෙනවා මං දැක්කා. ඒ්කේ ප්‍රසන්න විතානගේගේ කැමරා අධ්‍යක්ෂ එම්. ඩී. මහින්දපාල, වික්ටර් අයිවන් යන මහත්වරුන් ගැන සඳහන් කරලා මං ගැනත් කියලා තිබුණා. ඒක කියවලා මගේ සතුට නිම් හිම් නැතුව ගියා. තව වරෙක චිත්‍රපට ශාලවෙන් එලියට එද්දී පිරිසක් මං ගැන කතා කරනවා. ඒ කතා බහෙන් ඇහෙනවා චන්දන පුෂ්ප රුවන්ගෙ චරිතය රගපාන්නේ කේරළ නළුවෙක්ය යන වග. ඔවුන් හිතාගෙන ඉඳලා තියෙන්නේ මං ඉන්දියවේ කෙනක් කියලා.

කාලයක් තිස්සේ ජනප්‍රිය නොවී ඉඳලා උසාවිය නිහඬයි තුළින් ඔබ ලද නොසිතූ විරූ ජනප්‍රියත්වය ගැන මොකද කියන්න තියෙන්නේ?

මේ චරිතයක් එක්ක මිනිස්සු මං කවුද කියන වග හඳුනා ගත්තා. ඒ වගේම ප්‍රසන්න මහත්තයා මාව පොරක් කළා. ඒකට මං ඔහුට පින් දෙනවා. ඒ වගේම කියන්ට ඕනෑ මං මොන දේ ලැබුණත් ඉදිමෙන්නේ නැහැ. එදා වගේමයි අදත් මං.

මේ වන විට තවත් චිත්‍රපට සඳහා ආරාධනා ලැබිලද තියෙන්නේ?

උසාවිය නිහඬයි වගේ නමක් තියෙන ඩී. වී. ඩී ෆිල්ම් එකකට කතා කළා. මං ගියේ නැහැ. ඔවුන් කරන්න හදන්නේ මාව දාලා ඒ චිත්‍රපටය මාකට් කරගන්න. ඊට අමතරව මට චිත්‍රපට සඳහා නම් තවම කතා කළේ නැහැ.

මේතාක් කල් පැමිණි ගමනේදී කාටද ඔබට තුති පුදන්න තියෙන්නේ?

මගේ අම්මට, තාත්තට, ප්‍රසන්න මහත්තයාට, දමින්ද මඩවල ඇතුළු උසාවිය නිහඬයි ටීම් එකට සහ මාව නිර්මාණ සඳහා ගත්තු සෑම නිර්මාණකරුවෙකුටම.

ඔබව සම්බන්ධ කර ගැනීමට ඔබේ දුරකතන අංකය පවසන්න දැන් අවස්ථාව?

0779125480.