වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




සංජීවගේ දැවෙන විහඟුන්ට ටෝකියෝවේදී ෆිල්ම්ස් එක්ස් ජූරි සම්මානය

 

සංජීවගේ දැවෙන විහඟුන්ට ටෝකියෝවේදී ෆිල්ම්ස් එක්ස් ජූරි සම්මානය

ආන්දෝලනාත්මක සිනමාපටයක් වූ ඉඟිලෙන මාළුවෝ සිනමාපටය අධ්‍යක්ෂණය කළ සංජීව පුෂ්ප කුමාරගේ දෙවැනි සිනමාපටය වු දැවෙන විහඟුන් පසුගියදා නිමාව දුටු 17 වනි ටෝකියෝ ෆිල්ම් එක්ස් අන්තර් ජාතික සිනමා උලෙළේදී ජූරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය. එය මෙයට ප්‍රථම අන්තර් ජාතික සිනමා උලෙළයන් කිහිපයක් නියෝජනය කළ ද පළමුවරට අන්තර් ජාතික සම්මානයකින් පිදුම් ලැබුවේ මෙම උලෙළේදීය. දැවන විහඟුන් ශ්‍රී ලංකා ප්‍රංශ, දෝහ කටාර් සහ නෙදර්ලන්ත යන රටවල සම නිෂ්පාදනයකි. මහේන්ද්‍ර පෙරේරා, සමනලි ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනෙවිරත්න, ලියෝනි කොතලාවල, ශ්‍යම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදේ.


යළිත් සකුරා මල් පිපෙනු බලමු

ජපාන සිනමා උලෙළ හෙට ඇරඹේ

ජපන් තානාපති කාර්යාලය සහ ජපන් පදනම් ආයතනයේ සහයෝගයෙන් ජාතික චිත්‍රපට සංස්්ථාව එක්ව සංවිධානය කරනු ලබන ජපන් චිත්‍රපට උලෙළ මෙම මස 02 සිට 04 වැනිදා දක්ව ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ පැවැත්වේ. 02 වැනිදා සවස 6 ට යොෂිතාකා යමාගුචි අධ්‍යක්ෂණය කළ සමුරායි කැට් සිනමාපටය තිරගත වෙමින් උලෙළ ඇරැඹෙනු ඇත. 08 වැනිදා සවස 3 ට ඉසාඕ යුකිසදා අධ්‍යක්ෂණය කළ ද රවුන්ඩ් ටේබල් සහ සවස 5.30 ට ටෝයා සාටෝ, මාකොටෝ නගමුමා සහ මනාමි යමශිටා අධක්ෂණය කළ ද රෙඩ් ඇන්ඩ් වයිට් ඉන්විස්ටිගේෂන් ෆයිල් යන සිනමාපට තිරගතවේ.

4 වැනිදා උදෑසන 10 ට ඉෂින් ඉනුඩෝ සහ සිනිජි හිගුගචි අධ්‍යක්ෂණය කළ ද ෆ්ලෝටිං කාසල්, සවස 3 ට හිරෝයුකි නාකිඕ අධ්‍යක්ෂණය කළ ටයිම් ස්කුප් හන්ටිං සහ සවස 5.30 ට යෝෂිටාකා යමගුචි අධ්‍යක්ෂණය කළ සමුරායි කැට් යන සිනමාපට තිරගත වේ.


රොක්සාමි ගී ප්‍රසංගය 3 දා

නැසීගිය විශිෂ්ට සංගීත අධ්‍යක්ෂ එම්. කේ. රොක්සාමිගේ 28 වැනි ගුණ අනුස්මරණය සමරමින් පැරැණි සිංහල ගීත රසික සමාජය මඟින් සංවිධානය කරනු ලබන රොක්සාමි තැනූ ගී ඇතුළත් විචිත්‍රවත් ප්‍රසංගයක් මෙම මස 03 වැනිදා එනම් එන සෙනසුරාදා සවස කොළඹ නවනගර ශාලාවේදී පැවැත්වේ.


සරසවිය පාඨක සමාජයක් 7 දා

සරසවිය පුවත්පතට ළැදි, වසර ගණනාවක් තිස්සේ සරසවිය පුවත්පත හා අත්වැල් බැඳ සිටින සරසවිය පුවත්පතහි පාඨකයන් එක් රැස් කොට 'සරසවිය' රසික සමාජයක් පිහිටුවීමට කලා ශිල්පී ආනන්ද සේනාරත්න අපේක්ෂා කරයි. එහි මංගල මහ සභා රැස්විම මෙම මස 07 වැනිදා සවස 2 ට කොළඹ මහජන පුස්්්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා සහභාගි වන්න යැයි එහි කැඳවුම්කරු වන ආනන්ද සේනාරත්න විසින් සියලු සරසවිය පාඨකයන්ට විවෘත ආරාධනාවක් කරනු ලබයි.


ධම්මික බංග්ලාදේශ උලෙළට

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික සංගීත සහ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය ධම්මික දිසානායක මෙම මස 02 සිට 10 වැනිදා දක්වා බංගලා දේ්ශයේ ඩකා අගනුවර පවත්වන 14 වැනි අන්තර් ජාතික කෙටි සහ නිදහස් සිනමා නිර්මාණ සඳහා වූ අන්තර් ජාතික සිනමා උලෙළේ (ධ්ඉධ්ජ්ජ්) ජූරි සභිකයකු ලෙස තෝරාගෙන ඇත.

සිනමා හා රූපවාහිනි ක්ෂේත්‍රයේ වසර 30 කට වැඩි අත්දැකීම් ඇති ධම්මික මීට ප්‍රථම 2013 වසරේ 18 වැනි කේරළ අන්තර් ජාතික සිනමා උලෙළට සමගාමීව පවත්වන ලද ආසියානු ළමා සිනමා සමුළුවට ද සහභාගී වී තිබේ.


කිඩ්නැප් වැඩ ඇරඹේ

කිඩිනැප් නමින් සිනමාපටයක් නිෂ්පාදනය කරමින් යොවුන් සිනමා නිළියක් නිෂ්පාදිකාවක ලෙසින් කලඑළියට පැමිණෙයි. ඇය අමීෂා කාවින්දිය. අමීෂා නිෂ්පාදනය කරනු ලබන එම සිනමාපටය සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණයකි. මෙය ඔහුගේ සිව් වැනි සිනමා නිර්මාණය වන අතර මීට ප්‍රථම රජ හොරු, මයි නේම් ඉස් බන්දු සහ හොරා පොලිස් සුරංග විසින් අධ්‍යක්ෂණ්‍ය කරනු ලැබීය. මහේන්ද්‍ර පෙරේරා, අර්ජුන කමලනාත්, අමීෂා කාවින්දි, දුලානි අනුරාධා, ධනංජය සිරිවර්ධන, බුද්ධික ජයරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, රජිත හිරාන් චාමිකර, ඩී. බී. ගංගොඩතැන්න, අනුර බණ්ඩාර රාජගුරු, ඉන්දික ප්‍රසන්න, සුගත් ජානක, අනුරාධා එදිරිසිංහ, තරංති පෙරේරා, නිශානි ගමගේ, ඉන්දික මදුරගේ සහ දිනිත් ද සිල්වා කිඩ්නැප්හි නළු නිළි පිරිවර වේ.

මෙහි සංගීත අධ්‍යක්ෂණය සරත් ද අල්විස්ගෙනි. රුවන් වීරසිංහ සංස්කරණයෙන් දායක වෙති. තුසිත අනුරාධ, අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂවරුන්ය.

සුසන්ත කැළුම්ප්‍රිය බණ්ඩා සහ සමන් පද්ම කුමාරගේ කලා අධ්‍යක්ෂණයකි. සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂවරයාය. නිම්ශාන් වීරක්කොඩි සහ නදීෂ ඩයස් සහාය අධ්‍යක්ෂවරුන්ය. චාමර නිරෝෂන්ගේ අංග රචනයෙන් ද උරේෂා රවිහාරි, සංඛ දිනෙත් සහ බුද්ධික උශාන් ගී ගායනයෙන් ද දර්ශන දිසානායක, මංජුල ෆොන්සේකා සහ නාරද විතානගේ නිෂ්පාදන කළමනාකරුවන් ලෙස දායක වෙයි. ප්‍රියාන් අනුර ශ්‍රී ගේ ඇඳුම් නිර්මාණයකි. කිඩ්නැප්හි මුහුරත් උලෙළ ඉකුත් දා කොළඹ එක්සෙල් වර්ල්ඩ්හි පැවැත්විණ.


සිනමා නිර්මාණකරණ සම්මන්ත්‍රණයක් නොමිලේ

නිර්මාල් රාජපක්ෂ ප්‍රමුඛ මෝෂන් සිනමා කැල විසින් නොමිලයේ සංවිධානය කරන සිනමා නිර්මාණකරණය පිළිබඳ සම්මන්ත්‍රණයක් මෙම මස 04 වැනිදා දවස පුරා කිරිබත්ගොඩ වාසිටි උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ.