වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය කට්ටියගේ මෝඩකම් හා පුරසාරම්

 

සරසවිය කට්ටියගේ මෝඩකම් හා පුරසාරම්

මා 'සරසවිය' කර්තෘ මණ්ඩලයේ කටයුතු කරද්දී 'තරුණී' පත්‍රයේ කර්තෘ මණ්ඩලයේ සිටි මුදිත කාරියකරවන අපට එක් විය. මුදිතගේ පියා මහ පත්‍රකලාවේදී ඩී. එෆ්. කාරියකරවන මහතා ලේක්හවුස් වාර ප්‍රකාශන සියල්ලේම ප්‍රධාන කර්තෘව සිටියේය. සිළුමිණ හා ජනතා පත්‍රවල ප්‍රධාන කතුවරයාව සිටි ඔහු අපට ලබා දුන් උපදෙස් අගනේය. රාජකාරියේදී නීතිකාරයකු වුව ද ඉන් පිටදී ඔහු විනෝදශීලියෙකි. රසවතෙකි. හිතවතෙකි. ඒ තරම් සංග්‍රහශීලි පත්‍ර කලාවේදියෙක් මා දැක නැත. කාරියකරවන මහතා මා සමීපව ඇසුර කළේ එතුමා විශ්‍රාම ගත් පසුය. මගේ පොත් දොරට වැඩුම් කිහිපයකටම ඔහු සහභාගි විය. අන්තිම වරට ඔහු පැමිණියේ රෝද පුටුවේය.

අතීත තොරතුරු ගැන ඒ තරම්ම මතක ගබඩාවක් ඇති පත්‍ර කලාවේදියකු මට තවත් හමු වී නැත. එතුමා ජීවිතෙන් සමු ගැනීමට දෙදිනකට කලින් ද මම එතුමාට දුරකතනයෙන් කතා කළෙමි. ඒත් පැරණි සිදුවීමක් ගැන ඇසීමටය. ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් සිටියදි මට එම සංගමයෙන් සංවිධානය කළ ජනමාධ්‍ය පාඨමාලාවේ දේශන සඳහා ආරාධනා කිරීමට තරම් ඔහු කාරුණික විය. ඒ මහතා අද ජිවතුන් අතර නැතත් මුදිත හා අප අතර බැඳීම නම් අඛණ්ඩව පවතී. මුදිත ද තාත්තාට දෙවැනි නැත. විනෝදකාමී, කිවයුතු දේ මුහුණටම කියන, අවශ්‍ය තැනදී ඕනෑම කෙනෙකුට නිර්ලෝභීව උදව් කරන හිතවතෙකි. ඔහු සමඟ එක ළඟ මේස දෙකකට වී ගත කළ කාලය හරිම රසවත්ය. අපි වැඩ බෙදාගෙන විනෝදයෙන් කළෙමු. අතමිට ඇතිදා අපි ලෝඩ් නෙල්සන්, නැෂනල්, බ්‍රිස්ටල් අවන්හල්වලට ගොස් විනෝද කතා කියන්නෙමු.

මුදිත ලිවීමට මෙන්ම ඡායාරූප කලාවට ද හපන්ය. අපි හැම සතියකම විශේෂාංග ලිවීමට කලාකරුවන් කලාකාරියන්ගේ නිවෙස්වලට යන විට සිදුවන රසවත් අත්දැකීම් ලිවීමට බැරිය. ඒවා ඒ තරම්ම ආනන්ද ජනකය. මා එකල 'නවයුගය' පුවත්පතට ලියූ ' චරිත හමුවට' මුදිත කැමරාකරණයෙන් සහාය විය. දයානන්ද ගුණවර්ධන, සිරිල් සී. පෙරේරා, අමරහේවා මද්දුම, ලීල් ගුණසේකර, රොඩ්නි ජොන්ක්ලාස් ආදීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ශ්‍රේෂ්ඨ විද්වතුන් රාශියක් මේ ආකාරයට අපි හමුවීමු. මුදිතගේ වැඩ පිළිවෙළය. ඔහු හැම දෙයක්ම අකුරට කිරීමට ද දක්ෂයෙකි. අද ඔහු ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සභාපතිවරයාය. සරසවිය සම්මාන උලෙළ සංවිධාන කටයුතුවලදී හා විනිශ්චය මණ්ඩලය සම්බන්ධීකරණය කිරීමේද ඔහු හා මා එක්ව කළ කාර්යභාර්ය අදත් සෙනෙහසින් මතක් කළ හැකිය. මුදිතට එක තැනක රැඳීමට බැරිය. ලේක්හවුස් එකෙන් ඔහු දිවයිනට ගියේය. එතැනින් ලක්බිමට ද ලංකාදීපයට ද ගියේය.

මා සරසවිය කර්තෘවීමට ප්‍රථම ඔහු ලේක්හවුසියෙන් පිටව ගොස්ය. සරසවියට ඡායාරූප ලබා දෙමින් තව තවත් සරසවිය ඔප කිරීමට තවත් තරුණ ඡායාරූප ශිල්පියෙකුගේ සහාය ලැබීම සතුටට කරුණකි. 'දෙසතිය' පුවත් සඟරාවට බැඳී නිර්මාණාත්මක ඡායාරූප හා විශේෂාංග ලියූ ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ගෙන් සරසවියට ලැබුණේ ආලෝකයකි. අප විශාරද අමරදේවයන් ගැන කළ විශේෂ සරසවිය කලාපයේ මුල් පිටුවේ පළ වූ ඡායාරූපය ගැන විශේෂ ප්‍රසංශා අපට ගලා එන්නට විය. ද්වි භාෂා දැනුමක් තිිබූ ප්‍රියන්ජන් සුරේෂ් අපට විශේෂාංග ද ලියා දුන්නේය.

අප කර්තෘ මණ්ඩලයේ සිටි ගීත රචකයා කැමිලස් පෙරේරාය. (සිරිබිරිස් නොවේ). 'දිනමිණ' පත්‍රයේ උප කර්තෘවරයකුව සිටියදීත් විදේශ පිටුව සකස් කළේ ඔහුය. ගීත රචකයෙකු වූ ඔහු ගීතවත් ශීර්ෂ පාඨ (හෙඩින්) දැමීමට අති දක්ෂයකි. 'සරසවිය'ට මාරු වී ආ ඔහු වේලාව අවේලාව නොබලා වැඩ කරයි.

සරසවියේ කොපි කපා කොටා ඇතැම් විට නැවත ලියා සකස් කිරීමට ඔහු සූරයෙකි. 'සරසවියේ' වැඩකට වාහනයක් නැතිනම් ඔහු තම මෝටර් බයිසිකලේ කැමරා ශිල්පියා නංවාගෙන එම කාර්ය ඉටු කිරීමට තරම් කාරුණිකය. අතමිට තිබුණදාට ඔහු දෙවරක් නොසිතා විය පැහැදම් කරයි. සාද පවත්වයි. එකල ඔහු ලියූ 'විකසිත වත කමලේ' (සනත් නන්දසිරි) 'දේව මන්දීරේ' (රෝහණ සිරිවර්ධන) ගීතත්, 'මංගල තෑග්ග' චිත්‍රපටයට ලියූ 'වාසනා වේවා' (සනත් නන්දසිරි) සප්ත කන්‍යා චිත්‍රපටයට ලියූ 'උන්මාද වූ ප්‍රේමාදරේ' (කමල් අද්දරආරච්චි හා දමයන්ති ජයසූරිය) ගීත වඩාත් ජනප්‍රිය විය. කැමිලස් ද තමාගේ වටිනාකම නොදැන සිටි බව කනගාටුවෙන් වුවත් කිව යුතුය. මනුෂ්‍යත්වය අතින් නම් ඔහු අප හැම අභිබවා සිටියේය. මිතුරන්ට හිතවතුන්ට ඔහු බඩ බැඳගෙන උදව් කළේය. හැම පෞද්ගලික කටයුත්තකටම කැමිලස් තම මෝටර් බයිසිකලයේ නංවා කළ උපකාර මට කිසිදා අමතක නොවේ.

වරෙක අප කර්තෘ මණ්ඩලයේ සිටි අනුර බණ්ඩාර රාජගුරු සරසවිය සම්මාන උලෙළට 20 වසරක් සපිරීම නිමිත්තෙන් පළ කළ පත්‍රයට අපූරු ලිපියක් ලීවේය. එහෙත් ඒ ලිපිය පළ කිරීමට අවස්ථාවක් නොලැබුණේ අපේ කට්ටිය ගැන ලිපියක් ලිවීමට ධර්මසිරි ගමගේ මහතා භාර ගත් නිසාය. රාජගුරු ලියූ 'අපේ කට්ටියේ හපන්කම්, මෝඩකම්, පුරසාරම්' අත් පිටපත මා ළඟ තවමත් සුරැකිව ඇත. එහි කොටස් කීපයක් උපුටා දක්වන්නේ එය අගනා රසවත් ලේඛනයක් නිසාය.

'සරසවිය පත්තරයේ අපි හැමෝම එකම පවුලක අය මෙන් ජිවත් වීමු. අපේ පවුලේ ප්‍රධානියා රංජිත් කුමාර මහතාය. ඔහු අප හැමගේම මාර්ග උපදේශකයාය. අපි ඔහු අමතන්නේ 'රංජිත් අයියා' යනුවෙන්. ඒ නමට ඔහු කැමතිය. සර්, මහත්තයා යනුවෙන් අමතනවාට ඔහු අකමැතිය. ඒ ඔහුගේ මෝඩකමකි. නැත්නම් ගරු නම්බු ගන්නට කවුද අකමැති? අනේ එහෙම එකක් නැහැ. සහෝදරත්වයෙන් එක බත්පත බෙදා කන අපේ කට්ටියේ මොන පුහු ගරු නම්බුද? අපි හැම සහෝදරයෝ වෙමු. ඒ නිසා අප අතර විසඳා ගත නොහැකි ප්‍රශ්න ඉතා අඩුය.

උදේ 8.00 - 8.30 පමණ වන විට රංජිත් අයියා සරසවියට පැමිණෙයි. ඔහු පඩි පෙළ නැග එන විලාශයෙන් රංජිත් අයියාගේ 'මූඩ්' එක ගැන කියන්නට නම් අපි හැම විශාරදයෝ වෙමු. මේ විශාරද කණ්ඩායමට මා මෙන්ම සුසිල් ගුණරත්න, දීප්ති ෆොන්සේකාත්, සුසිල් ජිනප්‍රියත්, අරුණ ගුණරත්න පොඩි පුතාත්, විමල් තිලකරත්න ලොකු තාත්තාත් ඇතුළු වෙයි.

රංජිත් අයියා ඈත තියාම එන විට අපිට එපිටින් සිටින 'අතුරු මිතුරු' පත්තරේ සේවය කරන ඉස්සර සරසවියේ සිටි දැනටත් අපට ලිපි සපයන නෙළුම් විමලරත්න ළඟ මොහොතක් නතර වී විහිළුවක් තහළුවක් කර හෙමි හෙමින් එන්නේ නම් මූඩ් එක හොඳය. ඉතිරි වී ඇති කෙස් රොද කිහිපයෙන් අනාවරණ නළල් තලය වසා ගන්නට අසාර්ථක උත්සාහයක යෙදෙමින් කඩිසර ගමනින් පැමිණෙන්නේ නම් එන පොට එතරම් හොඳ නැත. ඒ බව හොඳින් දන්නා අපි හැම අතින්ම පරෙස්සම් වීමට වග බලා ගන්නෙමු. රංජිත් අයියා එන විට අනික් හැම පිරිසම තම අසුන්වලට වී සිටින්නේ නම් ඔහු වඩාත් සතුටු වෙයි.

සිකුරාදා සහ සඳුදා යන දෙදින සරසවියේ අපට වැඩ අධික දින දෙකකි. මේ දිනවල නොපැමිණීම රංජිත් අයියාගේ උදහසට හේතුවකි. නොවැළැක්විය හැකි හේතුවක්ම නිසා නොපැමිණී සිටින්නට අප හේතු දක්වා සිටියත් රංජිත් අයියා අන්දවන්නට අසීරුය. ඒ මන්ද අප නොඑන්නට උත්සාහ කරන හේතුව ඒ වන විටත් ඔහු දැන සිටීමය. සුසිල් ගුණරත්නත්, මමත්, දීප්තිත් බොහෝ විට මෙම උගුලේ පැටලෙන්නෝ වෙමු. එසේ නමුත් අවසන් මොහොතේ හෝ අවසරය ලැබෙන බව අපි දනිමු. කේන්ති ගිය විට වැරදි සොය සොයා බනින රංජිත් අයියා බැනීම අහවර වී යළිත් අප සමඟ මිත්‍ර වන්නට දරන උත්සාහය හරියට අපූරුය. මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ දීප්තිය. දෙවෙනි හරස් වීදියේ කඩ අතරින් නොපෙනී ගොස් හෙට්ටි වීදියෙන් මතු වී ලෝක වෙළඳපොළ ඔස්සේ විලාසිතා ලොවම වැලඳගෙන එන්නට දීප්ති මෙය අනර්ඝ අවස්ථාවක් කර ගනී. ඒ සඳහා ඇයට ගතවන්නේ ඉතා කෙටි කාලයකි.

අපි හැම කන්නේ බොන්නේ එකටය. කෑම කන විට 'සරසවිය ආපන ශාලාව' යැයි අපට කියයි. අප හැම ගෙදරින් ගෙන එන දේ බෙදා හදාගෙන කෑම කන්නෙමු. ගෙදර ගෘහ මූලිකයා කන තුරු සෙසු අය ඉවසන්නා සේ රංජිත් අයියා 'කෑම කමුද?' කියා අසනතුරු අපි සැවොම බලා සිටින්නෙමු. වයසින් අඩුම එකා වයසින් වැඩිම කෙනා රැවටීම ඇත්තේ අපේ පත්තරයේය. වයසින් අඩුම කෙනා අරුණ ගුණරත්නය. වයසින් වැඩිම කෙනා විමල් තිලකරත්නය. මේ නිසා ඔවුන් දෙදෙනාට රතු ඉර වැදීමක් නැත. අරුණ එන්නේ මොන ආකරයෙන් හෝ විමල්ට ලණුවක් කවා ගෙනය. අරුණගේ ලණුදීමේ ඉවරයකුත් නැත. විමල් ලණු කෑමේ ඉවරයකුත් නැත.

ඔස්වල්ඩ් ජයසිංහ මියගියදා අරුණ ලණුවක් නොව කඹයක් විමල්ට දුන්නේය. ඔස්වල්ඩ් ගැන සමරු සටහනක් ලියූ විමල්ට ලන්ඩන් නුවර ඔස්වල්ඩ් මිය ගිය ස්ථානයේ ලිපිනය දැන ගැනීමට උවමනාවක් විය. අරුණ ගත් කටටම ලිපිනය කීවේය.

අංක 10, ඩව්නින් වීදිය,

අරුණ ලිපිනය කියුවේය. එය බ්‍රිතාන්‍ය අගමැති නිල නිවසේ ලිපිනය බව විමල්ට එකපාරටම තේරුම් නොගියේය.

'ජනාදරයට පත් සිනමා නළු ඔස්වල්ඩ් ජයසිංහ ලන්ඩන් නුවර ඩව්නින් වීදියේ අංක 10 දරන ස්ථානයේ මියගිය පුවත . . .' ආදී වශයෙන් ලිපිය ලියූ විමල් එය අප කර්තෘ අංශයට බාර දුන්නේය.

ලිපිනය බොරුවක් බව එළිවුණු පසු කඩු කිණිසි, ටින්, බෙලෙක්ක, තැඹිලි කෝම්බ සහිතව විමල් කියූ වදන් අරුණට ජීවිතය පුරාවට අමතක නොවනු ඇත. මොන ප්‍රශ්න තිබුණත් 'සරසවිය කට්ටිය' තම රාජකාරිය අකුරට ඉටු කරති. පංගු පේරුවකින් තොරව එකා මෙන් සමගියෙන් වේලාව නොබලා වැඩ අවසන් කිරීමට සරසවිය කට්ටිය සමත් වෙති. කෙනෙකුට නොදෙවෙනි දක්ෂතා රැසකින් හෙබි අපේ කට්ටියේ සමගිය සහයෝගිතාව මේ හැම ක්‍රියාදාමයක් පසුපසම විය.

වසරකට වරක් සරසවිය සාමාජිකයන් සිය පවුලවල බිරින්දෑවරු. දරුවන් සමඟ විමෝද චාරිකාවක් යති. ඒ අප හැමගේම හදවත් සතුටින් පිරී ඉතිරී යන විනෝද සංචාරයකි. සරසවිය එකම රස ගුලාවකි. එහි දිනපතා සිදුවන රසවත් සිදුවීම් බොහෝය. අප හැමගේම හපන්කම්, මෝඩකම්, පුරසාරම් එහි අඩංගුය. ඒවා එකින් එක ලියන්නට විස්තර කරන්නට යෑම තවත් මෝඩකමක් විය හැකිය.

අනුර බණ්ඩාර රාජගුරු ලියූ මේ සටහන තුළින් එදා සරසවිය ඇත්තන් ගැනත්, ලියූ ලේඛකයාගේ ප්‍රතිභා ශක්තියත් මොනවට පැහැදිලි වේ. එහි කොටස් තෝරාගෙන සංස්කරණයෙන් තොරව පළ කිරීමට සිතුණේ එහි අගය එදට වඩා අදට අහිංසක රසයක් ඇති කිරීමේ අදහසිනි. එදා අපේ ලොකු තාත්තා වූ විමල් තිලකරත්න අද ජීවිතයෙන් සමුගෙනය. මේ සටහන රාජගුරු ලිව්වේ ඔහු ජීවතුන් අතර සිටියදී 1992 වසෙර්ය. ඔහුට මෙයින් අවමානයක් නොවේවා. ඔබව කාලාන්තරයක් අපේ සිත් හි සදා රැඳෙනු ඇත.