වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ

උදයකාන්ත වර්ණසූරිය ලියන

ඔයා එන්නකෝ දවසක ගෙදර

'ඒ පාර ගෑණි හොරා දැකලා බයවෙලා දුවගෙන ගිහින් නිදාගෙන හිටපු මිනිහට කිව්වලු 'අන්න හොරෙක් ගෙට රිංගලා, රෑ අපි කාලා ඉතුරු වෙච්ච කෑම කනවා. ඉක්මනට ගිහින් මොනව හරි කරන්න කියලා'

'ඉතිං'

'එතකොට ඒක අහපු මිනිහ හිනාවෙලා සන්තෝසෙන් කිව්වලු 'අමුතුවෙන් කරන්න දෙයක් නෑ. ඔයා හදපු කෑම කාල ඌට දීපු දඬුවම හොඳටම ඇති, ඌ නං ආයෙ මේ පැත්ත පළාතෙ එන එකක් නෑ කියලා'

මිහිරිගේ මුවට එක්වරම සිනහවක් නැඟිණ. එහෙත් ඊළඟට ඇය ඉදිරියේ සිටින සන්දේශ් දෙස බැලුවේ මුහුණට බොරු අමනාපයක් ද මවාගෙනය.

'ඔයා මට නේද හින්ට් එකක් ගැහුවේ'

'පිස්සුද මං යාන් එකක් කිව්වේ' සන්දේශ් එසේ කිවේ තම මුවේ තිබූ සිනහව තවත් වැඩිකර ගනිමිනි.

'ඉන්නකො මීට පස්සෙ මෙයාට මං කෑම මුකුත් හදල දෙන්නෑ'

'ඔය ඉතිං... මීට පස්සේ මං ඔයත් එක්ක කිසිම විහිළුවක් කරන්නෙ නෑ හරිනෙ'

එසේ කී සන්දේශ් පළතුරු යුෂ වීදුරව තුළ තිබූ බටය මුවට සමීප කරත්තේය. ජංගම දුරකථනයක් නාද වන හඬ ඇසිණි. එය මිහිරිගේය. හෑන්ඩ් බෑගය ඇර දුරකතනය අතට ගත් ඇය එහි මුහුණත බලා ඉන් පසු කනට සමීප කළාය.

'ඔව් අම්මා?'

අවධානයෙන් මොහොතක් දුරකතනයට සවන් දුන් මිහිරි අනතුරුව සන්දේශ් දෙස බලා අසුනින් නැගිට මඳක් එහායින් තිබූ යකඩ වැට සමීපයට ගියාය. පළතුරු යුෂ මඳක් පානය කළ සන්දේශ් සෙමෙන් වටපිට බැලුවේ දන්නා හඳුනන කිසිවෙක් අවන්හලේ සිටින්නේදැයි යන අදහසිනි. අද සති අන්ත දිනයක් නිසා අවන්හල තුළ වැඩි සෙනඟක් සිටී. මේ සන්දේශ් මිහිරි සමඟ මෙම අවන්හලට පැමිණි දෙවැනි අවස්ථාවයි. පළමු දිනයේත් ඔවුන් දෙදෙනා වාඩි වී සිටියේ මේ මේසයේය. අලංකාර විදුලි බුබුළුවලින් සැරසුණු රාත්‍රී එළිමහන් අවන්හල් පරිසරය සන්දේශ්ගේ සිත් ගෙන තිබුණේය. ආහාරපාන පවා රසවත් වූ අතර සේවකයින්ගේ හැසිරීම ද සුන්දර විය.

ඊළඟට සන්දේශ්ගේ දෙනෙත් නැවතුණේ තමන්ට පිටුපා මඳක් එහායින් යකඩ වැට අද්දර සිට ජංගම දුරකථනයෙන් කතාබහක යෙදෙන මිහිරි වෙතය. උසට සරිලන මහතකින් යුත් ඇගේ පැහැපත් සිරුර පිටුපසින් වුවත් හැඩකාරය.

සන්දේශ්ට පෙනෙන්නේ ඇය ඉතා බැරෑරුම් කතාබහක යෙදෙන බවය. මිහිරි තමාගෙන් මෑත්ව කලිනුත් මෙලෙස කතා කළ බවක් සන්දේශ්ගේ මතකයට නැඟිණි. ඇය එදාත් කතා කළේ අම්මා සමඟ බව ඔහු දනී. ඒත් මෙතරම් සමීපව සිටියදීත් මොහොතකට හෝ තමා මඟ හැරීම ගැන සන්දේශ් තුළ නම් ඇති වූයේ එතරම් කැමැත්තක් නොවේ.

'බෙහෙත් ටික දුන්නද? හරි පරක්කු වෙන් නෑ මං ඉක්මනට එන්නං'

ජංගම දුරකතනය අක්‍රීය කොට සන්දේශ් දෙස බලා සිනහවක් පෑ මිහිරි යළිත් අසුනේ වාඩි වී දෙහි යුෂ වීදුරුව මුවට සමීප කර ගත්තේය. පෙර ඇගේ මුහුණේ තිබූ සැහැල්ලු බව තරමක් වියැකී ගොස් ඇති බවක් සන්දේශ්ට සිතිණි.

'මොකද මිහිරි මට ඇහෙන්න කතා කරන්න බැරි තරම් ප්‍රශ්නයක්ද? මේ දෙවෙනි දවස'

වීදුරුවේ ඇති බටයෙන් මුව ඉවතට ගත් මිහිරි කතා කළේ ඔහු දෙස මොහොතක් බලා සිටීමෙන් අනතුරුවය.

'ඔයාට හංගන්න පුළුවන් දෙයක් නෙවි සන්දේශ්, ඒක මං කියන්නංකො'

සන්දේශ්ට මඳ සිනහවක් නැඟිණ. ඔහු සිනහවත් එක්කම අවට බැලුවේය. ඒ අතරතුර මිහිරිගේ කටහඬ ද ඇසිණ.

'කීයටද අපි යන්නෙ?'

සන්දේශ් එක එල්ලේම මිහිරිගේ මුහුණ දෙස බැලුවේය. එහෙත් ඔහුගේ මුවඟ තිබූ මඳ සිනහව එලෙසම විය.

'ඔයාට දැන් හදිස්සියි'

'අනේ නෑ සන්දේශ්'

'දැන් කියන්න බැරි කතාවක්ද?'

'මෙහෙම කියනවට වැඩිය මං ඔයාට පෙන්නලම කියන්නංකො. ඔයා එන්නකො දවසක අපේ ගෙදර'

'ඕකේ'

'ඇත්තටම සන්දේශ් ඔයාව කසාඳ බඳින්න කලින් මටත් විසඳගන්න ඕන ප්‍රශ්නයක් ඒක'

සාදයකදී අහම්බෙන් මුණ ගැසී මිහිරි හා බැඳි ඇසුර මෙතරම් දුරදිගක යාවි යැයි සන්දේශ් මුලදී සිතුවේ නැත. ඇගේ පියකරු පෙනුම මෙන්ම යහපත් ගති පැවතුම් දිනෙන් දිනම ඇය කෙරෙහි වූ බැඳීම ඔහු තුළ වැඩි කළේය. අනාගත සහකාරිය ලෙසින් තම ජිවිතගමනට ඇය එක්කර ගැනීමට තීරණයක් ගන්නට ඔහු තම සිතට වැඩි වධයක් දුන්නේ නැත. සන්දේශ් තම දෙමව්පියන්ට මිහිරි ගැන කලින් සඳහන් කර සිටියත්, ඇය හමු වී කතාබස් කළ පසු ඔවුනුත් ඇය කෙරෙහි අතිශයින් පැහැදුණු බව සන්දේශ් දනී. වෙළෙඳ ව්‍යාපාරයක හිමිකරුවන් වන තමන් තරම් වත්කමක් නොතිබුණත් ඇයත් ඉහළ මධ්‍යම පාන්තික පවුලකට අයත් වූවාය. සන්දේශ්ගේ දෙමව්පියන් ද යහපත් ගතිගුණ ඇති තරුණියක මිස මුදල් ප්‍රමුඛව තම එකම පුතුට සහකාරියක් ගැන සිතුවේ නැත. සියයට සියයක් නොවුණත් දෙදෙනාගේ කේන්දරවල ද සැලකිය යුතු තරම් ගැළපීමක් ද තිබීම සන්දේශ්ගේ මවගේ සිතට සෑහෙන සහනයක් විය.

'මිහිරි හම්බ වුණා ද පුතේ?'

සන්දේශ්ගේ මව ඇසුවේ ඔහු නාන කාමරය තුළ දිය නෑමෙන් අනතුරව එළියට පැමිණ කණ්ණාඩි මේසය සමීපයේ සිටගෙන සුවඳ විලවන් තවරමින් සිටියදීය.

'ඔව්'

'කවද්ද ගෙදර කට්ටිය මෙහේ එනවැයි කිව්වේ, කරන්න ඕන දේවල් කතා කරගන්න'

'ඉස්සෙල්ලා මං ගිහින් විස්තර බලාගෙන එන්නං'

'ඒක නං හොඳයි තමයි. ඉස්සෙල්ලා අපි එපැයි ගෑණු ළමයගේ ගෙදර යන්න. ඒකනේ සිරිත'

කාමරයෙන් ඉවත්ව යන අම්මා දෙස සන්දේශ් හිස හරවා බැලුව් සෙනෙහස පිරුණු දෑසිනි. දැන් ඇයට ඇති එකම බලාපොරොත්තුව, කුඩා කළ සිට සෙනෙහසින් හැදූ වැඩූ තම එකම ආදරණීය පුතා නිසි වයසට පැමිණ ඇති හෙයින් ඔහුට ගුණ යහපත් ලේලියක් ලබා දීමය. ඔහු තම ඉතිරි ජීවිතයත් සතුටින් ගත කරනු දැකීමය. තම දරුවන් වෙනුවෙන් සෑම මව් කෙනෙකුගේම අහිංසක පැතුම එයයි. හමු වී කතාබස් කළ පළමු දිනයේම මිහිරි පිළිබඳ පැහැදී අම්මා අතිශයින් සතුටට පත් වූ බව සන්දේශ් දනී.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පොත් රාක්කයක් අසල පොත් තෝරමින් සිටි මිහිරිට තම ජංගම දුරකථනයේ කෙටි පණිවිඩ සංඥා හඬ ඇසිණි. පොත් තේරීම මඳකට පසෙක ලූ ඇය කරේ එල්ලාගෙන සිටි කුඩා විසිතුරු ගමන් මල්ල තුළ තිබූ දුරකතනය අතට ගෙන එහි මුහුණත දෙස බැලුවාය. ඩ්ඪ... ධ්'ථ ඩ්ඥපඥ' යනුවෙන් එහි සටහන් වී තිබිණ.

ඒ සමඟම මිහිරිගේ සිතට කිසියම් සතුටක් දැනිණ. 'ධ්'ථ ඛ්ධථඪදඨ'යනුවෙන් දුරකථනයේ පණිවුඩයක් සටහන් කළ ඇය අනතුරුව කඩිනමින් පොතක් තෝරා ගන්නට පටන් ගත්තාය.

මිහිරි සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පශ්චාත් උපාධිය හදාරමින්ය.

සෙවන මාවතක් අසල නවතා තිබූ තම රියට හේත්තු වී සිටි සන්දේශ් ඉදිරියට පිය නඟන මිහිරි දැක මුවට මඳ සිනහවක් නඟා ගත්තේය. ඩෙනිම් කලිසමකින් හා අබ පැහැති ටී ෂර්ට් එකකින් සැරසුණු සන්දෙශ් අද වෙනදාටත් වඩා කඩවසම් යැයි මිහිරිට සිතිණ.

සන්දේශ් රිය සමීපයට පැමිණි මිහිරිට නඟන්නට එහි ඉදිරිපස දොර විවර කළේය.

'තෑන්ක් යූ'

ඉන්පසු සන්දේශ් ද රියට නැඟ බඳපටිය බැඳගෙන සන්ග්ලාස් යුගලයක් ද ගෙන දෑසට දමා ගත්තේය.

'ඔයා දන්නවද මිනිහෙක් ගෑනියෙක්ට නගින්න කාර් එකේ දොර අරින්නේ මොකද කියලා'

එසේ ඇසූ සන්දේශ් යතුර කරකවා රිය ප්‍රාණාවත් කර ගත්තේය. ඔහුගේ කටහඬට සවන් දුන් මිහිරි ඔහු දෙස බැලුවේ තරමක කුතුහලයකිනි.

'ඔයාම කියන්නකො'

'එක්කො ගෑනි අලුත්, එහෙම නැත්තං කාර් එක අලුත්'

'මොකක්ද ඒ කතාවෙ තේරුම?' මිහිිරි එසේ ඇසුවේ මුවට නැඟුණු හසරැල්ලත් සමඟමය.

'ගෑනි අලුත් නං එයාට බොරු ආදරේ පෙන්නන්න'

එසේ කී සන්දේශ් ගියරය නිසි තැනට යොමු කළේය.

'ගෑනි පරණ නං එයා අලුත් කාර් එකේ දොර කඩයි කියල බයට'

රිය එක්වරම ඉදිරියට ඇදුණේ මිහිරිගේ මුවේ විසිරුනු සිනහවත් සමඟමය. ඇය ඉන්පසු ඔහුගේ මුහුණ දෙස ඕනෑකමකින් බැලුවාය.

'හරි එතකොට දැන් ඔයා මට දොර ඇරියෙ මොකද? ගෑනිත් අලුත් නෑ. කාර් එකත් අලුත් නෑ. කියන්නකො'

මිහිරි එසේ ඇසුවේ රිය ඩුප්ලිකේෂන් පාරට හරවන අතෙර්ය.

'ඒ ඉතිං ඔයාට තියෙන සැබෑ ආදරය නිසානෙ'

මිහිරිට තවත් සිනා නැඟිණ.

'හපෝ මෙයාගේ තියෙන සැබෑ ආදරය'

'. . . ඔබට තියෙන ආදරේ මම ලියලා දෙන්න

ගසක තිබෙන තල්කොළ මදි ලියලා දෙන්න . . .'

සන්දේශ් ඒ වදන් පෙළ කීවේ ගීත ගායනයක් පරිද්දෙනි. ඒ වන විටත් මිහිරිගේ මුවෙහි සිනහව රැඳී තිබිණ.

'බලාගෙන දත් ටික හැලෙයි'

වේලාව සමීප පහට ආසන්නව තිබූ බැවින් මාවතේ තිබුණේ සැලකිය යුතු තරම් වාහන තදබදයකි. කෙසේ හෝ පැය භාගයකට පමණ පසු මිහිරිගේ මඟ සලකුණු ඔස්සේ බොරලැස්ගමුව නගර ආසන්යේ ඇති ඇගේ නිවස වෙත සමීප වන්නට සන්දේශ්ට හැකි විය. මිහිරිගේ අරාධනාව මත ඔහු ඇයගේ නිවසට පිය නඟන පළමු අවස්ථාවයි මේ.

නිවෙසේ පෝටිකෝව යට රිය නැවැත් වූ පසු මිහිරි යළිත් සන්දේශ් දෙස බැලුවාය.

'කෝ බහින්න ගෑනිට දොර අරින් නැද්ද?'

සන්දේශ් සිනාසුණා මිස කිසිවක් කීවේ නැත. මිහිරි ද සිනාසෙමින් රියෙන් බැස්සාය.

නිවෙසට ඇතුළු වූ සන්දේශ් සෙමෙන් වටපිට බැලුවේය. නිවස චාම් සහ පිළිවෙලකට සකස් කර ඇති බවක් ඔහුට සිතිණි. නිවසේ පැහැය හා බඩු බාහිරාදිය ඇසට ප්‍රිය උපදවන සුළුය. ගෘහණියක වශයෙන් නිවසක එවැනි දෑ පිළිබඳව මිහිරි තුළ වැටහීමක් තිබීම ඔහුගේ සිතට සතුට දනවන කරුණක් වූයේය.

'මොකෝ වටපිට බල බල කල්පනාව, එන්න ඇතුළට'

මෙවෙලේ සුදු පැහැයට හුරු සාරියකින් සැරසුණු මිහිරිගේ මව සිනහවකින් මුව සරසාගෙන ඉදිරියට එමින් සිටියාය. සන්දේශ්ට ඇය මීට පෙර එක් වතාවක් මුණ ගැසී තිබුණේය. තරමක් වයසට ගියත් ඇය ඉතාමත් පියකරු කාන්තාවක් යැයි ඔහුට සිතිණි.

'ආ . . . පුතා එන්න'

ඉදිරියට පැමිණි මිහිරිගේ මව වෙත සමීප වූ සන්දේශ් ඇගේ මුහුණ දෙපැත්තට හාදු දෙපළක් දුන්නේය.

'දුව කිව්වා අද පුතා එනවා කියලා. එන්න වාඩිවෙන්න'

තවත් මඳක් ඉදිරියට ගමන් කළ සන්දේශ් සාලයේ ඇති සුවපහසු සෙටියක වාඩි වූයේය. මිහිරිගේ මවත් ඔහු ඉදිරියේ තිබූ වෙනත් සෙටියක වාඩි වූවාය.

'අම්මල තාත්තල සනීපෙන් ඉන්නවද පුතා?'

'ඔව් ආන්ටි'

'අම්මත් එක්ක ටිකක් කතා කර කර ඉන්නකො මං එන්නං'

එසේ කී මිහිරි මඳකට එතැනින් ඉවත් වුවාය.