වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




අතිශය විශිෂ්ට සිනමා අත්දැකීමක් Moana

අතිශය විශිෂ්ට සිනමා අත්දැකීමක් Moana

“පටන්ගැන්මේදී ටේ-ෆිටි නම් දූපත් දෙවඟන සියළු ප්‍රාණීන් නිර්මාණය කළාය. ඉනික්බිති තමා දූපතක් බවට පත් වූවාය. ටේ-ෆිටිගේ හදවත වනාහි කුඩා ‘පොවුනාමු’ නම් කොරල් ගලකි. මේ හදවත තවත් දෙවියකු වූ මෞයි සොරකම් කළේය. මෞයිහට නොයෙක් ආකාරයේ වෙස් ගත හැකිය. ‘ලාවා’ යෝධයා වන ‘ටේ-කා’ ට මුහුණ දීම පිණිස මෞයි විසින් මෙය කරන ලද්දේය. මේ සොරකම නිසා මෞයිගේ ‘මසුන් අල්ලන කොක්කත් සොරකම් කළ හදවතත් මුහුදේ අන්ත්‍රස්ධාන විය. හදවත සොරකම් කෙරුණු නිසා ටේ-ෆිටි දිවයින සාප ලද්දේ වීය.”

වසර දහසක් ඉක්ම යයි. ටේ-ෆිටි වෙරළේ සිප්පි කටු ඇහිඳීමින් සිටින කුඩා දැරිය කි. ඇය දූපත් නායකයාගේ දියණිය, මොආනා වේ. මේ අතර ඇයට ටේ-ෆිටි දෙවඟන ගේ හදවත හමුවේ. ඇය නැවතත් ගම්මානය වෙත කැඳවා ගන්නා අතර, දිනෙන් දින වැඩී තරුණියක් වන මොආනාට දූපත මිය යමින් සිටින බව වැටහේ. සිය ජනයා බේරා ගැනීමට හැකි ඇයට පමණක් බව මොආනා සිය මිත්තනියගෙන් දැන ගනී. ධෛර්ය සම්පන්න වීර තරුණියක වන ඇය සමුදුර තරණය කරන්නට ඉටා ගනී. අතර මඟදී ඇයට මෞයි නම් දෙවියන් හමු වේ. මෞයි මොආනාට සිය අරමුණ සාක්ෂාත් කර ගැනීමට උපකාර කරයි.

පසුගිය මස 23 වැනිදා සිට ලොව පුරා තිරගත වන අලුත්ම ඩිස්නි චිත්‍රපටය, ‘Moana’  මෙලෙස දිග හැරේ. පොලිනීසියානු මිත්‍යා කතාවක් ආශ්‍රයෙන් නිර්මාණය කොට ඇති මෙය, ත්‍රිමාන, පරිගණක-සජීවීකරණ, සංගීතමය, වික්‍රමාන්විත, සුරංගනා කතාවක් බව සඳහන් වේ. එසේම මෙය අතිශය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම, විචාරක පැසසුම් ද ලත් චිත්‍රපටයක් බව පළමුවෙන්ම සඳහන් කළ යුතුය. ‘Moana’ 2016 වසරේ තිරගත වන අතිශය ඉහළ විචාරක පැසසුම් ලත් දෙවැනි ඩිස්නි නිර්මාණය වන අතර පළමු වැන්න පෙබරවාරි මස තිරගත වීම ඇරඹි ‘Zootopia’ බවද සිහිපත් කළ යුතුය.

රොන් ක්ලෙමන්ස් සහ ජෝන් මස්කර් නම් සම අධ්‍යක්ෂකවරුන් ගේ නිර්මාණයක් වන ‘Moana’  ඔස්නට් ශුරර් විසින් නිෂ්පාදනය කර ඇති අතර, ඉහත අධ්‍යකවරුන් ඇතුළු රචකයින් සත් දෙනෙකුගේ තිර රචනයකට අනුව නිර්මාණය වී ඇත. හඳුන්වාදෙන ‘ඖලියි ක්‍රවල්හෝ’ නම් හවායි ළමා ශිල්පිණිය මොආනා ට හඬ කවන අතර, චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන චරිතය වන මෞයි ට ජනප්‍රිය රංගන ශිල්පී ‘ඩ්වේන් ජොන්සන්’ විසින් හඬ දායකත්වය ලබා දෙයි.

විනාඩි 113 ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 150ක පිරිවැයක් දරා නිමකර ඇත. මොආනා නව ප්‍රබෝධමත් සංගීත ආරකින් පිරිපුන් චිත්‍රපටයකි. මොආනා හි සංගීතය පොලිනීසියානු ජන සංගීතයෙන් ඔපවත් වී ඇති අතර, මාක් මන්සීනා, ලීල් මැනුඑල් මිරන්දා සහ පොලිනීසියානු සංගීතඥයෙක් වන ඔපෙටියා ෆොයි විසින් සංගීත අධ්‍යක්ෂණය කර ඇත.

IMDB හි ලකුණු 8.4/10 ක්, රෝටන් ටෝමාටෝස් හි ලකුණු සියයට 98 ක් සහ මෙටා ක්‍රිටික් හි සියයට 81ක් වශයෙන් වාර්තා කර ඇති මෙම චිත්‍රපටය, ඩිස්නි චිත්‍රපටයන්හි විශිෂ්ටත්වයට තවත් ගැඹුරක් එක කරන බව රෝටන් ටෝමාටෝස් වෙබ් අඩවියේ ප්‍රමුඛ විචාරය පවසයි. චිත්‍රපටයේ කතාව, චරිත, සංගීතය මෙන්ම දෘශ්‍ය ප්‍රයෝග ද ඉතා ඉහළ තලයේ පවතින බව බොහෝ විචාරකයින් ගේ අදහසයි.