වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




කෝනේශ්වරම්වල තියෙන්නේ තාත්තා සොයාගත් ශිවලිංගය

කෝනේශ්වරම්වල තියෙන්නේ තාත්තා සොයාගත් ශිවලිංගය

මයික් විල්සන්ගේ දියණිය කියන කතාව පසුගිය සතියෙන්...

* තාත්තාගේ ඥෘතීන් අදටත් එංගලන්තයේ වෙසෙනවාද?

කවුරුත් නෑ. එයාගේ පවුලේ ඩැඩී විතරයි.

* තාත්තාගේ රන්මුතු දූව චිත්‍රපටය ගැන ඔබේ මතකය කොහොමද?

මම ඉපදෙන්නත් කලින් තමයි මේ චිත්‍රපටය තිරගත වෙලා තිබුණේ. මේ චිත්‍රපටය තාත්තා කරලා තිබුණේ ලෝකයේ ඒ වන විටත් වතුර යට මේ ආකාරයේ දර්ශන රූපගත කරලා නැති අවධියක. චිත්‍රපටය ප්‍රදර්ශනය කරපු මුල් වටයේ පිටපත් හයක් ප්‍රදර්ශනය කොට අදායම විදියට රුපියල් ලක්ෂ දාහතරක් සොයාගෙන තිබුණා. චිත්‍රපටය නිර්මාණය කරන්න රුපියල් ලක්ෂ හතරක් වැය වී තිබුණා. එයින් ලැබුණ ආදායම ඒ කාලේ හැටියට විශාල මුදලක්. පසු කලෙක 1977 දී රන්මුතු දූව නැවත වාරයක් ඔලිම්පියා ප්‍රමුඛ සිනමා ශාලා කීපයක අලුත් පිටපත් ප්‍රදර්ශනය කිරීම ඇරැඹියා.

* සෙරන්ඩිබ් නමින් පවත්වා ගත් චිත්‍රපට සමාගමේ හවුල්කරුවන් වුණේ කවුද?

ආතර් සී. ක්ලාක්, ශේෂා පලිහක්කාර, මයික් විල්සන්.

* මේ සමාගම පසු කලෙක අභාවයට යන්නේ ඇයි?

නිසි කළමනාකාරිත්වයකින් තොර අයථා මුදල් පරිහරණය නිසා.

* මයික්ගෙ නිර්මාණ මෙන්ම ආදායම් ද සීඝ්‍ර ලෙසින් පහලට ඇද වැටෙන්නේ ඔහු වෙත එල්ල වන මොන වගේ කලකිරීම් නිසාද?

මිත්‍ර ලීලාවෙන් පසු වූ සමහරු ඔහුගේ බුද්ධිය මුදල් කොල්ල කන්නේ ඔහුත් සමඟ රැඳෙමින්. මේ තත්ත්වය ඩැඩී දැනගන්න කොට වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි.

* සිංහල සිනමා වංශ කතාවේ සුවිශේෂී සංධිස්ථානයක් රනින් සනිටුහන් කළ පුද්ගලයෙක් ඔබේ පියා?

ඔව්. 1962 අගෝස්තු 10 වැනිදා සිංහල තිරය වර්ණවත් කළ රන්මතු දූව ප්‍රථම වර්ණ චිත්‍රපටය නිර්මාණය කළේ මගේ ඩැඩී.

* තන්ඩර් බෝල් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය සඳහා දිය යට දර්ශන රූ ගැන්වුණේ රන්මුතු දූව නැරැඹීමෙන් පසුව යන කථාව ඔබ අසා තිබෙනවාද?

ඩැඩීට කිසිදු වටිනාකමක් නොදී බුද්ධිය, දක්ෂකම මිත්‍රකමින් කොල්ල කාපු එක් සිද්ධියක් ඕක. රන්මුතු දූව චිත්‍රපටයේ දිය යට සටන් කළ හෙක්ටර් ඒකනායක හා ඔහුගේ කිමිදුම් කණ්ඩායම තමයි තන්ඩර්බෝල් චිත්‍රපටයේ දිය යට දර්ශන රැඟුවේ මගේ ඩැඩීගේ උපදෙස් මත. ඒත් ඔවුන් තාත්තාගේ නිර්මාණ ශක්තිය සූක්ෂම ලෙසින් කොල්ලකෑම ගැන තාත්තාට තිබුණේ දැඩි සිත් වේදනාවක්.

* මයික් 1967 දී හොරුන්ගෙත් හොරු චිත්‍රපටය නිර්මාණය කළේ ඔය වේදානාව යටපත් කරගන්නද?

සිත් වේදනාව යටපත් කර ගන්න ලංකවේ ජේම්ස් බොන්ඩ් හෙවත් ජේම්ස් බණ්ඩා චිත්‍රපටය හොරුන්ගෙත් හොරු නමින් නර්මාණය කළා.

* ඔබේ මව ලීස්, එළිසබත් ට්‍රේලර් වෙනුවෙන් පෙනී සිටියා නේද?

ලංකාවේ රූපගත කළ එලිෆන්ට් වෝක් චිත්‍රපටයේ එළිසබත් ටේලර්ගේ ඇතැම් දර්ශනවලට ඈ වෙනුවෙන් පෙනී සිටියා.

* හොරුන්ගෙත් හොරු මංගල දර්ශනය ඔබට මතකද?

මමයි නංගියි තමයි ඔය වගේ වැඩ කළේ. හොරුන්ගෙත් හොරු චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා අපි දෙන්නවත් තාත්තා එක්ක ගියා. අම්මත් මේ චිත්‍රපටයේ රඟපානවා. ඔය චිත්‍රපටයේ තිබුණා පූජිත මෙන්ඩිස් උල් ආයුදයකින් අපේ අම්මාට අනින දර්ශනයක්. ඔය දර්ශනය චිත්‍රපටයේ දිග හැරෙන කොට නංගියි මමයි හෝල් එකේ යටි ගිරියෙන් කෑගැහුවේ අපේ අම්මාව මරන්න එපා කියලා. අපි දෙන්නා හිටගෙන කෑගහන කොට අම්මටවත් බැරි වුණා අපි දෙන්නව නතර කර ගන්න. එදා චිත්‍රපටය බලපු හැමෝටම අපි දෙන්නගේ මේ කෑගැසීම විනෝදයක් ගෙන දුන්නා.

* රන්මුතු දූව සංස්කරණය කළේ ඔබේ නිවසේදී?

ඔව්. සංස්කරණයන් තිබුණේ අපේ ගෙදර. ටයිටස් තොටවත්ත (ටයි අංකල්) චිත්‍රපටය සංස්කරණය කළේ. ගෙදර කාමරයක තමයි මේ මැෂිම තිබුණේ. අපිත් පුංචි දවස්වල ඔය කාමර අස්සේ ඇවිදිනවා. ටයි අංකල් අපි ඒ කාමරයට එනවට කැමැති නැහැ. ටයි අංකල්ට පොඩ්ඩ වරදින්න බෑ අයෙ දෙකක් නෑ පදේ කියලා තමයි බැන අඬගහන්නේ. ඒ ටයි අංකල්ගේ හැටි. ටයි අංකල් කුණුහරුප කියලා කෑ මොර දෙන කොට අපිව බලා ගන්න හිටිය ආය ආච්චිල අපේ කනේ ඇඟිලි ගහනවා.

* එතකොට ඔබ මොකද කරන්නේ?

කුණුහරුප මටයි නංගිටයි හරිම විනෝදයක්. අපි දෙන්නා ආයෙ ආච්චිල කාමරෙන් එළියට දාලා දොර වහලා දෙන්නට දෙන්නා කුණුහරුපෙන් බැන ගන්නවා. ඒක අපි දෙන්නට හරිම විනෝදයක් වුණා.

* පසුව සංස්කරණ මැදිරිය බොරැල්ලට ගියේ කොහොමද?

අපේ ගෙදර තමයි චිත්‍රපට එඩිට් කළේ. මේ වැඩේ කළේ ටයි අංකල්. රන්මුතු දූව එඩිට් කළ මැෂිම තිබුණේ අපේ ගෙදර. අපේ ගෙදර පර්සියන් පූසෙක් හිටියා සුයෙන් කියලා. සියම් පූසෙක් හිටියා බුබස්ටස් කියලා. මේ පූසො දෙන්නා තමයි අම්මාගේ සුරතලුන් දෙන්නා වුණේ. මේ පූසෝ දෙන්නා මිලෙනුත් අධික වටිනාකමක් තියෙන සත්තු දෙන්නෙක්. දවසක් බුබස්ටස් පූසා අතුරුදහන් වුණා. අම්මලා හැම තැනම හෙව්වා. ඒත් හොයා ගන්න බැරි වුණා. ඔය අතරේ ටයි අංකල් එඩිට් කරන කාමරය විතරයි තව බලන්න තිබුණේ. කොහොම හරි ටයි අංකල් ඒ කාමරයේ දොර බාගෙට වහල තියෙන වෙලාවක බුබස්ටස් කාමරයට ගිහින් චිත්‍රපට රීල් බාත් එකක තිබුණ රීල් ගොඩට පැනලා බාත් එකේ මැරිලා.

අම්මා මේක දැනගත්තම හොදටම කේන්ති ගියා. ළඟ තිබුණ පුටුවක් අතට ගත්තා. ටයි අංකල්ට බැන බැන පුටුව කැඩෙනකන් බිම ගැහුවා. මේක ඇහුනම අංකල් කාමරෙන් එළියට පැනලා දිව්ව දිවිල්ලක් ආයේ නම් ටයි අංකල් එඩිට් කරන්න අපේ ගෙදර ආවේ නෑ. ඒ සිද්ධියෙන් පස්සේ මාස ගණනකට පස්සේ එඩිට් මැෂිම බොරැල්ලට ගෙනිච්චේ ටයි අංකල් ආයේ අපේ ගෙදර නොයෙන බව දැනගෙන. එදා අම්මා ටයි අංකල්ට කිව්ව කුණුහරුපවලට ටයි අංකල් වෙනද කියන කුණුහරුප නම් පරාදයි.

* උපතින්ම කතෝලික බැතිමතෙක් වුණත් රන්මුතු දූව පටන් ගන්නේ පාරමිතා බල පූජිත පූජිත ගීතයෙන්. ඔහු බුදු දහම ගැන දැන සිටියේ කුමක්ද?

මට මතක හැටියට මේ සිද්ධිය වුණේ 68’ දී විතර. දින වකාවනු වසර නම් මට හරියටම මතකයක් නැහැ. ඩැඩී විවේක වෙලාවට එයාගේ කාර් එකේ අපිව දාගෙන කොළඹ අවට පාරවල රවුමක් යාම සිරිතක්. දවසක් ඔය ආකාරයේ ගමනක් ගියා දෙහිවල ඇන්ඩර්සන් පාරේ කියලා යාන්තමට මතකයි. ඔය යන අතරේ බෝ ගසක් යට හිස් ඉඩමක හාමුදුරු නමක් භාවනායෝගීව වැඩ සිටිනවා ඩැඩී දැක්කා. එදා සාමාන්‍ය වැස්ස තිබුණ දවසක්. අපි විනෝද වෙමින් යන කාර් එක ඒ අසළ පාරේ නතර කළා. ටික වේලාවක් ඒ දෙස බලා උන්නා.

යළිත් කාර් එක ස්ටාර්ට් කළා අපිව අරගෙන ගෙදර ආවා. ඒ ඇවිත් ගෙදර තිබුණ චිත්‍රපට ෂූටින් කරන්න යන කොට අරගෙන ගිහින් තාවකාලිකව හදාගත්ත කූඩාරම්වලට ගන්න විශාල ටෙන් රෙද්දක් අරන් අර හාමුදුරුවෝ වැඩ ඉන්න තැනට ගෙන ගියා. එදා ගෙදර වැඩ කරන්න හිටිය කීප දෙනකුත් ඩැඩී අරගෙනයි ගියේ. එදා ඒ අයුරින් එතන භාවනායෝගීව වැඩ සිටියේ සුමේධ හිමියන්.

අර බෝගහ යට රැගෙන ආ ටෙන්ට් රෙද්දෙන් හාමුදුරුවන්ට කූඩාරමක් හදලා දුන්නා භාවනායෝගීව වැඩ ඉන්න. කොහොම හරි ඩැඩී ටික දවසකින් හාමුදුරුවන්ට ඒ හිස් ඉඩම අයිතිකරුවන්ගෙන් මුදලට අරගෙන පූජා කළා. ඒ භූමියේ ඩැඩී නැති බැරි අයට ජීවත් වෙන්න කියලා කාමර පේලියකුත් හදල දුන්නා. ඒ භූමියේ තමයි අද දෙහිවල, නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය හදලා තියෙන පන්සල ඉදි කරලා තියෙන්නේ. ඔය වගේ අප්‍රසිද්ධියේ වැඩ අපි නොදැන වුණත් තාත්තා තව කරන්න ඇති. කවදාවත් ඩැඩී බුද්ධාගම ගැන ඉගෙන ගන්න උනන්දු වුණෙත් නැහැ. ඒත් එයා හරි පුදුම මනුස්සයෙක්. වැස්සේ භාවනායෝගීව වැඩ සිටි සුමේධ හිමියන් දැකීම තුළ එයා තුළ අපි නොසිතූ පරිවර්තනයක් සිද්ධ වුණා.

* රන්මුතු දූව චිත්‍රපටය නිර්මාණය කිරීම මයික්ගේ කිමිදුම් ජීවිතයට තදින්ම බලපෑවා කියා ඔබට හිතෙන් නැද්ද?

හිතන්න පුළුවන් ඩැඩීගේ කිමිදුම් ජීවිතයේ අත්දැකිම් මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වෙලා තියෙනවා කියලා. මම කියන්නම් තාත්තා මාත් එක්ක කිව්ව අපූරු කතාවක්. මේ චිත්‍රපටය කරන්න කලින් තාත්තා ඇතුළු එයාලගේ පිහිනුම් කණ්ඩායම මුහුදේ කිමිදෙන කොට ත්‍රිකුණාමලය මුහුදේ කෝනේෂ්වරම්වල ගිලුණු නැවක් හම්බ වුණාලු. ඔය අතරේ කෝනේෂ්වරම් අවට ඩැඩීලා රැඳිලා ඉන්න කොට ස්වාමි කෙනෙක් ඇවිත් තාත්තාට කිව්වලු මෙතන පැරැණි කෝවිලක් තිබුණා. පෘතුගීසි ආක්‍රමණයත් එක්ක ඒක සම්පූර්ණයෙන් විනාශ කරලා මුහුදු බත් කළා කියා. එයා එක ඉල්ලීමක් ඩැඩීගෙන් කළාලු. මෙතන තිබුණ දෙවොලේ පෞරාණික ශිව ලිංගය මේ මුහුදු පතුලේ තියෙනවා. ඒක නැවත සොයාගෙන ගොඩ ගන්නවා නම් ඒ කළ හැක්කේ මගේ ඩැඩීට බවත් මේ ස්වාමි කියලා තියෙනවා.

ස්වාමි එහෙම කිව්වහම තාත්තාගේ හිතට පුදුම ජවයක් ආවලු. එයා තීරණය කළාලු ස්වාමි කිව්ව ඉසව්වේ කිමිදෙන්න. මේ හරියේ මුහුද විශාල ගැඹුරකින් යුක්තයිලු. අද කාලේ වගේ ගැඹුරට කිමිදෙන්න තරම් අවශ්‍ය පහසුකම් තිබුණෙත් නැහැලු. ඒ අවදානම් වැඩේට තාත්තාට පුදුම ශක්තියක් ආවලු. කොහොම හරි තාත්තා මේ ගැඹුරු මුහුදේ කිමිදිලා ජිීවිත අවදානම නොතකා ස්වාමි කිව්ව ශිව ලිංගය සොයා යන්න පටන් අරන්. ඔය විදියට මුහුදු පතුලේ සොයාගෙන යන කොට තාත්තාට රිදිී කාසි පවා හම්බ වුණාලු. පතුලේ ගල් කැබලි එකිනෙක ඈත් කරමින් යන කොට ස්වාමි කිව්ව ශිව ලිංගය තාත්තාට හම්බ වුණාලු. ඒ සතුටට තාත්තා වතුර යට මහා හයියෙන් කෑගැහැව්වලු.

අද ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිලේ තැන්පත් කරලා තියෙන්නේ පුරාණයේ පටන් කෝවිලේ තිබුණ පෘතුග්‍රීසින් කොල්ල කාපූ තාත්තා මුහුදු පත්ලේ සිට සොයා දුන්න ඒ පෞරාණික ශිව ලිංගයයි.

* සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා හා ඔබේ පවුලේ අය අතර සමීප සම්බන්ධයක් තිබුණා නේද?

ගාමිණී අංකල් ඩැඩී එක්ක කිට්ටු සම්බන්ධයක් තිබුණා. අපේ පවුල් අතර මිත්‍රත්වයේ ලොකු බැඳීමක් තිබුණා. ගාමිණී අංකල් චිත්‍රපටවල වැඩ සඳහා අපේ ගෙදර නිතර ආව ගියා මට මතකයි. ගාමිණී අංකල් එයාගේ කටට ඇඟිලි දෙකක් දාලා විසිල් එකක් ගහනවා. අයෙ දෙකක් නෑ. ඒ විසිල් සද්දෙට මමත් නංගිත් විතරක් නෙමෙයි, අපේ ගෙදර ඉන්න හූනො කැරපොත්තොත් ඒ සද්දෙට බය වෙනවා.

* ඔබ ගාමිණී ෆොන්සේකා වගේ සිගරැට් බිව්වාය කියන්නේ ඇත්තද?

ඒ කතාව මතක් වෙන කොටත් අදටත් මට ඒ සිද්ධිය මැවිලා පේනවා. ගාමිණී අංකල්ට දුම්බීමේ පුරුද්දක් තිබුණා. මේ පුරුද්ද දිහා මම පුංචි කාලේ බොහොම ආශාවෙන් බලා ඉන්නවා. ගාමිණී අංකල් ඇඟිලි දෙකට සිගරැට් එක මැදි කරගෙන හරි අපූරු විදියට මේ සිගරැට් එක පත්තු කරලා දුම් වලාවක් කට ඇතුළට උරලා පොඩි ශබ්දයක් එක්ක අහකට පිට කරලා දානනවා. හැබැයි සිගරැට් එකක අන්තිම වෙනකන් බොන්නෙත් නෑ. මගක් හරියේදී ඒක විසි කරල දානවා. මටත් මේ ක්‍රියාව දැක්කම ආස හිතුණා සිගරැට් එකක් බොන්න.

මම කලේ දවසක් ගාමිණී අංකල් ටිකක් බීලා විසි කරලා තියෙන සිගරැට් එකක් අහුලගෙන ඒ විදියට ඇඟිලි තුඩු දෙක අතරේ සිගරැට් එක තියන් උරන ඉරියව්වෙන් දුම් ඉරුවා. එක උගුරක් උඩට ඇද්දා. තද කැස්සක් ආවා. අයෙත් ඉරුවා. ඔය විදියට උගුරු කීපයක් උරලා වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිට්ටා. මට යා ගන්නත් බෑ. විසි වෙනවා. දුමට මත් වෙලා. එහෙට වැනෙනවා මෙහාට වැවෙනවා. කකුල් දෙක පැටලෙනවා.

ඔය අතරේ ගෙයි උඩ තට්ටුවේ හිටිය ගාමිණී අංකල් දාමිණී උඩට එන්න කියලා මට ඉංග්‍රීසියෙන් කතා කළා. මම උඩ ගිහිල්ලා බිම වැටුණා. ඒ අස්සේ මට කැරකැවිල්ලත් කැස්සත්. මම ඉක්මනට බැරි බැරි ගාතේ මිදුලට ගිහින් පේර කොළ කෑවා. දැන් වමනෙ යන්නත් එනවා. ගාමිණී අංකල් කම් ඩාලින් කම් ඩාලින් කියනවා. මමත් හෙමින් හෙමින් උඩ තට්ටුවට ගියා. ඒ යන කොට ඩැඩී, මමී එහෙමත් උඩ තට්ටුවේ බැල්කනියේ. එයාලත් කිසිම වෙනසක් ඇඟෙව්වේ නෑ. මට බැල්කනියේ තිබුණ පුටුවක ගාමිණී අංකල් වාඩිවෙන්න කිව්වා. ඔන්න එක පාරට ඇඟිලි දෙක කටට දාලා ගාමිණී අංකල් විසිල් පාරක් ගැහුවා අපේ ගෙදර වැඩට හිටිය චන්ද්‍රසිරිට හරි ජස්ටින්ට හරි එන්න.

ඒ වෙලාවේ එතනට ආවේ චන්ද්‍රසිරි. ගාමිණී අංකල් එයාට සල්ලි දීලා සිගරැට් පැකට් එකක් ගේන්න කියලා කිව්වා. ටික වෙලාවකින් චන්ද්‍රසිරි සිගරැට් පැකට් එකක් ගෙනත් ගාමිණී අංකල්ගේ අතට දුන්නා. එයින් එක සිගරැට් ඒකක් ගාමිණී අංකල් කටේ තියා ගත්තා.

ට පස්සේ සිගරැට් පැකට් එක මට ඇල්ලුවා. මම කිව්වා මම බොන්නේ නැහැ කියලා. ඒ පාර මගෙන් ඇහුවා බොන්නෙම නැද්ද කියලා. මම කිව්වා නෑම කියලා. ඒ පාර ගාමිණී අංකල් මහා හයියෙන් සැර කරලා කිව්වා සිගරැට් එක අරගන්න කියලා. මට සැර කළ නිසා බයත් දැනුණා. අම්මත් තාත්තාත් වගක් නැහැ. මම බල කරනවාට සිගරැට් එක අතට ගත්තා. ඊට පස්සේ ගාමිණී අංකල් මට කිව්වා දැන් ඉස්සෙල්ලා සිගරැට් බිව්ව විදියට මේකත් බොන්න කියලා. ඒ වචන ටික ඇහුණ ගමන් මට හීන්දාඩිය දැම්මා.

අංකල්ගේ බල කිරීමට මම සිගරැට් එක කටේ තියා ගත්තා. ගාමිණී අංකල් ලයිටරයෙන් සිගරැට් එක පත්තු කළා. දැන් මට බොන්න කිව්වා. මම දුම අදිනවා, පිට කරනවා, කහිනවා. ඔය විදියට එකක් ඉවර වෙන කොට එකක් පත්තු කරවනවා. දැන් මට තදින් කැස්ස. වමනෙත් එන්න උගුරට එනවා. ඔය අතරේ අම්මා කිව්වා ගාමිණී දැන් ඇති කියලා. ඒ පාර ගාමිණී අංකල් අම්මටත් තදින් කෑගැහුවා.

ඔය විදියට සිගරැට් පැකට් එක ඉවර වෙනකන් මට පෙව්වා. දැන් මට වමනෙත් යනවා. කැස්සත් ඉවසගන්න බැහැ. දුම ඇදලා මත් වෙලා කොහොම හරි එදා කැස්සත් එක්ක වමනෙත් ගියා. මාව ඉස්පිරිතාලෙත් එක්ක ගියා. ගාමිණී අංකල්ට පස්සේ හොඳටම දුක හිතිලා ඉස්පිරිතාලෙටත් ආවා මාව බලන්න. මම දැක්කා අංකල්ගේ ඇස්වල කඳුළු පිරිලා තියෙනවා. හැබැයි එදායින් පස්සේ මම සිගරැට් තියා සිගරැට් බොනවා දැක්කත් ඒ පළාතක ඉන්නෙත් නෑ. සිගරැට් අරහන් වුණා.

මම පස්සෙයි දැන ගත්තේ අම්මයි, තාත්තයි, ගාමිණී අංකලුයි මම පහළ ඉඳලා සිගරැට් බොනවා උඩ තට්ටුවේ ඉඳලා බලන් ඉඳලා එයාලා කතා වෙලා තමයි මට අර වගේ දඬුවමක් දීලා තියෙන්නේ කියලා.

* එදා එපා වෙච්ච සිගරැට් අද ඔබට නැතුවම බෑ වගේ?

මේ හුදකලා ජීවිතයේ යළිත් ඒ නරක පුරුද්දට මාව පොළඹවලා. ඒ ගැන මම කතා කරන්න කැමැති නැහැ.

* ඔබේ මව ලීස් හා ඔබේ පියා මයික් පසුව දික්කසාද වුණේ ඇයි?

ඩැඩී, මමී දික්කසාද වුණා. ඒ නීතියෙන් කොල කෑල්ලකට විතරයි. එහෙම වුණා කියලා ඒ දෙන්නා විරසක වෙලා හිටියේ නැහැ. එකට ගෙදර අපිත් එක්ක වාසය කළා.

* ඇයි ඒ වගේ තීරණයක් ගනු ලැබුවේ?

පසු කාලෙක ඩැඩී ගෙවා දැමූ ජීවිතයට ඇතුළත් වෙන්න එය බාධාවක් වූ නිසා වෙන්න ඇති.

ඉතිරි කොටස ලබන සතියේ...