වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




වේදිකාවේ තුන් දෙනාම සිල්වා

වේදිකාවේ තුන් දෙනාම සිල්වා

අශෝක සෙනරත් මුදලිගේ

අශෝක සෙනරත් මුදලිගේ අධ්‍යක්ෂණය කළ 'සිකියුරිටි සින්නතම්බි' වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය මේ මස 20 වැනිදා පොළොන්නරුවේදී වේදිකා ගත වෙයි. වසර 20 කට පමණ පසු නැවතත් නිෂ්පාදනය වන 'සිකියුරිටි සින්නතම්බි' පිළිබඳත්, සිය වේදිකා ආගමනය පිළිබඳත් අශෝක සෙනරත් මුදලිගේ 'සරසවිය' සමඟ කළ සාකච්ඡාවකි.

* මේ තරමටම වේදිකා නාට්‍යයවලට කැමැත්තක් ඔබගේ සිතේ පිළිසිඳ ගත්තේ කවදා පටන්ද?

මා පාසල් ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයටයි. එහිදි මගේ නාට්‍ය ගුරුවරයා බවට පත් වුණේ ප්‍රවීණ රංගධරයෙක් වුණු උපාලි අත්තනායකයි. මගේ දක්ෂතා දැක්ක ඔහු පාඨශාලයීය නාට්‍ය තරගය සඳහා කළ 'ගල් පල්ලෙන් ගඟට පැනලා එගොඩ පීනමු' කියන වේදිකා නාට්‍යයේ රඟපෑමට සහභාගි කර ගත්තා.

ඒ පාසල් දරුවෙක්ගේ චරිතයක් සඳහායි. ඒ අතරම පාසලේ සංගීත ගුරුවරයා වුණු සරත් දසනායකයන්ගෙන් මම සංගීතයත් ඉගෙන ගත්තා. මේ කුමන දේ කළත් මගේ කැමැත්ත වී තිබුණේ රඟපෑමට නොව අධ්‍යක්ෂණයටයි. ඒ අදහස මා ඉෂ්ට කර ගත්තේ පාසල් අධ්‍යාපනය අවසාන වීමෙන් පස්සේ එළිමහන් වේදිකාවට කළ වේදිකා නාට්‍යයක් මඟින්.

* වර්තමානයේ ක්ෂේත්‍රයේ සිටින කලාකරුවන් කිහිප දෙනෙකුත්, ජනප්‍රිය රැල්ලේ කලාකරුවනුත් ඔබගේ මේ නිර්මාණවලට දායක වෙනවා නේද?

ඔව්. ප්‍රේක්ෂකයන් අතර බොහොම ජනප්‍රිය වුණු නිහාල් සිල්වා එළිමහන් වේදිකාවේ පළමුව රඟපෑවේ මගේ වේදිකා නාට්‍යයකයි. ඔහු වගේම දයාරත්න රටගෙදර, සංජය ලීලාරත්න, සරත් පීරිස් ඒ අතර සිටිය වග මට හොඳට මතකයි. ඒ කාලයේ මා කෙටි නාට්‍යයක් ලෙස නිර්මාණය කළ 'මෙහෙව් රටේ' කියන වේදිකා නාට්‍යය දිගු නාට්‍යයක් ලෙසත් නිර්මාණය වුණා.

ඒ නිර්මාණය වේදිකා ගතවුණේ ලුම්බිණියේ. එහි රංගනයට නිහාල් සිල්වා වගේම සරත් පීරිස් ද සහභාගි කර ගන්නට මට හැකි වුණා පමණක් නොවෙයි, ඔවුන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණය වන්නේත් එතැන් සිටයි.

ඒ වගේම මා කළ 'නායකයා' කියන නාට්‍යයට නිහාල් හා සරත් හැරුණු විට සංජය ලීලාරත්න, සම්පත් තෙන්නකෝන්, මෙලනි අශෝකා, ආශා සේපාලිකා වගේම ජීවන් කුමාරතුංගත් රංගනයෙන් සහභාගි වුණා. එදා පටන් අද දක්වා පැමිණි මේ ගමනේ 'සිංහ දියණිය', 'සැරද යම ලෝ පති', 'ඇනකොණ්ඩා', 'සිකියුරිටි සින්නතම්බි' ඇතුළු වේදිකා නාට්‍ය දාහතරක් කරන්නට වරම් ලැබීමම මා ලැබූ භාග්‍යයක්.

* එහෙත් ඔබ කලක් තමන්ගේ මව් රටත් හැර දමා යනවා?

ඊට බලපෑවේ කලා ලොවේ එකල තිබුණු තත්ත්වයයි. විශේෂයෙන්ම මා ලියූ 'ද්‍රෝහියෝ' තිර නාටකය සම්බන්ධව ඇතිවුණු ගැටලුව මේ සඳහා මූලිකවම බලපෑවා.

ඓතිහාසික කතාවක් වුණු මේ තිර නාටකය තිර නාටක බැංකුවේදී ඒ ශ්‍රේණියේ තිර නාටකයක් ලෙසත් වර්ගීකරණයකට ලක් වූ නිර්මාණයක්. චිත්‍රපටය නිෂ්පාදනයේදී මා ඊට දැමූ නම වෙනස් වුණත් ප්‍රවීණ නළු නිළියන් රැසක් එහි රඟපෑවා.

මේ නිර්මාණයේදී ඇති වුණු විවිධ ගැටලුත් සමඟ ඇතිවුණු කලකිරීමයි මා රට හැර දමා යෑමට හේතු වූයේ. ලංකාවට පැමිණියාට පස්සේ මා දුටුවේ ඒ චිත්‍රපටයේ මගේ නමවත් සඳහන් වී නොතිබුණු බවයි.

ඒ සඳහා නඩුවක් දැම්මත් නිවැරැදිව කාරණා ඔප්පු කර ගන්නට නොහැකි වීම නිසා එයත් අසාර්ථක වුණා. ඊට පසුවයි මා 'සිකියුරිටි සින්නතම්බි' වේදිකාවට රැගෙන එන්නේ. ඒ 1994 වසරේදී.

* 'සිකියුරිටි සින්නතම්බි' වේදිකාවට නැඟෙන්නේ කුමන පරමාර්ථයක් පෙරදැරිවද?

මේ නිර්මාණයෙන් කතාබහ කෙරෙන්නේ ආරක්ෂක නිලධාරීන් පිළිබඳයි. ආරක්ෂක සේවා සපයන ආයතනයක සිදු වන සිදුවීමක් මූලික කර ගනිමින් නිර්මාණය වන මේ නාට්‍යයේ ජාති, ආගම් බේදයකින් තොරව අපි සියල්ලන්ම එකට ජීවත් වෙමු කියන අර්ථය සපයනවා.

* මේ වේදිකා නාට්‍යය නැවතත් වේදිකා ගත වන්නේ වසර විස්සකට පසුවයි. පිටපතේ වෙනස්කම් රැසක් සිදු වුණාද?

හාස්‍යෝත්පාදක නාට්‍යයක් විදියට වේදිකා ගතවන මේ නාට්‍යයේ ඒ සිද්ධිය අලුත් විදියකටයි අපි ඉදිරිපත් කරන්නේ. එදා මෙහි පාලිත සිල්වා, මෙලනි අශෝකා ඇතුළු බොහෝ දෙනෙක් රඟපෑවා.

එහෙත් වර්තමානයේ සිකියුරිටි සින්නතම්බිගේ චරිතය සඳහා මා යොදා ගත්තේ දීපාල් සිල්වායි. ජීවන් හඳුන්නෙත්ති, ගාමිණී කුමාර, ලක්ෂ්මන් ආරච්චි, සරත් පීරිස්, ශිෂන්ති ජයතිලක, ආශා සේපාලිකා, කරු අතුකෝරාල, පූජා කුමාරි, ජේ. ඒ. කරුණාරත්න, ශක්‍යා ප්‍රදීපිකා, රනිල් වික්‍රමසිංහ කියන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ද එහි රඟපානවා.

එදා පටන් අද දක්වාම මැරයාගේ චරිතය හා හාමුගේ චරිතයට ලක්ෂමන් ආරච්චි හා ගාමිණී කුමාරත් පණ පෙවීම විශේෂත්වයක්.

* 'සිකියුරිටි සින්නතම්බි' කියන්නේ වර්තමානයේ වේදිකා ගතවන හාස්‍යෝත්පාදක යැයි කියා ගන්නා අනෙක් නාට්‍ය වගේ වේදිකා නාට්‍යයක්ද?

මේ නාට්‍යයේ ඇතුළත් හාස්‍ය මැවෙන්නේ අනෙක් නිර්මාණවල වගේ කිති කවාගෙන සිනාසීම මඟින් නොවෙයි. ඒ නාට්‍යය පෙළ මඟින් යම් අර්ථවත් බවක් ප්‍රේක්ෂකයන්ට රැගෙන එන්නයි අප නිතරම උත්සාහ කරන්නේ. එහිදි ඉබේම ප්‍රේක්ෂකයන්ට සිනහ නැඟෙනවා.

* මේ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය පොළොන්නරුව වැනි ඈත පළාතක ආරම්භ කරන්න සිතුවේ ඇයි?

මෙහි නිෂ්පාදක ලෙස කටයතු කරන රෝහිත වික්‍රමසිංහ පොළොන්නරුවේ කෙනෙක්. ඒ නිසයි අපි 'සිකියුරිටි සින්නතම්බි' පොළොන්නරුවේ වේදිකා ගත කරන්න තීරණය කළේ. එහි මුහුරත් උළෙල පැවතුණේත් පොළොන්නරුවේමයි. රෝහිත මල්ලිමයි කිව්වේ අපේ ප්‍රදේශයේ කිසිම දවසක මේ වගේ නාට්‍යයක් රස විඳලා නැති නිසා මංගල දර්ශනය ඒ ප්‍රදේශයේ තියමු කියලා. අපි සියල්ලන්ම ඒ අදහසට එකඟ වුණා.

මගේ වේදිකා නාට්‍ය දාහතරෙන් මේ නාට්‍යයේදී පමණයි ඈත පළාතක මෙලෙස මංගල දර්ශනය පැවැත් වෙන්නේ. ඒ කාරණයත් මගේ ජීවිතයට විශේෂයි.

* නිහාල් සිල්වා, පාලිත සිල්වා, දීපාල් සිල්වා කියන සිල්වලා තිදෙනාම අද ජනප්‍රිය රංගන ශිල්පීන්?

නිහාල් සිල්වා මේ නාට්‍යයේ කිසි දවසක රඟපාලා නැහැ. නමුත් ඔහු වේදිකාවට එන්නේ මගේ නාට්‍යයකින්. ඒ කොහොම වුණත් ඔහු රඟපෑ 'සාජන්ට් නල්ලතම්බි' කියන වේදිකා නාට්‍යය කියලා වෙනත් අය පසු කාලයේ එක් එක් කෝලම් වේදිකාවට රැගෙන ආ බව ඇත්තයි.

නමුත් නිහාල් සිල්වා අප අතරින් සමු ගත්තාට පස්සේ එහි රඟපෑ පාලිත සිල්වා යළිත් ඒ නිර්මාණයට දායක වුණේ නැහැ. ඒ අතරදියි එදා මා ඔහුට මගේ නාට්‍යයට කතා කළේ.

* වර්තමානයේදී වේදිකාවට නැගෙන මේ නාට්‍යය ගැන කතා කළොත්?

දීපාල් සිල්වා වේදිකාවේ රඟපාන්නේ වසර පහළොවකට පසුවයි. ඒ 'සිකියුරිටි සින්නතම්බි' කියන මගේ වේදිකා නාට්‍යයෙන්. මේ නිසා නිහාල් සිල්වා, පාලිත සිල්වා, දීපාල් සිල්වා කියන තිදෙනාම මට අධ්‍යක්ෂණය කරන්න ලැබෙන්නේ වේදිකාවේදියි.

මේ කාරණයත් මගේ ජීවිතයේ විශේෂ සිදුවීමක්. ඒ වගේම ඔවුන් හිත හොඳ අපූරු ශිල්පීන් පිරිසක්. එහෙත් මෙවැනි හිත හොඳ අය අතර තමන්ට නඟින්න දුන්න ඉණි මඟට පයින් ගහන ඇතැම් පිරිසකුත් කලා ලොවේ ඉන්නවා. ඒ වගත් සිහිපත් කළ යුතුමයි.

* 'සිකියුරිටි සින්නතම්බි' කොළොම්පුරවරයේ වේදිකා ගත වන්නේ කවදාද?

මේ වන විට අපට දර්ශන රැසක් කරන්නට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ අනුව කොළඹ අවට මුලින්ම බොරලැස්ගමුවේ නාට්‍යය වේදිකා ගත වන්නේ 22 වැනිදා.

ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් 27 වැනිදා බණ්ඩාරගමදීත්, 21 වැනිදා පන්නලදීත්, 24 වැනිදා ගාල්ල ඇතුළු තවත් ස්ථාන රාශියකත් සිකියුරිටි සින්නතම්බි වේදිකා ගතවීමට නියමිතයි. එමෙන්ම ඉදිරි දිනකදී 'සිකියුරිටි' සින්නතම්බි' වේදිකා නාට්‍යය චිත්‍රපටයක් කිරීමටත් මා අදහස් කරගෙන සිටිනවා.