වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




පනහයි කිව්වට විස්සයි

පනහයි කිව්වට විස්සයි

අමීර්, ෂාරුක්, සල්මන් එකම යුගයක බොලිවුඩයේ ජනප්‍රිය වූ ඛාන් ත්‍රිත්වයයි. පසුගිය සතියේ බොලිවුඩය සුපිරි තරුවකගේ උපන් දිනයකින් හැඩ වුණා. ඒ අමීර්ගේ උපන්දිනය යි.

මෙවර උපන් දිනය විශේෂ අයුරින් සමරන්න අමීර්ගේ ආදරණීය බිරිඳ කිරන් රාඕ සියලු කටයුතු සූදානම් කරලා තිබුණේ. මෙවර අමීර් සැමරුවේ ඔහුගේ ජීවිතයේ පනස් වැනි කඩඉමයි. පනස් වැනි උපන්දිනය කියන්ගේ කෙනෙකුගේ ජීවිතයේ විශේෂ දිනයක්. අමීර් විතරක් නෙවෙයි. ශාරුක් සහ සල්මානුත් මේ අවුරුද්දේ ඔවුන්ගේ පනස් වැනි උපන්දින සමරන්න සූදානමින් සිටින්නේ.

අමීර්ගේ පනස් වැනි උපන්දින සාදයට අනිල් කපූර්, විද්‍යා බාලන්, රාජ් කුමාර් හිරානි, කරන් ජොහාර්, මුකේෂ් අම්බානි, රාකේෂ් ඕම් ප්‍රකාශ්, සිද්ධාර්ත් රෝයි කපූර් සහ බොලිවුඩයේ නව යුවළ කුනාල් කපූර් සහ නයිනා බච්චන්ද පැමිණ තිබුණා. ඒ වුණත් කිංඛාන් නම් මේ වෙනුවෙන් ආරාධනා නොලැබූ බවයි ආරංචි වෙන්නේ. අමීර්ගේ පවුගේ නෑදැයන් වගේම හිතවතුන් විශාල පිරිසක් පසුගිය 14 වැනිදා අමීර්ට සුබ පතන්න මේ උත්සවයට සහභාගි වුණා.

කුඩා කාලයේ දී අමීර් උපන්දිනයට ලබන්න කැමැතිම තෑග්ග බවට පත් වෙලා තියෙන්නේ සරුංගල්. ඒ නිසාම පොඩි කාලයේදී අමීර්ට සරුංගල් ගොඩක් තෑගි ලැබිලත් තියෙනවා. පනස් වැනි කඩඉම පැන්න අමීර් දැන් ඉන්නේ විශාල සතුටකින්.

“අද මම මේ වගේ සාර්ථකත්වයක් ලබා ගෙන තියෙන්නේ මගේ ජීවිතයේ වැරදුණු තැන් වලින්. මගේ සාර්ථකත්වයේ රහස එයයි. මගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලය තරමක් අසීරු එකක් වුණා. ආරම්භයේ සමහර චිත්‍රපට සාර්ථක වුණේ නැහැ. ඒ නිසාම මට වැරදි හදාගන්න අවස්ථා ලැබුණා.

අද මම මගේ පනස් වැනි උපන් දිනය සැමරුවත් මම හිතන්නේ මගේ වයස අවුරුදු විසි දෙකක් වත් නැහැ කියලායි. මට දැනෙන්නේ මට තාම වයස අවුරුදු විස්සක් වගේ. පනහ කියන්නේ ඉලක්කමක් විතරයි. මට මගේ වයස මතක් වෙන්නේ මම වයස අවුරුදු දහඅටේදී හෝ විස්සේදී විතර ලෙහෙසියෙන් කළ දෙයක් දැන් ආයෙමත් කරන්න කිව්වොත් විතරයි. අද මම මගේ ජීවිතයේ බොහෝ සතුටු දවසක්. සුළු පිරිසකට තමයි මේ වගේ සතුටක් සැහැල්ලුවක් දැනෙන්නේ.

දක්ෂයන් රැසක් බිහි කළ ක්ෂේත්‍රයකට එන්න ලැබීමත් වාසනාවක් මට වගේම ෂාරුක් සහ සල්මන් මේ අවුරුද්දේ පනහ කඩඉම පනින්න සූදානම්. මං හිතන්නේ නැහැ අපි තුන්දෙනාගෙන් එක් කෙනෙකුටවත් වයස අවුරුද පනහක පෙනුම තියෙනවා කියලා. අපි තුන් දෙනාටම දැන් දහඅටයි. තව වසර කියිහපයකින් අපේ වයස අවුරුද විසිපහ වේවි”. අමීර් කියන්නේ හරිම සැහැල්ලුවෙන්. ඒ වගේම මේ තුන්දෙනාටම යෞවනියන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලත් කිසිම අඩුවක් වෙලා නැහැ.