වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




ලතා - ආශා - ඌෂා - පද්මිණි කොලහපූර් - ශක්ති කපූර් එක පවුලේ නෑදෑයෝ ශ්‍රද්ධා කපූර් ලතාගේ මිණිබිරියක්

ලතා - ආශා - ඌෂා - පද්මිණි කොලහපූර් - ශක්ති කපූර් එක පවුලේ නෑදෑයෝ ශ්‍රද්ධා කපූර් ලතාගේ මිණිබිරියක්

ඉන්දියාවේ පමණක් නොව මුළු ලොවේම ආකර්ශනය දිනාගත් ගීතයෙන් ලෝකයම සැනසූ භාරතයේ ගීත කෝකිලාවියගේ පවුල් ගස පිළිබඳව අද හින්දි සිනමාවේ පවුල් ගසෙන් කියවමු. ලතා මංගේෂ්කාර් ඇතුළුව සිනමාව ගීතවත් කළ සොයුරියන් ඇතුළු මංගේෂ්කාර් - බර්මන් පවුලේ වතගොත අද අපට විශේෂ වුණා.

භාරතයේ සංගීත ක්ෂේත‍්‍රයට සුවිශේෂ වූ මංගේෂ්කාර් පවුල ආරම්භ වන්නේ පණ්ඩිත් දීනනාත් මංගේෂ්කාර් ගෙනි. දීනනාත් මංගේෂ්කාර් ඉන්දියාවේ සුප්‍රකට වේදිකා නාට්‍ය නළුවෙක් මෙන්ම සංගීත ශිල්පියෙක් ද විය. ඔහුගේ පළමු බිරිය නර්මදා (විවාහයට පෙර ශ්‍රීමතී)ය. දීනනාත් - නර්මදා විවාහය 1922 වසරේදී සිදු කෙරිණි. විවාහ වී කෙටි කලකින් නර්මදා මරණයට පත් වූයෙන් දීනනාත් නර්මදාගේ නැඟණිය ශිවන්ති විවාහ කර ගත්තේය. ඒ 1921 වසරේදීය. දීනනාත් - ශිවන්ති යුවළට දියණියන් සිව් දෙනෙක් සහ එක් පුත්‍රයෙකු වේ. ඔවුන් භාරතය සංගීතයෙන් මෙන්ම ගීතවත් කළ වටිනාම චරිත බවට පත් විය. ලතා, මීනා, ආශා, ඌෂා සහ හරිද්‍යනාත් පිය ආභාෂයෙන් මෙන්ම ස්වකීය හැකියාවෙන් සංගීතයේ හිනි පෙත්තටම පැමිණියේය.

භාරතයේ ගීත කෝකිලාවිය හෙවත් ලතා මංගේෂ්කාර්, මංගේෂ්කාර් පවුලේ වැඩිමහල් දියණියයි. ඇය උපතින් ලද නම වූයේ හරිධ්‍යාය. නමුත් වේදිකා නාට්‍ය ශිල්පියෙකු වූ දීනනාත් තම වැඩිමහල් දියණීය ඇමතූයේ ලතිකා ලෙසිනි. ලතිකා යනු එකල වේදිකා නාට්‍ය චරිතයකි. ලතිකා පසුව ලතා නම් වූවාය. භාරතයේ එදා මෙදාතුර මිහිරිතම කටහඬක් හිමි කෙනෙක් වේ නම් ඒ ඇයයි. පරම්පරා ගණනාවක් ගත වුව ද ඇයගේ හඬ තවම තරුණය. 1942 වසරේදී චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය මේ වන විට ගීත තිස් දහසකට වැඩි සංඛ්‍යාවක් ගායනා කර තිබේ. විවිධ භාෂා 36 කින් ගීත ගායනා කර ඇති එකම ගායිකාව වන්නේ ද ඇයයි. එහිදී ඇය අපට ද සමීප වන්නීය. සැඩ සුළං චිත්‍රපටයේ ආනන්ද සමරකෝන් විසින් රචනා කරන ලද 'ශ්‍රී ලංකා ජය භූමි' සහ 'ඉදිරියට යමු සැවොමා' ගීත ගයමින් ලාංකේය ගීත ක්ෂේත්‍රයට ද සමීප වූවාය.

අද සාර්ථක ගායන ශිල්පිනියක වුව ද ලතා පැමිණි ගමන සුන්දර එකක් නොවීය. වයස අවුරුදු දහතුන සපිරෙන විටදී සිදු වූ පියාගේ වියෝව හේතුවෙන් පවුල ගොඩ ගැනීමේ වගකීමෙන් කොටසක් ඇයට ද පැවරිණි. ඒ වෙනුවෙන් ඇයට තිබුණේ එකම මාර්ගයකි. එය ගායනයයි. මිහිරි කටහඬ දෙවියන්ගෙන් ඇය ලැබූ වටිනාම ත්‍යාගයක් විය. ඒ මිහිරි හඬින් ඇය දශක හතක් පුරා ලොවම ගීතවත් කරන්නීය. එහෙත් ඉරණම ඇය තනිකඩ කිරීම වෙනුවෙන් ලිය වී තිබුණි. ලොවටම ආදරය ගැන ගී ගැයූ ලතාගේ ආදරයට දෙපාර්ශවයේ මාපිය විරෝධය නිසා ඇය සිය ජීවිතය තනිකඩව ගෙවන්නීය. ඇගේ ප්‍රේමය හිමි වූයේ ප්‍රවීණ සංගීතඥ සී. රාමචන්ද්‍රන්ටය. භාරත රත්න, පද්ම භූෂන්, පද්ම විභූෂන්, දාදා සහබ්පාල්කේ සම්මාන ඇතුළු සම්මාන රැසකින් ද ඇය පිදුම් ලැබුවාය.

මීනා මංගේෂ්කාර් ලතාගේ වැඩිමහල් සහෝදරියයි. ඇය ද ඉන්දීය ශාස්ත්‍රීය සංගීත ශිල්පිනියකි. චිත්‍රපට පසුබිම් ගායනයට ද දායක වූ ඇය ළමා ගී රැසක් ගායනා කර තිබේ. හින්දි ගී මෙන්ම මරාති ගීත ගායනයේ ද සුවිශේෂී වන්නීය. ඇයගේ පුතු යෝගේෂ් ද ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ වූවේය.

ආශා බෝස්ලේ ද බොලිවුඩයේ අතිශය ජනප්‍රිය ගායිකාවක වන්නේ මංගේෂ්කාර් පවුලේ උරුමයක් ලෙසිනි. ඇය මංගේෂ්කාර් පවුලේ තෙවැනි දියණියයි. චිත්‍රපට පසුබිම් ගායනයට අමතරව ඇය පොප්, ගසල්, බජන් ගීත රාශියක් ගායනා කළා සේම රංගනයට ද දායක වූවාය. මහේෂ් කොඩ්යාල් අධ්‍යක්ෂණය කළ Mai  චිත්‍රපටයේ (2013) වැන්දඹු මවකගේ චරිතයට පණ පෙවුවාය. ආශා 2000 වසරේදී දාදා සහබ් පාල්කේ සම්මානයෙන් ද, 2008 වසරේදී පද්ම විභූෂන් සම්මානයෙන් ද පිදුම් ලැබුවයා.

ලතා මෙන්ම ආශා ද භාෂා රැසකින් ගීත ගායනා කර තිබේ. ඉන්දීය ප්‍රාන්ත භාෂා ඇතුළුව භාෂා 20 කින් මේ වන විට ගීත ගායනා කර ඇත. භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් සමඟින් 'දේදුන්න සේදි වෑ නිල්ල උතුරා' ගීතය ගයමින් සිංහල ගීත ගායනයට ද එක් වූවාය. ආශා මේ වන විට හින්දි ගීත 7875 ක්, බෙංගාලි ගීත 3000 ට අධික සං්‍යාවක් සහ මරාති ගීත 2000 ට ආසන්න සංඛ්‍යාවක් ගායනා කර තිබේ. තවමත් ඇය ඉන්දීය සිනමාව ගීතවත් කරන්නීය.

එස්. ඩී. බර්මන් හෙවත් සචින් දේව් බර්මන් මංගේෂ්කාර් පවුලට සම්බන්ධ වන්නේ ආශාගේ දෙවැනි විවාහය සමඟිනි. සචින් දේව් ද බෙංගාලි ජාතික සුප්‍රසිද්ධ සංගීතඥයකු සහ ගායකයෙකු විය. ආශාගේ දෙවැනි විවාහය සිදු වෙන්නේ ඔහුගේ පුත් රාහුල් දේව් බර්මන් හෙවත් ආර්. ඩී. බර්මන් සමඟිනි. සචින් දේව් බර්මන් පිළිබඳ විශේෂ කතාවක් වේ. එයට ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ද සම්බන්ධ වේ. සචින්ගේ සීයා එස්. ඩී. ගේ ප්‍රබලතම රසිකයෙකි. එනිසා ඔහු තම මුණුබුරා හට සචින් යන නම ලබා දී ඇත.

ආර්. ඩී. බර්මන් සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ 1960 වසරේදීය. Teesi Kaman, Sholay, Sanam Teri Kasam, Masoom, 1942: A Love Story, Beetab ඔහුගේ සාර්ථකම නිර්මාණ අතර වේ.

ඌෂා මංගේෂ්කාර් පණ්ඩිත් දීනනාත් මංගේෂ්කාර්ගේ සව්වැනි දියණියයි. මංගේෂ්කාර් පවුලේ බාල සහෝදරියයි. ඌෂා ද හින්දි, මරාති, නේපාල සහ ගුජරාටි භාෂා රාශියකින් ගීත ගායනා කරන්නීය. පණ්ඩිත් හරිද්‍යනාත් මංගේෂ්කාර් මංගේෂ්වර් පවුලේ එකම සහෝදරයායි. ඔහු විවාහ වී සිටින්නේ මරාති හාස්‍ය රංගන ශිල්පි දමුඅන්නා මලාවන්කාර්ගේ දියණිය සමඟිනි. හරිද්‍යනාත් සිය වෘත්තීය සංගීත දිවිය ආරම්භ කළේ Akash Ganga නම් මරාති චිත්‍රපටයෙනි. 2009 වසරේදී ඔහු ශිව සේනා පක්ෂයෙන් දේශපාලනයට ද පිවිසියේය.

ඉන්දීය ජනප්‍රිය නිළි පද්මිණී කොලහාපූර් මංගේෂ්කාර් පවුලට නෑකම් කියන්නීය. ඇයගේ පියා හරිනාත් කොලහපූර් ලතාගේ මස්සිනා කෙනෙකු වන්නේය. ඒ පද්මිණීගේ මිත්තනිය ලතාගේ පියාගේ සොහොයුරියයි. පද්මිණී ලතාගේ ඥාති ලේලියක වන්නේ එලෙසිනි. තේජස්විනි හා ශිවන්ති පද්මිණීගේ සොයුරියන් වේ. පද්මිණි 1976 වසරේදී Zindagi චිත්‍රපටයෙන් සිය රංගන දිවිය ආරම්භ කළාය. 2013 වසරේදී ඇය ද ආශා බෝස්ලේ සමඟින් ර්චඪ චිත්‍රපටයේ ආශාගේ දියණියගේ චරිතය නිරූපණය කළාය.

පද්මිණීගේ අනෙක් සොයුරිය ශිවන්ති විවාහ වී සිටින්නේ බොලිවුඩ් සිනමා නළු ශක්ති කපූර් සමඟිනි. ශක්ති සහ ශිවන්තිගේ දියණිය හා පුතු ද සිනමාවට සම්බන්ද වූහ. පුතු සිද්ධාන්ත් කපූර් නළුවෙකු මෙන්ම සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරයි. ඔහු 2013 වසරේදී Shootout at Wadala චිත්‍රපටයෙන් රංගනයට අත්පොත් තැබීය. ඉන් පසු පසුගිය වසරේදී Ugly සහ Jaz Baa චිත්‍රපට සඳහා ද දායක වූයේය.

වර්තමානය වන විට ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින ශ්‍රද්ධා කපූර්, ශක්ති කපූර්ගේ දියණියයි. ඇය ද ලතා, ආශා ඇතුළු මංගේෂ්කාර් පවුලට සම්බන්ධ වන්නීය. 2000 වසරේදී Teen Patti චිත්‍රපටයෙන් ආරම්භ කළ ඇයගේ රංගන දිවියේ AashiQui 2, Ek Villain,Haider චිත්‍රපටවල ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගත්තයා. එමෙන්ම රංගනයෙන් සම්මාන රැසක් සඳහා නාමයෝජනා වී හොඳම නිළිය ලෙසින් සම්මානයට ද පාත්‍ර විය. මීළඟට ABCD 2 චිත්‍රපටයෙන් ඇය ඔබ හමුවට එන්න නියමිතයි.