වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




බ්‍රැන්ඩෝ හා මා උසින් එක සමානයි

බ්‍රැන්ඩෝ හා මා උසින් එක සමානයි

කමල් දුටු විශිෂ්ටතම රංගධරයන් හත් දෙනා

අද පුදුම හත වෙන් වන්නේ කලා ක්ෂේත්‍රයට අමිල සේවාවක් සිදු කළ සුවිශේෂී වූ කලාකරුවෙක් වෙනුවෙන්. සිය රංගනයෙන් වේදිකාව, පුංචි තිරය, සිනමාව, වර්ණවත් කරමින් ජය කෙහෙළි නැංවූ ඔහු තම ස්වකීය කට හඬින් ද රසික හදවත් අමන්දාන්දයට පත් කළේ සම්මානනීය ගායකයකු බවට පත් වෙමිනි.

ව්‍යාපාරිකයකු වශයෙන්ද අද වන විට නමක් දිනා සිටන ඔහු සම්මානනීය රංගවේදී කමල් අද්දරආරච්චි. කමල් 2002 වර්ෂයේ ‘සරසවිය’ සම්මාන උළෙලේ හොදම නළුවා ලෙසින් සම්මාන ලැබූවේ, ‘අග්නිදාහය’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.

අද පුදුම හතට ඔහු දුටු හොඳම රංගවේදීන් හත් දෙනා ගැන සිහිපත් කළේ මෙලෙසින්.

ජෝ අබේවික්‍රම

ජෝ අබේවික්‍රම රංගන ක්ෂේත්‍රයේ සිටි සියුම් හැඟීම් මෙන්ම, අතිශයෝක්තියෙන් හැඟීම් ප්‍රකාශ කළ හැකි වූ අපේ සිනමාවේ සිටි පතාක යෝධයෙක් ලෙසයි මම දකින්නේ.

ඒ වගේම ඔහු එකිනෙකට වෙනස් ලෙසින් චරිත ඉදිරිපත් කළ හැකි වූ සුවිශේෂ රංගන ශිල්පියෙක්.

එවැනි වූ රංගන ශිල්පීන් අපේ කලා ක්ෂේ්ත්‍රයේ විරළයි. ඔහු රඟපෑ ‘අවරගිර’ චිත්‍රපටයට මමත් රංගනයෙන් දායක වුණා.

වැලිකතරේ ගෝරිං මුදලාලි සේම ‘දෑස නිසා, තුංමං හන්දිය, සොල්දාදු උන්නැහේ’ චිත්‍රපට මෙන්ම ‘පුරහඳ කළුවර’ චිත්‍රපටය නරඹන විට ජෝ නම් වූ රංගධරයාගේ සුවිශේෂත්වය මනා ලෙසින් දැක ගන්නට පුළුවන්.

චරිතාංග නළුවෙක් ලෙසින් විවිධ චරිත නිරූපණයේදී ක්‍රමානූකූලව චරිතයෙන් චරිතයට ඒ ඒ වෙනස්කම් ගෙන යමින් ඉහළම සාධාරණයක් ඉටුකළ නළුවකු ලෙසත් මම ජෝ මහත්තයා දකිනවා. ඒ වගේම ඔහු අපට අපේ අනාගත රංගන ක්ෂේත්‍රයට ඉතිරිකර ගිය දේ බොහෝයි.

ගාමිණී ෆොන්සේකා

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා අපේ රංගන ක්ෂේත්‍රය ලද වටිනා සම්පතක්. ඔහු අපේ සිනමා ඉතිහාසයේ සදාතනික චරිත රාශියකට පණ දුන් රංගධරයෙක්.

නිධානය, පරසතුමල්, සරුංගලය, යුගාන්තය, හුලවාලි වැනි එකිනෙකට පරස්පර සිනමා නිර්මාණයන්ට ජීවය ලබා දෙමින් ඔහු පෑ රංගන පෙළහැර අපේ සිත් සතන් තුළින් කිසිදා බැහැර කිරීමට නොහැකි සේ අප හදවත් තුළ නිධන්ගත කිරීමට ඔහු සමත් වුණා.

තාක්ෂණික රංගනය මනා ලෙස ප්‍රගුණ කළ රූපණවේදියෙක් ලෙසින් ඔහු ලාංකේය සිනමාවට විශේෂ වෙනවා.

ඔහු සතු චතුරමය භාෂා හැසිරවීම එලෙසම සුවිශේෂි කරුණක්. සිංහල භාෂාව මෙන්ම ඉංග්‍රිසී භාෂාවද ඉතාම චතුර ලෙසින් හැසිර වූ ඔහුට වෙනත් තරගකරුවකු අපේ සිනමාවේ නොවූ තරම්. ඔහු සතු වූ පෞරුෂයත් සියල්ල අතරේ ඔහු ඉහළටම ඔසවා තැබුවා. මම දකින ලෙසින් ගාමිණි ෆොන්සේකා නම් මහා රංගධරයා ඉතාම සංවේදි මනුෂ්‍යයෙක්.

ඒ වගේම නළුවකු, අධ්‍යක්ෂවරයකු මෙන්ම කලාත්මක කාව්‍යමය හැකියාවෙන් පරිපූර්ණ වූ චරිතයක්. මෙවැනි හැකියාවන් රැසක් සතු වූ කලාකරුවන් අපට හමුවන්නේ ඉතාම කලාතුරකින්. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා එවැනි වූ සුවිශේෂී චරිතයක්.

ලියනාඩෝ ඩිකැප්‍රියෝ

ලියනාඩෝ ඩිකැප්‍රියෝ අප කවුරුත් අතර ජනප්‍රිය වූයේ Titanic චිත්‍රපටය සමගින්. ඔහු තම හැකියාවෙන් හොලිවුඩයේ ඉහළම ජනප්‍රියත්වයක් ලද නළුවන් අතරට පැමිණීමට සමත් වී තිබෙනවා.

අඩි හයකටත් වැඩි උසකින් යුතු ආරෝහ පරිණාහ දේහයකින් යුතු වූ ඔහු සාර්ථක රංගන ශිල්පියෙක් සේම නිෂ්පාදකවරයෙක් බවටද පත්ව සිටිනවා.

චරිතාංග නළුවකු ලෙසින් විශාල වපසරියක විහිද ගියා වූ චරිත රැසක් නිරූපණය කළ රංගන ශිල්පියෙක් ලෙසින් ද මම ඔහුව දකිනවා. සමහර වෙලාවට ඔහුගේ රංගනය දකිනවිට ඊර්ෂ්‍යා හිතෙන අවස්ථාත් නැතුවාම නොවෙයි.

වීර චරිත, අධික මතට ලොල් වූ චරිත වගේම බොළඳ ආදර චරිතද ඔහු තුළින් දකින්නට පුළුවන්. රළු දැඩි මිනිසෙක් වගේම බොළඳ සීනිබෝල චරිතයකුත් ජීවමාන කරවන්න ඔහුට පුළුවන්.

ඔහු සහජ හැකියාවෙන් හොලිවුඩය තුළ තම අනන්‍යතාව ගොඩනඟාගත් රංගන ශිල්පියෙක්. ජනප්‍රියත්වය සේම ඉහළම ආදායම් ලද නළුවන් අතර පෙරමුණට පැමිණීමටද ඩිකැප්‍රියෝ සමත් වෙන්නේ මේ සියලු කාරණා පෙරදැරිවයි.

මෑත කාලයේ ඔහු රංගනයෙන් දායක වූ මෙන්ම සම්මානනීය වූ The Wolf of Wall Street චිත්‍රපටය මම දැඩි කැමැත්තෙන් නැරඹූ චිත්‍රපටයක්.

මාලන් බ්‍රැන්ඩෝ

ලොව අද්විතීය නළුවන් අතරේ පෙරමුණ හිමිවන්නේ ඔහුටයි. ලෝක සිනමාවේ සක්විති නම් මාලන් බ්‍රැන්ඩෝ ලෙසින් නම් කළත් වරදක් නැති තරම් ඉතා දක්ෂ අයුරින් තම ප්‍රතිභාව පෙන්නුම් කළ රංගධරයෙක් ලෙසින් මම ඔහු දකිනවා. මට තියෙන්නේ ඔහුගේම උසමයි. මාලන් බ්‍රැන්ඩෝ පිළිබඳ සුන්දර අතීත මතකයකුත් මගේ හිතේ තියෙනවා.

අපි පාසල් යන කාලයේ දැන් වගේ විදෙස් නළු නිළියන්ගේ ඡායාරූප අපිට දකින්න ලැබුණේ නැහැ. මමත් මාලන් බ්‍රැන්ඩෝ නම් වූ නළුවා ලෙස රූපයක් හිතේ මවාගෙන හිටියා. ඔය කාලයේ මම ඔහු රඟපෑ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා අධ්‍යක්ෂණය කළ The Godfather චිත්‍රපටය නරඹන්න ලිබර්ටි සිනමාහලට ගියා. ඔන්න මම හිතාගෙන හිටිය විදියේ නළුවෙක් රඟපානවා.

මමත් උනන්දුවෙන් බලාගෙන හිටියා. චිත්‍රපටය ඉවරවෙලා යාළුවෝ සමග කතා කරනකොට තමයි දැනුණේ මම හිතාගෙන හිටි කෙනා මාලන් බ්‍රැන්ඩෝ නෙවෙයි කියලා. ආයෙමත් දවසක The Fourmula  චිත්‍රපටය බලන්න එම්පයර් හෝල් එකට ගියා. කලින්ම එතැනට ගිහින් එතැන අලවලා තිබුණු පෝස්ටර් එහෙමත් බලලා ළඟ සිටි කෙනෙක් ගෙන් මාලන් බ්‍රැන්ඩෝ කියන්නේ කවුද කියලා ඇහුවා. ඔහු මට ඒ පෝස්ටරේ සිටි එක් නළුවෙක් පෙන්නලා මෙයා තමයි මාලන් බ්‍රැන්ඩෝ කියලා කිව්වා. ආ . . . හරි කියලා.

ඔන්න දැන් ඒ චිත්‍රපටයත් බැලුවා. යාළුවොත් එක්ක කතා කරනකොට තමයි තේරුණේ අර මනුස්සයත් මට පෙන්නලා තියෙන්නෙ මාලන් බ්‍රැන්ඩෝ නෙවෙයි. කොහොම හරි ඔන්න ඊට පස්සේ මම මාලන් බ්‍රැන්ඩෝ කවුද කියලා හරියටම අඳුනා ගත්තා.

ඔහුත් ඉතාම සුන්දර රංගන ශිල්පියෙක්. අභිනයන් ඉදිරිපත් කිරීම අතින් ඔහු සිටින්නේ අනෙකුත් රංගන ශිල්පීන්ට වඩා ගොඩක් ඉදිරියෙන්. මුහුණට ආලෝකය වැටෙන විට එයින් සැඟවෙන්නට ඔහු සතුව ඇත්තේ පුදුමාකාර හැකියාවක්. The Appaloosa Now චිත්‍රපටය පුරාවට ඔහු රඟන්නේ මිනිත්තු කිහිපයක් වුවත් එහි අවසන් ජවනිකාවෙන් අපට දැනෙන්නේ ඔහු චිත්‍රපටය පුරාවටම ජීවත් වූ බවක්. එහි අවසාන ජවනිකාවේ ඉටිපන්දම් එළියෙන් තම මුහුණ සඟවා ගෙන සිට දර්ශනය වන්නට සැලැස්වීමෙන් එය මනාව පසක් වෙනවා.

ජැක් නිකල්සන්

මාලන් බ්‍රැන්ඩෝගෙන් පසු යුගයේ මගේ වීරයා බවට පත් වන්නේ ජැක් නිකල්සන්. ඔහුත් චරිතාංග නළුවන් අතරේ සුවිශේෂ නළුවෙක්. ඔහුගේ විශිෂ්ට රංගනය මම දුටුවේ ර්‍ණදඥOne Flew Over the Cuckoo’s Nest චිත්‍රපටයෙන්.

විකට ජවනිකා නිරූපණයට ඔහු සතුව හොඳ හැකියාවක් වගේම හොඳ දැනීමක් තියෙනවා. එයින් උපරිම ප්‍රයෝජන ගන්නත් ඔහු සමත්වීම විශේෂයක්.

හාස්‍යයට පමණක් සීමානොවී බිහිසුණු ජවනිකාද අති දක්ෂ අයුරින් නිරූපණය කරන්නා වූ මේි රංගවේදීයා රංගනය අධ්‍යයනය කරන්නන් හට කදිම පාසලක්. ඔහු ද සෑම අවස්ථාවකදීම තම රංගනයට උපරිම සාධාරණයක් ඉටු කරන්නට කැපවූ නළුවෙක්. හොලිවුඩයේ ඔහු සුවිශේෂ වෙන්නත් ඒ කැපවීම ප්‍රබල ලෙසින් හේතු වුණා කිව්වොත් නිවැරදියි.

ඒ වගේම නිකල්සන් ස්වභාවික රංගනය අතින් ඉහළින්ම සිටින රංගන ශිල්පියෙක් ලෙසත් මම සඳහන් කරන්න කැමැතියි.

අල් පැසිනෝ

අල් පැසිනෝ ද හොලිවුඩයේ ඉහළින්ම සිටින දක්ෂ චරිතාංග නළුවෙක්. ඉතාලියානු හුරුව ඔහු සුවිශේෂ කරවන ලක්ෂණය යි. එතරම් උස මහත පුද්ගලයකු නොවුණද ඔහු සතු වූ පෞරුෂය අනෙකුත් රංගන තරු අතරේ කැපී පෙනන අනන්‍යතාවය බවට පත් වුණා.

Sent of a Woman චිත්‍රපටයේ ඔහුගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් 65 වන ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලබන්නේද එබැවිනි.

අල් පැසිනෝද රංගනයේදී එක් චරිතයකින්, චරිතයකට යම් යම් අනන්‍ය වූ ලක්ෂණ ඇති කළ රංගන ශිල්පියෙක්. කතා විලාශය, හැසිරීම, යම් යම් අංග චලන වැනි දේ මගින් තම චරිත ප්‍රේක්ෂකයාගේ හදවත් තුළ සදාතනික කරවීම ඔහු සතු වූ අපූරු හැකියාවක්.

ඒ වගේමයි ඔහුගේ හඬ පෞරුෂය ද ප්‍රේක්ෂයන්හට කිසිදිනෙක අමතක නොවන්නක්.

චාලි චැප්ලින්

චාලි චැප්ලින් රංගනයේ පියා ලෙසින් හඳුන්වන්න මම කැමැතියි. ඔහු සතුව පැවතියේ ඔහුටම අනන්‍ය වූ සුවිශේෂ රංගන හැකියාවක්.

ඔහු එදා කළ රංගනයන් අදටත් ඉහළින්ම වර්ණනා කරන්නට තරම් එය ඉතා ප්‍රබල රංගනයක් බවට පත් වූවා යැයි කීවොත් නිවැරදියි. සෙලෝලොයිඩ් පටයේ සාමාන්‍ය වේගයක් පැවතියේ නම් ඔහුගේ රංගනයන් මීටත් වඩා සියුම් ලෙසින් අපට දැනෙන්නට ඉඩ තිබුණා.

ඔහු ජීවිතය දෙස ඉතා සානුකම්පිතව බලමින් ජනතාවගේ දුක, මනුෂ්‍යත්වය වැනි ගුණාංග හරහා තම භාව ප්‍රකාශනයන් මඟින් නිර්මාණ හැකියාව ඉදිරිපත් කළා වූ අපූරු නිර්මාණකරුවෙක්.

ආදරය සේම කේන්තියද ඉතාම සුන්දර ලෙසින් ඉදිරිපත් කිරීමට චාලි චැප්ලින් හට තිබූ හැකියාව සුවිශේෂයි. මනුෂ්‍යත්වය ඉහළින්ම අගය කළ මොහු අයුක්තිය අසාධාරණය නොඉවසා The Great Dictator චිත්‍රපටය නිර්මාණය කරමින් හිට්ලර්ගේ චරිතය නිරූපණය ඔහුගේ ජීවිතයට තර්ජන පවා එල්ල කළා.

නමුත් සමාජයෙන් තමන්ට වගකීමක් පැවරී ඇති අයුරින් නොසැලී ඔහු තම නිර්මාණ කාර්යය ඉටු කිරීම රංගන ක්ෂේත්‍රයටම ආදර්ශයක්. අද අප අතර නැතත් චාලි චැප්ලින් යනු කිසිදා නොමියෙන චරිතයක්.