වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ අනාගතය අම්මා තීරණය කරයි

මගේ අනාගතය අම්මා තීරණය කරයි

නව පරපුරේ රංගන ශිල්පිනියක වන මල්ෂි නිමාෂා විටෙක නිවේදිකාවක් විලසින් ද අප හමුවට පැමිණෙන්නීය.

* කොහොමද මල්ෂි?

වරදක් නැහැ. මම හොඳින්.

* මොනවද මේ දිනවල ඔබගේ කලා කටයුතු?

අංකල් සෑම් නාට්‍යයේ දිගටම ෂූටිං. ඒ අතරතුර සිරස නාළිකාවේ සිරස ආලින්දය වැඩ සටහන මෙහෙයවනවා.

* මල්ෂි ක්ෂේත්‍රයට එන්නේ සිරස කුමරිය හරහා නේද?

ඔව්. එහි දෙවැනි අදියරේ අවසන් දොළොස් දෙනාට මාව තේරුණා. ඒත් එක්කම සිරස නාළිකාවේ නිවේදිකාවක විදිහට වැඩ කරන්න කතා කළා. කැදැල්ල, රෙඩ් කාපට් මා මෙහෙය වූ වැඩසටහන් අතරින් කිහිපයක්.

* චායා හරහා ඔබ රංගනයට ද පිවිසෙනවා?

ඒක වුණේ නිල්වලා ආයතනයේ ඇරැයුමින් එහි අංජුට රඟපෑවේ මම. නමුත් චායා නාට්‍යයෙන් පස්සේ මම ටෙලි නාට්‍ය කළේ නැහැ.

* ඇයි ඒ?

මම මේ වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒ හේතුවෙන් මුල් කාලයේදීම නාට්‍යවලින් ඈත් වුණා.

* මල්ෂා වැඩිපුරම ආස රංගනයට ද, නිවේදනයට ද?

රංගනයට.

* හේතුව?

රංගන ශිල්පිනියක් විදිහට මට විවිධාකාර චරිත රඟපාන්න පුළුවන්. එතකොට මාව මිනිස්සු දකින්නේ නොයෙක් විදිහට. නමුත් නිවේදනයේදී එහෙම වෙන්න බැහැ. මට එම වෘත්තිය හරි ඒකාකාරියි.

* ඔබ ඔහොම කිව්වට නිවේදිකාවකට විවිධාකාර පරාසවලට යන්න පුළුවන්නේ?

පුළුවන්. රංගනයේදී තරම් බැහැ. උදාහරණයක් විදිහට අපි මියුසික් වැඩසටහනක් කරන කොට එය මෙහෙය වන්නේ හැමදාමත් එකම ආකාරයෙන්නේ. එය චේන්ජ් කරන්න අපහසුයි. ඒ වුණාට රංගනයේදී චරිතයෙන් චරිතයට අපට වෙනස් වන්නට හැකියාවක් තිබෙනවා.

* මල්ෂි අද ඉන්න තැන ගැන සතුටුයිද?

මොකද නැත්තේ. මෙලෝ දෙයක් දැනගෙන නෙවෙයි මම මේ ක්ෂේත්‍රයට ආවේ. එතකොට මට අවුරුදු දහසයයි. එදා පටන් ක්‍රම ක්‍රමයෙන් මම විසින්ම හැදෑරීම් කළා. අද වෙන කොට මම ලබාගෙන තිබෙන දැනුමේ ප්‍රමාණය ගැන මම සෑහීමකට පත් වෙනවා. මම ගොඩක් සතුටින් ඉන්නේ අද මම ඉන්න තැන ගැන.

* මල්ෂිට මේ වෙනකම් සිනමාපටයක් සඳහා ඇරැයුම් ලැබුණේ නැහැ. ඇයි ඒ?

ඒකට හේතුව කියන්න මම දන්නේ නැහැ. හැබැයි කෙටි චිත්‍රපටයක නම් රඟපෑවා.

* කෙටි චිත්‍රපටවල රඟපෑවට සිනමාපටවල රඟපෑවා තරම් ජනප්‍රිය වන්නේ නැහැනේ?

මම එහි රඟපෑවේ ජනප්‍රියත්වය තකා නෙවෙයි. මට හිතුණා ඒ චරිතය රඟපාන්න මට පුළුවන් කියලා. ඒකයි එය බාර ගත්තේ.

* ඔබ ජනප්‍රියයිද?

ඒකට මට සෘජු පිළිතුරක් දෙන්න බැහැ. මොකද ජනප්‍රියත්වය අපට ලබා දෙන්නේ අපේ ප්‍රේක්ෂකයෝ.

* ඔබ රඟපෑ පළමු දර්ශනය දාහත් පාරක් ගත්තලු. මතක් කරමු ඒ අතීත කතාව?

මට එදා තිබුණේ කණ්ණාඩියක් ඉස්සරහ තියනවා වගේ රඟපාන්න. ඉතින් මට එවකට රංගන අත්දකීම් නැහැනෙ. මට පුළුවන් විදිහට රඟපෑවා. එකක්වත් හරි ගියේ නැහැ. අන්තිමේ දාහත් වැනි වතාවේ තමයි ටේක් එක ඕකේ වුණේ.

* ආරංචියක් ආවා මල්ෂිට පෙම්වතෙක් නැහැ කියලා?

ඔව්. මම තවම නිදහස් කිරිල්ලියක්.

* පෙම්වතෙක් ඉන්නවා කියන්නේ ජීවිතයට බාධාවක් කියලනෙ ඔබ ඒ නොකියම පැවසුවේ?

මම හිතනවා මට තවම පෙම්වතියක් වෙන්න තරම් වයසක් නැහැ කියලා. අනික මම තවම ඉගෙන ගන්නවානේ. ඉදිරියේදී ඒ ගැන අම්මා තීරණයක් ගනීවි.

* ඒ කියන්නේ මල්ෂිගේ අම්මා තමයි ඔබේ අනාගත සහකරුවා තීරණය කරන්නේ?

මෙහෙමයි, අම්මා හොයලා දෙන කෙනා හොඳයි නම් මම ඔහුට කැමැති වෙනවා. නැතිනම් මෙනවා හරි අඩුපාඩුවක් හොයලා එයාව එපා කියනවා.

* මල්ෂි අවසන් වතාවට නරඹපු සිංහල චිත්‍රපටය මොකක්ද?

කුස පබා.

* ඔබේ සුරතල් නාමය?

බබා

* කැමැතිම ඇඳුම?

ඩෙනිමයි ටී ෂර්ට් එකයි.

* ඒ කියන්නේ ඔබ සරල කෙනෙක්?

ඔව්.

* ඔබ හැත්තෑව දශකයේ සිටියා නම් පෙම්වතා ලෙසින් රඟපාන්න තෝරා ගන්නේ කවුද?

ආයේ කතා දෙකක් නැහැ, විජය කුමාරතුංග

* මල්ෂි, ශිරෝමිකා ප්‍රනාන්දුගෙන් ගුටි කාපු කතාව මොකක්ද?

අංකල් සෑම් නාට්‍යයේ එක සීන් එකක් තිබුණා ශිරෝමි මට ගහන. ඇය එහිදී ඇත්තටම මට ගැහුවා. අවසානයේදී ඒ තැළුම් වේදනාව යවා ගත්තේ කැඩුම් බිඳුම් වෙද මහත්තයෙක් ළඟට ගිහින්. මගේ අම්මාවත් එච්චර ගහලා නැහැ.

* මල්ෂීගේ ගම කොහෙද?

කැලණිය.

* ලග්නය?

මිථුන.

* ස්තුති කරන්න ඕනෑ කාටද?

නිල්වලා ආයතනය, සිරස ටී. වී. හා අම්මාට.

* මල්ෂි මොන වගේ කෙනෙක්ද?

ටිකක් නපුරු, ඒ වාගේම හොඳ කෙනෙක්.

කොහොම නමුත් අවසානයේදී මල්ෂි නම් කිව්වේ එයාව හොඳ ළමයෙක් විදිහට හඳුන්වා දෙන්න කියලා.