වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ කමට ගරු කරන්න ආයුබෝවන් කියන්න

අපේ කමට ගරු කරන්න ආයුබෝවන් කියන්න

රොඩ්නි - ඉරාණි නිවෙසට යමු

රාස්සිගේ අව්දැල්ල මුළු පරිසරයම ගිලගෙනය. ඒ අව් දැල්ලේ නැහැවෙමින් හමන මුහුදුකරයේ සුළඟ විඳිමින් අප සොයා ගියේ ඔබ බොහෝ ආදරය කරන රංගන ශිල්පියෙකුගේ කැදැල්ලකටය. බෝපිටියෙන් හැරී මඳ දුරක් ගිය තැන හමුවන පටු මාවතක් දිගේ ඇදුණු රථය කළු පැහැති ගේට්ටුවක් ළඟ නතර විය. අප එනතුරු පෙර මඟ බලා සිටි නිසාදෝ ගේට්ටුව විවර කරන විටම අප දුටුවේ ඔහුගේ සිනහ පිරි උවනය.

'රොඩ්නි වර්ණකුල'

අප පිළිගත්තේ සෙනෙහෙබරවය . තාප්පය වට කර ඇති බෝගන්විලා මල් ගෙවත්තට රැගෙන ආවේ සොඳුරු බවකි. නිවෙසට ඇතුළු වන තැනම පිහිටි කුමුදු මල් පිපෙන බඳුනේ මාළු පැටව් එහා මෙහා දුවන්නේ තාලයකටය. කුමුදු මල්වලට අමතර එහි ඇත්තේ අපූරු ඖෂධයකි.

'දන්නවද ඔය ඖෂධය මොකක්ද කියලා'

ඔහු අපෙන් විමසයි. එහි ඇත්තේ ලුණුවිලය.

ලොකු දූ පල්ලියේ කන්තාරු කණ්ඩායමට එක්වීමට යන්න තාත්තාට වැඳ සමු ගත්තේ මේ අතරය.

'මේ දවස්වල වැඩිපුර ටෙලි නාට්‍යවල අයියාගේ රංගනය දකින්න ලැබෙන්නේ නැහැ'

දිගු කාලයකින් ඔහුගේ රංගනය නොදුටු නිසාවෙන් මම විමසීමි.

'මෙගා ටෙලි නාට්‍යය දිගටම විකාශය වුණු නිසා මම ඒ ටෙලි නාට්‍යවලට සහභාගි වුණේ නැහැ. එහෙම වුණා කියලා මට වැඩ කටයුතුවලින් නම් අඩුවක් ඇත්තේ නැහැ. වේදිකා නාට්‍ය, සංගීත සංදර්ශන, චිත්‍රපටවලට සහභාගි වන විට කාලය ගත වෙනවා නොදැනෙන තරම්.'

නිර්මාණවල බොහෝ විට ඔහු පණ පොවන්නේ විහිළු චරිතවලටය. මතු පිටින් නොපෙනෙනා බරසාර විහිළුවල දෙවරක් සිතන්නට නරඹන්නන් පොලඹවන සැටි පුදුමයකි.

'නිවෙසේ කාලය ගත කරන්නෙත් විහිළුවෙන්මද?'

'විහිළුව කියන එක කළ යුත්තේ හොඳින් තේරුම් අරගෙන. විහිළුව කියන දේ හැමතැනදීම කරන්න ගියොත් සමාජයේදී ඒක ඒතරම්ම හොඳ නැහැ. ගෙදරදි වුණත් ඉඳලා හිටලා විහිළුවක් කරලා සිනහවෙලා සැහැල්ලුවෙන් ඉන්න මම කැමැතියි. මේ අවට ඉන්න බොහෝ පුංචි ළමයින් ඉන්නේ අපේ ගෙදරයි. ඒ වගේම දුවගේ පුංචි නැටුම් පන්තියක් තියෙනවා. ඒකට එන්නේ පොඩි දරුවෝ. උන්ගේ සිනහ අවුස්සන්න මම මොනවා හරි දෙයක් කරනවා'

රොඩ්නි කොපමණ කාර්යබහුල රංගන ශිල්පියෙක් වුණත් ඔහුගෙන් විය යුතු යුතුකම් සියල්ල ඉටු කිරීමට වග බලා ගන්නේ වගකීම් දත් පියෙකු ලෙසිනි.

'නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය ගේන්න වෙළෙඳපොළට යන රාජකාරියත් කරන්නේ ඔබමද?'

'කොපමණ කාර්යබහුල කෙනෙක් වුණත් නිවසේ කටයුතුවලට කොහොම හරි මම කාලය වෙන්කර ගන්නවා. ඒ නිසා නිවෙසට අවශ්‍ය මාළු මිලදී ගැනීමේ පටන් බිල් ගෙවීම දක්වා කටයුතු කෙරෙන්නේ මගේ දෑතෙන්.'

මේ අතර ඔහු මුළුතැන් ගෙට පිවිසෙන්නේ බිරිය ඉරාණිටත් උදව් කිරීමට සිතාය.

'බොහොම වෙලාවට මම කරන්නේ පැත්තකින් ඉඳගෙන ඉරාණිට චූටි චූටි උදව් කරන එක විතරයි. ඈට රසට උයන්න පුළුවන්. ඒ වග මගේ යහළුවන් වුණත් දන්නවා. ඇගේ අත් දෙකෙන් හදන කෑම කන්න ඒ අය බොහොම කැමැතියි. ඈ තේ එකක් හදලා දුන්නත් රසයි කියලයි ඔවුන් නම් කියන්නේ.'

මුළුතැන් ගෙයට රැගෙන එන ආහාර පිළිබඳ විමසිලිමත් වීම රොඩ්නි පිළිපදින අපූරු ක්‍රියාවකි. වස විෂ නැති කෑම නිවෙසට ගෙනෙන්නට නිතර ඔහු උත්සාහ කරයි.

'කොළඹ සම්බෝධි විහාරය ළඟ තිබෙන ඉරිදා පොළෙන් තමයි අපි ආහාර රැගෙන එන්නේ. පරණ හාල් වර්ග වුණු මාවී, මඩ තවාලු, පච්ච පෙරුමාල්, සුවදැල්, කුරුලු තුඩ එහි තිබෙනවා. ඒ වගේම එළවළු, පලතුරු වගේ දේවල් වුණත් එතනදීම මිලදී ගත හැකියි'

'රොඩ්නි අයියා මොනවද වැඩිපුරම කන්න කැමැති?'

බිරිය ඉරාණිගෙන් විමසන්නට ද අපි අමතක නොකළෙමු.

'ගමේ කෑමවලට රොඩ්නි බොහොම ප්‍රියයි. කොහිල, කෙසෙල් මුව, පතෝල, බණ්ඩක්කා වගේම එයා නිතරම අරගෙන එන කෑමක් තමයි එළබටුයි කැකිරියි. ඊට අමතරව මේ අවට වෙල් මාළු තිබුණොත් අපටත් කොටසක් වරදින්නේ නැහැ. ඒ අය ඒවා ගෙදරටම ගෙනත් දීලා යනවා'.

අපේකමට බෙහෙවින් ආදරය කරන රොඩ්නි නිතරම උත්සාහ ගන්නේ ඒ අනුව කටයුතු කිරීමටය.

'අද අපේකම කියන එක මිනිස්සු අතරින් ඈත් වෙලා ගිහින්. ඒ නිසාම මම ජාතික ඇඳුම අඳින්න පුළුවන් සෑම තැනදීම ඒ ඇඳුම අඳින්නත් අමතක කරන්නේ නැහැ. අනෙක් අවස්ථාවලදී ඊට අනුරූප විදියට කටයුතු කරනවා. දුරකථනයට පිළිතුරු ලබාදීමේදී වුණත් 'ආයුබෝවන්' කියලා අමතන්න පුරුදු වුණෙත් මා මේ අපේකමට හුරුවචනවලට තිබෙන පි‍්‍රය බව නිසයි'.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ රොඩ්නි අධ්‍යාපනයට ඔවුන් යොමු කළේ රංගනය පිළිබඳ දෙවනුව සිතන්නට ඉඩ හරිමිනි. ඔහු මෙන්ම දරුවන් ද රංගනයට උපන් හපන්නුය.

'ලොකු දුව ලොයලා විද්‍යාලයේ නර්තන ආචාර්යවරියක් විදියට උගන්වනවා. ඇගේ ගුරුතුමිය රැජිනි සෙල්වනායගම්. ඒ අතරම වේදිකා නිර්මාණවලට දායක වෙනවා. නරිබෑනා නාට්‍යයේ අත්වැල් ගීත කණ්ඩායමටත් එකතු වෙලා ඉන්නවා. පොඩි දුව තවම ඉගෙනීම් කටයුතු කරනවා. පුතා මීගමුව මාරිස්චෙලා විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඔහු සංගීතයට බොහොම කැමැතියි. පසුගිය කාලයේ ගිරිරාජ්ගේ 'සුහද කොකා' චිත්‍රපටයටත් ඔහු රංගනයෙන් දායක වුණා. තවම පාසල් යන නිසා මුල් තැන දිය යුත්තේ පාසල් අධ්‍යාපනයට බවයි මා ඔවුන්ට පවසා තිබෙන්නේ. රංගන කටයුතුවලට පැමිණෙන්න තව ඕනෑ තරම් කාලයක් ඔවුන්ට තිබෙනවා. ඒ වගේම දරුවන් තිදෙනාම පල්ලියේ ගීතිකා කණ්ඩායමෙත් සාමාජිකයන්.'

ලොක්කී හර්ෂණී ප්‍රසංගිකාය. මද්දුමී සමාධි උපේෂිකාය. පවුලේ බඩපිස්සා ඉරෝන් ලක්දීපය. බිරිය ඉරාණි සුබසිංහත් සමඟ රොඩ්නි දවස ආරම්භ කරන්නේ වෙනස්ම අයුරකිනි.

'ලොකු දුවත්, පුතත් පාසල් යන්න පිටත් වුණාට පස්සේ මමත්, බිරියත්, දෙවැනි දුවත් සතියට දවස් පහම වගේ උදේට ව්‍යායාමයටත් එක්ක කිලෝ මීටර් 6 ක් දුවනවා. එතැනින් දවස ආරම්භ කරන අපි ඊළඟට අපේ අනෙක් කටයුතුවලටත් යනවා'

විවේක පාඩුවේ නිවෙසේ ගත කරන මොහොතක බිරිය ගෙවත්තේ කටයුතුවල නිරත වන්නේ නම් ඊට උදව් කිරීමට ද අමතක නොකරන රොඩ්නි අනෙක් දරුවන් යහමගට ගැනීමටත්, ඔවුන්ගේ රසාස්වාදය දියුණු කිරීමටත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

'අද බොහෝ ළමයින්ගේ තිබෙන රස වින්දන මට්ටම අඩුයි. ඒ නිසා මට ඕනෑ වුණා යහපත් රස වින්දනයක් තිබෙන දරුනක් පිරිසක් ගොඩ නඟන්න. ඒ වගේම යහපත් කලාවකට ළැදි පිරිසක් ගොඩ නඟන්න. ඒ වෙනුවෙන් අපේ ගමේ මේ අවට සිටින පිරිසට මුලින්ම මා රස වින්දන වැඩසටහනක් ආරම්භ කළා. ඊට අපූරු ප්‍රතිචාරයත් ලැබුණා. ඉන් මට පෙනුණේ ඔවුන් අපූරු රස වින්දනයක් තිබෙන පිරිසක් බවයි. අප කළ යුත්තේ ඒ රස වින්දනය මුවහත් කිරීමයි'.

මේ වගේ සොඳුරු අදහස් සපිරි සොඳුරු මිනිසාගේ නිවහනේ හෝරා කිහිපයක් ගත කළ අපි පිටත් වීමු. ඒ රොඩ්නිගේ සොඳුරු කැදැල්ලේ සොඳුරු බව පිළිබඳ කතාබහක යෙදෙමිනි.