වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රසකතා

නිල්මිණිගේ ශාපයට ෂූටිනුත් නතර වෙයි

මේ දවස්වල නිල්මිණි තෙන්නකෝන්ව නම් තරහ කරගන්න එපා. මොකද ඇය ශාප කළොත් එය නිට්ටාවටම සිදුවන නිසා. එහෙම කිව්වට නිල්මිණි කවදාවත් කාටවත් දෙස් දෙවොල් තියන්නේ නැහැ. මේ කතාවට ප්‍රවේශයක් වෙන්න ඕන නිසාමයි අර වගේ පුංචි විහිළුවක් කළේ. අපි දන්නවා නිල්මිණි එය කියවලා තරහ වෙන්නේ නැති විත්තිය.

හැබැයි මෙන්න මේ වගේ සිද්ධියක් නම් සිද්ධ වෙලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ අම්මා ටෙලි නාට්‍යයේ දර්ශන තලයේදී. එහි අම්මට රඟපාන්නේ නිල්මිණි කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. ඉතින් එහි දර්ශනයක තිබිලා තියෙනවා නිල්මිණි ගමට ශාපයක් කරන දෙබසක්.

චරිතයකට තාත්ත්විකව පණ පොවලා රංගනය රංගනයක් නොවන්නට වග බලා ගන්නා නිල්මිණි අර ශාපය නාට්‍ය වෙනුවෙන් කරලා තියෙන්නේ සැබෑවටම එහෙම වෙන්න කියලා නම් නෙවෙයි.

කෙසේ වෙතත් ඒ දර්ශනය අවසාන වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ අවට තිබෙන ගස් ඇඹරෙන්න පටන් ගත්තලු. එන්න එන්න සුළඟ තදවෙද්දී අවට අහසත් කළු වෙලා. කොහොම හරි පිරිස හොඳටම බය වෙලා නාට්‍යයට වුණත් ඒ දෙබස කිව්වම ඇත්තටම ගමට එහෙම වෙලා ද කියලා. මේ අලකලංචි මැද්දේ එවලෙම ෂූට්ං එක නැවැත්තුවාලු.

සියලු දෙවියන්ට කිය කිය පිරිස පරිසරයට ශාන්තියක් වේවා කියලත් පැතුවලු. නිල්මිණිත් එහෙමයි. ඇයට තවමත් පුදුමයිලු මේ වෙච්ච සිදුවීමට.

චුවිංගම්වල ඇලවුණු කුමාරගේ ෆෝන් එක

කුමාර තිරිමාදුරට මරු වැඩක් වෙලා. ඇත්තම කිව්වොත් ඒක ෆෝන් හුටපටයක්. කුමාරට තියෙනවා ලස්සනම ලස්සන ෆෝන් එකක්. ඒකෙන් කරන්න බැරි දෙයක් නැහැ. (ගොඩක් අය නම් කියන්නේ ඒ ෆෝන් එකෙන් ඛ්චතත ගන්න එක ඇරෙන්න හැම දෙයක්ම පුළුවන් කියලා) ඔන්න දවසක් කුමාර ඒ මුතුවන් දුරකතනයත් අරගෙන කාටදෝ කොල් කර කර ෂූටින් ගිහින් ඇවිදින් වාහනයෙන් බැස්සා.

ඒක අත්‍යවශ්‍ය ඇමතුමක් හින්දා කුමාර වාහනයෙන් බහිද්දිත් ඒක විසන්ධි කළේ නැහැ. නමුත් ඔහුට වෑන් රථයේ සිටිය අයකුට පණිවුඩයක් කියන්න තියෙන හින්දා ඇමතුම තියෙද්දිත් ඔහු වාහනය ළඟට වෙලාම හිටියේ අර යාළුවට පණිවුඩය කියන්න. ටික වේලාවකින් ඇමතුම විසන්ධි කළ කුමාර යාළුවාටත් පණිවුඩය කියාගෙන ගෙදර ගියා.

ගෙදර ගියාට පස්සෙයි කුමාරට තරු පෙනුණේ. ෆෝන් එක නැහැ. සාක්කුවල බැලුවා. බෑග් එකේ බැලුවා. ඒක නැහැ. කුමාරට හීන්දාඩිය දැම්මා. ඇයි ඉතින් සියලු සබඳතා තියෙන්නේ මේ දුරකතනය ඇතුළෙනේ. කුමාර ගියා ගෙදර ස්ථාවර දුරකතනය ළඟට. ගත්තා ජංගම දුරකතනයට Call එකක්. එය නාද වෙනවා පමණයි. No Answer පෙනුණ තරු දෙගුණ තෙගුණ වුණා. ඒ වාහනයේ රියදුරුටත් කතා කළා.

ඔහු වෑන් රථය පුරාම හොයලා නැහැ කියලා කුමාරට කිව්වා. අන්තිමේ දුරකතනය පිළිබඳ අදහස් අතහැරලා පහුවෙනිදාට ෂූටිං යන්න ලැහැස්ති වුණා. ඊළඟ දවසෙත් පන්දර ආවේ ඒ වෑන් එකමයි.

මෙන්න බොලේ එහි දොර උඩ දාරයේ කුමාරගේ දුරකතනය තියෙනවා. මුළු රැය පුරා වාහනය එහෙ මෙහෙ ගියත් දුරකතනය නම් වැටිලා නැහැ.  nightrider මෙන් වෑන් රථය ගාවට ගොස් දුරකතනය අතට ගත් කුමාර තකහනියේ බැලුවේ මේක කොහොමද මෙච්චර වෙලා නොවැටී තිබුණේ කියලා. දුරකතනයේ පිටුපස බැලුවම තමයි ඔහුට එහෙම තියෙන්නට හේතු කාරණාව පැහැදිලි වුණේ. එය පිටුපස ලොකු චුවිංගම් එකක් ඇලිලා.

කුමාර වාහනයෙන් බැහැලා කතා කරලා තියෙන්නේ දොරට අත තියාගෙන, ඊට පසුව යාළුවට පණිවුඩය කියන අතරතුර දුරකතනය දොරේ තිබුණු චුවිංගම් එකේ ඇලිලා. කුමාර යාළුවට පණිවුඩය කියලා තකහනියක් දුවලා තියෙන්නේ ෆෝන් එක චුවිංගම් එකේ අලවලා. .

ඩිල්ෂානි මවා ගත්තු හිනාව

ඩිල්ෂානි පෙරේරා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මගෝ ඩිගො ඩයි, චැලෙන්ජස් වැනි චිත්‍රපට මෙන්ම මෙගා ටෙලි නාට්‍ය හරහා අප වෙත පැමිණි ඇය මේ දිනවල නිර්මාණ ගණනාවක සිය රංගන ප්‍රතිභාව විදහාලමින් සිටිනවා. ඩිල්ෂානි නිතර වෙනස් චරිත රංගනයේ නියැළෙන්න කැමැත්තෙන් සිටින කෙනෙක්.

මේ බව ඇය පුවත්පත් ගණනාවකටම පවසා තිබුණා. ඩිල්ෂානිගේ එවන් වූ ලිපියක් දැකල ද කොහෙද එක්තරා චිත්‍රපට ආයතනයකින් ඇයට කතා කළා. කතා කරලා වෙනස්ම චරිතයකට ඇරැයුමක් ලැබුණා. මෙකක්ද දන්නවද ඒ වෙනස්ම චරිතය. තනිකරම පිස්සු ගැහැනු ළමයෙක්. ඩිල්ෂානිටත් ඉතින් හරිම Happy. ඇය එම චිත්‍රපටයේ පිටපත ලැබුණ ගමන් කරලා තියෙන්නේ එවන් වූ චරිත තිබෙන හින්දි චිත්‍රපට හොයපු එක.

නමුත් ඇයට හරි යන චිත්‍රපටයක් තිබිලා නැහැ. ඉතින් ඩිල්ෂානි කරලා තියෙන්නේ තමන් විසින්ම ඒ චරිතය ගොඩ නගා ගත්තු එක. එම චරිතයට හරියන සිනහවක් පවා ඩිල්ෂානි Create කරලා. දැන් දන්නවද මොකද වෙලා තියෙන්නේ කියලා. ඇයට දැන් ඒ හිනාව පුරුදු වෙලාලු. යාළුවෙක් හිතවතෙක් කතා කළත් ඩිල්ෂානි හිනා වෙන්නේ අර මවාගත් හිනාවලු. වැඩි දෙනෙකු අහනවලු ඇයි ඩිල්ෂානි පිස්සුවෙන් වගේ හිනා වෙන්නේ කියලා.

ටිකක් කල් යද්දි උදේ පාන්දරම Call කරන යාළුවන්ට, ඩිල්ෂානි Phone එක විසන්ධි කරන්නට මත්තෙන් Good Night කියලා කියනවලු. මේ චරිතයට පෙර පුහුණුවීම් කරන්න ගිහින් ඩිල්ෂානි ගෙදර තිබූ මල් පෝච්චි දෙක තුනක්ම පොළවේ ගහලා. අනේ මන්දා... ඔහොම ගිහින් ඩිල්ෂානිට ඇත්තටම පිස්සු හැදෙයිද මන්දා.

සමදරා ඒදණ්ඩේ ගිය හැටි

සමදරා ආරියවංශ සමන් සිල්වාගේ නාට්‍යයක් වෙනුවෙන් කිතුල්ගල ගිහිල්ලා. ඇයට එහි රඟපාන්න තිබුණේ සොපිනා කියලා ගැමි චරිතයක්. ඔන්න ඉතින් හැට්ටේ ඇඳලා සමදරා ලක ලැහැස්ති වුණාලු එම චරිතයට පණ දෙන්න.

දර්ශන තලයට ගියාට පස්සෙයි ඇයට තරු පෙනිලා තිබෙන්නේ. ඇයට තියෙනවලු ඒදණ්ඩක යන්න. කොළඹ ඒදඬු නැති නිසා සමදරා වැඩිය දන්නේ නැහැලු ඒදණ්ඩක යන විදිහ.

හැබැයි මේ බව ඇය වෙන කාටවත්ම කියලා නැහැ. විධානය ලැබුණ ගමන් සමදරා ගියාලු ඒදණ්ඩ මුලට. ඊට පසුව සමන් ඇක්ෂන් කිව්වායින් අනතුරුව සමදරා ඒදණ්ඩ මත ගමන් කරන්නට ආරම්භ කරලා. අඩි දෙකක් යන්නට ලැබුණේ නැතිලු. ජර බරාස් හඬ නංවමින් ඒදණ්ඩත් පෙරලගෙන සමදරා පහලට වැටිලා.

පහල තිබිලා තියෙන්නේ ඇලක්. ඒ හින්දා සමදරාට වැඩි ආබාධයක් නැතිලු. කොහොම නමුත් එදා ඉඳලා පැරැණි ප්‍රස්ථාව පිරුළක් මෙන්න මෙහෙම වෙනස් වුණාලු. පණ්ඩිතයටයි සමදරාටයි ඒදණ්ඩේ යන්න බැහැ. අන්න ඒක තමයි අපේ බසට එකතු වූඅලුත්ම ප්‍රස්ථාව පිරුළ.