වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




අඟුරුකාර කෙල්ල ආයෙමත් තිරයට Cinderella

අඟුරුකාර කෙල්ල ආයෙමත් තිරයට

දිනය : 1950 පෙබරවාරි 15

ස්ථානය : මැසචුසෙට්ස් ප්‍රාන්තයේ අගනුවර - බොස්ටන් නගරයේ සිනමා ශාලාවක්.

මෙම සිනමා ශාලාව අතොරක් නැතිව ප්‍රේක්ෂකයන්ගෙන් පිරී පවතින්නේ ලොව ඉහළම පෙළේ චිත්‍රපට නිෂ්පාදකයකු වන ‘වෝල්ට් ඩිස්නි’ ගේ 12 වැනි නිෂ්පාදනය වූ Cinderella හි මංගල දර්ශනය නැරඹීම වෙනුවෙනි.

අමෙරිකානු, සජීවකරණ, සංගීතමය, සුරංගනා චිත්‍රපටයක් වූ Cinderella ඇමෙරිකානු ඩොලර් මිලියන 2.9ක වියදමකින් නිමකර ඇමරිකානු ඩොලර් මිලියන 28ක ආදායම් වාර්තාවක් තැබූ අතිසාර්ථක නිර්මාණයකි. එදා මෙදා තුර සෑම පුද්ගලයෙකුගේම පාහේ ළමා කාලය සරසන්නට කාගේත් ආදරයට පාත්‍ර වූ චිත්‍රපටයක් ලෙසින්ද Cinderella චිත්‍රපටය විශේෂ වේ. එතැන් සිට මේ දක්වා වසර 65ක් ඉක්ම ගොසිනි.

දිනය : 2015 පෙබරවාරි 13

ස්ථානය : ජර්මනියේ බර්ලින් අගනුවර - 65 බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙල

එදා අමෙරිකානු සුරගනා කතාවක් ලෙසින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි Cinderella අද බ්‍රිතාන්‍ය - අමෙරිකානු ආදර සිහිනයක් ලෙසින් වර්තමාන සිනමා ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය වෙනුවෙන් රීදි තිරයට පැමිණේ.

1950 Cinderella චිත්‍රපටයේ තිර රචනයට ඉතාමත් සමීප තිරරචනයක් මෙම නව චිත්‍රපටයේ ඇතුළත් අතර ඉන් වෙනස් වන්නේ අල්ප වශයෙනි. නළු නිළියන්ගේ රංගන දායකත්වය ලද අතිශය සුන්දර රූප රාමු රැගත් පරිගණක සජීවකරණ තාක්ෂණයේද සහායෙන් නිර්මාණය වූ අපූරු නිර්මාණයක් ලෙසින් Cinderella 2015 චිත්‍රපටය සුවිශේෂ වේ. සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන කෙනෙත් බ්‍රැනා විසින් අධ්‍යක්ෂණය කළ මෙය සීමොන් කින්බර්ග්, ඩේවිඩ් බාරෝන් සහ ඇලිසන් ශ්‍යෙමර්ගේ නිෂ්පාදනයකි.

චාර්ල්ස් පෙරොට්ගේ (1628 – 1703) සුරංගනා කතා මාලාවේ Cinderella කතා පුවත පාදක කරගනිමින් මෙය නිර්මාණ විය. කේට් බ්ලාන්ෂේ, ලිලී ජේම්ස්, රිචඩ් මැඩෙන්, ස්ටෙලන් ස්කාර්ස්ගර්ඩ් ඇතුළු නළු නිළියන් රැසකගේ රංගනයෙන් ඔපවත් වන Cinderella විනාඩි 105ක කාලයක් පුරා දිවෙයි. ඇමෙරිකානු ඩොලර් මිලියන 95ක පිරිවැයක් දරා මෙය නිමවා ඇත.

සිනමා පටය ගැන කතා කරන විට සින්ඩරෙල්ලාගේ දිලිසෙන ගවුම ගැන නම් නොකියාම බැරිය. ඇකඩමි සම්මාන ලාභී ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වන සැන්ඩි පවෙල් විසින් නිර්මිත මෙම ගවුම චිත්‍රපටයේ එක් ගවුමක් ලෙසින් පෙනුනද සත්‍ය වශයෙන්ම එකිනෙකට වෙනස් ගවුම් නවයකි. සෑම ගවුමකම රෙදි යාර 270ක් සහ ක්‍රිස්ටල් 10,000කුත් යොදා ගත් බව කියවේ. සෑම ගවුමක්ම නිර්මාණය කිරීම වෙනුවෙන් සන්නාලියන් දහඅට දෙනෙකු පැය 500 බැගින් සේවය කර තිබේ. ඒ අනුව මෙහි නළු නිළියන්ගේ ඇඳුම් වෙනුවෙන් පමණක් විශාල මුදලක් වැය වී ඇත.

වෙනත් කතාවල මෙන් නොව මෙහි දේවදූත ඇපකාර මවට පුළුල් චරිතයක් ලබාදී තිබේ. ඇය නිමේෂයනික් වෙස් මාරුකර ගනිමින් සින්ඩරෙල්ලා ආරක්ෂාකර බලාගන්නා අතර අවසානයේ ඇයගේ මැජික් බලය හෙළිදරව් කරන රසවත් කතාවකි. ප්‍රතිචාර අතින්ද සාර්ථක වන්නට මෙවර Cinderella හට ද හැකි වීය. එය,

IMDB - 7.7/10
මෙටාක්‍රිටික් – 65%

රොටෙන් ටොමැටෝස් - 82% වශයෙන් වේ. එමෙන්ම විචාරකයන්ගේ ද නොමඳ පැසසුමට ලක් වන්නේ පළමු චිත්‍රපටයේ තිබූ සුන්දරත්වයත් ආශ්චර්යයත් නොනසා නිර්මාණය කර ඇති බැවිනි.