වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ මාළිගේ පරෙවියා වුණුම RED කාගේ කවුද...?

රාජ මාළිගේ පරෙවියා වුණුම RED කාගේ කවුද...?

නන්දා මාලිනී මට සංගීතය ඉගැන්වුවා

‘රාජ මාළිගේ’... මේ දිනවල කාගේත් මුවඟ රැව් පිළිරැව් දෙන අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්ව තිබේ. නව පරපුරේ ගායක, ගායිකාවන්ගේ අතොරක් නැති පෙම් අඳෙීනා අසා හෙම්බත්ව සිටිනා රසිකයාට ‘රාජ මාළිගේ’ ගීතය අතිශය වින්දනීය අත්දැකීමක් වූ බව නිසැකය.

ජනප්‍රියත්වය එක්තරා ආශ්චර්යකැයි මට සිතේ. ඒ එය සැමට නොලැබෙන වාසනාවක් වන බැවිනි. වර්තමානයේ බොහෝ ගිත අභිබවමින් මෙම ගීතය ජනප්‍රියත්වයේ ඉහළම හිණිපෙතට නැඟුණේ ඒ වාසනාවේ මහිමය අපට පසක් කරමිනි.

සැබැවින්ම මේ ‘රාජ මාළිගේ පරෙවියා’ කවුදැයි බොහෝ දෙනෙකු දන්නේ නැත. එහෙත් සංගීත ක්ෂේත්‍රයේ ඔහු ප්‍රකටව සිටින්නේ ‘RED’ යනුවෙනි. මේ ‘RED’ පුවත්පත් සාකච්ඡාවකට එක්වන ප්‍රථම වතාවයි.

* ‘රාජ මාළිගේ පරෙවියා’ කොහොමද?

ඇත්තටම ගොඩක් අය මට දැන් කතා කරන්නේ එහෙම තමයි. මොකද මුළු රටම මාව දැනගත්තේ මේ ගීතයෙන්. මමවත් හිතුවේ නෑ මේ ගීතයෙන් මාව මෙච්චර ජනප්‍රිය වෙයි කියලා.

* අපි මුලින්ම මේ ගීතයේ පසුබිම ගැන පොඩ්ඩක් කතා කරමු?

ඕක මම මුලින්ම ඇහුවේ අපේ තාත්තාගේ හඬින්. තාත්තාට ඔය ගීතය ඇහිලා තියෙන්නේ සීයාගෙන්. එතකොට අවුරුදු බර ගාණක්. ඇත්තටම මේක ‘ටෙල් නිලාවුල්’ කියන දමිළ චිත්‍රපටයේ ‘පාටුපාඩව‘ කියන ගීතයේ තනුවට සිංහල වචන යෙදූ ගීයක්. ඒ. එම්. රාජා තමයි ඔරිජිනල් ටැමිල් සෝන්ග් එක කියලා තියෙන්නේ.

* ‘රාජ මාළිගේ’ මේ තරම් ජනප්‍රිය වෙන්න මම හිතන්නේ එහි රූප රචනයත් ගොඩක් බලපෑවා?

ඔව් ඒක ඇත්ත.

* කියමුකෝ ඒ සුලමුළත්?

මුලින්ම මම මේ ගීතය ගායනා කළේ සංගීත කණ්ඩායම්වල. මොකද මම Bands කීපයකට සම්බන්ධ වෙලා හිටියා. කාලයක් මම අමෙරිකාවේ අවන්හලක සේවය කළා. ඒ ඇවිත් ඉන්න කොට තමයි මට විෂුවල් එකක් කරන්න ඕනෑය කියලා හිතුණේ. පස්සේ මම මාලිංග කියන මගේ යාළුවාට මේ ගැන කිව්වා. ‘රයිට් මචං අපි සුපිරි වැඩක් කරමු’ කියලා ඔහු මාව තවත් වැඩේට උනන්දු කළා. මට ඕනෑ වුණේ අර ‘හිත මිතුරා’ චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ඇතුළු පිරිස ගායනා කරන ‘උසි උසි නෝනේ’ වගේ විෂුවල් එකක් කරන්න.

* ඒක වැල්ලේනේ ෂූට් කරලා තිබුණේ. ඒත් RED මේ ගීතය ගායනා කරන්නේ හිර ගෙයක් ඇතුළේ?

ආ... ඔව්... අර අයිඩියා එක තිබුණාට මට ඕනෑ වුණේ ඒ දේම කරන්න නෙවෙයි. අලුත් දෙයක් කරන්න. ඒත් මේ හිර ගෙයක් ඇතුළේ සිංදුව කියන විෂුවල් එකට මම මුලින්ම කැමැති වුණේ නැහැ. මොකද මිනිස්සු මේකට කැමති වෙයි ද කියලා මට ෂුවර් එකක් නොතිබුණ නිසා.

* එතකොට කොහොමද ඒ විෂුවල් එකම කරන තැනට ආවේ?

මෙහෙමයි ‘කොළඹ 16’ ප්‍රඩක්ෂන් හවුස් එකෙන් තමයි මේ වීඩියෝ එක කළේ. ඔවුන් මට කිව්වා වැඩේ බාර දෙනවා නම් ගොඩ යන්න පුළුවන් වෙන විදිහට විෂුවල් එක කරලා දෙන්නම් කියලා. පස්සේ සාකච්ඡා වට කිහිපයක්ම තියලා මම කැමැත්ත දුන්නා. මොකද මට විෂුවල් කරලා ඒ තරම් පළපුරුද්දක් නෑනේ.

* මේ ඔබේ පළමුවැනි විෂුවල් එකද?

නෑ දෙවැනි එක. මුල්ම ගීතය ‘ඔබ ළඟ නෑ’ කියලා. ඒක නිර්මාණය කලේ ෂේන් සිං. ‘වයිඩ් ඈන්ගල්’ තමයි විෂුවල් එක නිර්මාණය කළේ. ඉතිං මට එහෙම ලොකු අත්දැකීමක් තිබුණේ නෑනේ. ඒත් ‘රාජ මාළිගේ’ විෂුවල් එක කරපු ඉල්හාම්ට, දිමුතට ඒ ගැන ලොකු එක්ස්පීරියන්ස් එකක් තිබ්බා. ඉල්හාම්ගේ, දිමුගේ, මාලිංගගේ සංකල්පයක් තමයි ඒ විදියට එළියට ආවේ.

* සිරගෙදර පවා අලුතෙන් හැදුවා?

ඔව්. ඔක්කොම අලුතින් හැදුවා. මුලින්ම අපි මේක කරන්න හැදුවේ වැලිකඩ බන්ධනාගාරේ. නමුත් ඒ අවසරය ගන්න එක ටිකක් කරදර වැඩක් නිසා අපි තීරණ කළා අලුතින් ජේල් ඒකක් හදන්න.

* එතකොට කොහෙද මේ අලුත් සිරගෙය හැදුවේ?

සුදර්ශියේ එක පැත්තක් අරගෙන අපි ජේල් එක වගේම ඒක හැදුවා. දැන් සමහරු විෂුවල් එක යනකොට අහනවා ‘මචං මොන ජේල් එකේ ද ඕක කළේ’ කියලා. ජේල් එක ඇවිල්ලා ‘සුදර්ශිය’ තමයි.

* ගීතයක් ජනප්‍රිය වෙන්න විෂුවල් එකක් අවශ්‍යමයි කියලා අද සමහරුන්ගේ මතයක් තියෙනවා?

අද කාලෙත් එක්ක බලනකොට නම් ඒ කතාවේ ඇත්තක් තියෙනවා. හැබැයි හරියට කළේ නැතිනම් විෂුවල් එකකින් සිංදුවක් විනාශ වෙන්නත් පුළුවන්.

* අද අපට නිතර ඇහෙන ස්වර රටා, නාද රටා නෙවෙයි මේ ගීතයේ තියෙන්නේ?

මේක ඩොලැක්කියත් එක්ක යන සිංදුවක්. ඒ වගේම තබ්ලා, සර්පිනා ඔය ඔක්කොමත් එක්ක තමයි ගීතයේ සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ. නයන කරුණාරත්න සමඟ ‘නාද’ ප්‍රොඩක්ෂන් එකෙන් තමයි මියුසික් කළේ.

* බජව් ටයිප් එකට?

බජව්, බජව් ඒක තමයි හරිම වචනය. ගිය සතියේ මම තලවිල පල්ලි ගියා. මම හිතන්නේ ලක්ෂ දහයක් විතර සෙනඟ හිටියා. කොහොම හරි මම යන හැම තැනම වගේ මේ සිංදුව කඩවල්වල දාලා තියෙනවා. අනෙක් එක කොල්ලෝ මේ සිංදුව කියනවා.

* මේ ජනප්‍රියත්වයේ රහස මොකක් කියලාද ඔබ හිතන්නේ?

ඇත්තටම ‘හිරු’ රූපවාහිනී නාළිකාවේ ‘කවුන්ට් - ඩවුන්’ කියන ප්‍රෝග්‍රෑම් එකේ තමයි මුලින්ම මේ ගීතය විකාශය වුණේ. මම හිතන්නේ A. B. C මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා මහත්මයා මේ ගීතය දැකලා එතුමාම තමයි කියලා තියෙන්නේ අනෙක් චාර්ට්වලටත් මේ ගීතය දාන්න කියලා. ඊට පස්සේ තමයි හිරු ‘Top Chart’ එකට දැම්මේ. මේ ගීතයේ ජනප්‍රියත්වයේ ආරම්භය එතන. ඊළඟට Y. F. M. එකෙන් ගීතය ප්‍රචාරය වුණා. ‘සිරස’, ‘දෙරණ’ වගේ රූපවාහිනි නාළිකාවලත් මේ ගීය විකාශය වුණා පස්සේ. ඒත් ‘හිරු’ තමයි වැඩිපුර Telecast කළේ.
රාජ මාළිගේ පරෙවියා වගේ
ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ
ඉපදුණාට පස්සෙ තාම මම හඬාලා නෑ
හැඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ//

මම ආදරේට ඇති කරන්නෙ ඉබ්බොයි, ගෙම්බොයි
උන් නොදැක, නොබලා එක මොහොතක්
ඉන්න බෑ අපොයි
මේ සුරතල් සත්තු මාගේ, මට රන් මුතු මැණික් වාගේ
උන්ගෙ බරට රන් දුන්නත් මම විකුණන් නෑ//
රාජ මාළිගේ...//

මම යන්ඩ තමයි හිතන් ඉන්නෙ ලෝකයේ වටේ
මම ගියොත් යන්නෙ කවදා හරි බූරුවෙකු පිටේ
ඉතිහාසෙට නම තියාලා ලංකාවට කොඩි දමාලා
එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නෙ නෑ//
රාජ මාළිගේ...//

* දැන් ‘රාජ මාළිගේ’ ගීතය වඩාත් ජනපි‍්‍රය කවුරුන් අතර කියලද ඔබට හිතෙන්නේ?

වැඩිපුරම පොඩි ළමයි අතරේ තමයි ඔය ගීතය ජනප්‍රිය. යන යන තැන මාව දැක්කම එයාලා කියනවා ‘අන්න රාජ මාළිගේ අංකල් යනවා’ කියලා. රාජ මාළිගා පරෙවියා වගේ’ කිය කියා මං වටේට කැරකෙනවා. ඇත්තටම පොඩි ළමයි සෑහෙන්න සම්බන්ධ වුණා මේ ගීතයෙන්.

* තමන්ගේ නිර්මාණවලට තැනක් නෑ කියලා සමහර තරුණ ගායක ගායිකාවො මාධ්‍යයට දොස් කියනවා. නමුත් ඔබේ ගීතයට හැමෝගෙන්ම හොඳ අනුග්‍රහයක්, තල්ලුවක් ලැබුණා?

ඔව්. ඇත්තෙන්ම.

* කොහොමද එහෙම වුණේ? ඔබේ වාසනාවටද?

වාසනාව වගේම හැකියාව. මම හිතන්නේ හොඳ නිර්මාණයක් කළොත් ඒකට හැමෝගෙන්ම සහයෝගය ලැබෙයි. කට්ටිය කියනවා සල්ලි ගන්නවා, අරවා මේවා කියලා. මම නම් සිංදු දාගන්න කියලා එක රුපියල් පහක්වත් වියදම් කරලා නැහැ.

* අද අපට ඇහෙන්නෙම ප්‍රේම ගීත?

ඔව්.

* මේක ප්‍රේම ගීතයක් නෙවේ. ඒ කියන්නේ ප්‍රේම ගීතවලට විතරක්ම නෙවෙයි අද සමාජයේ ඉල්ලුම තියෙන්නේ නේද?

ඇත්තටම අද වැඩිපුරම ඇහෙන්නේ ප්‍රේම ගීත. මගේ ළඟත් ප්‍රේම ගීත කීපයක් තියෙනවා. මුල්ම ගීතය හැදුවේ වායෝ Band එකේ ෂේන් සිං. තව ලස්සන ගීතයක් හැදුවා චමින්ද වල්පොල කියලා මගේ මිත්‍රයෙක්. මම නිතරම ගැවසෙන්නේ ‘වායෝ’ සංගීත කණ්ඩායමත් එක්ක. සංගීත් අයියගේ පුතා කෞෂානුයි, මමයි Band එකේ අනෙක් අයයි ඉන්න කොට තමයි අපි දවසක් මේ ගීතය ඇහුවේ මගේම කාර් එකේ setඑකේ දාලා.

* ‘රාජ මාළිගේ ගීතය’?

ඔව්, හැම එකාම කිව්වේ මේ වගේ සිංදුවක් තමයි නැගලා යන්නේ කියලා. දැන් හැම තැනම ඇහෙන්නේ ලව් සෝන්ග්ස් නිසා මේ වගේ සිංදුවක් කිව්වොත් නැගලා යයි කියලා ඔවුන් කිව්වා. අද හැම සිංදුවකම වගේ තියෙන්නේ කොල්ලා මැරිලා කෙල්ල අඬනවා. නැතිනම් කෙල්ල මැරිලා කොල්ල අඬනවා. ඔය වගේ දේවල්නේ.

* ප්‍රේම අඳෙීනා?

ඔව්, ප්‍රේම අඳෙීනා. දවසක් මට හාමුදුරු කෙනෙක් කිව්වා ‘පව් මේ පිරිමි ගෑනු වගේ අඬනවා’ කියලා. ඕක මගේ හිතට වැදිලා තිබුණා. සංගීත් අයියත් කිව්වා මේක අනිවාර්යයෙන්ම කරන්න කියලා. හැමෝම කිව්වේ ‘රාජ මාළිගේ’ මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එකක් වෙයි කියලයි. ඒක අද සැබෑවක් වෙලා.

* වැඩේ ගොඩ ගියා?

හොඳටම . . හොඳටම . . ගොඩ ගියා. . .

* ඇයි ඔබට මේ RED කියන්නේ?

මගේ ගම රාගම. පොඩි කාලේ ගෙදර අය මට කිව්වේ ‘රතු මහත්තයා’ කියලා ආදරේට. ඊට පස්සේ කාලයාගේ ඇවෑමෙන් ඒක ‘රතූ’ වුණා. මගේ යාළුවෙක් හිටියා රාගමම උජිත් කියලා. දැන් ජීවතුන් අතර නෑ. උජිත් මට ‘රෙඩා’ කියලා නම දැම්මා. මුලින්ම මම රෙඩ් නෙවෙයි, රෙඩා.

* තාමත් බොහෝ අය ඔබ අමතන්නේ ‘රෙඩා’ කියලා?

කලා ලෝකයේ මගේ ඇත්ත නම කිව්වාම කොහෙත්ම දන්නේ නෑ, කවුරුත්ම දන්නේ නෑ. ඒ ඔක්කොම ‘රෙඩා’ කිව්වාම තමයි මාව දන්නේ.

* ‘රෙඩා’ කොහාමද ‘රෙඩ්’ වුණේ?

යාළුන්ගේ ගෙවල්වලට ගිහින් උන් මාව අඳුන්වලා දෙන්නේ ‘අම්මේ මේ තමයි ‘රෙඩා’ කියලා. පිස්සු නමක්නේ මේක ඇවිල්ලා. සමහර අම්මලා අමුතු විදිහට මගේ දිහා බලන්නේ එහෙම හඳුන්වලා දුන්නම. ටිකක් ‘තග්’ නමක්නේ. ඉතිං මම බැලුවා මේක හරි යන්නේ නෑ. මමම දාගත්තා ‘රෙඩ්’ කියලා. එහෙම තමයි ‘රාජ මාළිගේ’ ගීතයක් එක්ක මම මේ ෆීල්ඩ් එකට ආවේ.

* එතකොට ‘රෙඩ්’ගේ ඇත්ත නම මොකක්ද?

දිනේෂ් චින්තක ප්‍රනාන්දු. මම කතෝලික ආගමේ. මම හිතන්නේ මේ සංගීත හැකියාව මට පිය පරම්පරාවෙන් ආපු දෙයක්. තාත්තා වෘත්තීය වශයෙන් සංගීතය නොකළාට එයාගේ ඇඟේ තිබුණේ සංගීතය. ඒ ආභාෂය තමයි මට ආවේ. තාත්තා දැන් ජීවතුන් අතර නෑ. ඒත් හරිම ජොලියෙන් හිටපු කෙනෙක්. මම වගේම.

* රාජ මාළිගේ පරෙවියා වගේ?

ඔව්. එයා තමයි පරෙවියා. ඊට පස්සේ තමයි මම පරෙවියා වුණේ. තාත්තාට හොඳට ඩොලැක්කිය වාදනය කරන්න පුළුවන්. ඔහුගේ තබ්ලාව, ඩොලැක්කිය, මැන්ඩලීනය තාම තියෙනවා. මට සාමාන්‍ය විදියට ඩොලැක්කිය සෙල්ලම් කරන්න පුළුවන්. මගේ ප්‍රියතම සංගීත භාණ්ඩය තමයි ඩොලැක්කිය. පුංචි කාලේ ආච්චි අම්මත් මට ඩොලැක්කියක් අරන් දුන්නා මට මතකයි. එදා ඉඳන් අද වෙනකල් අපේ ගෙදර ඩොලැක්කියක් නැතිව ගිහින් නෑ.

* RED සංගීතය විෂයයක් හැටියට හදාරලා තියෙනවාද?

ඇත්තටම මෙහෙමයි. මම අධ්‍යාපනය ලැබුවේ කඳාන ද මැසනද් විද්‍යාලයේ. මගේ මියුසික් ටීචර් තමයි විශාරද නන්දා මාලිනී මහත්මිය. හතර වසරේදී විතර වුණ සිද්ධියක් මට තවම මතකයි. ඒ කාලේ මට සිංදුවක් කියන්න කිව්වාමත් ‘’රාජ මාළිගේ’ තමයි කියන්නේ. හැබැයි මගේ කට ටිකක් සද්දයි. දවසක් නන්දා මාලිනී ටීචර් මගේ කොන්ද නවලා ඔළුවට එකක් ගැහුවා. ඒ සින්දුව හොඳින් කිව්වේ නෑ කියලා නෙවෙයි. කෑගැහුවා කියලයි. ඒ හැරෙන්න මට සංගීතය ගැන ලොකු හැදෑරීමක් කරලා නෑ. හැබැයි දැන් නම් මර්වින් ප්‍රියන්ත මහත්මයා යටතේ මම සංගීතය හදාරනවා.

* මේ ගීතයේ ජනප්‍රියත්වය සමඟින් ඔබට විදෙස් සංචාර සඳහා ඇරියුම් ලැබෙන්න ඇති?

නෑ. තවම මට ටුවර් එකක් සෙට් වුණේ නෑ. ඉදිරියේදී ලැබෙයි කියලා හිතෙනවා.

* නමුත් ඔබ ඇමෙරිකාවේ ශ්‍රී ලාංකික මිතුරන් අතර ගොඩක් ජනප්‍රිය චරිතයක් කියා මම අසා තිබෙනවා?

මගේ මිත්‍රයෙක් මාර්ගයෙන් තමයි මම ඇමෙරිකාවට ගියේ. ඔහු මට කිව්වා ‘වැඩියේ එක එකා එක්ක ආශ්‍රයට යන්න එපා. පාඩුවේ හිටපං’ කියලා. එතකොටම මම යාළුවට කිව්වා ‘මචං ඒ උඹ, මේ මම’ කියලා. සති දෙකක් යන්න ඉස්සර ඒ පළාතෙ ඉන්න හැම එකාම මාව අඳුරගත්තා.

* අමෙරිකාවේ කොහේද ඔබ හිටියේ?

බර්මියුඩාවල ‘සිගෙල් ෆුඩ්’ කියන අවන්හලේ තමයි මම සේවය කළේ. මගේ බොස් බ්ලැක් ඇමරිකන් කෙනෙක්. මිස්ට(ර්) ගෙරී. බොසත් මට මාර ෆිට් වුණා. ලංකාවේ යාළුවොත් මාර විදිහට ෆිට් වුණා. හැමදාම රෑට අපේ හය හත් දෙනෙකුට කෑම මම අරිනවාමයි. ‘රෙඩා’ අපි එනවා කිව්වම කෑම පාර්සල් කරලා තියෙනවා. කවදාවත් අපේ බොසා මට කියලා නෑ ඒක කරන්න එපා කියලා. මම ඒතරම් යාළුවන්ට ෆිට්. උනුත් ඒ වගේ.

* නිතර, නිතර සංගීත සාජ්ජත් පැවැත්වුණා මම හිතන්නේ?

හැම සෙනසුරාදාම අපි සාජ්ජයක් දානවා. රෑ දොළහට තමයි වැඩේ පටන් ගන්නේ. මොකද මම 11.30 ට තමයි ඕෆ් වෙලා එන්නේ. අවශ්‍ය දේවල් ලෑස්ති කරන්න කියලා මම යාළුවන්ට උපදෙස් දීලයි තියෙන්නේ. ඔයා විශ්වාස කරන්න ඉරිදා දවල් වෙනකල් පාටිය යනවා. ඒක ‘Non Stop. ‘සැට(ර්)ඩේ නයිට්’ කියලා කරපු ඒ පාටිය ගොඩක් නැගලා ගියා. යාළුවෝ තමයි ජීවිතේ වැඩිපුරම මට ඉන්නේ.

* ප්‍රවීණ ශිල්පීන්ට ඔබේ කැමැත්තක් නැද්ද?

වික්ටර් රත්නායක මහත්තයාට මම ගොඩක් කැමැතියි. සුනිල් එදිරිසිංහ මහත්තයටත් කැමැතියි. ඒ වගේම තමයි එච්. ආර්. ජෝතිපාල මහත්මයා. ඔහුගේ ගීත මම වේදිකාවේත් ගායනා කරනවා. වික්ටර්ගේ ‘සඳකැන් වැටිලා’ සුනිල්ගේ ‘සඳකඩ පහනක’ වගේ ගීතවලට මම කැමැතියි.

* ඔබ ප්‍රසංගවල ගායනා කරන ජෝතිගේ ගීත මොනවාද?

‘මේ නොනිවෙන දිවි ගමනේ’ තමයි මම එතුමාගේ වඩාත්ම ප්‍රිය කරන ගීතය. ‘ඔංචිලිචිලි‘, ‘රාජකිරුළු’ වගේ ජනප්‍රිය ගීත මම වේදිකාවේ ගායනා කරනවා.

* අද පරපුරේ වඩාත් කැමැති?

අමල් පෙරේරාගේ ගීතවලට මම ගොඩක් කැමැතියි. ඇත්තටම ඔහුග් හඬට මම පුදුම ආසාවක් තියෙන්නේ. අමල් සිංග් කරද්දී මට පට්ට ෆීලින් එකක් තියෙන්නේ.

* කොහොම වුණත් RED දැන් තනිකඩයෙක් නෙවෙයිනේ?

නෑ... නෑ... මම විවාහකයි.

* කැමැතිද පෞද්ගලික විස්තර ටිකක් කියන්න?

බිරියගේ නම අචිනි. දුවයි, පුතයි මට ඉන්නේ. දුව අවීශා, පුතා මිනෝල්. අපි ඉතින් හරිම සතුටින්, සාමයෙන් ඉන්නවා.

0778262682 රෙඩිගේ දුරකතන අංකයයි.