වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




කැන්ගරු දේශයෙන් කලාවට එන කරු

කැන්ගරු දේශයෙන් කලාවට එන කරු

මේ දිනවල විකාශය වන 'ස්නේහා' ටෙලි නාට්‍යයේත් ඉදිරියේදී තිරගතවීමට නියමිත 'සුගලා දේවිය' ටෙලි සිතුවමේත් සම නිෂ්පාදක වන කරු කටුවන්දෙණිය ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකික කලාකරුවන්ට අත්වැල් සපයන්නෙකි. ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය ලැබ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වසර 18 ක් සේවය කොට දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටී. කලාවට ආදරය කරන කලාකාමියෙකු ලෙස විදෙස් ගත වුව ද දේශීය කලාකරුවන් අමතක නොකළ ඔහු සරසවිය සමඟ කල කතාබහකි මේ.

* ඔබ වෘත්තීමය වශයෙන් තොරතුරු තාක්ෂණික උපදේශකවරයෙක්. කොහොමද අපේ රටේ කලාවට සම්බන්ධ වූයේ?

මම පාසල් කාලයේත්, විශ්වවිද්‍යාලයේ සිටින කාලයේත් කලා කටයුතුවලට සම්බන්ධකම් තිබුණා. ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ ලංකාවේ සංගීත ශිල්පීන්, නළු නිළියන්, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු විවිධ ප්‍රසංගවලට, නාට්‍ය රූගත කිරීම්වලට ඕස්ට්‍රේලියාවට එනවා. එහිදී මම මූලිකත්වය ගෙන අපේ කට්ටියට අවශ්‍ය කරන ආලෝකකරණ, ශබ්ද පරිපාලන ආදී තාක්ෂණික පහසුකම් සපයනවා. මේ විදියට තිරය පිටුපස වැඩවලට දායකත්වය දීමෙන් තමයි කලාවට යොමු වෙන්න හැකි වුණේ.

* ඔබට වරෙක නළුවෙකු වෙන්නත් අවස්ථාව උදාවුණා නේද?

ඔව්, ඔව්. ඕස්ට්‍රේලියාවේ අපිත් එක්ක ඉන්න ආචාර්ය මහේෂ් බණ්ඩාර 'මතක සුළඟ' කියලා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. මම එහි තාක්ෂණික කළමනාකරු හැටියට වැඩ කළා. ඒ නාට්‍යයේ ස්වාමීන් වහන්සේ නමකගේ චරිතයක් රඟපෑවා.

* ස්නේහා හා සුගලා දේවිය ටෙලි නාට්‍යවල සම නිෂ්පාදක හැටියට මොකද ඔබට හිතෙන්නේ?

කැලුම් පාලිත මහීරත්න අධ්‍යක්ෂතුමා චිත්‍රපටයක් රැගෙන ඕස්ට්‍රේලියාවට ආවා පෙන්වන්න. එහිදී ඇතිවුණු සමීපතාවය මත ඔහු මට ආරාධනා කළා මෙම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න. මතක සුළඟ ටෙලි නාට්‍යයේ මට අත්දැකීම් තිබුණ නිසා මේ නාට්‍යවල වැඩ කටයුතු ගැන මට ලොකු පහසුවක් දැනෙනවා. ඒ වගේම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමෙන් ටෙලි නාට්‍ය ගැන චිත්‍රපට පිළිබඳ ඉගෙන ගැනීමට මගේ තියෙන ආසාව තව තවත් වැඩි වුණා. ඒ පිළිබඳ කැලුම් පාලිත මහීරත්න අධ්‍යක්ෂතුමාටත්, ආචාර්ය මහේෂ් බණ්ඩාරටත් ස්තූතිය පුද කරනවා.

* ඕස්ට්‍රේලියාවේ සමාජ අත්දැකීම් තිබෙන නිසා ලංකාවේ ටෙලි නාට්‍ය කලාව ගැන ඔබට දැනෙන්නේ කොහොමද?

ලංකාවේ ටෙලි නාට්‍යයක් එහේ ගිහින් කරන කොට මානව සම්පත් අඩුයි. ඒත් මෙහේ ඒ සියලු පහසුකම් තිබෙනවා. එහේ තාක්ෂණික පහසුකම් දියුණුයි. නවීන වේදිකා, උපකරණ තිබෙනවා. ලංකාවේත් තාක්ෂණය හොඳ මට්ටමක තිබෙනවා. ඒ ගැන සතුටුයි.

* මොනවද අලුත් අවුරුද්දේ ඉදිරි වැඩ කටයුතු?

ආචාර්ය මහේෂ් බණ්ඩාර සමඟ ඕස්ට්‍රේලියාවේ චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහි තිරකතාව දැනටමත් ලියලා අවසන්. ජාතික රූපවාහිනියේ තිරගත වූ 'මතක සුළඟ' ටෙලි නාට්‍ය ඕස්ට්‍රේලියාවේ විකාශය කිරීමට සූදානම් වෙනවා. දැන් මගේ නිවාඩුව ඉවර වී ගෙන එන නිසා එහේ අරගෙන යන්න හොඳ වේදිකා නාට්‍ය කිහිපයක් සොයනවා මේ දවස්වල නම්.

* පෞද්ගලික තොරතුරුත් සඳහන් කරමු?

මම විවාහකයි. බිරිඳ ලිලන්ති. ඇය හෙදියක්. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මගේ දුරකථන අංකය +61425264979. ලිපිනය නො. 10, පැසිෆික් හයි වේ, ගෝඩ්න්, ඕස්ට්‍රේලියා.