වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාවට රන් දේදුනු පායන අලුත්ම චිත්‍රපටය The Rainbow

සිංහල සිනමාවට රන් දේදුනු පායන අලුත්ම චිත්‍රපටය The Rainbow

සතර අතෙන් ගලා එන සැඳෑ අඳුරේ ඇදී ආ බස්් රථයේ නවාතැන වූයේ කලබලකාරී නගරයයි. ඉන් බැස්සේ මනබඳින තරුණයෙකි. අත වූ ගමන් මල්ල පදික වේදිකාව මත තැබූ ඔහු වටපිට බැලුවේ පුදුමයෙන් මෙනි.

ඉක්මන් ගමනෙන් ඇවිද යන මිනිසුන් මේතරම් සංඛ්‍යාවක්, ඇවිද යන්නේ කුමක් සඳහා ද යන්න තරුණයාට ගැටලුවකි. ඒ අතර විවිධ මාදිලියේ විලාසිතා ඇඳ පැලැඳ ගත් සම වයසේ තරුණ - තරුණියන් ද සිටින වග ඔහුට පෙනෙයි. එක සීරුවට වේගයෙන් ඇදෙන රථ පෙළ

ක්ෂණයෙන් නතර වූයේ ඉද්ද ගැසුවා සේය. ත්‍රිවර්ණ මාලාවලින් යුත් එළි කිහිපයක් දැල් වෙයි. නිවෙයි. ක්ෂණයෙන් යළිත් රථ පෙළ ගමනේ යෙදෙයි.

කලබලකාරී බව උපරිමයෙන් විදහා දැක්වෙන නගරයේ දසුන් පෙළෙන් විමතියට පත් වූ මේ තරුණයා සිය ගමන් මල්ල සුරතට ගෙන ත්‍රීරෝද රථයක අසුන් ගත්තේ තමා පැමිණි ගමන යෑමටය. නගරයෙන් මෑත්ව අතුරු පාරකට හැර වූ ත්‍රීරෝද රථය වේගයෙන් පියඹා ගියේ අසුරු සැනෙනි.

වේගයෙන් ඇදී යන රථයේ වාඩි වී දෙපස බලා සිටි තරුණයා යම් තැනෙක ත්‍රී රෝද රථය නතර කළේය. ඉන් බිමට බට හේ එතැන නැවතී වටපිට බැලුවේ තමා යා යුතු නිවෙස සොයන්නටය. එක්වරම ඔහු වැටෙන්නට ගොස් නැවතුණේ කවරෙකු හෝ ඔහුගේ ඇඟේ හැපුණු බැවිනි. ඒ කවුරුන්දැයි කියා බලන ඇසිල්ලේ ඔහු දුටුවේ ඔහුගේ මුහුණට එබී සිටින සුන්දර යුවතියකි.

'ඕ . . . සමාවෙන්න'

ඇය ඔහුට නැඟිටින්නට අත දෙමින් පැවසුවාය.

'ඇත්තටම කවුද මේ?'

හදිසියේ තමා අසලට පැමිණි යුවතිය කවුරුන්දැයි සිතන මොහොතේම ඇය ඔහුගෙන් නැඟුවේ තවත් පැනයකි.

'ඔයාට තුවාල නැහැ නේද?'

ඈ බලාගෙන සිටියේ තමා නිසා වීසි වී බීම වැටුණු තරුණයාගෙන් පිළිතුරක් ලැබෙනතුරුය.

ඔහු ඈ හා සිනාසුණේය. ඒ තමන්ට කිසිදු ගැටලුවක් නොමැති වග විමසන්නටය.

'මම රොෂාන්. ඔයා කවුද?'

තමා හඳුන්වා දෙමින් තරුණයාගේ සිතේ පෙරැළි කළ ප්‍රශ්නය අසනවාත් සමඟම මේ තරුණයගේ උවනෙන් පළ වූයේ බියකරු බවකි. එක්වරම කලබලයෙන් පසුපස හැරී බැලීමෙන් පසුව ඇගේ උවනේ ඇති වූ මේ වෙනස රොෂාන් නිරීක්ෂණය කළේ. තරුණිය පසු පසෙන් එන කිහිප දෙනා ඔහුගේ දෙනෙතට හමු වූයේ එවිටය. ඈ සමඟ කතාබහේ නියැළුණ ද රෝෂාන්ගේ දෙනෙත තිබුණේ මැරයන් හා සම වූ කිහිප දෙනාගේ හැසිරීමෙනි.

ඔවුන් එකිනෙකා පැවසූ කාරණය ඔහුගේ සවනත වැකුණ ද වචන එතරම් පැහැදිලි නොවිණි. ඔවුන් පිටව යනවාත් සමඟම රොෂාන් අසල උන් තරුණිය එවෙලෙහිම පැමිණ ත්‍රීරෝද රථයට ගොඩ වැදුණේ රොෂාන්ට ස්තූති කරමිනි. හිටි අඩියේම කුමක් වූයේදැයි සිතා ගැනීමට නොහැකි වූ ඔහු අන්දමන්දව බලා සිටියේ ත්‍රී රෝද රථය ගමන් කරන දෙසය.

'පුළුවන් තරම් ඉක්මනට යං'

නිෂානි ත්‍රී රෝද රථයේ රියැදුරුට කිව්වේ ඇගේ සිතේ ඇති වී තිබූ බිය තවමත් පහව නොගොස් තිබුණු නිසාය.

'වාසනාවට වගේ මම බේරුණේ රොෂාන් නිසා'

ඇය තමාටම කොඳුරා ගත්තාය.

සිය යහළුවා වන ශිවාගේ කාය වර්ධන ආයතනය කටයුතු සමඟ කාර්යබහුල වූ රොෂාන් මේ ඝෝෂාකාරී පරිසරය දෙස බලාගෙන සිටියේ ගමේ සොඳුරු පරිසරය සිතෙන් මෙනෙහි කරන අතරතුරය.

'මේ පරසරයට වඩා කොයි තරම් සිත නිවන පරිසරයක් ද ගමේ තියෙන්නේ?'

ඔහුගේ සිතට පිවිසුණු සිතුවිල්ල වචනයට නගන්නට ඉඩක් නොතිබුණි. මාර්ගයේ එක් කොණකින් මතු වූයේ නිශානිගේ රුවයි. ඔහුගේ සිත නැවතුණේ මේ අරුම පුදුම යුවතිය අසලය.

'මෙයා මොකද නිතරම මාව මඟ හරින්න හදන්නේ'

රොෂාන්ගේ සිතේ නිතරම පැන නැඟුණේ එවැනි පැනයකි. දින කිහිපයක් මුහුණට මුහුණ හමු වුව ද ඇය ඔහුව නොදුටුවා සේ ගමන් කළාය. කතා කරන්න උත්සාහ කළ ද ඇය ඔහුව ගණන් නොගත්තා සේ මඟහැර යෑම පුදුමයකි. මෙවැනි සිතුවිලි අතර සිර වී සිටි එක් දිනෙක රොෂාන්ගේ ඉදිරිපසට එමින් සිටියේ ඇයයි.

වටපිට බලමින් පැමිණි ඇගේ උවනේ වෙනදා නොතිිබුණු කලබලකාරී බවක් වේ යැයි රොෂාන්ට සිතිණි. හිටිවනම ඇය ඉදිරිපස සිට ගත්තේ මැරයන් යැයි සිතිය හැකි කිහිපදෙනෙකි. ඇයව වට කළ ඔවුන්ගෙන් එකෙක් නිෂානිගේ අත අල්ලා ගත්තේය.

ඉදිරියට එමින් සිදුවන දේ නිරීක්ෂණය කළ රොෂාන් එසැනෙන් මේ පිරිස ඉදිරිපස පෙනී සිටියේ සිදු විය හැකි දෙයක් පිළිබඳ කිසිවක් නොසිතාය. ඔවුහු නිෂානිව ඇඳගෙන යන්නට තැනුවා පමණි. තමන් වෙත එල්ල වුණු පා පහර පැමිණියේ කොහෙන්දැයි බැලුවේ අන්දමන්දවය.

රොෂාන්ට නිෂානිව බේරා ගත හැකි වේද? ඔවුන්ගේ මේ ගැටුමට හේතුව කුමක්ද?

මෙවැනි ගැටලු රාශියකට පිළිතුරු රැගෙන එන තරුණ අධ්‍යක්ෂවරයෙක් වන නලින් රාජපක්ෂගේ 'රන් දේදුන්නක්' චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු මේ වන වට අවසාන වී ඇත. යෞවනත්වය හා බැඳුණු වගකීම් හා දේශපාලනයෙන් සමාජයට වන බලපෑම පිළිබඳ කතා කරන 'රන් දේදුන්නක්' චිත්‍රපටය ඔබ හමුවට පැමිණීමට සූදානම්ව සිටී.

අධ්‍යක්ෂණය - නලින් රාජපක්ෂ

තිර රචනය සහ සහය අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න

රංගන ශිල්පීන් හා ශිල්පිනියන්

රාෂාන් රණවන, ටනාෂා හතරසිංහ ( හඳුන්වාදෙන), රෙක්ස් කොඩිප්පිලි
නදීකා ගුණසේකර,කුමාර තිරිමාදුර,සුසිලා කෝට්ටගේ,නිල්මිණි කෝට්ටගේ, රාජා ගනේෂන්
වසන්ත කුමාරවිල,මිහිර සිරිතිලක,ඩිනක්ෂි ප්‍රියසාද්, ශනුද්‍රි පි‍්‍රයසාද්,සඳුන් බණ්ඩාර
රනීෂ් ෂ්‍යාම්,තුෂාන් රණසිංහ, දයාසිරි හෙට්ටිආරච්චි,ජී. ගංගොඩතැන්න,
ජයන්ත ගලගෙදර,ජගත් ගලපත්ති,චරිත් සේනානායක, රංජිත් කරුණාරත්න,
නිසුලි නෙලිත්මා (ළමා නිළි), තෙදු ගම්මන්පිල (ළමා නිළි),

වේශ නිරූපණය - තරංග රුක්මල්වල

කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල්

සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල

නැටුම් අධ්‍යක්ෂණය - රමෝද් මාලක

ඇඳුම් සැපයීම - ස්ප්‍රින් ඇන්ඩ් සමර් අධිපති දුලංක විජේගුණවර්ධන,චමත්කා විජේගුණවර්ධන

නිෂ්පාදන කළමනාකරණය - රාජා බාලසූරිය

වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර

විශේෂ ප්‍රයෝග - අමිල කුමාරසිංහ

ශබ්ද පරිපාලනය - ශෂික රුවන් මාරසිංහ

සංස්කරණය - අනූෂ සංජීව ජයවර්ධන, කසුන් මාධව මත්තේආරච්චි

කැමරාකරණය - බුද්ධික මංගල, කපිල සුගත්

අතිරේක කැමරා - විශ්වජිත් කරුණාරත්න, නලින් ධම්මික

ගීපද රචනය - නිලාර්. එම් . කාසිම්, කුෂාන් මහේන්ද්‍ර

තනු නිර්මාණය - කසුන් කල්හාර, උදය ශ්‍රී වික්‍රමසිංහ

ගායනය - මොහාන් වික්‍රමසූරිය, උදය ශ්‍රී වික්‍රමසිංහ, ප්‍රිමාල්

පසුබිම් සංගීතය - උදය ශ්‍රී වික්‍රමසිංහ

නිෂ්පාදනය - Moon Light Films

විධායක නිෂ්පාදනය - බුද්ධික ගී කියනගේ, ඩී. ගෝමස්