වර්ෂ 2015 ක්වූ ජනවාරි 08 වැනිදා බ්‍රහස්පතින්දා




දසුන් ගැහුවත් හරි ඇස්වලින් කඳුලුත් පැන්නා

දසුන් ගැහුවත් හරි ඇස්වලින් කඳුලුත් පැන්නා

මට ගොඩක් අය කියන්නේ දේදුනු හැඩකරන සමනලී කියලා. මම හිතන්නේ ඒ අය ආදරේට එහෙම කියනවා ඇති. ඇත්තටම මට සමනලී කියද්දී පුංචි ආඩම්බරයකුත් දැනෙනවා.

නව පරපුරේ රංගන ශිල්පිණී සමාධි පෙරේරා කතාව පටන් ගත්තේ අන්න එහෙම. මේ දිනවල දේදුනු ටෙලි සිතුවමේ සුරේඛා ලෙස රංගනයේ යෙදෙන ඇය ස්නේහා ටෙලි නාට්‍යයේ නිලු වෙමින් ද පුංචි තිරය සරසනවා.

කලාවට ඇති ආසාව පොඩි කාලේ ඉඳලා මගේ හිතේ තිබුණා. පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඇති තරම් නාට්‍යවලට සහභාගී වුණා. ඒවාහි රඟපෑවා පමණක් නොව ඇතැම් නාට්‍ය අධ්‍යක්ෂණය කළෙත් මම. ඒවා නාට්‍ය තරගවලට ඉදිරිපත් කරලා ජයග්‍රහණය පවා ලැබුවා.

සමාධි පාසලෙන් ඉවත් වූවායින් අනතුරුව රංගනයට පිවිසෙන්න අවස්ථාවක් හොයමිනුයි ඉඳලා තියෙන්නේ. ඔය අතරේ රේණුකා බාලසූරිය නිපදවන චිත්‍රපටයකට අලුත් අය ගන්නවා කියලා ඇයට දැනගන්නට ලැබෙනවා.

මාව රේණු මිස් ඒ චිත්‍රපටයට තෝරා ගත්තා. අති විශාල ප්‍රමාණයක් අතරින් මට ලැබුණේ ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. නමුත් මට හදිසියේ අසනීප වුණ හින්දා මට ඒ චරිතය රඟපාන්න නොහැකි වුණා.

සමාධි ඉන් සැලුණේ නැහැ. ඇය වයසට වඩා මුහුකුරා ගිය බුද්ධිමත් සිතින් සිතා බලා සියල්ල වන්නේ හොඳටයි කියා සිතුවා.

මට ඒ අවස්ථාව අහිමි වුණා කියලා දුක් වුණේ නැහැ. මට ඊට වැඩිය හොඳ චරිත ඉදිරියේදී ලැබේවි. මට රේණු මිස්ගේ ඉන්ටර්වීව් එක තිබුණු තැනදි ඡායාරූප ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු වූ අනිල් ජයසිංහව හඳුනා ගන්නට ලැබුණා. ඔහු මාර්ගයෙන් මට ශාන්ත සොයිසා මහතා හමු වුණා. ශාන්ත මහත්මයා තමයි මාව මුලින්ම නාට්‍යකට ගත්තේ. ඒ ඔහුගේ වරා මලී ටෙලි නාට්‍යයට.

එම නාට්‍යහි දර්ශන තලයේදී හමුවන හැරී විමලසේන මාර්ගයෙන් සමාධිට ලලිත් වසන්තව හඳුනා ගන්නට ලැබෙනවා. දේදුනු නාට්‍යයේ සුරේඛාව සමාධිට ලබා දෙන්නේ ඔහුය.

සුරේඛා කියන්නේ දේදුනු නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක්. එහි රඟපෑමෙන් රංගන ගැන මට සෑහෙන්න අත්දැකිම් ගන්න හැකි වුණා. ඒ වගේම මම ටිකක් මිනිස්සු අතරට ගියා. වැඩි දෙනෙක් මාව හඳුනා ගත්තේ සුරේඛා නිසයි. ඊට පස්සේ කැළුම් පාලිත මහීරත්න මහත්මයාගේ ස්නේහා නාට්‍යයට එකතු වුණා. ඒ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

මේ අතර සමාධි Sunday Obsever පුවත්පත සංවිධානය කළ මිස් ලංකා තරගයට සහභාගි වෙනවා. එහිදී Miss Tallent, Miss Personalty, Miss Traditional Look යන අංශවලින් ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. මේ වන වට සමාධිට චිත්‍රපටයක් සඳහා ඇරැයුම් ලැබිලා. මගේ ජීවිතයේ හීන දෙකක් තියනවා. එකක් තමයි ලංකාවේ ජනප්‍රියම නිළිය වීම. අනෙක ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වී හොඳ චිත්‍රපටයක් කිරීම.

එතකොට හොඳම නිළිය වෙන්නට අදහසක් නැතිද? ඒ පැනය මගේ මුවින් ඉබේටම ඇසුණි.

හොඳම නිළිය වෙනවා පස්සේ. ඊට කලින් ජනප්‍රිය වෙලා ඒ ජනප්‍රියත්වයත් සමඟම හොඳම නිළිය වෙනවා.

සමාධි අධ්‍යක්ෂිකාවක් වෙන්න හිතාගෙන ඉන්නවා කියලා කිව්ව නිසා මට මේ වගේ දෙයකුත් අහන්න හිතුණා. ඒ අවසන් වතාවට නරඹපු සිංහල චිත්‍රපටය මොකක්ද කියන එක. ඇය ඊට පිළිතුරු නොදී හිනා වුණා අමුතු අන්දමට. ඒ සිනහවෙන් කියා පෑවේ නම් සමාධි සිංහල චිත්‍රපට නරඹන්නේ නැතිවග.

මම වැඩිපුර බලන්නේ ස්ටේජ් ඩ්‍රාමා. ඇන්ටිගනී ඇතුළු නාට්‍ය ගණනාවක් ළඟදී නැරඹුවා. මම ඒවායින් තමයි ඉගෙන ගන්නේ. අනික මම රංගනයේදිත් අධ්‍යයනයක යෙදෙනවා මගේ නිර්මාණකරණය ඔපවත් කරගන්න.

ඒ සේරම කරන ගමන් කෙටි චිත්‍රපටයක් කළොත් නරකද? සමාධි එයටත් පිළිතුරු සැපයුවේ හිනාවකින්. මේ අතරතුර ඇය ක්ෂේත්‍රයෙහි ස්වභාවය ඇයට දැනෙණ විදිහට කතා කළා.

කලා ක්ෂේත්‍රයේ හොඳ නරක දෙපැත්තම තියෙනවා. අපි හොඳට හිටියොත් හොඳයි. නරකට හිටියොත් නරක විදිහටම ඉන්න පුළුවනි.

සමාධි රංගනයේ යෙදෙනුයේ රැකියාවක් කරන ගමන්ය. ඇය පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඉන් ලැබෙන සහාය පිළිබඳ සමාධි අගය කරමින් අදහස් දැක් වූවා.

ආයතනයේ සැවොටම තුති පුදනවා. ඔවුන් මට නිදහස දීලා තියෙන හින්දයි මෙපමණ නිදහසකින් මම වැඩ කරගෙන යන්නේ.

සමාධිගේ උපන් දිනය යෙදී තිබෙන්නේ 1992 ඔක්තෝබර් 08 වැනිදා. ඇය මේ වන විට ආදරවන්තියක්. නමුත් පෙම්වතාගේ නම සඳහන් කරන්න නම් ඇය ටිකක් මැලි වුණා. ප්‍රේමවන්තියක් හින්දා ක්ෂේත්‍රයේ අයගෙන් විවාහ යෝජනා එනවා අඩුයි කියලා සමාධි කියනවා. ඒ වගේම ආරක්ෂාව වෙනුවෙන් සමාධි අම්මවත් එක්කගෙනයි යන තැන්වලට යන්නේ. ඇය මෙහෙම අදහස් දක්වන අතරතුර දේදුනු රඟපාන්න ගිහින් වෙච්ච සොඳුරුම අත්දැකීම ගැන කතා කළා.

මටයි දසුන් නිශාන්තටයි ඒ දර්ශනය රඟපාන්න තිබුණේ. පිටපතෙහි ලියවිලා තිබුණේ නැහැ දෙන්නා දෙබස් කියන අතරතුර කම්මුලට ගහන දර්ශනයක්. නමුත් දසුන් මට එක පාරටම ගැහුවනේ. මාව ගැස්සිලා ගියා. කඳුළුත් පැන්නා ඇස්වලින්.

සමාධිගේ පවුලේ සාමාජිකයන් වන්නේ අම්මා, තාත්තා සහ මල්ලියි. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. තාත්තා පොලීසියේ සේවය කරනවා. මේ ගමන එන්න ශක්තියක් වුණු පවුලේ උදවිය මෙන්ම අනිල් ජයසිංහ, හැරී විමලසේන, වසන්ත ඥාණප්‍රිය, ලලිත් වසන්ත, අරුණි වික්‍රමරත්න, විපුල අමරසිංහ යන මහත්ම මහත්මීන් සමාධි මතක් කළේ බොහොම ආදරයෙන්. ඇය තමන් කොයි වගේ කෙනෙක් ද යන්න පවසමින් මේ කතාව මෙසේ අවසන් කළා.

මම මගේ විදිහට ජිවත් වෙන සරල ගැහැනු ළමයෙක්.